නිදහස් අන්තර්ජාලයේ සැරිසරමින් සිටි කොල්ලෙකුට පුංචි අදහසක් එනවා.. ඒ අදහස ඔබට මේ ඉහල පහල ගමන් කරනා යතාර්ථය තරම් මහා විශාල එකෙක් නොවේ. පුංචිම පුංචි හීනයක්. නමුත් ඒ හීනය මහා ගංගාවකට උල්පතක් වෙන්න තරම් ප්‍රභල එකක් වන්නට ඇතැයි ඔහුට කිසිවිටෙකවත් නොසිතෙන්නට ඇති. 2009 මාර්තු 10 ඉසිර ගුණතිලක නම් අපේ හිතාදර ප…

නිදහස් අන්තර්ජාලයේ සැරිසරමින් සිටි කොල්ලෙකුට පුංචි අදහසක් එනවා.. ඒ අදහස ඔබට මේ ඉහල පහල ගමන් කරනා යතාර්ථය තරම් මහා විශාල එකෙක් නොවේ. පුංචිම පුංචි හීනයක්. නමුත් ඒ හීනය මහා ගංගාවකට උල්පතක් වෙන්න තරම් ප්‍රභල එකක් වන්නට ඇතැයි ඔහුට කිසිවිටෙකවත් නොසිතෙන්නට ඇති. 2009 මාර්තු 10 ඉසිර ගුණතිලක නම් අපේ හිතාදර පොතේගුරා තමන් නැරඹු සිනමා නිර්මාණයක් ගැන බ්ලොග් අඩවියක අපේ භාෂාවෙන් ලිපියක් පළකිරීමෙන් ඇරඹි ඒ මහා ගංගාවකට උල්පත් පෑදීම අද වනවිට බයිස්කෝප් සිංහලෙන් නම් ලංකාවේ ජනප්‍රියතම විනෝදාත්මක වෙබ් අඩවියක් ලෙසින් සුවහසක් සිනමාලෝලීන්ගේ මනදොල පිනවන්නේ මහත් ආඩම්බරයෙන්. ” මේක අලුත් වැඩක් ළමයිනේ ” කියලා ඔහු එදා පටන්ගත්තු වැඩේ සයිබර් අවකාශය හොල්ලන්ට සමත් වූයේ වැඩි දවසක් ගතවන්නටත් මත්තෙන්. 2009 ජුනි 26 රොයිලි ප්‍රනාන්දු විසින් අන්තර්ජාලයට පළමු නිදහස් උපසිරැසිය ලෙසින් Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය ! නිකුත් වන්නේ බයිස්කෝප් සිංහලෙන් නාමය සිංහල උපසිරැසිකරණයේ මහගෙදර බවට පත් කරමිනි. බාධක මැඩලමින් පරපුරෙන් පරපුරට අලුත් අලුත් දේවල් එකතු කරමින් බ්ලොග් අඩවිය වෙබ් අඩවියක් බවට පත් වෙමින් දිනෙන් දින බයිස්කෝප් කණ්ඩායමට සාමාජිකයින් එක් වෙමින් ආරම්භක පුරුකට තව කණ්ඩායම් එකතු වෙමින්, කණ්ඩායම පවුලක් බවට පත් වෙමින්, පවුල පරම්පරාවන් පෙලක් බවට පත් වෙමින් වසර 11 කට ආසන්න කාලයක් විදේශීය සිනමා සහ ටෙලි කතා නිර්මාණයන් දන්නා සිංහලෙන් ඔබ වෙත ගෙන ඒමට ඇපකැපවුණු අපගේ කණ්ඩායම හැමදාමත් උපසිරැසිකරණයේ යෙදුනේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් තොරව බව ඔබට නොරහසක්. දිනකට දෙන්නෙක් තුන්දෙනෙක් පිවිසෙන බ්ලොග් අඩවියේ සිට මිනිත්තුවකට තුන් හාරසීයක තදබදයක් ඇතිවෙන කාර්යබහුල වෙබ් අඩවියක් බවට පත්වීම දක්වා එදා මෙදා තුර අපහා රැඳී සිටි පරිශීලකයින් මෙන්ම ඔවුන්ගේ සිනමා පිපාසය සංසිඳුවන්නට ඇප කැපවුණු බයිස්කෝප් උපසිරැසිකරුවන් කණ්ඩායම වසර 11කට ආසන්න කාලයක් නිතර දෙවේලේ මුණගැසුණුයේ වෙබ් පිටුව තුලදී පමණි. එදා සිට අද දක්වා බයිස්කෝප් වෙබ් අඩවියට පරිශීලකයින් ලක්ෂ ගණනක් දෙනා, වාරයන් කෝටි ගණනින් ඇවිත් යන්නට ඇති. ඉතින් අපි අතරේ ඇති බැඳීම මෙහෙමයි කියා විස්ථර කර දක්වන්නට වචන නැති වුනත් අපි අතර ඇති ගණුදෙනුව ගැන යමක් පැවසිය යුතුමයි. ඉතින් අවසර….
බයිස්කෝප් බ්ලොග් අඩවිය අරඹනවිට එය මොනතරම් දුරකට යාවිද යන්න ඉසිර ඇතුළු සගයන් හට කිසිදු අදහසක්වත් නොතිබෙන්නට ඇති. හුදෙක් තමන් රසවිඳි සිනමා අද්දැකීමක් තවත් කෙනෙකුන් සමග බෙදාගන්නට අරමුණින් ඇරඹි බයිස්කෝප් අඩවිය සමග දිනෙන් දින සිනමාලෝලීන් එක්වීමත් සමග තව තවත් පුළුල් වන්නට වූවා. උපසිරැසි ලබාදෙන්නට පටන් ගැනීමත් සමග ඒ උණුසුම තවත් ත්රීවූ වනවා. ඉතින් ඒ පැතිරීමත් සමග බ්ලොග් අඩවියෙන් වෙබ් අඩවියකට මාරුවන්නට අපට සිදුවනවා. මේ කතා කරන සමය වනවිටත් උපසිරසියක් නිකුත් වන්නේ බොහෝ කලකට වරක් වුවද රොයිලි ඇතුළු ආරම්භක පරපුරේ උපසිරැසි කණ්ඩායමට කෙමෙන් කෙමෙන් උපසිරැසිකරුවන් එක්වීමත් සමග වෙබ් අඩවියේ උපසිරැසි නිකුත් වීම වේගවත් වනවා. ඉතින් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. කෙසේ වෙතත් ආරම්භයේදී පටන් අපගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ සිනමාවට/කලාවට ආදරේ කරන, සිනමාලෝලීන් හට විදේශීය භාෂාවන්වල චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි නොමිලේ ලබාදීමයි. ඒ වගේම උපසිරැසිකරුවන්ද මේ කර්තව්‍යය සිදු කරනු ලැබුයේ ඒ සඳහා කිසිදු මුදලක් අය කිරීමකින් තොරව උපසිරැසිකරණය තම විනෝදාංශය සහ ස්වේච්ඡා සේවයක් කරගෙනයි. එය අදවනතුරු එසේම පවතින්නක් වන අතර කිසිදු උපසිරැසිකරුවෙක් මේ වනතෙක් බයිස්කෝප් අඩවියට උපසිරැසි සැපයීමෙන් ආත්ම තෘප්තිය හැර වෙනයම් කිසිදු ලාභයක් බලාපොරොත්තු වී නැහැ. ඉතින් දිනෙන් දින බයිස්කෝප් සමග අත්වැල් බැඳගන්නා පරිශීලකයින් වැඩිවනවාත් සමග වෙබ් අඩවියේ පුළුල් බාවය එන්න එන්නම වැඩි වන්නට වූවා. ඔබ වෙබ් අඩවි සම්බන්ධ දැනුමක් ඇති අයෙක් නම් දන්නවා ඇති වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට සර්වර්/ඩොමේන් සඳහා යම් මුදලක් වැය කරන්නට සිදු වනවා. ඉතින් වෙබ් අඩවියේ ආරම්භක පරපුර මුල් කල සිටම තම පෞද්ගලික පිරිවැයෙන් මෙය දරමින් පවත්වාගෙන පැමිණි අතර කාර්යබහුලත්වය වැඩිවනවාත් සමග වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයටද වෙබ් අඩවියේ දිගුකාලයක් උපසිරැසිකරණයේ යෙදෙමින් අඩවිය සමග රැඳුණු අය එක්ව බයිස්කෝප් අඩවිය නොවැටී පවත්වාගෙන යාමට උරදෙන්නට සමත්වනවා. හුදෙක් ආත්මතෘප්තිය උදෙසා කරගෙන ආ මේ කර්තව්‍යය එක් වරෙක ඉතාමත් කටුක අවධියකට මුහුණ දෙන්නට සිදුවන්නේ වෙබ් අඩවියට දිනෙන් දින පරිශීලකයින් එකතු වීමත් සමග සර්වර් වලට දරාගත නොහැකි වීම හේතුවෙන් යම් යම් පද්ධති බිඳවැටීම් සිදුවීමයි. අපගේ කණ්ඩායම ලංකාවේ විවිධ පෙදෙස් වලින් උපසිරැසිකරණයට ආසාවෙන් වෙබ් අඩවිය සමග එක්වූවා මිසක වෙබ් අඩවි පිලිබඳ හෝ සර්වර් සම්බන්ධව කිසිදු දැනුමක් මග පෙන්වීමක් අපට ඒ සමයේ තිබුනේ නැහැ. ඉතින් ට්‍රැෆික් එක වැඩි වෙන්න වැඩිවෙන්න ඇඩ්මින් මඩුල්ලේ අතේ වියදමින් අලුත් සර්වර් එකකට ගෙනයාම මෙන්ම උපසිරැසිකණ්ඩායමේ මෙන්ම පරිශීලකයින්ගෙන් එකතු කරගන්නා ආධාර වලින් වැඩි මිලට වෙනත් සර්වර් වලට වෙබ් අඩවිය ගෙනයාම කලක් තිස්සේ වරින් වර සිදුවූවා. ඒ අවධියේ වෙබ් අඩවිය වරින් වර පද්ධති බිඳ වැටීම් වලට ලක්වූ වාරයන් අපමණව තිබු බව ඔබට මතක ඇති.
කෙසේ වෙතත් ඒ කටුක සමය අවසන් කරමින් 2017 දී පමණ බයිස්කෝප් අපිට වෙනමම සර්වර් එකක් මිලදී ගෙන වෙබ් අඩවිය නොවැටී/නොවැසී පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙනවා. නමුත් ඒ වනවිට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ නාමය පුළුල් පරාසයක් දක්වා පැතිරී ගොස් තිබුණු අතර දිනකට පිවිසෙන පරිශීලකයින් ප්‍රමාණය ඉතා ඉහල අගයක් වූවා. ඒ වනවිට ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවියක් බවට පත්ව තිබුණු අප දිනකට පිවිසෙන පරිශීලකයින් ප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා ලොකු සර්වර් එකක් භාවිතා කිරීමට සිදුවීම හේතුවෙන් එතෙක් පවත්වාගෙන ආ වෙබ් අඩවියේ වියදම ඇඩ්මින්වරුන් ඇතුළු බයිස්කෝප් කණ්ඩායම විසින් දැරීම කල නොහැකි තත්වයක් උදාවන්නට වූවා. ඉතින් ඒ සඳහා අපට තිබුණු එකම විකල්පය වූයේ වෙබ් අඩවියේ ඉඩක් වෙළඳ දැන්වීම් සඳහා වෙන් කිරීමයි.
චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ලබාදීමත් එක්තරා සමාජ සත්කාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද චිත්‍රපටයක් කියන්නේ ශ්රව්යමය සහ දෘශ්‍යමය වශයෙන් සමාජයකට යම්කිසි ප්රකාශනයක් දෙන මාධ්‍යයක්. ඉතින් ඒක නොතේරෙන පිරිසකට ඒක තවත් ලංකර දීමයි උපසිරැසියකින් සිදුවන්නේ. ආරම්භක පරපුරේ සිට අද බයිස්කෝප් අඩවියට එක්වන උපසිරැසිකරුවා දක්වා අප හා අත්වැල් බැඳගන්නේ නොමිලේ උපසිරැසිකරණයේ යෙදී පරිශීලකයින් හට නොමිලේ උපසිරැසි නිකුත් කිරීමේ අරමුණෙනි. හුදෙක් ආත්ම තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උපසිරැසිකරනයේ යෙදෙන අප කණ්ඩායම මෙය පඩියක් ලබන රැකියාවක් බවට පත් කරගැනීමට කිසිවිටෙක බලාපොරොත්තු වූයේ නැත. එමෙන්ම මුදල් ගෙවා උපසිරැසිකරුවන් බඳවාගැනීමේ ක්‍රියාදාමයක් අපතුල නැති බව පැවසිය යුත්තේද මහත් ආඩම්බරයෙනි. නමුත් කෝටි දෙකහමාරක් විතර වාසය කරන මේ ලංකාද්වීපයේ විදේශීය චිත්‍රපටයක්/ටෙලිකතාමාලාවක් නරඹන්නේ එක පිරිසක් විතරයි. අපේ උපසිරැසිකරණයෙන් යම් ප්‍රයෝජනයක් වේනම් ඒ මං ඉහත සඳහන් කල පිරිස අතරේ පමණයි. නමුත් කණ්ඩායමක් විදිහට අපට මේ සත්කාරය තවත් ඉදිරියට ගෙනයන්නට වුවමනා වනවා. චිත්‍රපට/ටෙලිකතා/බයිස්කෝප් සිංහලෙන් පරිශීලකයින් කියන රාමුවට පමණක් කොටු නොවී එයින් පිටත සමාජයටද අපේ සත්කාරය ගෙනයන්නට අපට වුවමනා වනවා. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායම ” බයිස්කෝප් සිංහලෙන් සමාජ සත්කාර” නමිත් වැඩසටහක් 2016 දී අරඹනු ලබනවා.
පළමු සමාජ සත්කාර වැඩ සටහන
අපගේ පළමු ක්‍රියාදාමය විදිහට අපි තෝරාගන්නේ ගම්පහ පීටර් වීරසේකර ළමා නිවාසය හා පෝෂණ මධ්‍යස්ථානය.
පලවෙනි වැඩේට අපි අත ගහනකොට වෙබ් අඩවියේ දැන්වීම් පළකිරීම ආරම්භ කරලත් නැහැ. වරින් වර පද්ධති බිඳ වැටීම් නිසා සර්වර් මාරු කරන සමයක් තමයි ඒ කාලේ තිබුනේ. බයිස්කෝප් අඩවියේම ඇඩ්මින්වරුන් සහ උපසිරැසිකරුවන් මුදල් එකතු කරගෙන අපි පළමු සමාජ සත්කාර වැඩසටහන විදිහට අපි තෝරාගත්තේ ගම්පහ පීටර් වීරසේකර ළමා නිවාසය හා පෝෂණ මධ්‍යස්ථානයේ රැකවරණය ලබන ළමුන්ට කෑම වේලක් සහ එදිනෙදා අවශ්‍ය වන බඩු භාණ්ඩ කිහිපයක් ලබාදීමයි. ඒ වගේම ඒ ළමා නිවාසයේ ජනෙල් වලට අවශ්‍ය ආරක්ෂාව පිනිසවූ සවි කරන යකඩ ගරිල් සාදා සවිකර දෙන්න අපිට පුළුවන් උනා. මේ ළමා නිවාසයේ රැකවරණය ලබන ළමුන්ගෙන් 80% ක් පමණ වයස අවුරුදු පහට අඩු අය. 2016 ජනවාරි 23 වන දින දවස පුරා දෙමාපිය සරණක් නොමැති දූ දරුවන් පිරිසක් සමගින් දවස ගතකල අප බයිස්කෝප් කණ්ඩායම ඔවුන්ගේ මුවට සිනහවක් එක් කරන්නට ගත් වෑයම හැඟීම්බර හොරා කිහිපයක් වූවා. පහතින් තියෙන්නේ ඒ ඡායාරූප වලින් කීපයක්.

දෙවන සමාජ සත්කාර වැඩ සටහන
අපගේ දෙවන සමාජ සත්කාර වැඩසටහන විදිහට තෝරාගත්තේ 2017 මැයි මාසයේදී ගංවතුරෙන් අවතැන් වූ පවුල් 125 කට මාතර, දෙවිනුවර, රස්සන්දෙණිය ප්‍රදේශයේදී වියළි සලාක සහනාධාර බෙදාදීම.
මේක ඇත්තටම හදිසියේම සිද්ධ වෙච්ච දෙයක්. 2017 වසරේදී ලංකාවේ දකුණු පලාතට ආපු දැඩි වර්ෂාපතනය නිසා මාතර දෙවිනුවර ප්‍රදේශයේ ලොකු ගංවතුර තත්වයක් ඇතිවෙනවා. ඉතින් පළමු සමාජ සත්කාරයෙන් වසරකටත් වැඩි කලක් ඒ වනවිට ගෙවී ගොස් තිබුණු අතර මේ වනවිට වෙබ් අඩවියද වෙළඳ දැන්වීම් හරහා යම් ආදායමක් ලබමින් සිටියා. ඉතින් ඒ මොහොතේ බයිස්කෝප් කණ්ඩායම විදිහට අපි මේ වෙලාවේ ඒ ව්‍යසනයෙන් අවතැන් වුනු පවුල් වලට උපකාරයක් වෙන්න ඕන කියල තීරණය කළා. අපේ වෙබ් අඩවියේ ආසිරි ප්‍රියන්ත සහෝදරයාගේ සම්බන්ධීකරණය යටතේ ඒ ප්‍රදේශයේ අවතැන් පවුල් 125ක් පමණ පිරිසකට අපි වියලි සලාක සහනාධාර ලබාදෙන්න යොදා ගැනුනා. රජයෙන්ද සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබුනත් සහනාධාර ලැබී නොමැති දුර පෙදෙස් වල ගම්වැසියන් සහ පවුල් කිහිපයක් ගැන අපිට දැනගන්නට ලැබුනා. ඔවුන් රැඳී සිටියේ මාතර කිතුල්වෙල ජයමහ විහාරයේ. ඉතින් ඒ වෙලාවේ හදිසියේම ක්‍රියාත්මක වුනු අපි හැකි අයුරින් පෞද්ගලිකව මුදල් එක්රැස් කර වෙබ් අඩවියේ ආදායමෙන්ද මුදලක් යොදවා සහනාධාර ලැබී නොමැතිව තිබූ පවුල් 125කට පමණ වියලි සලාක සහනාධාර බෙදාදීමට කටයුතු කෙරුනා.
ඊට අදාළ ඡායාරූප කීපයක් තමයි පහතින් දැක්වෙන්නේ.


තෙවන සමාජ සත්කාර වැඩ සටහන
අපගේ තුන්වන සමාජ සත්කාර වැඩසටහන විදිහට අපි තෝරාගත්තේ ශ්‍රර් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවි කළමණාකරන දෙපාර්තමේන්තුවේ 2010/2011 වර්ෂයේ ආදි විද්‍යාර්ථයින් විසින් පැවැත්වූ “තිමිරට අරුණක්” නම් වු සමාජ සත්කාර ව්‍යාපෘතිය හා එක්ව මාතර දෙනියාය ඕලකුඹුර කණිෂ්ට විද්‍යාලයේදී පවත්වනු ලැබූ සමාජ සත්කාර වැඩසටහට සහයෝගය දැක්වීමට.
2017 වර්ෂයේ අවසාන භාගයේදී ශ්‍රර් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ , අලෙවි කළමණාකරන දෙපාර්තමේන්තුවේ 2010/2011 වර්ෂයේ ආදි විද්‍යාර්ථයින් විසින් පවත්වන ලබන “තිමිරට අරුණක්” නම් වු සමාජ සත්කාර ව්‍යාපෘතියට අපට සම්බන්ධ වන්නට හැකියාව ලැබුනා. ඒ අප කණ්ඩායමේ දසන් බුද්ධික සහෝදරයාගේ සම්බන්ධීකරණයෙන්. ඔවුන්ගේ “තිමිරට අරුණක්” ව්‍යාපෘතියේ දෙවන පියවර එය, මාතර දෙනියාය ඕලකුඹුර කණිෂ්ට විද්‍යාලයේදී පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක් සිදු කල අතර බයිස්කෝප් කණ්ඩායම වශයෙන් අප ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබුවා.
අපට ආධාර වශයෙන් පමණයි මේ අවස්ථා වෙනුවෙන් දායක වෙන්න පුළුවන් උනේ නමුත් ඒ දේවල් ජයවර්ධනපුර ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඕලකුඹුර කණිෂ්ට විද්‍යාලයේ සිසු සිසුවියන්ට ලබා දෙනු ලැබුවා. ඊට අදාළ ඡායාරූප කීපයක් තමයි පහතින් දැක්වෙන්නේ.


සිව්වැනි සමාජ සත්කාර වැඩ සටහන
හතරවන සමාජසත්කාර වැඩසටහන විදිහට 2018 පෙබරවාරි මාසයේදී මෙගොඩවැව, බැදිවැව විද්‍යාලය හා කැකිරාව කළුඑබේ විද්‍යාල කේන්ද්‍ර කරගත් වෛද්‍ය සායනය ඇතුළු සමාජ සත්කාර ව්‍යාපෘතිය ආදී ලෙසින් සමාජ සත්කාර වැඩසටහන අප විසින් සිදු කරනු ලැබුවා.
2018 වනවිට අප අඩවිය සාර්ථක ගමනක් කරා පියමං කරන්නට එළඹ තිබුනා. වෙබ් අඩවිය වඩාත් පුළුල් වෙමින් ලංකාවේ වෙබ් අඩවි අතර ස්ථාවර තැනක් ගොඩනගාගනිමින් දිනෙන් දින ඉහලටම ගමන් කරමින් පවතී යුගයක හතරවෙනි සමාජ සත්කාර වැඩසටහනට අතගහන්නට අපි තීරණය කළා. ඒ වනවිට වෙබ් අඩවියේ පවතී ස්ථාවරබව නිසා ස්ථිර වෙළඳ දැන්වීම් කිහිපයක්ම අපට ලැබී තිබුණු අතර වෙළඳ දැන්වීම් පල කිරීමට පටන් ගෙන වසරක් පමණ ගතවී තිබුණු නිසා වෙබ් අඩවියේ නඩත්තුවට වැයවූ මුදල හැරුණු කොට ඉතිරිය අප සතුව සුරක්ෂිතව තැන්පත් කොට තිබුනා. ඉතින් මෙවර පෙරටත් වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් අපගේ සමාජ සත්කාර වැඩසටහන කරන්නයි අපි සූදානම් කරගත්තේ. ඒ අනුව 2018 පෙබරවාරි 03 සහ 04 දෙදින පුරා මෙගොඩවැව, බැදිවැව විද්‍යාලය හා කැකිරාව කළුඑබේ විද්‍යාල කේන්ද්‍ර කරගත් වෛද්‍ය සායනය ඇතුළු පාසල් ළමුන්ට අංගසම්පූර්ණ පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වූවා. පාසල් ළමුන් 46ක් සහ අදාළ ග්‍රාමයේ ගම්වැසියන් 120කට වැඩි දෙනෙකුට අප කණ්ඩායමේ වෛද්‍ය සමීර චතුරංග සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සායනයක් පවත්වා නොමිලේ බෙහෙත් ඖෂධ ලබාදීමේ පුළුල් වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන්නට අපි සමත් වූවා.
දින දෙකක් පුරාවට රිටිගල කැකිරාව රිටිගල ප්‍රදේශයේ පාසල් දෙකක සහ ගම්මාන දෙකක වැසියන් සමඟ අපි අපේ සමාජ සත්කාරය සිදු කලේ මෙලෙසින්.

පස්වන සමාජ සත්කාර වැඩ සටහන
පස්වන වැඩසටහ විදිහට පසුගිය 2019 දෙසැම්බර් 15 සහ 16 දෙදින පොලොන්නරුව මල්විල ප්‍රාථමික විද්‍යාලය, සඳුන්පිටිය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දෙකඩුව ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කරගත් අංගසම්පුර්ණ පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහන සහ දෙදින පුරා ගම්වාසීන් වෙනුවෙන් සූදානම් කල වෛද්‍ය සායනයප වත්වනු ලැබූවා.
2018/19 කාල වකවානුව බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට සුවිශේෂී කාල සමයක්. බයිස්කෝප් අඩවිය ආරම්භ කර දශකයක් පමණ ගතවී ඇති මොහොතක අප පැමිණි ගමන දෙස බැලු විට හදවතින්ම ආඩම්බර විය හැකි තැනක අප මේ මොහොතේ රැඳී සිටිනවා. මේ වනවිට ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මක වෙබ් අඩවි අතලොස්ස අතරට අප එක්ව සිටිනුයේ ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසිකරුවන්ගේ අපමණ කැපවීම සහ පරිශීලක ඔබ අප කෙරෙහි තබා ඇති අපමණ විස්වාසය නිසාවෙනි. පෙරටත් වඩා දැවැන්ත අයුරින් පසුගිය 2019 දෙසැම්බර් 15 සහ 16 දෙදින පොලොන්නරුව මල්විල ප්‍රාථමික විද්‍යාලය, සඳුන්පිටිය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දෙකඩුව ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කරගත් අංගසම්පුර්ණ පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහන සහ දෙදින පුරා ගම්වාසීන් වෙනුවෙන් සූදානම් කල වෛද්‍ය සායනයද ලෙසින් බයිස්කෝප් සිංහලෙන් සමාජ සත්කාර වැඩසටහනේ පස්වන ව්‍යාපෘතිය පවත්වන්නට යෙදුනා. ඒ වෙබ් අඩවියට වෙළඳ දැන්වීම් හරහා ලැබෙන ආදායම ප්‍රධාන කරගනිමින්. ඉතාමත් දුෂ්කර පසුබිමක ජීවත් වන ඒ ගම් වැසියන් සහ ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ අධ්‍යාපනය ලබන ඒ දරු දැරියන්ගේ මුහුණට මොහොතකට සිනහවක් එක් කිරීමට හැකිවීම සහ දින දෙකක් පුරා ඔවුන් සමග කල් ගත කිරීමට හැකිවීම අප මතකයන් වල ඉහලම තැන තැන්පත් වනු ඇති. ළමුන් 130 දෙනෙක්ට අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටල බෙදාදීම, බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ වෛද්‍ය සමීර චතුරංග ප්‍රධාන කොටගෙන දින දෙකේදී ස්ථාන දෙකකදී පැවැත්වූ වෛද්‍ය සායනය මගින් ගම්වාසින් 220 කට අධික ප්‍රමාණයකට නොමිලේ ප්‍රතිකාර සහ බෙහෙත් ඖෂධ නොමිලේ බෙදාදීම අප විසින් සිදු කරනු ලැබුවා. ළමුන් 130 කගේ දෙමව්පියන්ගේ සිත් තුලට සැහැල්ලුවක් එක් කරන්නට සහ රෝගීන් 220 අධික පිරිසකට සුවසෙත සලසන්නට ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසීමද රුකුලක් වූ බව මතක් කර දෙන්නේ මහත් ගෞරවයෙන්. පහතින් දැක්වෙන්නේ ඒ දින දෙක පුරාවට සමාජ සත්කාරය සිදුකල ආකාරය දැක්වෙන වීඩියෝවක්. ඉතින් ඔයාලට ඩේටා තියෙනවා නම් ඔන්න අපි කල දේවල් ගැන ටිකක් බලාගන්න පුළුවන් පහතින්.
මේ තියෙන්නේ ඊට අදාළ ඡායාරූප කීපයක්.

සමාජයේ ඇතැමුන් අන්තර්ජාලය පරිහරණය කරනවා යැයි කියුවිට වපර ඇසකින් බැලීමට පුරුදුව තිබෙන සමයක සමාජජාලා අඩවි පරිහරණය කරනවා යැයි ඔවුනට කීම පවා යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසිකරන් යන අර්තොපදේශය සඳහන් කිරීම ගැලපෙනවා. කිමද එතරම්ම අන්තර්ජාලය සහ එහි තිබෙන සමාජජාලා භාවිතා කරන්නන් හා ඒවායෙන් ලැබී තිබෙන සහ ලැබෙමින් පවතින අයහපත නිසාවෙනි. එවැනි කලකදි අන්තර්ජාලය තුලින් ප්‍රයෝජනවත් දේම සිදුකරගන්නා අල්පය සහ සමාජජාලා මාධ්‍යන් නිවැරදි ලෙසින් භාවිතා කරන අල්පයද අතරින් තමන්ගේ යහපත් සිතුවිලි සහ තමන්ගේ යහපත් ගුණාංග වලටම ගැලපෙන දිවයිනෙ විවිධ ප්‍රදේශයන්හි වාසය කරන සහෝදරයින් පිරිසක් හදුනාගෙන ඔවුන් සමඟ එකතුවි නිරන්තරයෙන්ම පරාර්ථකාමී වෙමින් තවකෙකුගෙ සතුට තමන්ගෙ සතුට පමණක්ම යැයි පිළිගන්නා පිරිසක් වශයෙන් තමන්ගේ ඒ සුවිශල් පවුලට තව තවත් අලුත් සාමාජිකයන් හටද දිනෙන් දින එක්වීමට ආදර්ශයක් වෙමින් ඉදිරියටම යන මේ ගමනේදි ඒ මහා වෘක්ෂයේ අතුපතර අතරින් සමාජ සත්කාර නමින් තවත් අත්තක් විහිදුවන්න හැකිවුනා.
