එදා මෙදාතුර “හින්දි සිනමාවේ” ගමන් මාර්ගය වෙනස් කිරීමට දායක වූ චිත්‍රපට, ගණනින් අතළොස්සකි. ඒ අතරට අනිවාර්යයෙන් ම එකතු වන නිර්මාණයක් වශයෙන් 1949වර්ෂයේ තිරගත වූ “මැහැල්” චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය. එක්තරා යුගයක “හින්දි සිනමාවේ” විශේෂ අවධානයට බඳුන් වූ “කමල් අම්රෝහි” නම් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය ක…

Mahal (1949)

එදා මෙදාතුර “හින්දි සිනමාවේ” ගමන් මාර්ගය වෙනස් කිරීමට දායක වූ චිත්‍රපට, ගණනින් අතළොස්සකි. ඒ අතරට අනිවාර්යයෙන් ම එකතු වන නිර්මාණයක් වශයෙන් 1949වර්ෂයේ තිරගත වූ “මැහැල්” චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය. එක්තරා යුගයක “හින්දි සිනමාවේ” විශේෂ අවධානයට බඳුන් වූ “කමල් අම්රෝහි” නම් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම කෘතිය, “අශෝක් කුමාර්” නම් ප්‍රවීණ රංගවේදියා විසින්“නිෂ්පාදනය” කරන ලද්දකි. එසේම, “බිමල් රෝයි” නම් විශිෂ්ට සිනමාකරුවා මෙහි“සංස්කරණ” කටයුතු සඳහා දායක වී තිබීම ද විශේෂත්වයකි.

චිත්‍රපට ඇගයීමේ ක්‍රමවේද හින්දි සිනමාව තුළ බිහිව නොතිබූ පැරණි යුගයක නිර්මාණය වූවක් බැවින්, “මැහැල්” චිත්‍රපටයට අන් කිසිදු සම්මානයකට හිමිකම් කිව නොහැකි වුවත්,“ජනතා සම්මානය” නම් නොඅඩුවම ලැබී ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එය, උක්ත වර්ෂයේ වැඩිම ආදායම් ලැබූ හින්දි සිනමා නිර්මාණ අතර ඉදිරියෙන් ම පවතින්නකි. එසේම, වර්තමානයේ පවා හින්දි සිනමා රසිකයන් විසින් “ආදරයෙන් වැළඳ ගනු ලබන” කෘතියක් බවට පත්ව ඇත්තේ, මෑත යුගයේ නිර්මාණය වන සමහර සිනමා නිර්මාණ පවා රසිකයන්ගේ මතකයෙන් ගිලිහෙත්දී ය.

සිංහල උපසිරැසි යෙදීම සඳහා “මැහැල්” චිත්‍රපටය තෝරා ගැනීමේදී මම කාරණා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළෙමි. ඉන් පළමුවැන්න නම්, හතළිහ සහ පනහ දශක දෙක අතරතුර කාලයේ හින්දි සිනමාවේ සිදුවූ “යුග පරිවර්තනය” සඳහා මෙම කෘතියෙන් ලැබුණු දායකත්වයයි. සැබැවින්ම, “ගලා යන රිද්මය” සහ “දර්ශන යොදා ගැනීමේ ක්‍රමවේදය” ආදී කරුණු පිළිබඳව සලකා බලන විට “මැහැල්”හි රූප රචනය වඩාත්ම සමීප වන්නේ හතළිහ දශකයේ ජනප්‍රිය වූ “රත්තන්”, “අන්මෝල් ඝඩී”, “අනෝකිඅදා” වැනි චිත්‍රපටවලට නොව, වසර දෙදහසින් පසුව එළඹුනු “වර්තමාන යුගයේ” නිර්මාණය වන චිත්‍රපටයක රූප රචනයට බැව් සිතේ. එසේම, සිනමාව යනු “දෘශ්‍ය මාධ්‍යයක්” බව මැනැවින් වටහා ගනිමින් “රූපයටත්” ඒ හා බැඳුණු “ශබ්දයටත්” මූලිකත්වය ලබා දීමට නිර්මාණකරුවා කටයුතු කර ඇත්තේ සවිඥානිකව ම ය. “හඬ” සහ “උපසිරැසි”වලින් තොරව මෙම නිර්මාණය රස විඳින්නේ නම්, එම උත්සාහය කොපමණ සාර්ථක වී ඇත්ද යන්න වටහා ගැනීමට හැකි වනු ඇත.

“අද්භූත කතා ශෛලිය” (Horror) දකුණු ආසියාවට අරුමයක් නොවූවත්, “මැහැල්”තිරගත වන තුරුම හින්දි සිනමාව තුළ මේ සම්ප්‍රදායේ චිත්‍රපටයක් නිර්මාණය වී තිබුණේ නැත. හින්දි සිනමාවේ මතු නොව, සමස්ත දකුණු ආසියාවේ ම “පළමුවැනි අද්භූත චිත්‍රපටය” බවට පත් වීමේ ගෞරවය හිමි කර ගන්නා අතර ම, එතෙක් “රජ කතා”, “දේව කතා”, “ප්‍රේමකතා” ආදී සීමිත වට්ටෝරුවක් තුළ සිරව තිබූ හින්දි සිනමාවට අලුතින් කතා සම්ප්‍රදායක් හඳුන්වා දීමෙන් එහි නිම්වළලු පුළුල් කිරීමට මෙම කෘතිය තුළින් ලැබුණු දායකත්වය අතිශයින් ම වැදගත් ය. එසේම, මෙවැනි චිත්‍රපටයක අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණයක් වන “කුතුහලය” රඳවා ගැනීම අතින් ද එය මනා සාර්ථකත්වයක් දක්වා ඇත. කතා සන්දර්භයේ අඩුපාඩු හේතුවෙන් යම් යම් අවස්ථාවල ඉස්මතුවන“අවිශ්වාසනීයත්වය” නොතකා ප්‍රේක්ෂකයන් තව දුරටත් චිත්‍රපටය සමග ඉදිරියට රැගෙන යන්නේ එහි රූප රාමු තුළින් ජනනය කෙරෙන “කුතුහලයයි”.

“මැහැල්” චිත්‍රපටය පිළිබඳව සාකච්ඡා කිරීමේදී එහි “මුල් මිනිත්තු විස්සක” පමණ කාලය, එනම්, “අයෙගා ආනේවාලා” ගීතයේ අවසානය දක්වා දර්ශන පෙළ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කළ යුතු යැයි මා සිතන්නේ, එය, මෙතෙක් හින්දි සිනමාවේ මා දුටු“ප්‍රබල ම” රූප රචනා අතරින් එකක් වන බැවිනි. කුණාටු සහිත රාත්‍රියකින් ආරම්භ වන මේ දර්ශන පෙළ, චිත්‍රපටය පටන්ගැන්මේදී ම ප්‍රේක්ෂකයා තම ග්‍රහණයට නතු කරගැනීමට සමත් වනවා සේම, විලම්බ ළයෙන් ගැයෙන ගීයක් පරිද්දෙන් රිද්මයානුකූලව, ගීතවත්ව ඉදිරියට ගලාගෙන යන්නේ, ප්‍රේක්ෂකයා මත යෙදුණු ග්‍රහණය මදක් හෝ ලිහිල් නොකරමිනි. සැබැවින්ම, “අද්භූතභාවය” තීව්‍ර කිරීමට “කුණාටු සහිත රාත්‍රියක්” යනු උචිත තෝරා ගැනීමකි. “රාත්‍රියේ සුළං හමන නාදය”, “සුළඟට ලෙලදෙන දොර ජනෙල් තිර රෙදි”, “හඬ නගා වැසෙන දොරවල්” ආදිය “ස්වභාවිකත්වය” ඉක්මවා නොයමින් “අද්භූතභාවය” තීව්‍ර කිරීමට සමත් වී ඇත. “කටවහරින්” ගෙන මනාකොට සකස් කෙරුණු දෙබස් කාව්‍යාත්මක ය. යමුනා නදියේ යාත්‍රා කෙරුණු ඔරුවක් අරභයා කියැවෙන “ආදර යාත්‍රාව ගමනාන්තයට ලඟාවෙන අතරේ…” යනාදි යෙදුම් අපූර්ව චමත්කාරජනක හැඟීමක් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ මැවීමට සමත් ය.

“අයෙගා ආනේවාලා” ගීතයෙන් ද කෘතියට ලැබෙන්නේ මහත් ආලෝකයකි. “ගිනි දලුවක් නැතිව පළඟැටියකු පිළිස්සී මිය යන්නාක්” සේම, “තොටියකු රහිත ඔරුවක් ඉවුර සොයා යාත්‍රා කරන්නාක්” සේම, “ගායනා කරන්නියක නැතිව ගැයෙන” මෙම ගීතයෙන් ද ජනිත වන්නේ “අද්භූතභාවය”යි. “අදෘශ්‍යමාන ගායිකාව” සොයා මන්දිරයේ කාමරයෙන් කාමරයට, සඳලුතලයෙන් සඳලුතලයට යන “ශංකර්” නම් නිවෙස් හිමිකරුගේ දෘෂ්ටිකෝණයෙන් රූ ගත වී ඇති දර්ශන පෙළ, හොල්මන් මන්දිරයක තනි වූ ඔහුට දැනෙන හැඟීම ම ප්‍රේක්ෂක මනස් තුළ ද ජනිත කරයි. “සුලඟට සෙලවෙන සිවිලිම් ලාම්පුව”, “තනිව පැද්දෙන ඔන්චිල්ලාව”, “ඉබේ ක්‍රියාත්මක වන වතුර මල”, “කළු බළලකුගේ දිවයාම” ආදිය උක්ත හැඟීම් තීව්‍ර වන පරිදි නිර්මාණාත්මකව යොදාගෙන ඇත. ගීතය අවසාන වන්නේ ප්‍රේක්ෂකයා “අද්භූතභාවයේ” තීව්‍ර ස්ථානයක් වෙත ළඟා කරමිනි. කෙසේ වුවත් “මධුබාලා”ගේ මුහුණ ප්‍රේක්ෂකයන් හමුවේ දර්ශනය කරවීමට ඇය හා “ශංකර්” මුහුණට මුහුණ මුණ ගැසෙන අවස්ථාව වන තුරු කල් ගත්තේ නම්, මෙම දර්ශන පෙළ වඩාත් සාර්ථක වන්නට ඉඩ තිබිණැයි සිතේ.

හින්දි සිනමාවේ “යුගයක්” නිරූපනය කළ ප්‍රතිභාපූර්ණ ශිල්පිනියන් දෙදෙනකු සිනමාව තුළ ස්ථාවර කිරීම “මැහැල්” චිත්‍රපටයෙන් සිදු වූ තවත් වැදගත් කර්තව්‍යයක් ලෙසින් හඳුනාගත හැකි ය. “හින්දි සිනමාවේ වීනස් දෙව්දුව” ලෙසින් විරුදාවලී ලත් “මධුබාලා”නම් නිළිය ඉන් එක් අයෙකි. මීට පෙර, 1947 වර්ෂයේ තිරගත වූ “නීල් කමල්” චිත්‍රපටයේ“රාජ් කපූර්” සමග කරන ලද රංගනයෙන් එක්තරා මට්ටමක ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ඇය, “මැහැල්”හි කරන ලද රංගනයෙන් අසීමිත ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමිකර ගැනීමට සමත් වන්නී ය. පසුව, 1950 දශකයේ “වඩාත්ම ජනප්‍රිය නිළියන් ත්‍රිත්වයට”ද ඇතුළත් වීමට තරම් වාසනාවන්ත වූ ඇය “මැහැල්” චිත්‍රපටයෙන් ආරම්භ කළ ගමන නිමා කරන්නේ ඇයගේ මරණින් පසුව ය.

“භාරත ගීත කෝකිලාව” ලෙස විරුදාවලී ලත් “ලතා මංගේෂ්කාර්” ප්‍රතිභාපූර්ණ ගායිකාවක ලෙස ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වන්නේ ද “මැහැල්” චිත්‍රපටයේ “අයෙගා ආනේවාලා” ගීතය ගායනා කිරීමෙන් පසුවය. චිත්‍රපට තිරගත වීමට ප්‍රථම ඒවායේ ඇතුළත් වන ගීත “ඉන්දියානු ගුවන්විදුලිය” ඔස්සේ විකාශය වීම එකල තිබූ ප්‍රවණතාවකි. පළමුවරට මෙම ගීතය විකාශය වන අතරතුර කාලයේ එහි “ගායිකාව” පිළිබදව විමසමින් පැමිණි දුරකථන ඇමතුම් සංඛ්‍යාව ගුවන්විදුලියට දරාගත නොහැකි වූ බැව් පැවසේ. මෙහි එන “අයෙගා” ගීතය ගායනා කිරීමේදී එවක අතිශය ජනප්‍රියව සිටි “සම්ෂාඩ් බේගම්” නම් ගායිකාවගේ ගායන ශෛලිය අනුකරණය කිරීමට “ලතා”ට බල කෙරුණු බැව් කියැවේ. කෙසේ වුවත්, පසු කලෙක ඇය තමන්ටම ආවේණික වූ ගායන ශෛලියක් සකස් කර ගැනීමට සමත් වන්නී, වර්තමානයේ පවා අඩු නොවූ ජනප්‍රියත්වයක් රඳවා ගැනීමට සමත්ව සිටින්නී ය. “රාජ්කුමාරී ඩුබේ” නම් ගායිකාව මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් ගීත ගායනා කරන අතර, එම ගීත ද අතිශයින් ම ජනප්‍රිය ය.

අනෙකුත් සෑම කලාවක් සේම “සිනමාව”ද රසිකයන් මත රඳා පවතින්නකි. රසිකයෝ බුද්ධියෙන්, රසඥතාවයෙන් විවිධාකාර වන්නා සේම, ඔවුහු “විවිධත්වය” ද ප්‍රිය කරති. එබැවින්, සිනමාවේ “ප්‍රගමනය” උදෙසා නිර්මාණකරුවා සැම විටම “නව මානයන්”සොයා යා යුතුව ඇත. එසේ නොවූ තැන ඔහුගේ නිර්මාණ ජන සමාජය තුළින් ප්‍රතික්ෂේප වීමට ලක්වේ. කවර බුද්ධි මට්ටමක, කවර රසඥතාවක පිහිටා සිටියද අපි සියල්ලෝම“සරල රස වින්දනය” ප්‍රිය කරන්නෝ වෙමු. සිනමාව වෙත බහුතර ප්‍රේක්ෂකයා බැඳ තබා ගැනීමට නම් “සරල වින්දනය” සපයන නිර්මාණ අත්‍යවශ්‍ය වන අතර එසේ නොවූ තැන“රසිකයා” ක්‍රමයෙන් සිනමාවෙන් ඈත්වන්නට පටන් ගනියි. එබැවින්, සිනමාවේ උන්නතිය සඳහා “වාණිජ” යැයි නම් කෙරෙන සිනමා කෘතීන්ගෙන් සිදුවන සේවය කිසිසේත් ම අවතක්සේරු නොකළ යුතු ය. “වාණිජමය සාර්ථකත්වයක් අත් කර නොගන්නා කවර හෝ සිනමාවක් තුළ විශිෂ්ට නිර්මාණ බිහිවිය නොහැකිය” යනුවෙන් මගේ සිත තුළ ඇති වූ අදහස, විශිෂ්ට “වාණිජ” චිත්‍රපටයක් වූ “මැහැල්” කෘතිය, සිංහල උපසිරැසි යෙදීම සඳහා තෝරා ගැනීමට තුඩු දුන් දෙවන හේතුවයි.

මිනිසාගේ “මූලික අවශ්‍යතාවන්”ට අතිරේකව “යථාර්ථයෙන් මිදීම” යනුවෙන් තවත් වැදගත් “අවශ්‍යතාවක්” ඇති බවට දාර්ශනික ප්‍රකාශයක් වේ. එම ප්‍රකාශය සත්‍යයක් ලෙස ගන්නේ නම්, සමාජයට හෝ පුද්ගලයාට හානියක් නොවන පරිදි, උක්ත අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා සිනමාව යොදා ගැනීම වරදක් නොවන බැව් මා සිතන්නේ කලාව මිනිසාගේ ප්‍රගමනය සඳහා භාවිත විය යුත්තක් බවට දැඩිව අදහන බැවිනි. කිසිදා“යථාර්ථයක්” නොවන “මායා ලෝක” සිනමාව තුළින් දකින්නට මිනිස්සු ප්‍රිය කරන්නේ එයින් ඔවුන්ට “මානසික සුවයක්” අත්වන බැවිනි. එසේම, ඒ තුළින් ඔවුන්ගේ මනසට කිසියම් “ශාන්තියක්” ද අත්වන බැව් පැවසීම අසත්‍යයක් නොවේ. සැබැවින්ම, විශිෂ්ට විනෝදාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් සැලකිලිමත් විය යුතු මනෝ විද්‍යානුකූල කාරණා පිළිබඳව අවධානය යොමු කරන විට, වඩා අපහසු යැයි සිතමි.

උපසිරැසි යෙදීම සඳහා පිටපත් තෝරා ගැනීමේදී මම “මැහැල්” චිත්‍රපටයේ, “Mahal”යන තනි නමින් පමණක් යූ ටියුබ්හි ඇති, “පැය 2 මිනිත්තු 27 තත්පර 50”ක් දිගැති පිටපතත්, “පැය 2 මිනිත්තු 21 තත්පර 37”ක් දිගැති “Mahal 1949 ~ [email protected]” සහ “පැය 2 මිනිත්තු 23 තත්පර 01”ක් දිගැතිMahal 1949 1CD DVDRip x264 AAC Esubs  නම් “යූ ටියුබ් නොවන”පිටපත් දෙකත් භාවිත කළෙමි. මේ තුනම චිත්‍රපටයේ “සම්පූර්ණ” පිටපත් වුවත්, “පළමු”සහ “අවසානයට දැක්වූ” පිටපත් වඩාත් හොඳ බැවින් නැරඹීමට වඩාත් සුදුසු බව නිර්දේශ කරමි.

මා අතිශයින් ම ප්‍රිය කරන “මැහැල්” හින්දි චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසි සකස් කොට ඔබ වෙත ගෙන එන්නට ලැබීම මගේ භාග්‍යයක් ලෙස සලකමි. මගේ නිර්මාණ සඳහා ධෛර්යය ලබාදෙන සියලු සහෘද හිතවතුන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. මෙම විශිෂ්ට නිර්මාණය අපවෙත තිලිණ කළ “කමල් අම්රෝහි” සහ “බිමල් රෝයි” යන සිනමාවේදීන් දෙදෙනාටත්,  “මගේ දොළොස්වන නිර්මාණය” වශයෙන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටත් ස්තූතිය පුද කරන අතරම, “ප්‍රේමකුමාර ගම්ලත්” නම් නොදුටු හිතවතා විසින් මගේ බංදිනි උපසිරැසිය අරභයා පළ කරන්නට යෙදුණු අදහසක් වෙත ඔබගේ අවධානය යොමු කරමින් මෙම ලිපිය අවසන් කරන්නට සිතුවෙමි.

“පුරාණමිත්‍යෙව න සාධු සර්වං – න චාපි කාව්‍යං නවමිත්‍යවද්‍යම්, සන්තඃ පරීක්ෂ්‍යන්‍යතරද් භජන්තෙ – මූඪඃ පරප්‍රත්‍යයනෙය බුද්ධිඃ” මෙය ඔහුගේ මාලවිකා නාට්‍යයේ එන ප්‍රකාශනයකි. මෙහි අරුත මෙසේය. “පරණ වූ තරමින් හැම කාව්‍යයක් ම හොඳ නැත. අලුත් නිසා වරද සහිත යැයි ද කිව නොහැකිය. බුද්ධිමතා මේ දෙකම පරීක්ෂා කොට බලා සුදුස්සක් ගනියි. අනුන්ගේ තීරණවලින් සතුටු වී නිශ්චයකට බැසගන්නා තැනැත්තා මෝඩයෙකි” බුද්ධිමතා නව-පැරණි භේදය නොසැලකිය යුතුය. රස නීරස භේදය ම සැලැකිය යුතුය.

Mahal (1949) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mahal 1949 ~ [email protected]  [848.38 MiB (889594742 Bytes) ]

Mahal 1949 1CD DVDRip x264 AAC Esubs   [707.24 MiB (741600004 Bytes)]

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

300 downloadsDownload Mahal-1949.Baiscopelk.com_.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/VajiraRathnayaka2-e1479670159444.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වජිර රත්නායක

Subtitles

300 downloadsDownload Subtitles101 KB

13 comments

  1. udaya saman

    ela eedak sahoo.sub ekat thanx.parana dewal api wenuwen dena eka gena ape suba petum

  2. nidi

    Vajira, samanyayen nam mama film ekak beluwata passei comment ekak danne. eth oyage digu lipiya moana tharam paripurnada kiyanawa namfilm eka bagannath kalin me comment eka danna hithuna. palamuwa godak thanks sapaya ethi thorathura gena. dewanuwa lipiye rasawath bawa gena. me karana dekama gena hithaddi subs honda wennama epaye! mama oya sub kala FIZA beluwa. thanks. film eka balalama newath comment ekak dannam. site eka thula digu gamanakata asiri!

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! පැරණි වුනත් මේවා අමරණීය චිත්‍රපට. මේක හොඳ ෆිල්ම් එකක්. ඔන්න බාගන්නවා. ගෙදර අයත් එක්ක මේක හෙට අනිවාර්යෙන් බලනවා. ඔයාගේ සබ් එකක් බයිස්කෝප් එකෙන් ආපහු ලැබෙනකන් අපි නොඉවසිලිමත්ව බලන් හිටියේ, සහෝ. ඔයාට පුළුවන්නම් Tower House (1962) චිත්‍රපටියටත් සබ් දෙන්න.
    ජය වේවා!
    බුදු සරණයි!

    1. වජිර රත්නායක

      ඔබගේ ඉල්ලීම ඉටුකරන්නම්

  4. withanage priyantha

    වජිර රත්නායක සොයුර,
    මමත්, ඔයා උපසිරසි සපයන සිනමාපට නරඹන අංක එකේ රසිකයෙක්. මේ වෙබ් එකට ආ ගමන්ම බලන්නේ ඔයාගේ උපසිරසියක් දීලා තියෙනවා ද කියලා. කලාත්මක සිනමාපට තෝරාගෙන නරඹන අයට ඔයාගේ ඉදිරිපත් කිරීම් ඉතාමත් වටිනවා. මමත් මෙය කාලයකට පෙර නරඹා ඇති එකක්. දැන් කථාව වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකිවේවි. මෙවැනි හොඳ නිර්මාණ මමත් පවුලේ සැමදෙනාම සමඟ නරඹන්නේ. ඉතිං ඔබගේ වෙහෙසට මාගේ අවංක ස්තුතිය පුදකරනවා!
    "ඔබගේ නිර්මාණ එකතුව මේ වෙබ් එකට පැළඳු රන්දමක් හා සමානයි"

    (තාරක සොයුරා යෝජනාකර ඇති "Tower House" සිනමාපටය මමත් කැමති එකක්. එයට හැකිනම් උපසිරසි ලබාදෙන්න)

  5. අසංක ප්‍රදීප් රණතුංග

    ලොව වැදගත් සියලු සිනමා සිත්තම් වලට අදාල සිංහල උපසිරසි තිබෙනා ස්ථානයක් බවට බයිස්කෝප් අඩවිය පත් කිරීමට උත්සාහ ගන්නා තවත් එක පුද්ගලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැනට ලබා දී ඇති සියලු චිත්‍රපට අති විශිෂ්ට ඒවා. ඉතින් ඉදිරියටත් මේ කාර්යය කරගෙන යමු..

    උපසිරසියට ස්තුතියි.. බුදු සරණයි

  6. kavinda

    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි.

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ප්‍රේමකුමාර

    මෙම සලරුව සහෘදයන්ගේ අවධානයට යොමුකරමින් උපසිරැසි හෙළ බසට නඟා දීමෙන් කළ මෙහෙයට බෙහෙවින් තුති පුදමු. ලියූ ලිපියද සාරවත් ය. සලරුව හඳුන්වා දෙන අතරම රත්නායකයන්ගේ විචාරාත්මක නිරීක්ෂණයකුත් මෙහි ගැබ් වෙයි. සාරගවේෂී රසිකයාගේ කෘතඥතාව රත්නායකයන්ට හිමිවිය යුතුයි.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rakitha Ranathunga

    මගෙ අම්මෝ බං ලිපියෙ දිග්....අව්ලක් නෑ....
    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  11. praneeth madu

    ඉදිරියට යමු ඔබට ජය

  12. Danushka

    thanks aiye