Watch Trailer

Soorarai Pottru (2020) Sinhala Subtitles | මාරාගේ සිහිනය [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප් සහෘද රසික රසිකාවියන් සියළුම දෙනාට ආයුබෝවන්… උපසිරැසියක් අරගෙන එන වෙන දවසකට වඩා අද මට, මගේ සිංහල උපසිරැසිකරණ ගමනේ සුවිශේෂී දවසක්. ඒ තමයි 2014.08.12 වැනිදා, The Guillotines චිත්රපටියෙන් උපසිරැසිකරණය ආරම්භ කරල, බයිස්කෝප් එක්ක ආපු දීර්ඝ ගමනේ පළමු වැනි කඩයිමට ලඟාවීම. හරියටම කිව්වොත් මම මේ අරගෙ…

බයිස්කෝප් සහෘද රසික රසිකාවියන් සියළුම දෙනාට ආයුබෝවන්… උපසිරැසියක් අරගෙන එන වෙන දවසකට වඩා අද මට, මගේ සිංහල උපසිරැසිකරණ ගමනේ සුවිශේෂී දවසක්. ඒ තමයි 2014.08.12 වැනිදා, The Guillotines චිත්රපටියෙන් උපසිරැසිකරණය ආරම්භ කරල, බයිස්කෝප් එක්ක ආපු දීර්ඝ ගමනේ පළමු වැනි කඩයිමට ලඟාවීම. හරියටම කිව්වොත් මම මේ අරගෙන එන්නේ මාගේ 50 වන උපසිරැසි නිර්මාණය. සමහරවිට බයිස්කෝප් ඉතිහාසයේ 50 වන උපසිරැසි නිර්මාණයට ලඟා වෙන්න වැඩිම කාලයක් වැය කරපු උපසිරැසිකරුවා මම වෙන්නත් පුළුවන්. එහෙම බැලුවොත් සමහරවිට ඒකත් රෙකෝඩ් එකක් වෙන්න පුළුවන් 😁.

ඉතිං හැමදාම එළඹෙන්නෙ නැති අද වගේ විශේෂ දවසක, මම කියන්නම් මගේ උපසිරැසි ගමනේ ආරම්භය කොහොමද වුණේ කියලා. මට මතක විදියට 2010 අවුරුද්දේ තමයි, මම පළමු වතාවට ලැප්ටොප් පරිඝණකයක් අරගත්තෙ. ඉතිං ඔය සිද්ධියෙන් පස්සෙ මම රාජකාරි කරන තැන කෙනෙක් මට ෆිල්ම් ටිකක් දෙනවා අලුත් ලැප්ටොප් එකේ දාල බලන්න කියලා. ඔය ෆිල්ම් ටික බලද්දි මෙන්න වැටෙනවා “මෙම උපසිරැසිය www.baiscope.lk වෙබ් අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද උපසිරැසියකි, චිත්රපට පිටපත පිලිබඳ කිසිඳු වකගකීමක් කර්තෘ හෝ අඩවිය විසින් දරනු නොලැබේ” කියල. (දැන් කාලේ නම් ගොඩ දෙනෙක් කැමති නෑ ඔහොම දානවට) ඉතින් ඒ දවස් වල අන්තර්ජාල තාක්ෂණය මහා දියුණු කාලෙකුත් නෙවෙයි, ඩොංගල් එහෙම තමයි තිබුණෙ ලැප් එකට ගහල ඉන්ටර්නෙට් යන්න. කොහොම හරි ඩොංගල් එකත් ගහගෙන, බයිස්කෝප් වෙබ් අඩවියට ගියා මොකද්ද මේ උපසිරැසිය සීන් එක කියලා පොඩ්ඩක් හොයල බලන්න. හම්මට මේ තියෙන්නේ සිංහල උපසිරැසි සෙට් එකක්ම. කොහොමින් කොහොම හරි බයිස්කෝප් එකෙන් සිංහල උපසිරැසි අරගෙන, ඒ දවස් වල ටොරන්ට් කියල එකකුත් හම්බුනා අන්න ඒකෙන් විඩීයෝ එකත් බා ගන්න පුරුදු වුණාට පස්සෙ, එදා පටන් ගත්ත පුරුද්දට, අදටත්.. කඩෙන් DVD අරන් චිත්රපටි බලන එක නැවතුණේ මේ අපූරු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හමුවුණු දවසෙ ඉඳල.

මට මුලින්ම බයිස්කෝප් එකේ උපසිරැසිකරුවෙක් කියල අඳුරගන්න ලැබුනේ “දිදුල Kd සිල්වා” ඒ මුහුණුපොත හරහා. එතුමට මම ෆිල්ම් ගැන අහල සෑහෙන කරදර කලා කියල මට තාම මතකයි. හැබැයි එතුමා ඒ කරදර ඔක්කොම සමසිතින් ඉවසුව කියලත් මතක් කරන්න ඕනෙ. එතුමා එක්ක කතා කරපු හැම වෙලාවෙම මම ඉල්ලුවෙ, මේකෙ සබ් එක කරන්න, මේකෙ සබ් එකත් දෙන්න කියකියා, ඒ කාලෙ විකාශය වුණු ෆිල්ම් වල නම් හොය හොය යැව්ව උපසිරැසි ගන්වන්න කියල. කොහොමහරි ඒවා කෙරෙන්නේ නැති වෙදිදී, පරක්කු වෙද්දී මටත් හිතක් පහල වෙනවා උපසිරැසියක් කරන්න ඕනෙ කියල. බයිස්කෝප් එකේ ලිපි කියවල එහෙම පොඩ්ඩක් දැනගත්තා උපසිරැසියක් නිර්මාණය කරන්නේ කොහොමද කියල. මුලින්ම 2014 අගෝස්තු 07 සවස 5:33 ට තමයි “The Guillotines (2012) උපසිරස කරන්න වෙන කවුරුත් බාරගෙනද කියල දැනගන්න පුලුවන්ද?” මම මේල් එකක් දාල ඇහුවෙ. පිළිතුර එදාම සවස 8:29 ට එනවා “කවුරුත් බාරගෙන නෑ. ඔයාට කරන්න පුලුවන්..” කියල. මේ වෙලාවෙ මම, වාසල සහෝදරයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව එදා මාගේ පලමුවන උපසිරැසියට ඉඩක් වෙන්කර දුන්නට. ඊට පස්සේ දවස් දෙකක් වගේ කාලයකින් සෑහෙන කට්ටක් කාගෙන, උපසිරැසිය නිර්මාණය කරල 2014 අගෝස්තු 10 වැනිදා බයිස්කෝප් එකට මගේ පළමුවැනි උපසිරැසිය මේල් කරනවා. පහුවදා බලනවා කෝ දාලා නෑනේ? බැරිම තැන ආයෙ මේල් එකක් දැම්ම තිබුණු හදිස්සියට ඇයි සබ් එක තාම සයිටෙ පළ නොවුණෙ කියල අහල. රෙයිලි අයියාගෙන් පිළිතුරක් ආව, “බොහොම ස්තූතියි සහෝ. පොඩි පොලිමක් තියෙනවා කලින් ආපු සබ් වල. ඒත් මුල් එක හින්දා අපි හැකි ඉක්මනින් ලබා දෙන්නම්” කියල. මොනවා කරන්නද? සයිට් එක යනවා බලනවා සබ් එක දාලද කියල. පහුවදත් එහෙමමයි, සබ් එක පළවෙලා නෑ. මෙන්න එකපාරටම 2014.08.12 වන දින මගේ උපසිරැසිය සයිට් එකේ වැටිලා, පුදුම සතුටක් ආවේ ඒ වෙලාවේ. අලුතෙන් කියන්න දෙයක් නෑ, මං හිතන්නෙ හැම උපසිරැසිකරුවෙක්ම දන්නව අමාරුවෙන් ගොඩදාපු පළමුවැනි සබ් එක සයිට් එකේ පළ වුණාම දැනෙන ඉහවහා යන සතුට ගැන. ඔහොම තමයි මගේ දෙවැනි පවුල වෙන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මට සම්බන්ධ වන්නට බලපාන ලද හේතු කාරණා ගොනු වුණේ.

ඉතිං මේ මාගේ සත් වරසරක ගමනේ එද්දී මුල්කාලයේ මට ගුරු හුරුකම් දුන්න විකී, රොයිලි, හසන්ත (හසා), සමීර (ඩොකා), හට ස්තූතිවන්ත වෙනවා මේ ආපු ගමනේ ගුරුවරුන් වීම වෙනුවෙන්. මල්ලි අරක කරමු මේක කරමු, මල්ලි මේ ෆිල්ම් එක ආවා, වගේ අදහස් දෙමින් මේ උපසිරැසි කරණයට අදහස් ලබාගනිමින් දැක්වූ සහයෝගය හැමදාම මට ලොකු ශක්තියක් වුණා. බයිස්කෝප් එක්ක ආපු මේ ගමනේ මට හමුවුන දේවල්, උකහාගත් වටිනාකම් වචන වලට පෙරලන්න බැරි තරම් වටිනාකමින් වැඩියි. ඒ අතර බයිස්කෝප් සුහද හමු සහ බයිස්කෝප් සමාජ සත්කාරයන්ට සහභාගී වෙන්න ලැබීම මං ජීවිතේ ලබපු ඉහළම වරප්‍රසාදයක්. ඊට අමතරව ජීවිතේ හඳුනාගන්න ලැබෙන ඉහළම පෙළේ, හොඳ යහළු යෙහෙලියන් පිරිසක් මට මුණගැහුනා. ඒ සියළු දෙනාටම ස්තූතිවන්ත වෙනවා මේ ආ ගමනේ වචනයකින් හරි මට උදව් කිරීම සම්බන්ධයෙන්. මුලින්ම මේ වගේ තැනක් අපිට ලබාදීමට කටයුතු කල ඉසිර සහෝදරයාට සහ රොයිලි සහෝදරයාට හිස නමා ආචාර කරනවා. විදේශ සිනමාවන් අපි දන්න සිංහලෙන් අපිට නැරඹීමට ඉඩක් සැකසීමේ ගෞරවය සම්පුර්ණයෙන්ම ඔවුන්ට හිමි වෙනවා. ඒ වගේම හසන්ත (හසා) සහ රුමේෂා අක්කා, අශාන් විමුක්ති (විමා), තිසර නියෝ (සෝජු බඩා), ආසිරි ප්‍රියන්ත (දකුණ), නිර්මාණි විජේසිංහ, නලින් පෙරේරා, සමන් ප්‍රසාද් (පූසා), සිසිල ප්‍රසාද්, චාමර සම්පත්, සුධීර මාලන් (සාදු), අසංක රණතුංග (ලෝගන්), M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා, දසන් බුද්ධික (කොටා), රවිදු රුක්ශාන්, දිල්ශාන් සචින්ත, නිලුපුල් මධුකප්‍රිය (ටියුබ් ලයිට්), චන්දිම අරසිංහ (සෑර්), ප්‍රණීත් රණසිංහ, ගයාන් රූකාන්ත (ජෝනා), තාරක නුවන් දිල්හාර, කණිෂ්කා පෙරේරා, කවිඳු ගිම්හාන් (ඇරෝ), උදයංග සම්පත්, නුවන්ත දුලාන්, සුරේනි අතුරුගිරි, චලිදු දේශාන් (කිනා), මයුර සුරාජ්, යශෝධ ශ්‍රීමාල්, ඉසුරු දිල්ශාන්, අචින්ත මදුමාල්, රවිඳු තේනබදු, දහරා මුතුඅමා, කවිශල් රසින්ත, නවෝදනී තිළිණි, යුශාන් පීයුමාල් (ප්‍රශ්ණ), සොනාලි තාරිකා, ගයේෂා සත්සරණි, නයි රාජ්, ශසිත් සඳරුවන් (සඳේ), ඉන්ද්‍රජිත් කුමාර හැමෝම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරන්න ඕනෙ. සමහරවිට හැම කෙනෙක්ගෙ නම් මෙතන නැතුව ඇති, ඒ ගැන අමනාම වෙන්නෙපා, බයිස්කෝප් එක්ක එකතු වෙලා කතා කරපු, හිනාවකින් හරි සංග්රහ කරපු හැම කෙනෙකුටම මේ වෙලාවෙ මගේ ආදරණීය ස්තූතියි පුද කරනවා. බයිස්කෝප් හරහා ගොඩනැඟෙන සහෘදත්වයට සීමා නැහැ, මායිම් නැහැ, ජාති, ආගම්, කුල, ලිංග භේද නැහැ. පළමුවැනි උපසිරැසියෙන් ආරම්භ වෙන ගමන, නොනවතින ගමනක් වෙන්නෙ, බයිස්කෝප් තුළින් කෙනෙකුට ලැබෙන උණුසුම් පිළිගැනීම නිසාමයි.

අවසාන වශයෙන් ස්තූති කරන්න ඕන බයිස්කොප් වෙබ් අඩවිය ලංකාවේ අංක 1 විනෝදාත්මක වෙබ් අඩවිය බවට පත් කරල, යන එන ගමන් කමෙන්ටුවක් කොටල උපසිරැසිකරුවන් දිරි ගන්වන සහෘද ඔයාලට. උපසිරැසියක් යටින් වැටෙන කමෙන්ටු තමයි අපිට තියෙන එකම සතුට. ඒ සතුට නිසා තමයි දහස් ගණනක් උපසිරැසිකරුවන් අද ඔබේ උසස් රසවින්දනයට බයිස්කෝප් සමඟ එකතු වෙලා, ඔබ වෙත උපසිරැසි ලබා දෙන්නෙ. ඉතිං බයිස්කොප් වෙබ් අඩවිය හා එක්සත්ව, එක්සිත්ව බැඳී සිටින සියළුම රසික රසිකාවියන් ඔබ සියලු දෙනාටත් හදවතින්ම ආචාර කරනවා අප වෙබ් අඩවිට පැමිණීම පිලිබඳව වගේම අපිව අත්නොහැර අප ගැන විශ්වාසය තැබීම සම්බන්ධයෙන්. හැමවිටම සහෘද ඔබට බයිස්කෝප්හි පළමු පෙළ හිමිකර දෙන්නේ, රසික ඔබගේ සහය, ඔබේ ඇගයුම අපට ලබාදුන් වටිනාකම ලබාදීමේ උරුමකරුවන් ඔබ වන නිසාමයි.

ඒ වගේම, ලංකාව පුරා වේගයෙන් ව්යාප්ත වෙන කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වෙමින්, ඔබේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් සහතික වන ආකාරයට, ඔබට ලැබුණු මේ කාලය, බයිස්කෝප් සමඟ එක්ව නිවෙස් තුළට වී, ආරක්ෂිතව, උසස් රස වින්දනයක් ලබමින්, නීරෝගීව ඉන්න කියල පුංචි ඉල්ලීමකුත් කරමින් එහෙනම් මම සමුගන්නම්. නැවත උපසිරැසියකින් මුණගැහෙන තෙක් ඔබට ආයු-බෝ-වේවා!

ඉන්දියාවේ අඩුමිලට දුප්පත් පෝසත් සියලු දෙනාට ගුවනින් ගමන් කිරිමේ අවස්ථාව ලබාදුන් පුරෝගාමියා වූ  ඩෙකෑන් ගුවන් ගමන් සේවාවේ හිමිකරු වන  G. R. Gopinath මහතාගේ චරිතාපදානය  ලෙස මේ චිත්‍ර‍පටය හඳුන්වන්නට පුලුවන්.! ඔහුගේ දිවියේ සිදුවු නොයෙකුත් දුක්ගැහැට හමුවේ ඔහු ගත් එක්තරා අභීත නොපසුබසිනා තීරණයක් හේතුවෙන් මිල අඩු ගුවන් ටිකට්පත් සහිත ඩෙකෑන් ගුවන් සේවා සමාඟම ආරම්භවිය. ඒ කෙසේද යන්න ලිපියකින් කියවනවාට වැඩි යමක් ඔබට චිත්‍ර‍පටය නැරඹීමෙන් දැකබලා ගැනීමට හැකි බව පසක් කරමින් චිත්‍ර‍පටයේ අනෙකුත් තොරතුරු වලට අවදානය යොමු කරනවා. Sudha Kongara  නම් කාන්තා අධ්‍යක්ෂකවරියකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍ර‍පටය නිෂ්පාදනය කර ඇත්තේ මෙහි ප්‍ර‍ධාන චරිතය හොබනව Suriya සමඟින් Guneet Monga විසින්ය මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ G. V. Prakash Kumar විසිනි, Suriya   කාන්තා අධ්‍යෂකවරියක් යටතේ කටයුතු කල ප්‍ර‍ථම අවස්තාවද මෙය වෙනවා. ඒ වගේම සඳහන් කල යුතු දෙයක් නම් මුළු මහත් ලෝකයටම බලපා ඇති කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලොවපුරා ඇති බොහෝමයක් විශේෂයෙන් ඉන්දියාවේ  සිනමාහල් වසා තිබෙන මෙවන් අවස්ථාවකදි මීට මාස කිහිපයකට පෙර අතීතය ගැන බැලුවහොත් සූරියාගේ බිරිඳ වන ජෝතිකා රඟපෑ Ponmagal Vandhal චිත්‍ර‍පටය මුළු මහත් ඉන්දීය සිනමාවම පෙරලියකට ලක් කරා, ඒ සිනමාහල් සඳහා නිකුත් නොකර ඉඳුරාම ඩිජිටල් මාධ්‍ය හරහා නිකුත් කිරිමෙනි.එම කාර්ය්‍ය නවතාලන ලෙස කියමින් එම අවස්සූථාවේදි සූර්යාට තමිල්නාඩු සිනමා හිමියන්ගේ සංගමය විසින් විවිධාකාරයේ විරෝධතා එල්ල කලා අවසානයේ තමිල්නාඩුවේ තිබෙන කිසිදු සිනමා හලක මින් මතු සූර්යාගේ චිත්‍ර‍පට ප්‍ර‍දර්ශණය නොකර වර්ජනය කරන බවටද ඔවුන් ප්‍ර‍කාෂ කලා.ඒ කිසිවකටවත් නොසැලුනු ඔහු අවසානයේ ඔහුගේම සිනමාපටයක් වන  Soorarai Pottru 2020 නොවැම්බර් මස 12 වෙනිදා ඇමේසන් ප්‍ර‍යිම් හරහා නිකුත් කරනු ලැබුවා.! මේවන විට IMDB හි අගය මනාප 15118 කින් ලබා 9.2 ක් ලබාගෙන  සූර්යාගේ ලොවපුරා සිටින රසිකයින් ඉතා ආදරයෙන් වැළඳගත් බව මනාවට ඔප්පු කරමින් සිටිනවා.තවද  පහත රූප සටහන් වල ඇති සිනමා විචාරක වෙබ් අඩවි ගණනාවක් විසින් මේ සිනමා පටය සඳහා ලබාදුන් විචාරක අදහස් දෙස බැලීමෙන්ද ඒබව තව තවත් සනාථ වෙනවා.

අපි මෙහි ප්‍රධාන චරිතය හොබවන කෙනාත් ගැනත් පොඩි විස්තරක් දැනගම්මු Saravanan Sivakumar – සරවනන් සිවකුමාර් කිව්වම කවුරුත් දන්නෙ නැති රංගභූමිය තුල Suriya – සූර්යා කිව්වම කවුරුත් දන්න සූර්යා 1975 ජූලි 23 වන දින චෙන්නායි හි උපත ලැබුවේය. ඔහු දෙමළ සිනමා නළු සිවකුමාර්ගේ වැඩිමහල් දරුවා වන අතර, ඔහුගේ බාල සොහොයුරු කාර්ති ද නළුවෙකි. බ්‍රින්දා සිවකුමාර් නම් බාල සහෝදරියක් සිටී.  සූර්යා P.s.b.b. පාසල සහ චෙන්නායි හි ශාන්ත බෙඩීස් පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලොයෝලා විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් ලබා ගත්තේය. චිත්‍රපටවල වෘත්තියට පෙර සූරිය ඇඟලුම් අපනයන කම්හලක මාස අටක් පමණ සේවයක් කර ඇත. අධ්‍යක්‍ෂ වසන්ත විසින් අධ්‍යක්‍ෂණය කරන ලද Aasai (1995) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔහුට පිරිනමන ලද නමුත් රංගන දිවිය කෙරෙහි උනන්දුවක් නොමැති බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.  පසුව ඔහු වසන්ත් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මනි රත්නම් විසින් නිෂ්පාදනය Nerrukku Ner 1997 – නෙරක්කු නර් චිත්‍රපටයේ රඟපාන ලද අතර, එවකට විජේ සහ සූර්යා කොලිවුඩයේ සමකාලීන නළුවන් වන අතර, ඔවුන් දෙදෙනා ම මෙම චිත්‍රපටයේ රඟපෑවේය. Nerrukku Ner – නෙරක්කු නර් යනු ඔහුගේ සුර්යාගේ ප්‍රථම චිත්‍රපටය වේ. 1990 දශකයේ අග භාගයේදී වාණිජමය වශයෙන් අසාර්ථක වූ චිත්‍රපටවල චරිත මාලාවක් මෙයින් පසුව සිදු විය.  ඔහු සිද්දික්ගේ අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක් වන Friends 2001 – ෆ්‍රෙන්ඩ්ස් හි ද රඟපෑම විජේ සමඟ එක්ව කල අතර එය සුපිරි චිත්‍රපටයක් බවට පත්විය.  තම මව සමඟ දැඩි ඇල්මක් දක්වන වැරදිකරුවකුගේ චරිතය රඟපාමින් ඔහුට හොඳම නළුවාට හිමි තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය හිමි කරගත්තේය. ඔහුගේ මීළඟ චිත්‍රපටය  වූයේ  වික්‍රමාන් අධ්‍යක්ෂණය කරන ලද Unnai Ninaithu – 2002 උන්නයි නිනයිතු වූ අතර එය ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්විය. ඔහු ගෞතම් මෙනන් අධ්‍යක්ෂණය කරන ලද Kaakha Kaakha 2003 – කකා කාකා නම් චිත්‍රපටයේ රඟපෑවේ පොලිස් නිලධාරියෙකුගේ ජීවිතය පිළිබඳ චිත්‍රපටයකි.  මෙම චිත්‍රපටය ධනාත්මක විචාරයන් සඳහා විවෘත වූ අතර බොක්ස් ඔෆිස් හි බ්ලොක්බස්ටර් බවට පත්විය.  චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට ITF ඇකඩමි සම්මානයක් ද සූරියාට හිමි විය. Pithamagan චිත්‍රපටය වික්‍රම් සමඟ විකට ස්පර්ශයක් සහිත ච්රිතයකට රන්ගනයෙන් දායක වුනි. ඔහු එය සදහා හොඳම සහාය නළුවාට ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේය. 2004 පටන් සූරියගේ රංගනය  චාරකයින්ගෙන් ධනාත්මක විචාර දිනා ගත්තේය. Perazhagan නම් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි සාර්ථක නිර්මාණය බවට පත් වූ අතර සූර්යාට හොඳම නළුවාට හිමි ඔහුගේ පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේය. එම වසරේම ඔහු මනි රත්නම්ගේ දේශපාලන නාට්‍යයක් වන අයිතා එසුතු හි මාධවන් සහ සිද්ධාර්ත් සමඟ ශිෂ්‍ය නායකයෙකුගේ චරිතය නිරූපණය කළ අතර එය අතිශය විවේචනාත්මක පැසසුමට ලක් වූ අතර වාණිජමය වශයෙන් සාර්ථක විය. 2004 නොවැම්බරයේ ඒ. ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගජිනි නම් මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටය සඳහා සූර්යා අත්සන් තැබීය.  ඔහු මතක ශක්තිය අමතක වීම හා බැදුනු රෝගයකින් පෙළෙන රෝගියෙකුගේ ච්රිතයට ‍රන්ගනයෙන් දායක වුණි. (අමීර් ගෙ ගජිනිම තමයි මේකෙ රීමේක් එක තමයි අමීර් කලෙ) ගජිනි 2005 අග භාගයේදී තිරගත වූ අතර එය බ්ලොක්බස්ටර් බවට පත් වූ අතර එම වසරේ දෙමළ භාශා වැඩිම ආදායමක් උපයාගත් තුන්වන චිත්‍රපටය විය.  සූරියගේ භූමිකාව ඒකමතිකව පැසසුමට ලක්විය.  පසුව ඔහු හරීගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අරූ හි වැඩ කළ අතර චිත්‍රපටයට බොක්ස් ඔෆිස් වෙතින් හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.

සූරියගේ 2006 නිකුතුව වූයේ එන්. ක්‍රිෂ්ණාගේ සිලුනු ඔරු කඩල් ය.  මෙම චිත්‍රපටයේ ඔහු සිය බිරිඳ ජෝතිකා සරවනන් සමඟ රඟපෑ අතර එය හොඳ ආරම්භයක් ලබා ගත් නමුත් සාමාන්‍ය දළ ආදායමක් ලබා ගත්තේය.  2007 දී තිරගත වූ වෙල් චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ජනප්‍රියත්වයට පත්විය.  ඔහුගේ ඊළඟ ච්රිතයට වූයේ කඛා කාකා චිත්‍රපටයේ සාර්ථකත්වයට පසුව ගෞතම් මෙනන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ වරනම් අයිරාම් ය.  සිය වෘත්තීය ජීවිතයේ තුන්වන වතාවට ද්විත්ව චරිත නිරූපණය කරමින් සූරිය පියා සහ පුතා ලෙස පෙනී සිටිමින් 16 හැවිරිදි පුතු සහ 65 හැවිරිදි වියේ පියා ලෙසත් රන්ගනයෙන් දායක විය. සූරිය මෙම ව්‍යාපෘතිය “අද්විතීය” සහ “හදවතින් කෙළින්ම” ලෙස විස්තර කළ අතර, එය සෑදීමේදී තමා විඳදරාගත් ශාරීරික දුෂ්කරතා විස්තර කළේය.  ඔහු බර අඩු කර ගත් අතර ස්ටෙරොයිඩ් නොමැතිව මාස අටක යෝග්‍යතා පාලන තන්ත්‍රයක් හරහා චිත්‍රපටය සඳහා සූදානම් වී තිබේ. මෙම චිත්‍රපටය දකුණු ඉන්දියාවේ අනෙකුත් ප්‍රමුඛ නළුවන් සඳහා ප්‍රවණතාවක් ඇති කළේය.  චිත්‍රපටය බොක්ස් ඔෆීස් හි වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර චිත්‍රපට විචාරකයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණි. සූරියගේ රංගනය පැසසුමට ලක්විය.  ඔහුගේ නිරූපණයන් මගින් ඔහුට හොඳම නළුවාට ෆිල්ම් ෆෙයාර් සම්මානය, ජූරි සභාව විසින් හොඳම නළුවාට තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය සහ 2008 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය Vijay awards මගින් ඔහු ජය්‍රහණය කලේය. 2008 සඳහා දෙමළ භාෂාවෙන් හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය ද දිනාගත්තේ ය. 2009 දී සූරියගේ පළමු චිත්‍රපටය වූ යේ කේ. වී. ආනන්ද්ගේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටය වන අයියන් වන අතර එය වසරේ වැඩිම ආදායම් ලැබූ දෙමළ චිත්‍රපටය බවට පත්විය.  චිත්‍රපටය නිකුත් වූ පසු ධනාත්මක විචාරයන් දිනාගත් අතර සූරියගේ රංගනය යළිත් පැසසුමට ලක්විය.  ඔහු ප්‍රමුඛ සම්මාන සඳහා නම් කර ඇති අතර වසරේ විනෝදාස්වාදය සඳහා විජය සම්මානය දිනා ගත්තේය.  චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා විශාල වාණිජමය ජයග්‍රහණ ලබා ගනිමින් සූරිය දෙමළ චිත්‍රපටවල වඩාත්ම ලාභදායී ප්‍රමුඛ නළුවා බවට පත්විය.  අයන් චිත්‍රපටයෙන් පසු ඔහුගේ තවත් එක් ජයග්‍රාහී මාවතේ හැරවුම් චිත්‍රපටය කි. 2010 දී හරී විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංගම් සමඟ ඔහුගේ 25 වන චිත්‍රපටය එළිදැක්වූ අතර, ඔහු නගරයේ වැඩට යන කුඩා ගමක පොලිස් නිලධාරියෙකු වන ‘දුරෙයි සිංගම්’ ගේ චරිතය රඟපෑවේය.  චිත්‍රපටයට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු අතර එය විශාල වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තේය.  මෙම චිත්‍රපටය නැවතත් හොඳම විනෝදාස්වාදය සඳහා වූ විජේ සම්මානය දිනාගත් අතර පසුව වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙවන චිත්‍රපටය බවට පත්විය.  ඔහු බොලිවුඩ් සිනමාවට පිවිසියේ 2010 දී රාම් ගෝපාල් වර්මාගේ කොටස් දෙකකින් යුත් දේශපාලන නාට්‍යයක් Rakhta Charitra වන 2011 දී ඔහු රඟපෑ එකම චිත්‍රපටය වූයේ ඒ. ආර්. මුරුගදාස්ගේ විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක 7aum Arivu ය. චිත්‍ර ශිල්පී Aravind හා 6 වන සියවසේ ජීවත් වූ බෝධිධර්මා නම් බෞද්ධ භික්ෂුව ලෙස සූරිය චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණය කළේය.චිත්‍රපටය මිශ්‍ර පිළිගැනීමක් ලැබුණද එය වාණිජමය වශයෙන් සාර්ථක විය.  ඔහුගේ එකම 2012 වර්ශය ට නිකුත්  වූයේ කේ. වී. ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද මාත්‍රාන් ය. එහිදී ඔහු ඒකාබද්ධ නිවුන් දරුවන් වන විමලාන් සහ අඛිලාන් යන චරිත නිරූපණය කළේය.  චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණු අතර, චිත්‍රපටය සාමාන්‍ය දළ ආදායමක් ලබා ගත් අතර සූරියගේ රංගනය පැසසුමට ලක්විය.

2012 ජනවාරි 27 වන දින සුරියා New game show හි  වැසටහන නිල ( official ) ඉදිරිපත් කරන්නා බවට පත් විය. මෙහි සත්කාරක වූයේ ස්ටාර් විජේ නාලිකාවය. ඔහුගේ ඊලග චිත්‍රපටය වූයේ සිංගම් 2 චිත්‍රපටයයි. ඔහුගේ 2010 චිත්‍රපටය වන සිංගම් චිත්‍රපටය 2013 ජුලි 5 වන දින තිරගත විය.  මෙම චිත්‍රපටය දැවැන්ත ආරම්භයක් ලබා ඇති අතර එය වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය බවට පත්වූ අතර ලොව පුරා කෝටි 100 කට අධික ආදායමක් උපයාගත් දමිළ චිත්‍රපටයක් බවට පත්විය.  ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන එන්. ලින්ගුසාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද anjaan චිත්‍රපටය දෙමළ සිනමාවේ සහ සූරියගේ හොඳම චිත්‍රපට වලින් එකක් වූ නමුත් බොක්ස් ඔෆිස් හි සූර්යා ගේ සාමාන්‍ය චිත්‍රපටවඩා අඩු ආදායමක් සහිත බවට පත්විය.  ඔහුගේ මීලග චිත්‍රපටය වූයේ මිශ්‍ර විචාරයන් සඳහා නිකුත් වූ වෙන්කට් ප්‍රභාගේ මාස් චිත්‍රපටයයි. 2016 දී ඔහුගේ එකම චිත්‍රපටය වූයේ වික්‍රම් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ ම නිෂ්පාදනය වූ “24 ” චිත්‍රපටය වන අතර එය 2016 මැයි 6 වන දින තිරගත විය. කාල චාරිකාව යන සංකල්පය මත පදනම් වූ මෙම චිත්‍රපටය සූරිය ත්‍රිත්ව චරිත නිරූපණය කළේය.  මෙම චිත්‍රපටය ඒකමතික විවේචනාත්මක පැසසුමට ලක් වූ අතර එය වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර ලොව පුරා කෝටි 100 කට අධික ආදායමක් උපයා ගත්තේය. සූරියගේ රංගනය, විශේෂයෙන් ‘ආත්‍රේයා’ චරිතය බෙහෙවින් පැසසුමට ලක්විය. 2017 දී නිකුත් කරන ලද සිංගම් 3  චිත්‍රපටය 2017 පෙබරවාරි 9 වන දින නිකුත් කරන ලදී.  එය දෙමළ චිත්‍රපටයක් සඳහා ලොව පුරා විශාලතම තිරගත කිරීම් වලින් එකක් වන අතර, සූරියගේ විශාලතම චිත්‍රපටය වන අතර, එය නිකුත් වී දින 6 ක් වැනි කෙටි කාලයක් තුළ ලොව පුරා කෝටි 100 ක් උපයා ඇත.  සූරියගේ මීළඟ චිත්‍රපටය 2017 දී අධ්‍යක්‍ෂ විග්නේෂ් ශිවන් සමඟ තනානා සර්න්ද කූට්ටම් සමඟ වන අතර ඉන් අනතුරුව ඔහු සිය 36 වන චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂ සෙල්වරාගවන් සමඟ චිත්‍රපටයකට පෙනී සිටීමට ගිවිසුම් අත්සන් කර තිබේ. සූරිය විවාහ වී ඇත්තේ ප්‍රසිද්ද නිළියක්වන ජෝතිකා සමඟ වන අතර ඔහු සමඟ චිත්‍රපට හතක පමණැය රන්ගනයෙන් දායක වී ඇත.  මෙම යුවළ වසර ගණනාවක් එකට සිටීමෙන් පසු 2006 සැප්තැම්බර් 11 වන දින විවාහ විය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටින අතර දියණිය ක් සහ පුතෙකි.සූර්යා පින් අතේ වැඩ වලට හා සමාජශීලී වැඩ වලටද දායක වන අයෙකි. 2008 දී සූරියා විසින් අගාරම් පදනම ආරම්භ කළ අතර තමිල්නාඩුවේ මුල් කාලයේ පාසැල් හැර යන දරුවන්ට උපකාර කිරීම සඳහා කටයුතු කළේය.  1980 දශකයේ සිට කුඩා පරිමාණයෙන් සමාන ප්‍රතිලාභ ක්‍රියාත්මක කරමින් සිටි තම පියාගේම සංවිධානය වන සිවකුමාර් අධ්‍යාපනික භාරය හේතුවෙන් මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට තමා පෙලඹුණු බව සූරිය අනාවරණය කළේය.  තමිල්නාඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඔහු ළමා දරිද්‍රතාවය, ශ්‍රමය සහ අධ්‍යාපනයේ අවශ්‍යතාව දැක්වෙන කෙටි වීඩියෝවක් නිර්මාණය කළේය. විවිධ අංශයන්හි උසස් අධ්‍යාපනය සඳහා අගාරම් පදනම විසින් 2010 දී අඩු වරප්‍රසාද ලත් සිසුන් 159 දෙනෙකුට අනුග්‍රහය දැක්වූ අතර සිසුන්ට නොමිලේ ආවශ්‍ය දේ සහ නවාතැන් ලබා දී ඇත. උගත් මනසින් සමාජ නපුර තුරන් කිරීම පමණක් නොව සමාජයේ සමාජ-ආර්ථික අභිවෘද්ධිය සඳහා ද සහාය වනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් යුතුව, ආගරාම් පදනම ගුණාත්මක අධ්‍යාපනයට වෙනත් ආකාරයකින් ප්‍රවේශයක් නොමැති ග්‍රාමීය ජනතාවට සුදුසු ඉගෙනුම් අවස්ථා ලබා දීමට කටයුතු කරයි.  මෙම පදනම තුළින් සිසුන්ට වැඩමුළු වලට සහභාගී වීමට සහ සන්නිවේදන කුසලතා, කණ්ඩායම් වැඩ, ඉලක්ක සැකසීම සහ නායකත්වය වැඩි දියුණු කිරීමට වේදිකාවක් ද ඔහු විසින් සකසා ඇත. සිවකුමාර් පුණ්‍යාධාර භාරය වෙනුවෙන් සූර්යා  සහ ඔහුගේ පවුලේ අය ශ්‍රී ලාංකික දෙමළ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර ලබා දී ඇත.

නැවත උපසිරැසියකින් මුණගැහෙන තෙක් ඔබට ආයු-බෝ-වේවා! 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

43,723 downloadsDownload Soorarai-Pottru-2020.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

43,723 downloadsDownload Subtitles93 KB

87 comments

  1. රොෂාන් ශමීර ජයසිංහ

    50 වෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්...
    ඔන්න බා ගත්තා..
    ~ ජය වේවා ~

  2. මයුර

    50ට සුබ පතනවා පීතර අයියා.
    තව අවුරුදු 6කින් 100ත් එක්ක හමුවෙමු.
    ජයවේවා

  3. තාරක නුවන් දිල්හාර

    හදවතින්ම සුභ පැතුම් 50 වෙනි උපසිරසි කඩයිම වෙනුවෙන්...
    උපසිරැසිකරණයේ අඩුවෙන් යෙදී හිටියත් බයිස්කෝප් පවුලේ ක්‍රියාශීලී සාමාජිකයෙක් කිව්වොත් නිවැරදියි..
    මමත් බයිස්කෝප් අඩවියට එකතු වෙලා මුලින්ම හඳුනාගත් සහෝදරත්වය තමයි සඳුන් ධනුෂ්ක...
    වාර්තාවක්ද සමගින් අද පළමු කඩයිම පසු කරන ඔබ මේ බිඳ දමන්නේ ආසිරි ප්‍රියන්ත මහතා තබා තිබු එම වාර්තාවයි.. :D :D
    අන්තිම හුස්ම යන්න කලින් මෙයත් 50 ගහනවා දැකගන්න පුළුවන් උනා එහෙනම්..
    ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කර සිටිනවා...!
    ඉදිරියේදීත් අපි නිතරම මුණගැසේවි අනිවාරෙන්...!
    ජයෙන් ජය...!!!

    1. Asiri Priyantha (Hewa)

      100 දී ගේම දෙනවා පොරට මම, කර කර උන්නු පරණ සබ් ටිකත් නැවැත්තුවා. ගේම නම් ගේම.

  4. Pasindu Madumal

    .මෙච්චර අවුරුදු ගාණක් හරි අරගෙන තම සිංහල උපසිරැසි දිවියේ 50 වෙනි කඩයිම ලබන අද, මගෙනුත් උණුසුම් සුබ පැතුම් අයියේ..!

    හම්බවෙලා කතා කරල තියෙනවා, ඒක ගැන සතුටුයි. බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකත් කරන් යන ගමනේ කිසිම බාධාවක් එන්නේ නැතුව දිගටම ඒකත් උපසිරැසි ගැන්වීමත් සමබරව අරන් යමු කියන ගමන් 100 වෙනි කඩයිමත් ගහමු කොහොම හරි..!

    සූර්‍යා, මේවා අතාරින්නේ කොහොමද, බලලම තමයි පස්ස බලන්නේ.
    සබට තුති සදුන් අයියේ ❤️

  5. Anonymous

    50ට උණුසුම් සුබපැතුම්

  6. Pasindu Madumal

    සිංහල උපසිරැසි දිවියේ 50වෙනි කඩයිම පසුකරන පීටර් අයියට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්..!

    සිංහල උපසිරැසිකරණය කරගමන් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියත් කරන් යන ගමනේදී කිසිදු බාධයක් ඇති නොවී, නොනැවතී ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා අයියේ.
    සූර්‍යගේ එකක් ඉතින් කොහොම මිස් කරන්නද, දෙනකම් හිටියේ. අම්බෝ ඒ ලිපිය සෑහෙන්න දේවල් දැනගත්තා. ෆිලුම බලලා එන්නම්කෝ.

    එහෙනම් 100වෙනි කඩයිමටත් ඔහොම්ම ඇදගෙන යමු.
    සබට තුති වේවා සදුන් අයියේ..! ❤️

  7. Kavindu12345desilva

    50 ta suba pathum ayye
    digatma sub genna
    jaya wewa budusaranyi

  8. යුරාන් ධනුක (දනුවා)

    පළවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් අයියේ
    දමිළ සිනමාව දන්න සිංහලෙන් ගේන්න උර දෙන
    අපේ වෙබ් අඩවියේ ඉන්න තවත් දැවන්තයෙක් කියලා හදුන්වන්න පුළුවන්.
    50* පරක්කු උනාට ඉක්මනට 100* ගහන්න ශක්තිය ලැබේවා.
    උපසිරසියටත් බොහෝම ස්තූතියි... ජය වේවා !

  9. විකියා

    සුභ පැතුම් මල්ලි... ජයෙන් ජය

  10. Anonymous

    SUBA PATUM BOSS...

  11. Gathsara Umesh

    50ta Hadawathinma Suba Pethuma Sahoodaraya...
    Digatama Mewage Sub LAbadenna shakthiya Labenna kiyala pathnavaa...
    Ilaga Sub ken Hamuwemu..

  12. නලින් පෙරේරා

    අඩේ, පිටරයා.. 50ක් ගහලනේ යකෝ! සුපිරිනේ.. ඇත්තටම සතුටුයි බං. 100ත් ගහමු 50 ගැහුවා වගේ නැතුව.
    ජය වේවා!

  13. R_deshan

    කඩඉමට සුබපතන ගමන් සබ් එකට තෑන්ක්ස් කියලත් කියනවා.දිගටම වැඩේ කරමු සහෝදරයා!!

  14. Navodani Thilini Sasanika

    පළෙවනි කඩඉමට සුභ පතනවා අයියෙ! 100 ඊට වඩා ඉක්මණට අරන් එන්න එහෙනම්!

  15. එල්.සී. දමැල්

    50වෙනි උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම් සඳුන් අයියෙ!
    අවුරුදු 7ක් තිස්සෙ සබ් වැඩිය නොකළත් ⁣ඩවුන්ලෝඩ් අඩවියෙ ලින්ක් පැත්ත වෙනුවෙන් සෑහෙන මහන්සි වුණා මං හිතන්නෙ. කරපු සබ් සේරමත් ලයින් 2000 පැනපුවා නෙවැ. ;) ඉතින් දිගටම වැඩකටයුතු සාර්ථකව කරගන්න වගේම ඊළඟ කඩයිමට මේකට වඩා ඉක්මනට ළඟා වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :D
    ජය :)

  16. lakindu

    a most awaited movie...thank you..and congratulations brother..

  17. Sohan Jayasooriya

    50 වෙනි සබ් එකට හදවතින්ම සුබ පතනව අයියේ.. දිගටම සබ් කරන්න ශක්තිය, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  18. Randima

    Thanxx bro....

    1. -චානක ඉඳුනිල්-

      පලමු කඩයිමට උණුසුම් සුභ පැතුම්!

  19. sampath53

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.100ත් අරන් ඉක්මනට එමු.ඔබට ශක්තිය,දෛර්‍ය ලැබේවා.!!!!

  20. සුභාෂිණි මල්ලව ආරච්චි

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්. 

  21. Anonymous

    Supiri filumak
    Supiri sub ekak
    Thanks saho

  22. Chalindu Deshan

    Congratulations bokka.

  23. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති වේවා අයියේ...
    පළමු උපසිරැසි කඩඉමට හදවතින්ම සුබපැතුම් එකතු කරනවා... සයිට් එකේ ඉන්න උපසිරැසිකරුවන්ගෙන් කැමතිම උපසිරැසිකරුවෙක්... හොඳම ෆිල්ම් වලට නෙව සබ් අරන් එන්නේ.. දැන් වැඩත් එක්ක වේගේ ටිකක් අඩු වුනාට ඉස්සර දවසෙන් දෙකෙන් සබ් දුන්න හැටි මතකයි... ඒ වගේම සමාජ සත්කාර, සුහද හමු වලට අනිවාර්යයෙන් සහභාගී වෙන කෙනෙක් වගේම නැතුවම බැරි කෙනෙක්. ඉතින් ඒවගෙදි මුණගැහිලා අඳුරගන්න ලැබුනු එක ගැනත් සතුටු වෙනවා. මගෙත් උපසිරැසි වලට උදව් දීලා තියන කෙනෙක් වගේම බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එක ඇදගෙන යනගමන් සයිට් එක වෙනුවෙනුත් ලොකු සේවයක් කරන කෙනෙක්. ඉතින් පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක කරගන්න ගමන් තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!

  24. yohan

    jayen jaya wewa...lipiya nan patta.... nodanna dewal godak denagaththa..

  25. sinama

    ස්තූතීයී

  26. Hemal Samarasekara

    Jaya wewa Saho. baiscope ekath ekka digatama inna

  27. Muditha Dissanayaka

    පීටර් මේකට කොමෙන්ටුවක් නොදා බෑ.
    2010 ඔහෝ මමත් එදා ඉදලම ආවා..
    තවම ඉන්නවා.
    ජය වේවා.

  28. Lasantharathnasirirox

    බොහෝමත්ම ස්තුතියි සඳුන් සහෝ..ජයවේවා..

  29. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    1. Anonymous

      Tnx broo nice sub

  30. PahasaraDv

    Thankz.....

  31. Nilupul Madukapriya Perera

    50වන උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
    අම්මෝ ඉතින් 2014 ඉදලා, ඒ කියන්නෙ අපිටත් වඩා
    පරණ පොරක් නොවෑ මේ 50 ගහලා තියෙන්නෙ.
    ඔයයිගෙ සබ්වලින් ගොඩක් එව්වා බලලා තියේ. ඒ නිසාම
    කිව්ව හැකි දෙමල ෆිලුම්වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන
    කෙනෙක් කියලා. දෙමළ සයිඩ් එක ගත්තාම උඩින්ම බැබලෙන
    නමක් තමා ඉතින් පීතරයා කියන්නෙ. ඉතින් මෙතනින් නොනැවතී 100ත්
    ගහමු හනිකට 2025 විතර...
    එහෙමනම් උපසිරසියට තුති. ඔබට ජයෙන් ජය!

  32. Shaggy

    Thank you very much

  33. Shaggy

    Good luck brthr

  34. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම පනස් වෙනි උපසිරැසියට එහෙමත් නැතිනම් උපසිරැසිකරණයෙ පලවෙනි කඩඉමට මගේ උණුසුම් සුභ පැතුම්.! මේ වකවානුවේ සක්‍රීයව නැතත් 204 සිට 2015 දක්වා කාලය තුල දකුණු ඉන්දියානු සිනමාව සිංහල උපසිරැසි වලින් හෙල්ලු පෙරලියක් කල කෙනෙක් විදියට අඳුන්වන්නට පුලුවන්,බයිස්කෝප් සිංහලෙන් අඩවියේම ඇති පාලන වැඩ රාජකාරි නිසාවෙන් පලවෙනි කඩඉමට එන්නට මෙතරම් කාලයක් ගතවුනාට දෙවෙනි කඩඉම කරා ඉක්මනින් යාමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    1. Singankutti a.d. Lalani Maduwanthi

      Hi ,,,12B tamil movie ekata subtitles denna puluwanda? Please malliyo,,,

  35. tharidu16

    supiri film1 50ta karanna labuna neda. jayawewa. thanks pin.

  36. isuru srinath sjs

    සූරියගෙ චිත්‍රපටයකින්ම පලමු කඩයිම ගහන්න පුලුවන් උනා නේද සදුන් අයියේ.. උපසිරැසියට බොහොම ස්තුතියි කියන් ගමන්, 50ස් වෙනි සිංහල උපසිරැසිකරණයට හදවතින්ම සුබ පතනවා..
    ඉස්සරහටත් මේ වගේම සුපිරි ඒවට අයියගෙන් සිංහල උපසිරැසි බලාපොරොත්තු වෙනවා.. ජය වේවා !!!

  37. Anonymous

    gook work mcn 720*265 eke sound nane

  38. kevin D...

    Thanks...

  39. Asiri Priyantha (Hewa)

    ඒ කියන්නේ උඹ එකට ඉදපු එකාටම ඇරියා නෙහ්!
    හිතුවේ නෑ ඒම කරයි කියලා. කෝම උනත් සුබ පැතුම් මචෝ50ට. එහෙනම් 100 ට යන ගමනෙදි හම්බෙමු. තරගකාරයෙක් නැතිව මාත් කම්මැලිකමේ සබ් වැඩේ කරන් ගියේ. දැනුයි ගැම්ම ආවේ. 100 වෙනි සබ් එකේදි ආයෙ ඒ වාර්තාව මමම තියනවා.. පීටර් කුයින් ගේම් ඔන් එහෙනම්.

  40. Kushan pasindu

    නියමයි sub karala tibba super ජය

  41. Anonymous

    patta

  42. Chandima Prasad

    50 කඩයිමට සුභපැතුම් වගේම සබ් එකට ගොඩක් ස්තූතියි මචං..ජයවේවා..

  43. Lalani Maduwanthi

    Thank you,,,12B tamil movie ekata subtitles denna puluwanda?

  44. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට... 50වෙනි උපසිරැසියට සුභ පැතුම්....

  45. සාරංග ජේ. ලියනගම

    Thanks

  46. Sandaruwan

    Me film eke sub ekata thxx bro puluwannm super singh (2017) film ekatath sub ekak karala danna....

  47. Ranga

    හදවතින්ම සුභ පතනවා පීටර් මහතා. තව අවුරුදු 5කින් 6කින් විතර ඉක්මණින්ම 100 ගහමු. ජය වේවා!

  48. දහරා මුතු අමා

    50ට උණුසුම් සුබ පැතුම් අයියේ...
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්තනා කරනවා.
    ඒ වගේම ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    එ වගේම මාවත් මතක් කලාට ස්තූතියි.

  49. ගීත් මිහිර සත්සර

    උපසිරැසියට බොහොම ස්තුතියි අයියේ...
    ෆිලුම ඩවුන්ලෝඩ් කරලා මෙතෙන්ට එද්දී තමයි දැක්කේ මේක ඔයාගේ 50 කියලා...
    ඉතිං පනස්වැනි උපසිරසියටත් සුභ පැතුම්..
    පනහ කියල දැක්කාම පුදුමත් හිතුනා...
    ඒ කියන්නේ මම ඔයාගේ ෆිල්ම්වලින් සෑහෙන ගානක් බලලා තියෙනවා..
    කොහොමහරි, ඊළඟ කඩඉමටත් සුභ පතනවා...

  50. kavinu

    සුබ පැතුම් සඳුන් අයියේ... ඉක්මනටම 100ටත් යන්න පුලුවන් වේවා කියලා පතනවා!
    ඔයාගේ සබ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්,
    කඩයිමට දාපු චිත්‍රපටියත් සෙල්ලම් නෑ වගේ... ජය වේවා!!!

Load more comments