සමාජ ජාලා මාධ්‍ය හරහා එකතුවී පසුව යම්කිසි කාලයක් ගතවූවාට පසුව එකිනෙකා හැබැහින් දැක බලාගෙන මේ ගොඩනගා ගෙන තිබෙන මහා පවුල නැතිනම් මහා වෘක්ෂය පිළිබඳව අප සියලුදෙනා තුල ඇත්තේ කිව නොහැකි තරම් අසීමිත අපරිමිත සතුටක් සහ කිසිවකුටත් කිසිඳු හානියක් නොවනා සියුම් අභිමානයක් ආඩම්බරයකි. කලකට ඉහතදී රෑ බොවු පසු වනාන්තරයටද හිරැ උදාවෙන් පසු නිවස් තුලටද මාරුවෙන් මාරුවට සංක්‍රමණය වෙමින් ත්රස්ථවාදයෙන් බැටකෑ එකල මෙන්ම වර්තමානයේදි පවා නිසි ලෙස ගොවිතැනක් සිදුකිරීමට නොහැකිව ගමටම ආණ්ඩුවේ රැකියා කරන අය අතේ තිබෙන ඇඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවක් සිටින. බොන්නට හරි හැටි වතුර පොදක් නැති දවසේ පඩිය රුපියල් පන්සීයට හයසීයට තක්සේරු කරනා අයවලුන් කිහිපදෙනෙකු වෙත වැඩකරන්නට යන, තම ජිවිතය ගැටගසාගන්න තම අඹුදරුවන් ජීවත් කරන්නට කාලය වෙනස් වී ලෝකය දියුණුවී ඇතත් අදටත් ඒවිදියටම ජිවන සටනේ දුක්ඛිත ලෙසින් පොරබදනා අහිංසක අපේම මිනිසුන් පිරිසකගෙ මෙන්ම ඔවුන්ගෙ දරුදැරියන් පිරිසකගෙ දෑස්වලින් ගලනා දුක් කඳුලු පිසදා මොහොතකට හෝ සතුටු කඳුලු උපදවා ප්‍රීතිමත් සිනාහවක් ඔවුන්ගෙ මුහුණට ගෙන ඒමට අපට හැකිවුනා. යහපත් අදහස් යහපත් සිතුම්පැතුම් දරනා අපවැනි සහෝදර පිරිසකට නැතිනම් පවුලකට එය සුවිශල් ජයග්‍රහණයක් උනා. ඔවුන් සමඟින් අප ඒ ගත කර දිනයන් දෙක අපගේ ජිවිතවලට එකතු වන්නාවු ස්වර්ණමය මතකයන්ගෙ ඉහලම ස්ථානයෙ තැම්පත්වන බව නොඅනුමානයි. උපසිරසිකරණයට පැමිණි දා පටන් අපෙන් ගොඩක් අය අහන Universal Question එකක් වුනු ” ඕව කරලා උඹලට මොනවද හම්බවෙන්නේ? ” කියන ප්‍රශ්නයට හැඟීම්බර පිළිතුරක් ඒ මිනිසුන්ගේ සිනහවෙන් ලැබෙනු ඇති.
කලුසුදු රූපවාහිණියේ සිට Netflix, Amazon Prime දක්වා ඩිජිටල්කරණය වුනු අද සමාජය තුල උපසිරැසිය කියන්නේ කෙනෙක්ට කිලෝබයිට් ගානක පොඩි ෆයිල් එකක්. නමුත් ඒ කිලෝබයිට් ගානක පොඩි ෆයිල් එකකින් භාෂා නිපුණත්වය නැති නමුත් සාක්ෂරතාවයක් සහ රසවින්දනයක් ඇති මිනිසුන් හට නොතේරෙන භාෂාවක ශ්රව්යම/දෘශ්‍යමය ප්රකාශනයක් ලඟා කරදීමට උපසිරැසිකරුවෙකුට පුළුවන. ඒ කිලෝබයිට් ගානක පොඩි ෆයිල් එකක් නිසාවෙන් කෙනෙකුගේ රසවින්දනය පහසු කරනව පමණක් නොව වසර පහක් පුරාවට දෙමවුපියන් පිරිසකගේ හිතේ බර සැහැල්ලු කරන්නට සමත්වී තිබෙනවා. දරුවන් පිරිසකගේ මුවඟට සිනහවක් එක් කරන්නට සමත්ව තිබෙනවා. රෝගීන් සුවිසල් ප්‍රමාණයකට සුවසෙත සලසන්නට සමත්ව තිබෙනවා. මේ හැමදේකම හිමිකාරිත්වය අපව හැමදාමත් ඉහලින්ම තැබූ පරිශීලක ඔබ සැමට සහ නිතිපතා ඔබ වෙත ඇප කැපවුණු එක උපසිරසියක් හෝ ලබාදුන් දහසකට ආසන්න බයිස්කෝප් උපසිරැසිකරුවන් කණ්ඩායමට මිස වෙනත් ග්‍රහලෝවකින් පැමිණි පිරිසකට නොව.
සමහර පිරිස් වලට කාලයක් තිස්සේ හෙන ප්‍රශ්නයක් තිබුනා නිකන් උපසිරැසි දෙනවයි කියාගෙන, කිසිදු ලාභයක් අපේක්ෂාවකින් තොරව ආත්ම තෘප්තියක් පමණක් බලාපොරොත්තුවෙන් උපසිරැසි දෙනවයි කියාගෙන, වෙළඳ දැන්වීමුත් දාගෙන මොනවද මේ අය මේ කරන්නේ කියලා. අනන්තවත් දැකල තියෙනවා මේ සල්ලි වලින් උපසිරසි කරන අයට කිසිම දෙයක් දෙන්නේ නැහැ පාලනය කරන අය හම්බ කරගන්නවා කියල. නමුත් ඔබට පෙනෙන්නට ඇති බයිස්කෝප් අපි වෙබ් අඩවිය තුල වෙළඳ දැන්වීම් පල කරන්නට පටන් ගෙන මේ වනවිට වසර දෙකක් පමණ ගත වන විට ඒ ආදායම් වලින් මොනවද කරේ කියලා. ඇත්තටම වෙළඳ දැන්වීම් ගැන හිතන්නත් කලින් තමයි අපි මේ දේවල් අපට පුළුවන් විදිහෙන් ආරම්භ කලේ. අපි විසින් මේ වනවිට දරුවන් 176 දෙනෙක්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය පහසුකම් ලබා දී අවසන්. ලෙඩකට බෙහෙතක් ගන්න ළඟ පාත රෝහලක් නැති ජීවිතේට තමන්ගේ බරක් කිරාගෙන නැති අසරණ මිනිසුන් පිරුණු ගොවිතැන් කුලිවැඩ වලින් ජීවිතය ගැට ගහගන්න අසරණ මිනිසුන් 350 කට අධික ප්රමාණයකගේ රෝග වෙනුවෙන් නොමිලේ වෛද්‍ය ආධාර සමගින් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් අපි විසින් දැනටමත් ලබා දී අවසානයි. ඊට අමතරව කිහිප වතාවක් උපසිරසි කරුවන් වෙනුවෙන් සුහදහමු කීපයක්ම අප විසින් පැවැත්වුවා. අපි එක්ක එදිනෙදා කටයුතු කරන සාමාජිකයෝ දන්නවා බයිස්කෝප් සිංහලෙන් කියන සමාජ බලකොටුව ඇතුලේ වෙන්නේ මොනවද කියල. වසර 11ක් තිස්සේ මේ දේවල් මෙහෙම අපි කරගෙන ආවත් හැමදාම අහන ප්‍රශ්න වලට හැමෝගෙම තියෙන කුතුහලය වෙනුවෙන් මේ ලිපිය මෙලෙසින් පලකරන්න අපි හිතුවේ අපි කවුද කියන දේ මෙතනට යන එන හැමෝටම නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. ඒ වගේම දෙසැම්බර් මාසයේ පවත්වපු සමාජ සත්කාරය මගින් එම දරුවන් 130 දෙනා සහ ගම්වැසියන්ගේ බෙහෙත් වෙනුවෙන් අප විසින් රුපියල් ලක්ෂ 7 කට අධික මුදලක් වෙන් කෙරුවා. ඒ මෙවර පමණක්. මීට පෙර අවස්ථා එක්ක සැලකුවොත් ඒ මුදල මිලියන 1.5කට අධික මුදලක්. ඒ ගැන බයිස්කෝප් සිංහලෙන් උපසිරසිකරුවන් වැඩි දෙනෙක් දැනුවත් වගේම මේ ක්ෂේත්රයේ අනෙකුත් එකම මට්ටමේ සිටින අනෙක් වෙබ් අඩවි හා සසඳන විට ක්ෂේත්රයේ අඩුම දැන්වීම් මුදල් අයකරමින් මේ මුදල් හුදෙක්ම අපි යොදා ගනු ලබන්නේ වෙබ් අඩවියේ නඩත්තු වියදම් සහ අතිරික්තය සමාජ සත්කාර්යයන් ඉටු කිරීමටයි. මෙසේ වෙනම ලිපියක් හරහා දැනුවත් කිරීමේ මූලික අරමුණු වන්නේ යම් පිරිසක් තුල අප ගැන ඇති නරක ආකල්ප ඔවුන් තුලින් අකාමකා ගැනීමටත් මෙය තවකෙකුට ආදර්ශයක් වි මෙවන් කටයුතු තව තවත් සිදුවේවා යැයි කියන බලාපොරොත්තුවෙන්. මෙගාබයිට් කීපයක් දැන්වීමක් නිසා වැය වුනා කියල ඔබ අපිට දොස් තැබුවා නම් ඒ දොස් එලෙසින් ඉවසා සිටින්නේ ඉන් ලැබෙන ප්‍රතිලාභය ඔබටත් අපටත් නොව ඔබ අප කිසිම කෙනෙක් නොහඳුනන අපේම අසරණ මිනිසුන් පිරිසක් විසින් භුක්ති විඳින නිසාවෙනි. ඒ වගේම හැමදාම අපිත් එක්ක මෙහෙම එකතු වෙන අපේ උපසිරසි අරගන්න අපි එක්ක හැමදාම ඉන්න ඔයාල නිසා තමයි මේ වගේ දේවල් අපට ඉදිරියේදීත් සිදු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. එමනිසා ඒ වෙනුවෙන් වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලය ලෙසට උපසිරසි ලබා දෙන සහෝදර සහෝදරියන්ට ඉන් අඩකුත් අනික් අඩ අප හා එදිනෙදා එක්වන ප්‍රේක්ෂක ඔබටත් නිතැතින්ම හිමිවිය යුතුයි කියල අපි සිතනවා. එසේ නම් 2020 වසර අවසානයේත් අපි මෙහෙම තවත් පාසල් කීපයක් සොයා යන්න දැනටමත් අදිටන් කරගෙන අවසානයි. ඒ තොරතුරුත් ඔබලාට රැගෙන එන්නම්. සියලු දෙනාටම ජයෙන් ජය පතනවා!!!!
96 comments
SaDuN
rangika Kariyawasam
නියම වැඩක් බයිස්කෝප් සහෝදරයිනි. මේ අවුරුද්දෙත් මෙවැනි අර්ථාන්විත කටයුත්තකට අවශ්‍ය ධෛර්යය ශක්තිය සහ පහසුකම් ලැබේවා. ජය වේවා.නියම වැඩක්.
CLahiruSandaruwan
බොහොම උතුම් කාර්යයක්.
මෙවැනි කාර්යයන් දිගටම කරගෙන යන්න ශක්තිය, ධෛර්යය
ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.Udaya Saman
කලින්ඒවට සහභාගි වෙන්න නොහැකි වුනත් මේපාර එකට සහභාගි වෙන්න ලැබුන එකටනම් ගොඩක්වටිනවා....ඒවගේම මේ වසරේදිත් මේ උතුම් කාර්ය සාර්කතකව රගෙන යන්නට හැකි වේවායි පතනවා..
tharaka vidumal
bohoma hoda wedak,jayawewa
buddhika
uthum wadak. digatama me wage samaja sathkara karagena idiriyat yamata shakthiya diryaya labewa kiyala prarthana karanawa
good luck baiscope team
Ranga Prasanna
සුපිරි වැඩක්.... බයිස්කෝප් ටීම් එකට ජය.... ඉස්සරහටත් මේ වගේ සත්කාර කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ
Dilanka Maduwantha
Budusaranai...
kelum78149
නියම වැඩක් .දිගටම කරගන යාමට සුබපැතුම්
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා
සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Kasun Jalitha
නියම වැඩක්. ජය වේවා බයිස්කෝප් ටීම් එකටම. අනාගතයේත් මෙවැනි උතුම් වැඩ කටයුතු වලට සම්බන්ධවීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
Prabodha Madhusankha Hettiarachchi
ගොඩක් හොද වැඩක්. මේ වගේ සත් ක්‍රියා කිරිම තව තවත් හැකිවේවා කියලා පතනවා..
ප්‍රශාත් මදුෂංක
Nice work.god bless you.
Praneeth priyadarshana
හදවතින්ම සුභ පතනවා ජයෙන් ජය බුදු සරණයි
චානක ඉඳුනිල්
සුභපතනවා!! ඒ වගේම ඉදිරියටත් මේ වගේ සමාජ සත්කාර කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා,
Sahan Sulakkhana
elama baiscope, digatam me dewal mehemma kara gena yanna, jaya wewaa,
sanjaya31055
Respect baiscope....!!!!!!
SHEHAN350
ubalanam niyamai ban.
Danushkawic
me siyaluma weda katauthu, idiriyatah karannata obata thawaduratah shakthiya dairiya vada vadath lebewa. jaya wewa
93
jaya wewa.digatama meweni uthuma katayuthu kirimata shakthiya lebewa.baiscopeik team ekatama suba pathanawa
Sudheera Kasun
Hats off Baiscope...!
sachintha
නියම වැඩක්... දිගටම මෙවන් සමාජ සත්කාර කිරීමට අවැසි ශක්තිය ලැබේවායි පතමි....
ජයShehan Madhusanka
adambaray yalu oyala gana.puluwannam apitath udau karanna puluwan widiyak hadanna oya wada walata.apith kamathiyi puluwan widiyata udau karanna
viraj k
Great job! All the best
Ishan Madusha
නියමයි.බයිස්කෝප් ටීම් එකට ජයෙන් ජය..!
Udaya Tharanga
great all the best guys
arawindasunimal
මහත් පිනක් මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වුනු සියළු දෙනාටම ජයවේවා
ravihara
great work. All the Best...
jagath55
good job
saman_jayalath
nice job guys.keep it well
Kavindu12345desilva
Suprir wadak.Me wage thwath samaja sewa krnna shakthiya lebewa
lordram95
Niyama wadak.. Ubalata waradinne ne.. Digatama karan palayalla..
PramothC
නියමයි මචංලා කියන්න වචන නෑ... හැමෝටම බුදුසරණයි! ජයවේවා..
Sandarunimsara
ඉස්සරහට මේ වගේ තවත් සමාජ සත්කාර කරන් පලයන්❤️.උඹලට වරදින්නේ නෑ.උඹලා හැමෝටම බුදු සරණයි ,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ පිහිටයි❤️❤️
Gihan Lakmal
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
nuwan pradeep
Niyama Wedak.Jayawewa...
aks
ඉදිරියටත් මෙවැනි කටයුතු කරගෙන යාමට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!! බුදු සරණයි !!!
Himal Sandaruwan
Jayawewa!
D.Chamara
me wage wada ediriyatha karagena yanna oba samata sakthiya labenna oni ....
tharuwan saranai hamotama ... jaya baiscope....blackLion007
ජයෙනන් ජයම වේවා හැමෝටම ........
Achi
එල බන් ආදරේයි
chandika1975
great work brother and sister.well done
Joy De mel
good job
GOD BLESS !widuranga
elama brooooo
Dulan Randika
ජයෙන් ජයම වේවා බයිස්කෝප් සහෝදරත්වයට තව තවත් මෙවැනි පුණ්‍ය ක්‍රියා කිරීමට ශක්තිය ලැබේවා.කියල ප්‍රාර්ථනා කරනවා.
gihan perera
ජය වෙිවා බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාට ම....ඉදිරියට ත් මේ වගේ කටයුතු කරන්න ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම....ජය වෙිවා.....
PaSindu MaDumal
එන්න බැරි වුණ එකට කණගාටුයි...ලොකු දෙයක් මිස් කරගත්තේ...ආසාවක් තිබුණා ඇවිල්ලා හරි උදව්වක් කරන්න...කොහොම වුණත් හැමෝටම තේරේන්න සිංහල උපසිරස දෙන සයිට් එකක් යන රාමුවට කොටු වෙන්නේ නැතුව මේ වගේ අසරණ දුශ්කර පළාත් වල ඉන්න ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් දෙන එක ගැන කියල වැඩක් නෑ...ආයේ එකෙන්ම Respect කරනවා...තව තවත් මේවගේ සමාජ සත්කාර කරගෙන යන්න ශක්තියක් ධෛර්යයක් ලැබේවා..! #secondfamily
MAALnath
Thanks ................good luck .............................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
ශසිත් සඳරුවන්
මෙගාබයිට් කිහිපයක් වැනි කුඩා දෙයකින් අහිංසක දෙමව්පියන්ගෙත් අහිංසක දරුවන්ගෙත් සුවිසල් බලාපොරොත්තු ඉටු කිරීමක්. ලැබෙන දේ තනියම බුක්ති විඳලා සතුටු වෙන්නේ නැතුව බෙදා හදාගෙන සතුටු වීමක්. මේ තරම් සතුටක් තවත් නැහැ. වාසනාවකට වගේ මටත් අවසාන සමාජ සත්කාර දෙකටම සහභාගී වෙන්න ලැබුණා. ඒ දුක්බර ජීවිත වල ශෝකාන්තය අහන්න ලැබුනම පුදුම දුකක් දැනුනේ. සමහරු මඤ්ඤොක්කා අලයක් විතරක් කාලා ආපු කතා, සමහරු නොකා නොබී ඉන්න කතා, ත්‍රස්තවාදි කරදර වලින් දුක් විඳපු කතා, මේ වගේ පර තෙරක් නොමැති දුක් කන්දරාව ඇහුවම අපිට කොතරම් දේවල් තිබෙනවද කියලා හිතුනා. සත්කාර්ය ඉවර වෙලා එද්දි පුදුම සතුටක් දැනුනේ. ඒ දුක්බර ජීවිත වලට පුංචි හෝ සතුටක් එක් කරන්න හැකි වුනා කියලා හිතුනා. ඉතින් සිංහල උපසිරැසිකරණයේ මහ ගෙදරට තවත් මෙවන් සත්කාර්යයන් කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චිරං ජයතු බයිස්කෝප්!
Sachith Perera
ela bro
Shaggie
උබලගෙ හිත් පට්ට හයියයි බං නැත්තන් අවුරුදු ගානක් තිස්සෙ මේව කරන් එන්ඩ බෑ උබලගෙ පිහිටෙන් මෙලො අටමගලක් තේරෙන්නැති අපි ෆිල්ම් එකක් බලල එක්කො අඩනව නැත්තන් හිනා වෙනව ඒ උබල නිසා බං #Respect..ඒ වගේම බයිස්කෝප් ආරම්භකයට ඒ අදහසට ස්තූතියි..දිගටම කරන් යන්ඩ සුබ පතනව ජය!!!♥️
Samitha gayan
Supiri ban. Supiri
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
මේ පොස්ට් එක වැඩිම කමෙන්ට් ගණනක් ගැන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි.