එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස ලැබීමත් සමග බෙංගාලය දෙකඩ වීම ඉන්දීය ඉතිහාසයේ සැලකියයුතු සිදුවීමකි. බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය එනම් වර්තමාන බංගලිදේශ භූමිය පකිස්ථානයට හිමිවීම ආගමික පදනම මත සිදු වූවකි. මේ නිසා එම ප්‍රදේශයේ විසූ හින්දු භක්තිකයන් විශාල පිරිස් වශයෙ…

එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස ලැබීමත් සමග බෙංගාලය දෙකඩ වීම ඉන්දීය ඉතිහාසයේ සැලකියයුතු සිදුවීමකි. බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය එනම් වර්තමාන බංගලිදේශ භූමිය පකිස්ථානයට හිමිවීම ආගමික පදනම මත සිදු වූවකි. මේ නිසා එම ප්‍රදේශයේ විසූ හින්දු භක්තිකයන් විශාල පිරිස් වශයෙන් සරණාගතයන් ලෙස බටහිර බෙංගාලයට සංක්‍රමණය වන්නට වූහ. 1965 වර්ෂයේ තිරගත කෙරුණු “සුබර්ණරේඛා” නම් චිත්‍රපටය එසේ සංක්‍රමණය වූ පවුලක් පසුබිම් කරගනිමින් ඍත්වික් ඝටක් සිනමාවේදියා විසින් නිර්මාණය කෙරුණු චිත්‍රපටයකි. සමාජ විෂමතා පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ඝටක් විසින් නිර්මාණය කරන්නට යෙදුණු තුන් ඈඳුතු චිත්‍රපට පෙළක අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන මේ චිත්‍රපටය හා ඈඳුණු අනෙක් සිනමා නිර්මාණ දෙක වන්නේ “මේඝේ ධකා තාරා (1960)” සහ “කෝමල් ඝාන්ධාර් (1961)” යන චිත්‍රපට දෙකයි. මෙයින් මේඝේ ධකා තාරා චිත්‍රපටය වෙනුවෙන් මා විසින් සකස් කෙරුණු උපසිරැසිය ඔබ වෙත මේ වන විට ලබා දී ඇත. කෝමල් ඝාන්ධාර් චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසි දැනට නිර්මාණය කරමින් පවතින අතර නුදුරු කාලයේදී එයද ඔබ වෙත ලබා දීමට අපේක්ෂා කරන්නෙමි.
නැගෙනහිර බෙංගාලයේ සිට පැමිණෙන සරණාගතයින් පසුබිම්කොට ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබුණද මෙහි මුඛ්‍ය තේමාව වන්නේ දරිද්‍රතාවය සහ ඒ හා බැඳුණු කුල පීඩනයයි. එකම ආකාරයේ ගැටළුවලට මැදිව පැමිණි පාසල් ගුරුවරුන් දෙදෙනෙක් වන ඊශ්වර් චක්‍රවර්ති සහ හරප්‍රසාද් යන දෙදෙනා දරිද්‍රතාවයට මුහුණදීම සඳහා තෝරා ගන්නේ එකිනෙකට වෙනස් මාර්ග දෙකකි. එහෙත් අවසානයේ ඔවුන් දෙදෙනාම උක්ත සංසිද්ධින්හි ගොදුරු බවට පත්වන්නේ එකම ආකාරයටය. දරිද්‍රතාව පිළිබඳ සමාජ හැසිරීම් රටාව හරප්‍රසාද් වටහා ගන්නේ ජීවිතයේ අවසන් සමයේ වන අතර ඒ පිළිබඳව ඊට වඩා යම් අවබෝධයක් තිබූ ඊශ්වර චක්‍රවර්තිද එම සමාජයේම ගොදුරක් බවට පත් වන්නේ තම දැනුම නිසි පරිදි යොදවා ගැනීමට නොහැකි වීම හේතුවෙනි. බාලවියේ පටන් සමාජය කෙරෙහි අතිමහත් කරුණාවක් දැක්වූ අවිරාම් සමාජය තුල පවතින අනනුකම්පීය ලක්ෂණ වටහා ගැනීමෙන් කළකීරීමට පත්වන අතර එම සමාජයටම ගොදුරු වෙමින් තම ජීවිතය අවසන් කරයි. තවත් අතකින් බලන විට අවිරාම්ගේ ජීවිතය තුලින් පිළිබිඹු වන්නේ සමස්ථ මානවවාදී කලාකරුවාගේ ඉරණමයි. ඔහුගේ මරණින් පසුව ඔහුගේ බිරියට තමන් උගත් කලාව අලෙවි කිරීමට සිදුවේ.
කුල පීඩනය ඉන්දීය සමාජය තුල ප්‍රබලව දක්නට ලැබෙන සංසිද්ධියකි. උපතේ සිට මරණය දක්වාත් මරණයෙන් පසුවත් ජීවිතයේ සියලුම කාරණා මත එය දැඩිව බලපායි. තමන් අතිශය ආදරය කළ, හදාවඩාගත් සොහොයුරා පවුලෙන් ඉවත් කොට දැමීමට ඊශ්වරට බලපෑම් කරන්නේ මෙම තත්ත්වයයි. ඔහුගේ සතුටින් විසු පවුල අභ්‍යන්තරයට අතපොවා එය අවුල්කර දැමීමටත් අවසානයේ සීතා සහ අවිරාම්ගේ ජීවිතවලට ඛේදනීය අවසානයක් හිමිකර දීමට තරම් ප්‍රබලවන ඉන්දියානු කුල පීඩනය පිලිබඳවත් මේ චිත්‍රපටය තුලින් ප්‍රශ්න කෙරේ.
සිනමා සෞන්දර්යය පිළිබඳව විශේෂ අවධානයක් දක්වන සිනමාකරුවකු වූ ඍත්වික් ඝටක් මේ චිත්‍රපටය තුලින් අපූර්ව රූපරාමු පෙලක සුන්දරත්වය විඳීමට රසිකයා වෙත අවස්ථාව සලසා දී ඇත. කුඩා අවිරාම් සහ සීතා වනයේ ඇති නටඹුන් වූ ගුවන් පථයක දුව පැන සෙල්ලම් කරන දර්ශන පෙලක් මේ චිත්‍රපටයේ එයි. සිනමා කැමරාවක් පිළිබඳ දැනීමකින් තොරව සැබැවින්ම ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරතියි පෙනෙන තරමට ඒ දර්ශන ස්වභාවිකත්වයෙන් අනූනය. සංගීත ඛණ්ඩයක් පරිද්දෙන් ලයාන්විතය. එසේම වැඩි වියට පත් අවිරාම් සහ සීතා යන පෙම්වතුන් දෙපළගේ ජවනිකාද අතිශයින්ම ස්වභාවිකව ලබා ගැනීමට ඔහු සමත්ව ඇත්තේ, සැබෑ ඉන්දියානු පෙම්වතුන් යුවලක් අප ඉදිරියට ගෙන එයි. සියලුම ජවනිකා අතිශය සංයමයකින් යුතුව මවන්නට සමත් වීම සිනමාකරුවාගේ පරිණතබවට උදාහරණයකි.
මේ වනවිට මම වංග සිනමා නිර්මාණ තුනක් සඳහා උපසිරැසි ඔබ වෙත ලබා දී ඇත්තෙමි. මේ චිත්‍රපට රසවිඳීමේදී ප්‍රේක්ෂකයන් මුහුණපාන ප්‍රායෝගික ගැටළුවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙමි. මා ඔබ වෙත ගෙන ආ චිත්‍රපටයක නම එක් තැනක “තිතාෂ් එක්ඨි නොදීර් නාම්” ලෙසත් තවත් තැනත “තිතාෂ් එක්ඨි නදිර් නාම්” ලෙසත් සටහන් වී ඇති අයුරු ඔබ දකින්නට ඇතුවා නිසැකය. මෙහි “නදීර්” යනු ලිඛිත ස්වරූපයයි. එය උච්ඡාරණයේදී “නොදීර්” යන ස්වරූපය ගන්නේ වංග භාෂාවේ “අ” ශබ්දයක් නොවීම හේතුවෙනි. ලිඛිතව “අ” ලෙස භාවිත කළද උච්ඡාරණයේදී එය “ඔ” බවට පත් වේ. හින්දි, මරාටි හෝ සිංහල ජාතික “ලලිතා” බෙංගාලයේදී “ලොලිතා” බවට පත් වන්නේ ඒ අනුවය.
එසේම වංග භාෂාව වැනි නැගෙනහිර ඉන්දු ආර්ය භාෂාවල ඇති තවත් විශේෂ ලක්ෂණයක් නම් “ව” සහ “බ” ශබ්ද දෙකම සඳහා එකම (ব) අක්ෂරය භාවිත කිරීමයි. උච්ඡාරණයේදී එය “බ” වශයෙන් උච්ඡාරණය කරනු ලැබේ. “තිතාෂ්” චිත්‍රපටයේදී “වසන්තී” , “බසන්තී” බවට පත් බවට පත් වන්නේ ද ප්‍රසිද්ධ සිනමාකරු විමල් රෝයි, බිමල් රෝයි බවට පත්වන්නේද මේ රීතිය අනුවය.
මේ චිත්‍රපටයේ එන “අවිරාම්”, “ඔබිරාම්” බවට පත්වන හේතුවත්, “රවී”, “රොබී” බවට පත්වන හේතුවත් ඔබට පැහැදිලි යැයි සිතමි. “ස්වර්ණරේඛා”, “සුබර්ණරේඛා” බවට පත්වන්නේ ද මේ රීතිය අනුවය. උක්ත ව්‍යවහාර දෙකෙන් කවර හෝ ව්‍යවහාරයක් භාවිත කිරීම වරදක් නැති නමුත් චිත්‍රපටය නරඹන විට අපට ඇසෙන්නේ වාචික ස්වරූපය බැවින් උපසිරැසි නිර්මාණයේදී නම් ගම් ආදිය සඳහා මම වාචික ස්වරූපය භාවිතා කළෙමි. මේ අවබෝධය ඔබට චිත්‍රපට රසවිදීමට රුකුලක් වනවා සේම අන්තර්ජාලය තුල චිත්‍රපට පිටපත් සෙවීමේදීද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.
යූ ටියුබ්හි Subarnarekha [1965] [ Ritwik Ghatak] යන නමින් ඇති පිටපත මේ චිත්‍රපටයේ මට හමු වූ වඩාත්ම පැහැදිලි පිටපතයි. ටොරන්ට් පිටපත් හෝ වෙනත් පිටපත් එපමණ පැහැදිලි නොවන බැවින් චිත්‍රපටය නැරඹීම සඳහා ඉහත සඳහන් කොට ඇති පිටපත වඩාත් සුදුසු බව නිර්දේශ කරමි.
සුබර්ණරේඛා චිත්‍රපටය සඳහා උපසිරැසි යොදන ලෙස මට පළමුවෙන්ම යෝජනා කළේ තාරක චමින්ද ධර්මසේන නම් නොදුටු මිතුරා විසිනි. එසේ යෝජනා කිරීමෙන් නොනැවතී වඩාත් සුදුසු චිත්‍රපට පිටපතක් සහ ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් සොයා දීමට තරම් වූ ඔහුගේ කාරුණික අනුග්‍රහය නොවන්නට මේ උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම තවදුරටත් ප්‍රමාද වන්නට ඉඩ තිබුණි. එබැවින් තාරක චමින්ද ධර්මසේන නොදුටු මිතුරාට මගේ ප්‍රණාමය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. මෙවන් විශිෂ්ට සිනමා නිර්මාණයක් අප වෙත තිලිණ කිරීම සම්බන්ධයෙන් ඍත්වික් ඝටක් සිනමාවේදියාට මගේ විශේෂ ස්තූතිය පුද කරමි. එසේම මගේ හත් වැනි නිර්මාණය වශයෙන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටද විශේෂ ස්තූතිය පුද කරන අතරම විශිෂ්ට සිනමා නිර්මාණයක් රස විඳීමට මා සමග එක් වන මෙන් සහෘද ඔබ සැමට ආරාධනා කරමි.
Due to copyright issues, we do not provide any torrent links.
Subarnarekha [1965] [ Ritwik Ghatak]
Subarnarekha – Bengali Full Movie – Ritwik Ghatak’s Film – Abhi Bhattacharya | Madhabi Mukhopadhya
ලබා දී ඇති උපසිරසි ඉහත Youtube පිටපත සඳහා අදාළ වේ.
231 downloadsDownload Subarnarekha-1965New.Baiscopelk.com_.rar68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
11 comments
ප්‍රේමකුමාර
Tharaka
ඉක්මනින්ම වාගේ සුබර්ණරේඛා (1965) චිත්‍රපටයට සිංහල උපසිරැසිය ලබාදීම ගැන ගොඩාක් ස්තූතියි සහෝ! කලකට කලින් ජාතික රූපවාහිනියෙන් විකාශනය කල පාතර් පංචාලි (1955), අපරාජිතෝ (1956), අපූර් සංසාර් (1959) වැනි සිනමාපට දුටුනිසා තමයි මටත් මේ වගේ චිත්‍රපට නරඹන්න ආසාවක් ඇති වුනේ. ඇත්තටම කලාතුරකින් කෙනෙක් තමයි මේ වගේ චිත්‍රපට සබ් කරන්න තෝරා ගන්නේ. ඒ වගේම අර්ථවත් උසස් රස වින්දනයක් බලාපොරොත්තු වන පිරිස් තමයි මේවා නරඹන්නේත්.... ඉතින් සහෝ ඔයාගේ ඊලඟ උපසිරැසිය බයිස්කෝප් එකට ගෙන එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලාසිටිනවා.පෝස්ට් එක නැරඹූ අයගේ ප්‍රමාණය, කමාන්ටු ප්‍රමාණය, බාගත් ප්‍රමාණය ගැන හිතන්න එපා. ඉතාමත් පැහැදිලිව හා නිවැරැදිව සිංහල උපසිරැසි සකසමින්, අර්ථවත් යමක් බයිස්කෝප් එකට ලබාදෙන කෙනෙක් තමයි, ඔයා. ඉතින් ඉදිරියටත් මේ වගේම පැරණි හෝ අළුත් වුනත් කමක් නෑ, හොඳ චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Withanage Priyantha Dayakeerthi
ඔබ වැනි විශිෂ්ටයෙක් මෙම වෙබ් එකට සම්බන්ධව සිටීම ඇත්තෙන්ම ආඩම්බරයක්. මෙතෙක් අඩුවක්ව තිබූ මානයක් වෙත එහි රුචිකත්වය දන්නාවූ පිරිස ඔබට එක් කරගත හැකිවේවි. මමද එයින් එක අයෙක්, මෙම උපසිරසියට මගේ උපහාරය!
Tharaka
සහෝ... Subarnarekha [1965] [ Ritwik Ghatak] පිටපත දැන් copyright infringement එකක් නිසා youtube එකෙන් ඉවත් කරලා තියෙන්නේ. මම ඔයාගේ උපසිරැසියට ගැලපෙන වීඩියෝ එක download කරගත හැකි ලිංකුවක් හොයා ගත්තා. ඒ පිටපත හොඳ පිටපතක්. මම ලිංකුව ඔයාගේ email එකට එව්වා.
අසංක ප්‍රදීප් රණතුංග
වජිර සහෝ, ඔයාගේ තෝරා ගැනීම් ඇත්තටම විශිෂ්ටයි. ඒ වගේම ඔයාගේ ලිපියත් ඒ වගේමයි. උපසිරසි වෙබ් අඩවියක් සම්පුර්ණ වීමට අලුත් පරණ උපසිරසි වර්ග දෙකම ඇතුලත් වීමට අවශ්‍යයි. විශේෂයෙන් චිත්‍රපට ඉතිහාසයේ නමක් තිබ්බ චිත්‍රපට. ඔබ දැනට උපසිරසි දුන් සියලුම චිත්‍රපට අවිවාදයෙන් ම ඒ වගේ විශිෂ්ට චිත්‍රපට. ඉතින් උපසිරසියට බොහොම ස්තුතියි. බුදු සරණයි.
Vajira Rathnayake
මම උපසිරැසි සකස් කළ පිටපත යූ ටියුබ්වලින් ඉවත් කරලා. හැකි ඉක්මනින් වෙනත් පිටපතකට උපසිරැසි සකස් කර අප්ලෝඩ් කිරීමට කටයුතු කරන්නම්. එයට මද කාලයක් දෙන්න.
Tharaka
ඔයාට මම email එකක් එව්වා. ඒක බලන්න සහෝ...
praneeth madu
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vajira Rathnayake
Subarnarekha – Bengali Full Movie – Ritwik Ghatak’s Film – Abhi Bhattacharya | Madhabi Mukhopadhya යන යූ ටියුබ් පිටපත සඳහා උපසිරැසි යාවත්කාලීන කළා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට හා ලිපියට ස්තූති. පෙර ලිපි මෙන් මෙය ද වියත් නඳනා බසින් ලියා ඇති බව නොකියා ම බැරිය.