අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළකොරියානුචිත්‍රපටිත්‍රාසජනකප්‍රබුද්ධ කේසර විතානගේබලන්නබියජනකසිංහල උපසිරැසි

Exhuma AKA Pamyo (2024) Sinhala Subtitles | ශාපලත් සොහොනේ මාරක භීෂණය (100) [සිංහල උපසිරසි]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

Exhuma (2024) Sinhala Subtitles

මිත්‍රවරුනි, අද මම ඔබට සිංහල උපසිරැසි අරගෙන ආවේ Horror ශානරයේ අලුත්ම කොරියන් සිනමා පටයකටයි. Exhuma (2024) කියන්නේ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂක Jang Jae-hyun විසින් රචනා කොට අධ්‍යක්ෂණය කෙරුණු අධිස්වාභාවික ගණයේ සිනමා පටයක්. Exhuma සිනමාපටය 2024 පෙබරවාරි 22 වැනිදා 74 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උළලේදී මුල්වරට තිරගත කෙරුණු අතර, දකුණු කොරියානු සිනමාහල් වලට නිකුත් කෙරුණේ පෙබරවාරි 24 වැනිදායි. Exhuma කියන නමේ තේරුම, ‘විවර කළ සොහොන’ යන්නයි. මිනිත්තු 134ක ධාවන කාලයක් පුරා දිවෙන, මුලසිට අගටම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි Exhuma (2024) ත්‍රාසජනක චිත්‍රපටයෙන් ඔබ හමුවේ දිගහැරෙන්නේ එක්තරා ධනවත් පවුලක පරම්පරාගත භූත උවදුරක් මැඩපැවැත්වීම වෙනුවෙන් ශාපලත් සොහොනක් කැණීමේ ක්‍රියාවලිය මඟින් ඊට යටින් වැළලී ඇති අතිභයානක භීෂණාත්මක බලවේගයන් මුදාහරින්නට මඟ පාදන අන්දමයි. ඒ ඔස්සේ මෙහි ඉදිරිපත් වෙන වේතාලයෙක් බවට පත් කරනු ලැබූ ජපන් සමුරායිවරයෙකු හා බැඳුණු ශාපය පිළිබඳ කතාව ඓතිහාසික පුවතක් ලෙසින් ජපානයට බද්ධ කිරීම තුලින්, කොරියානු ඉතිහාසයේ සිදු වුණු ජපන් දේශපාලන මැදිහත්වීම් විවේචනය කිරීමේ සූක්ෂම යටිපෙළ අභිප්‍රායයක් ද මෙම සිනමාපටය තුළ ගැබ් ව ඇති බවටද සඳහන් වෙනවා.

Exhuma (2024) සිනමාපටයේ පෝස්ටරයක්.

මේක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ පළ වෙන මගේ අනූ පස්වැනි උපසිරැසි නිර්මාණය වුණත්, තාක්ෂණිකව මේක සිය වැනි උපසිරැසි නිර්මාණය වෙනවා. ඒ තවම පළ නොවුණු නමුත් මා අවසන් කළ Criminal Record ටෙලි කතා මාලාවේ උපසිරැසි ද සමඟින්. ඒක අවසන් වන තුරු කල් නොයවා වෙබ් පිටපත් ලැබුණු සැණින් හැකි ඉක්මණින් මේක පළ කරන්න අපි අදහස් කළා. මේ උපසිරැසි නිර්මාණය ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් මේ සිනමාපටය මට හොයලා දීපු අශාන් විමුක්ති සහෝදරයාට මගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටින්න මේක අවස්ථාවක් කරගන්නවා. මම මේ අඩවියට එකතු වුණේ 2016 අවුරුද්දේ පෙබරවාරි 26 වැනිදා Jamaica Inn නම් සුප්‍රකට BBC කෙටි ටෙලිනාට්‍ය නිර්මාණය සමඟින්. ඒ කාලේ මම මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක්. විවේක වෙලාවේ අත්හදා බලපු දෙයක් එක්ක මං තීරණය කළා බයිස්කෝප් අඩවියට සිංහල උපසිරැසි කරුවෙක් ලෙස එකතු වෙන්න. ඉන්පසුව Armageddon, Close Encounters of The Third Kind, Zodiac, Sweeney Todd, Edward Scissorhands, The Man Who Knew Infinity, The Post වගේ ඉංග්‍රීසි චිත්‍රපට වලටත්, Laadla හින්දි සිනමාපටයටත්, American Crime Story, The Lost Room, Great Expectations, Barracuda වගේ ටෙලිනාට්‍ය සම්පූර්නයෙන්මත්, Mare of East Town, Lucifer වගේ ටෙලිනාට්‍ය වල කතාංග කිහිපයකුත් සිංහල උපසිරසි ගන්වමින් 50 වන කඩඉම පසු කළේ Early Man චිත්‍රපටයෙන් 2018 මැයි 12 වැනිදා. අවුරුදු දෙකෙන් පනහ ගැහුවට මොකද සීය ගහන්න එතැනිනුත් තවත් අවුරුදු හයක් පමණ ගිහින් තියෙනවා. ඒ මම අතරමඟ විවිධ හේතුන් නිසා සිංහල උපසිරැසිකරණයෙන් ඈත් වීම නිසයි. මේ නිසා  මගේ උපසිරැසි නිර්මාණය අඛණ්ඩව අට වසරක් තිස්සේ කළා කියලා කියන්න බැහැ. කොහොම වෙතත් එදා මෙදා තුර මේ බයිස්කෝප් සිංහලෙන්  අඩවියෙන් මා හඳුනාගත්ත යහලු මිත්‍රාදීන් බොහොමයක් ඉන්නවා.

මම මුල්වරට මේ අඩවියෙන් අඳුරගත්තේ අශාන් විමුක්ති (විමා) සහෝදරයාව. ඒ මගේ මුල්ම උපසිරැසි ඉල්ලීමට දක්වපු ඊමේල්  ප්‍රතිචාරයෙන්. කාලයත් එක්ක ඉන් පස්සේ සමීර කරුණාරත්න සහෝදරයා, හසන්ත වික්‍රමරත්න සහෝදරයා, රොයිලි සහෝදරයා, සමන් ප්‍රසාද් සහෝදරයා, ආසිරි ප්‍රියන්ත සහෝදරයාසිසිල ප්‍රසාද් සහෝදරයා, අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා එතනින් ගියාම මයුර සුරාජ් සහෝදරයා, තිසර නියෝ සහෝදරයා, අචින්ත මදුමාල් සහෝදරයා එතකොට  දිල්ශාන් සචින්ත සහෝදරයා, ඉසුරු දිල්ශාන් සහෝදරයා, සසිත් සදරුවන් සහෝදරය වගේම නිර්මාණි සහෝදරියත් හෙළිලි හේමමාලිවත් අඳුරගන්න ලැබුණා. ඒ 50 වැනි කඩඉමටත් කළින්. මෑතකදී මට රවිඳු හේෂාන් සහ සනුප රන්මේත් සහෝදරයා හඳුනා ගන්නට ලැබුණා.  බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා හිටි මම ආයෙත් වාර්තා වැඩසටහන් කිහිපයක් උපසිරැසි ගැන්වීමේ අදහසින් නැවත බයිස්කෝප් වෙත එකතු වුණේ 2013 දී. ඒ ජේම්ස් කැමරන් විසින් Titanic සිනමපටයෙන් පසු ඒ නෞකාවට කළ කිමිදුම් ගැන අන්තර්ගත වාර්තා වැඩසටහන් කිහිපයක්. එයින් ඉදිරියට ආපු ගමන එක්කයි මම මේ ශතකය වාර්තා කළේ. ඉහත නම් සඳහන් කළ, නොකළ බයිස්කෝප් අඩවියේ සුවහසක් සහෘද සහෝදර සහෝදරියන් සියලුම දෙනාට මට ලබාදුන් සහයෝගය වෙනුවෙන් හෘදයංගම ලෙස ස්තුති කරන්න කැමතියි. ඒ වගේම පැරණි හොඳ සිනමා නිර්මාණ වෙනුවෙන් තිබුණු සිංහල උපසිරැසි කිහිපයක් ප්‍රතිනිර්මාණය කරන්නත් මට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය වෙත මගේ ගෞරව පූර්වක ස්තුතිය ,මෙසේ පුද කරනවා! ඉදිරියටත් අපේ වෙබ් අඩවියේ රසික සහෘදයන් වෙනුවෙන් දිගටම සිංහල උපසිරැසි ගන්වන්න මං අපේක්ෂා කරනවා. මේක කරන්න ගත්තම කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙන අපූරු විනෝදාංශයක්. හා හා! එහෙම කිව්වට කුඩු ගහන්න එහෙම යන්න එපා! මේක ඒ වගේ ඇබ්බැහි වීමක් වුණාට ඒකට ඇබ්බැහි වුණොත් ඒක මේ වගේ නැහැ. එහෙමනම්  වැඩි විස්තර නැතිව අද සිනමාපටය වෙත යොමුවෙමු.

මෙම සිනමාපටය 2024 වසරේ මෙතෙක් නිකුත් කෙරුණු කොරියානු සිනමාපට අතරින් හොඳම බොක්ස් ඔෆිස් වාර්තාවට හිමිකම් කියන්නේ ලොව පුරා ඩොලර් මිලියන 97ක ආදායමක් උපයමින්. එමෙන්ම Baeksang Arts Awards සම්මාන උළලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම නවක නළුවා සහ හොඳම ශබ්ද තාක්ෂණික ශිල්පී යන සම්මාන වලින් පිදුම් ලැබීමටත්, හොඳම සිනමාපටය ඇතුළු තවත් සම්මාන ගණනාවකට නිර්දේශ වීමටත් Exhuma (2024) සමත් වුණා. ඊටත් අමතරව IMDb දර්ශකයේ 7.0/10 අගයක් ලබාගන්නට සමත් වුණු මෙම සිනමා පටය Rotten Tomatoes වෙබ් අඩවියේ 89%ක අනුමත ප්‍රතිශතයක් ලබාගත් අතර 7.2/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. මගේ අනූ පස්වැනි උපසිරැසි නිර්මාණය ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් මේ සිනමාපටය මට හොයලා දීපු අශාන් විමුක්ති සහෝදරයාට මගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිනවා. මේක සියවැනි කඩඉමට කරන්න හිතාගෙන හිටියත්, එතෙක් කල් නොයවා වෙබ් පිටපත් ලැබුණු සැණින් හැකි ඉක්මණින් මේක කරලා එවන්න මං අදහස් කළා. Exhuma සිනමාපටය සමස්තයක් ලෙස විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් වුණා.

60 වැනි Baeksang Arts සම්මාන උළලේදී Exhuma සිනමා පටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය සම්මානයෙන් පිදුම් ලද අධ්‍යක්ෂක Jang Jae-hyun (වමේ) හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලද  Kim Go-eun (මැද) සමඟින් හොඳම නැවක නළුවා සම්මානයෙන් පිදුම් ලද Lee Do-hyun (දකුණේ)

“කෘතහස්ත නළු නිළි කැළ ප්‍රේක්ෂකයා මුසපත් කරන අත්දැකීමක් ලබා දීමට ප්‍රබල රංගනයක නිරත වෙයි. Exhuma හි අන්තර්ගත වන්නේ අධිතාත්වික, සවිස්තර දර්ශන මඟින් කොරියානු භූත විද්‍යාත්මක සංකල්ප ඉදිරිපත් කිරීමට Jang විසින් දරණ ලද ප්‍රවේශම් සහගත ප්‍රයත්නයන් ය. සාම්ප්‍රදායික සොහොන් කැණීම්, නිදැල්ලේ සැරිසරන ආත්ම මර්ධනය කිරීමට බිලිපූජා සහ ශාන්තිකර්ම සිදු කිරීම ඊට අන්තර්ගත ය. මේවා අතිශය තාත්වික ලෙස නිරූපණය කෙරෙන අතර, සිනමාපටය ත්‍රාසයේ නව ඉහළ මට්ටමකට ප්‍රේක්ෂකයා රැගෙන යයි.”

– Lee Yoon-seo, The Korea Herald

“මනසේ බොහෝ දේ රඳවා තබා ගනිමින් නැරඹිය හැකි රසබර අද්භූත සිනමාපටයකි. Jae-hyun Jang සංස්කෘතික අංග අන්තරාවලෝකනය කරමින් සහ ඓතිහාසික තේමාවන් එකාබද්ධ කරමින් බිහිසුණු, ලේ වැකුණු, තැති ගැන්වෙන අද්භූත රසයක් ඇති කරයි. ”

Meagan Navarro

“Jang ගේ දක්ෂ සහ සාරවත් ලෙස සවිස්තරාත්මක තිර රචනය කොරියාවේ සංකීර්ණ ඉතිහාසයේ ගැඹුරට විහිද යමින්, පාර්ක් රාජවංශය පමණක් නොව මුළු ජාතියක්ම භීතියෙන් සලිත කරන සියවස් ගණනක් තිස්සේ පොළවේ වළලනු ලැබූ බිහිසුණු යක්ෂයන් ගැන අනාවරණය කරයි.”

James Marsh, South China Morning Post

“ඉතිහාසගත බලපෑම් සහිත චාරිත්‍ර වාරිත්‍ර සහ උත්සව මෙහි ඇතුළත් කිරීම තුළින් කතාව පවතින ප්‍රත්‍යක්ෂ ලෝකයක් සිනමා පටන් නිර්මාණය කරයි. අවශ්‍යයෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි, පිළිගත හැකි, ස්වභාවය එකතු කිරීම නොව, විශ්වාසයන් සහ සම්ප්‍රදායන් තුළ ගිලී ඇති බාධාකාරී වාතාවරණයන් හඳුන්වා දීම මෙයින් සිදුකර ඇත.”

Chris Joyce

Exhuma කාර්ය මණ්ඩලය එහි දස මිලියන වැනි ටිකට්පත අලෙවි කිරීමේ ජයග්‍රහණය සැමරු අන්දම.

හොඳයි, අපි චිත්‍රපටයේ කතාව වෙත යොමු වෙමු. සුප්‍රකට කොරියානු යකැදුරුවරියක් වන හ්වා-රිම් (කිම් ගෝ-ඉයුන්) සහ ඇගේ පෙම්වතා වන බොං-ගිල් (ලී දෝ-හ්යුන්) ධනවත් කොරියානු ඇමරිකානු පවුලක් විසින් පවුලේ අලුත උපන් පුත්‍රයාගේ අද්භූත රෝගය හඳුනා ගැනීම සඳහා බඳවා ගනු ලැබේ. හ්වා-රිම් “සොහොන් කැඳවීමේ” ශාපය හෙළි කර ගන්නා අතර, පළිගැනීමේ මුතුන් මිත්තන්ගේ ආත්මයක් ඔවුන්ට පීඩා කරන බව සොයාගනී. පවුලේ වත්මන් ගෘහ මූලිකයා වන පාර්ක් ජි-යොන්ග්, මුතුන් මිත්තන් වන ඔහුගේ සීයාට විමුක්තිය උදා කිරීම සඳහා සොහොන වෙනත් ස්ථානයකට ගෙන යාමට ඔවුන්ට භාර දෙයි. හ්වා-රිම් සිය සගයන් වන, ප්‍රවීණ ෆෙං ෂුයි ගුරු කිම් සං-ඩියොක් (චෝයි මින්-සික්) සහ අවමංගල්‍ය අධ්‍යක්ෂකයෙක් වන යෙං-ග්වෙන් (යූ හේ-ජින්) බඳවා ගනී. සං-ඩියොක් ධනවතුන් සඳහා සුසාන ස්ථාන විකිණීමේ විශේෂඥයෙක් වන අතර යෙං-ග්වෙන් සතුව අවමංගල්‍ය නිවහනක් ඇත.

ජි-යොන්ග්, එනම් ධනවත් පවුලේ වත්මන් උරුමකරු සමඟ ඔවුන්ගේ පළමු හමුවීමේදී, උතුරු කොරියානු දේශසීමාව අසල දුරස්ථ කන්දක පිහිටා ඇති සොහොනක් නිරීක්ෂණය කරන්නට යයි. ඒ දේහය ජි-යොන්ග්ගේ සීයාගේ සොහොනයි. ශාපයෙන් ගැලවීම වෙනුවෙන් එහි ඇති දේහය ආදාහනය කිරීමට ජි-යොන්ග් ඉල්ලා `සිටින විට සැං-ඩියොක් ඒ ගැන කල්පනාකාරී වේ. එම සොහොන පිහිටි ඉඩමේ ප්‍රබල අඳුරු ශක්තියක් දැනෙන නිසා සං-ඩියොක් එතැනින් පසුබසියි. කෙසේ වෙතත්, ශාපයෙන් මිදීම සඳහා සොහොන හාරන අතරතුර තමාට බිලිපූජා ශාන්තිකර්ම චාරිත්‍රයක් ඉටු කළ හැකි බව හ්වා-රිම් ඔවුන්ට ඒත්තු ගන්වයි. එවන් ගුප්ත ස්ථානයක සොහොනක් සෑදීමට යෝජනා කළේ කවුරුන්දැයි විමසු විට ජි-යොන්ග් ඔවුන්ට පවසන්නේ තම සීයා සඳහා සොහොන් ස්ථානය ලබා දුන්නේ ‘ගිසුනේ’ නම් ප්‍රසිද්ධ භික්ෂුවක් විසින් බවය. හ්වා-රිම් සහ බොං-ගිල් චාරිත්‍රය ඉටු කරන අතර කැණීම පහසුවෙන් සිදු වේ. නමුත් මිනීපෙට්ටිය ගොඩගැනීමෙන් පසුව වල පිරිසිදු කරන විට, සොහොන් හාරන්නන්ගෙන් එක් අයෙකු මිනිස් හිස සහිත සර්පයෙකුගේ හිස කඳින් වෙන් කරයි. එය අශුභ පෙර නිමිත්තක් සහ තදබල වර්ෂාවක් ඇති කරයි.

යකැදුරු සං-ඩියෝක් සහ යෙං-ග්වෙන් සොහොන් බිම නිරීක්ෂණය කරමින්

වර්ෂාව නතර වූ පසු මිනී පෙට්ටිය ආදාහනය කරන ලෙස යෙං-ග්වෙන් අවධාරනය කරන්නේ වර්ෂාව ඇති දිනෙක ආදාහනය කළහොත් මළවුන් සුගතියකට නොයන බව කොරියානු විශ්වාසයක් ඇති හෙයිනි. එබැවින් ඔවුන් එය අසල රෝහලක මෘත ශරීරාගාරයක ගබඩා කරයි. ප්‍රාදේශීය භාරකරු, සොහොන් ගෙය තුළ නිධානයක් පිළිබඳ කටකතා ඇසීමෙන්, මිනී පෙට්ටිය විවෘත කර, ජි-යොන්ග්ගේ සීයා වන පළිගැනීමේ භූතාත්මය එළියට මුදා හරියි. ඔහු පැමිණෙන්නේ සිය ලේ පරපුර ඉලක්ක කරමිනුයි. ඔහුට සිය පරපුරේ දරු මුණුපුරන් ගොදුරු කරගන්නට හැකිවෙයිද? නැතහොත් යකැදුරු කණ්ඩායමට ශාපලත් සීයාගේ බිහිසුණු අවතාරය දමනය කරගත හැකිවේද? සීයාගේ මිනිපෙට්ටිය විවර කිරීමෙන් එළියට එන අඳුරු බලවේගය පාක් ජි-යොන්ග් වෙත ආවේශ වුණු මොහොතක ඔහු මෙසේ කියනවා.

“නරියා කොටියාගේ ඉඟටිය කපා දමයි.”

දැන් කවුද මේ කොටියා? කොරියානු අර්ධද්වීප භූමියේ හැඩය කොටියෙකුගේ හැඩයට සමානයි. ඉහත දැක්වූ ශාපලත් සොහොන් පිටිය පිහිටා ඇත්තේ එම කොටියාගේ ඉඟටිය ප්‍රදේශයේ යි. ඒ තමයි කොටියා. හොඳයි, දැන් එතකොට කවුද කොටියාගේ ඉඟටිය කපල දාපු මේ නරියා? ඇයි ඒ නරියා කොටියාගේ ඉඟටිය කපලා දාන්නේ?

භූමිය බදා සිටින කොටියෙකුගේ හැඩය ඇති කොරියානු අර්ධද්වීපය.

පෙර කී භික්ෂුව විසින් සියවසකට පමණ අතීතයේදී දරුණු ලෙස ශාපලත් ඉඩමක, ජි-යොන්ග්ගේ සීයාගේ මළසිරුර වළලන්නට යෝජනා කරන්නට හේතුව කුමක්ද? යළිත් වරක් පාක් ජි-යොන්ග්ගේ සීයාගේ සොහොන පිහිටි ස්ථානය කණින ෆෙං ෂුයි ගුරු කිම් සං-ඩියොක්ට සීයාගේ මිනීපෙට්ටිය තිබුණු තැනට පහළින් හමුවන විස්මයජනක වස්තුව කුමක්ද? මේ සියල්ලට පිළිතුරු ඔබට Exhuma (2024) නැරඹීමෙන් දැනගන්නට හැකියි.

එහෙම නම් මේ අද්භූත රසය වෑහෙන, මුල සිට අගටම කුතුහලයෙන් යුතුව ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්නා විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණය රස විඳින්නට ඔබටත් ආරාධනා කරනවා. එසේනම් කොරියානු කඳුකරයක වළලා දැමුණු, වේතාලයෙකු (මළසිරුරු ආශ්‍රිතව ජීවත්වෙන අමනුෂ්‍ය කොට්ඨාශයක්) බවට පත් කෙරුණු ශාපලත් සමුරායි වරයාගේ ලොමු දැහැගැන්වෙන කතාව මෙතැන් පටන් සිංහල උපසිරැසි සමඟින් ඔබ හමුවේ දිග හැරෙනවා.

“මහානර්ඝ අර්ධද්වීපයේ යෞවනයිනි,

සිය ගණනක් ගුවන් යානා සහ

කාලතුවක්කු හඬ ඇසේද?

පෙරට වරෙව්, අධිරාජ්‍යයේ පුත්‍රවරුනි!

නැඟී එන සූර්ය ධජයේ බබළන හිරු යට,

නුඹලාගේ රිදී අසිපත්, හෙළි ලෙළවව්!

මහා පෙරදිග ආසියාව,

අලුතෙන් එක්සේසත් කිරීම උදෙසා…

නුඹලා සතු සියල්ල,

මහා අධිරාජ්‍යයට කැප කරව්!”

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Exhuma.2024.720p.WEBRip.x264.AAC-[YTS.MX] පිටපතටයි.

මේ වැඩසටහනේ සංවේදී දර්ශන අන්තර්ගත වන බව කාරුණිකව දන්වා සිටිනවා.

එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්!

තෙරුවන් සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Exhuma, Exhuma (2024), Exhuma (2024) Sinhala Subtitles

16 thoughts on “Exhuma AKA Pamyo (2024) Sinhala Subtitles | ශාපලත් සොහොනේ මාරක භීෂණය (100) [සිංහල උපසිරසි]

  • Sanupa Ranmeth - Admin

    100 වෙනි උපසිරසිය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් කේසර අයියේ!
    සමාවෙන්න පරක්කු වුණාට. අයියගෙ ලිපි ගැනයි සබ්වල කොලිටිය ගැනයි ආයෙ කතා කරන්න දෙයක් නෑ ඉතින්.
    හැමදාම කියනව වගේ ඒක වෙනම ලෙවල් එකක ලිවිල්ලක්.
    තව තවත් කඩයිම් සපුරන්න ශක්තිය, ධෛර්යය සහ කාලය ලැබෙන්න සහ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.
    පීස් ✌️

    Reply
  • thanks ……………

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    100* වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ
    ඔයාගේ උපසිරසි ගොඩක් නරඹලා තියෙනවා. අපිට ගොඩක් වටින නිර්මාණ රැසක් ගෙනාපු කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්.
    ඉතිං ඉස්සරහටත් වැඩේ කරගෙන යමු. උපසිරසියට බෝහෝම ස්තූතියි!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඒවගේම 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා
    150 වෙනි කඩයිමටත් හැකි ඉක්මණින් ළගා වෙමු
    ජය

    Reply
  • ශසිත් සඳරුවන්

    සියවන උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් සහෝ….
    හෙමිහට ඊලඟ කඩඉම් වලටත් යමු.
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

    Reply
  • Mayura Suraj

    100ත් කොහොම කොහොම හරි ගැහුවා නේද? සයිට් එකෙන් හම්බවුණු හොඳ හිතවතෙක්. හෙමි හෙමීට හෝ තව කඩඉම් ගොඩකට වග කියන්න හම්බෙන්න ඕන. එහෙනම් පුද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලිපියේ අපිවත් අමතක නොකළට බොහොම පින්. ජයවෙන්න ඕන. මෙන්න බෑවා එහෙනම්..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 100වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ….
    උපසිරැසි 100ක් කරනවා කියන්නේ ඉතිං ලේසි නෑ….
    ස්තූතියි සහෝ කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැතිව කරන මේ වැඩේට….
    ස්තූතියි මේ උපසිරැසියටත්…..

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    100 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් ප්‍රබුද්ධ සහෝ. මෑතක සිට ක්‍රියාකාරී උපසිරැසිකරුවෙකු විදිහට වටිනා චිත්‍රපට බොහොමයක් අප අතරට ගෙනාපු කෙනෙක් තමා, ඒ වෙනුවෙන් විශේශයෙන් ස්තුති කරනවා. ඉදිරියටත් මේ වගේම වටිනා නිර්මාණ වලට උපසිරැසි කරන්න හැකිවෙන්න කියල වගේම පුද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු ඉහලින්ම සාර්තක වෙන්න කියල පාර්තනා කරනවා. ජයවේවා!

    Reply
    • Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.

      Reply
  • ඩවුන්ලෝඩ් කරන්න බෑනේ [Download Not Found] කියලා වැටිලා තියෙන්නෙ

    Reply
    • Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *