අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

A Million Miles Away (2023) Sinhala Subtitles | හීන දුර වැඩි නැහැ [සිංහල උපසිරැසි]

Rating: 7.3/10. From 12 votes.
Please wait...

A Million Miles Away (2023) Sinhala Subtitles

කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. 2023 අවුරුද්දේ නිකුත් වුණ චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය ගැන කියන්න කලින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්… මතකද කල්පනා චව්ලාව? මතක අය කීප දෙනෙක්ට හරි තාමත් බයිස්කෝප් පැත්තේ ඇවිත් යන්න තරම්වත් ජීවිතේ ඉස්පාසුවක් ඇති කියලා මම හිතනවා. ඔයා 2000ට කලින් ඉපදුනු කෙනෙක් නම් ඉතින් සමහර විට පොඩි හරි මතකයක් ඇති ඒ ගැන. මොකද කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය දින 15 ක අභ්‍යාවකාශ චාරිකාවක් නිමා කරලා 2003 පෙබරවාරි 1 වෙනිදා නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේ දී පුපුරා යාම නිසා එහි ගමන් කළ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මිය ගිය සිද්ධිය ඒ කාලෙ ලෝකය පුරාම විශාල වශයෙන් කතාබහට ලක් වුණ මාතෘකාවක්. රූපවාහිනි ප්‍රවෘත්ති වල විතරක් නෙවෙයි පුවත් පත් වල පවා පිටු ගණන් වාර්තා ඒ පිළිබඳව පළ වුණා. මිය ගිය ගණන 7 දෙනෙක් වුණත් ඒ අතරින් විශේෂයෙන් කතා බහට ලක් වුණ කෙනෙක් හිටියා. ඒ තමයි කල්පනා චව්ලා. කල්පනා උපතින් ඉන්දියානු ජාතිකයෙක් වුණ නිසා සමහර විට ආසියාතිකයෝ ඒ ගැන වැඩි වශයෙන් කතා කළා වෙන්නත් පුළුවන්. කොහොම හරි මිය ගිය අනික් පුද්ගලයන්ගේ නම් කාලයත් එක්ක මතකයෙන් ඈත් වෙලා ගියත්, කල්පනා චව්ලා කියන නම ගොඩක් දෙනාට අමතක වුණේ නැහැ. ඇයව වීරවරියක් සහ පරමාදර්ශී චරිතයක් විදියට බොහෝ දෙනා සැළකුවා. ඇගේ ජීවිත කතාව විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කෙරුණා. මේ විදියට තමන්ගේ මරණයෙන් පස්සේ ලෝකය පුරාම ඉතාම ගෞරවනීය විදියේ ප්‍රසිද්ධියක් ලබපු ඇගේ වයස මිය යන විට අවුරුදු 40 ක් පමණක් වුණා.

A Million Miles Away

කල්පනා චව්ලා

STS-107

කල්පනා ගේ ජීවිතය අහිමි වුණේ ඇගේ දෙවනි අභ්‍යාවකාශ චාරිකාව නිමා කරලා නැවත පෘථිවියට පැමිණෙමින් සිටියදී යි. නමුත් මියගිය පිරිසෙන් සිව් දෙනෙක්ම ඔවුන්ගේ පළමු අභ්‍යාවකාශ චාරිකාවට සහභාගී වූ අය වුණා. ඒත් අවාසනාවන්ත විදියට එය ඔවුන්ගේ අවසන්, එහෙමත් නැතිනම් එකම අභ්‍යාවකාශ චාරිකාවත් වුණා. ඒ විදියට තමන්ගේ පළමු අභ්‍යාවකාශ චාරිකාවේ දී ම ජීවිතයට සමු දෙන්න සිදු වුණ ගගනගාමීන් වුණේ විලියම් C. මැක්කූල්, ඩේවිඩ් M. බ්‍රවුන්, ලෝරල් B. ක්ලාක් සහ ඉයන් රේමන් යන පිරිස. ඉයන් රේමන් හැරුණු කොට අනික් පිරිස අමෙරිකානු ජාතිකයන් වූ අතර ඉයන් රේමන් පළමු ඊශ්‍රායල් ජාතික ගගනගාමියා වුණා. මීට අමතරව කල්පනා වගේම තමන්ගේ දෙවනි අභ්‍යාවකාශ චාරිකාවට සහභාගී වෙමින් සිටිය තවත් දෙදෙනෙක් එම කාර්ය මණ්ඩලයේ හිටියා. ඒ රික් D. හස්බන්ඩ් සහ මයිකල් P. ඇන්ඩර්සන් යන දෙදෙනා.

STS-107 කාර්ය මණ්ඩලය. වමේ සිට දකුණට: බ්‍රවුන්, හස්බන්ඩ්, ක්ලාර්ක්, චව්ලා, ඇන්ඩර්සන්, මැක්කූල්, රේමන් 

මේ සියළු දෙනා මිය ගියේ STS-107 මෙහෙයුමේ දී යි. මෙහි STS යන්නෙන් “Space Transportation System” යන අර්ථය දැක්වෙනවා. ඒ වගේම 107 යන සංඛ්‍යාවෙන් එය අභ්‍යාවකාශ ෂටල වැඩසටහනේ කී වෙනි ෂටල මෙහෙයුමද යන වග දැක්වෙනවා. නමුත් එය අභ්‍යාවකාශ ෂටල පියාසැරියන් වශයෙන් සැළකීමේදී 113 වන ෂටල පියාසැරිය වෙනවා. ඇතැම් මෙහෙයුම් වලදී ෂටල පියාසැරියන් කිහිපයක් සිදු වී තිබීම මේ සංඛ්‍යාත්මක වෙනස ඇති වන්නට හේතු වී තිබෙන්නට පුළුවන්. මේ පිළිබඳව තොරතුරු වැඩි දුරටත් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා ඒ තොරතුරු අනික් අය එක්ක බෙදා ගනී කියලා හිතනවා. කොහොම හරි මේ STS-107 මෙහෙයුම කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලයේ 28 වන සහ අවසාන චාරිකාව වුණා. විනාශ වී ගිය එහි කොටස් අමෙරිකාවේ විවිධ ප්‍රදේශ වල පතිතව තිබියදී සොයා ගනු ලැබූ අතර එසේ සොයා ගත් කොටස් 84,000 ක පමණ ප්‍රමාණයක් කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ යානා එකළස් කිරීමේ ගොඩනැගිල්ලේ 16 වන මහළෙහි විශාල කාමරයක ගබඩා කර තිබෙනවා.

කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය

2003 දී විනාශ වූ කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලයේ සොයා ගත් කොටස්
කොටු පුවරුවක් මත ස්ථානගත කර ඇති ආකාරය  

ඉතින් අපි චිත්‍රපටිය දිහාවට හැරෙමු නේද? මේ චිත්‍රපටියේ තියෙන්නේ කල්පනා චව්ලාගේ කතාව නම් නෙවෙයි. එතකොට කොළොම්බියා අභ්‍යාවකාශ ෂටල අනතුර පිළිබඳවත් නෙවෙයි. හැබැයි කල්පනා වගේම ඒ අනතුරත් චිත්‍රපටිය ඇතුළේ තියෙන සත්‍ය කතාව ගලාගෙන යන්න ලොකු බලපෑමක් ඇති කරනවා. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නේ හොසේ හර්නැන්ඩස් කියන මෙක්සිකානු-ඇමෙරිකානු ජාතික ගගනගාමියා. ලෝකයේ මේ දක්වා බිහිවෙලා තියෙන සිය ගණනක් වූ ගගනගාමීන් අතරෙන් හොසේගේ කතාව චිත්‍රපටියක් විදියට එළි දකින්න තරම් මොකක්ද ඒ කතාවේ තියෙන විශේෂත්වය? අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඊට කළින් අපි චිත්‍රපටිය ගැන සාමන්‍ය තොරතුරු ටිකක් දැනගෙන ඉමු නේද?

හොසේ හර්නැන්ඩස් 2021 දී

මේ චිත්‍රපටිය නිකුත් වුණේ 2023 සැප්තැම්බර් 15 වෙනිදා Amazon Prime Video හරහා. මිනිත්තු 121 ක් පුරාවට දිග හැරෙන මේ චිත්‍රපටිය චරිතාපදාන නාට්‍යමය සිනමා ගණයට අයිති වෙනවා. IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා ගන්නත් (දෙසැම්බර් 2023) මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නේ හොසේ හර්නැන්ඩස් විසින් රචිත Reaching for the Stars යන ස්වයං චරිතාපදානය. ඉතිං තව විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ වගේ චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙන බව අහලාවත් නොතිබුණ මට මේ ගැන දැන ගන්න ලැබුණේ අපේ විමා සහෝගෙන්. ඉතින් ඔහුට විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන මේ ගැන මාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒ දැනුවත් කිරීම නිසා 2023 අවුරුද්දේ නිකුත් වුණ හොඳයි කියලා බය නැතිව කියන්න පුළුවන්, පවුලේ හැමෝටම රසවිඳින්න පුළුවන්, ඒ වගේම වටිනා ආදර්ශ ජීවිතයට ලබා ගන්න පුළුවන් චිත්‍රපටියක් නරඹන්න පුළුවන් වුණා. ඒත් උපසිරැසිය පරිවර්තනය කරන්න ගියාම තමයි දැක්කේ ලයින් 1800කටත් වඩා තියෙන බව. ඉතින් අනික් වැඩ රාජකාරි ගොඩක් මැද්දේ ඉඩක් ලැබෙන විදියට ටික ටික පරිවර්තනය කරලා අන්තිමට ඉවර කර ගන්න පුළුවන් වුණා.

සඳ ගමන

අපි චිත්‍රපටියේ පසුබිම් කතාව දිහාවට පොඩ්ඩක් හැරිලා බලමු. 1962 දී උපත ලද හොසේ හර්නැන්ඩස් 1969 ජුලි මාසයේ දී නීල් ආම්ස්ට්‍රෝං විසින් සඳ මත පා තබද්දී අවුරුදු 7 ක කුඩා දරුවෙක්. මේ කාලෙට සාපේක්ෂව බැලුවම ඒ කාලේ තිබුණු නොදියුණු තාක්ෂණයත් එක්ක නොපැහැදිලි දසුන් සහිතව එය රූපවාහිනී තිරය මත නරඹන්නට පුංචි හොසේට අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටියේ දැක්වෙන විදියට හොසේට නරඹන්න ලැබෙන්නේ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබූ ඇපලෝ 11 මෙහෙයුම වුණත් සැබෑ කතාවේ හැටියට නම් ඔහුට නරඹන්නට ලැබී තියෙන්නේ 1972 සිදු වූ ඇපලෝ 17 මෙහෙයුමයි. කොහොම වුණත් මේ සඳ ගමන් වල රූපවාහිනී දර්ශන එතරම් පැහැදිලි දසුන් සහිත ඒවා නොවන බව යූටියුබ් වල තිබෙන ඒ දර්ශන නැරඹුවොත් ඔබට වුණත් දැක ගන්නට පුළුවන්. ඒ අපැහැදිලි දසුන් සහිත රූපරාමු පවා කුඩා හොසේ තුළ ඇති කරන්නේ ඉතා විශාල හැඟීමක්. එමගින් ඔහු තුළ අභිලාෂයක් ඇති වෙනවා කවදා හරි දවසක අජටාකාෂගාමියෙක් වීමට. (මේ සඳ ගමන් පිළිබඳව පරිපූර්ණ විස්තරයක් ඇතුළුව අභ්‍යාවකාශ චාරිකා ඉතිහාසය පිළිබඳ තවත් බොහෝ විස්තර ඇතුළත් සිංහල භාෂාවෙන් ලියවුණු විශාල ප්‍රමාණයේ කෘතියක් “මිනිසා සඳට ගිය කතාව” නමින් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ කෘතිය ලියලා තියෙන්නේ උපාලි ජයසිංහ කියන කතුවරයා විසින්. ඉතින් ඒ ගැන උනන්දුවක් දක්වන අයට වැඩි දුරටත් තොරතුරු දැනගන්න උදව්වක් වශයෙන් ඒ ගැනත් සඳහනක් දා ගෙනම යන්න කියලා හිතුවා.)

නාසා යන්නේ කොහොමද?

ඒත් අජටාකාෂගාමියෙක් වෙනවා කියන එක කිසිසේත්ම පහසු දෙයක් නෙවෙයි. කවුරු හරි කිව්වොත් තමන් දොස්තර කෙනෙක් නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා කියලා, ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් තියෙන නිසා ඒක කරන්න බැරි දෙයක්, එහෙම නැත්නම් ළඟා විය නොහැකි හීනයක් වෙන්නේ නැහැ. ඒත් කාලයක් තිබුණා, ලෝකෙ උසස්ම රැකියාව අජටාකාෂගාමියෙක් වීම කියලා සළකපු. NASA ආයතනයේ අභ්‍යාවකාශ ෂටල වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතුණු අවධියේ මේ තත්ත්වය විශේෂයෙන් පැවතුණා කියලා කියන්න පුළුවන්. ලංකාවේ වුණත් පාසල් ළමුන් තුළ හීනයක් මැවිලා තිබුණා ලොකු වුණාම NASA යන්න ඕන කියලා. ඒත් කොහොමද ඒක කරන්නේ කියලා කාටවත් පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. සමහරු තුළ අදහසක් මැවිලා තිබුණා, තමන් අති දක්ෂ විදියට විෂය සහ විෂය බාහිර කටයුතු කරගෙන ගියොත්, විභාග ආදිය උසස්ම විදියට සමත් වුණොත් NASA ආයතනයෙන් ඇවිත් තමන්ව එක්කගෙන යනවා කියලා. තවත් ලංකාවෙ පැතිරුණු මතයක් වුණේ උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශ දෙකෙන්ම උසස් ලෙස සමත් වුණොත් නාසා වලට ඇතුළු වීමට අවස්ථාවක් ලැබෙන බවයි. කොහොම හරි, ඇමෙරිකාවට කිලෝමීටර් දහස් ගාණක් ඈතින් තියෙන ලංකාවෙත් අභ්‍යවකාශයට යන්න මිනිසුන් තුළ මේ තරම් උනන්දුවක් ඇති වුණා නම් ඇමෙරිකානුවන් තුළ ඒ පිළිබඳව තිබුණු උනන්දුව සහ තරගය කොයි තරම් ද කියලා හිතා ගන්න පුළුවන් නේද?

ඉතින් මේ චිත්‍රපටිය බලද්දී පැහැදිලි වෙන දෙයක් තමයි ඇමෙරිකානුවෙකුට වුණත් නාසා වලටම සම්බන්ධ වෙන්න කියලා නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. ඒක හරියට රැකියාවකට ඉල්ලුම් කලාම, සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා, වඩාත්ම සුදුසුකම් සපුරලා තියෙන අය විතරක් රැකියාවට බඳවා ගන්නවා වගේ දෙයක්. වැඩේ තියෙන්නේ නාසා වලට ගගනගාමියෙක් විදියට බැඳෙන්න නම් සපුරලා තියෙන්න ඕන සුදුසුකම් වල සීමාව මේ යැයි කියලා පෙන්වන්න පුළුවන්කමක් නැති කමයි. මූලික සුදුසුකම් විදියට විද්‍යා හෝ ගණිත අංශ වලින් ලබා ගත් උපාධි සහ පශ්චාත් උපාධි ගැන බොහෝ තැන් වල සඳහන් කෙරුණත්, එතනින් එහා කොයි තරම් සුදුසුකම් තියෙන්න ඕනද කියන එකේ සීමාවක් නැහැ. තමන් මූලික සුදුසුකම් සපුරලා තියෙනවා නම්, අනික් සුදුසුකම් තමන් ළඟ තිබුණත් නැතත්, තමන් අමෙරිකානු ජාතිකයෙක් නම්, නාසා ආයතනය විසින් නව අජටාකාෂගාමීන් කණ්ඩායමක් බඳවාගෙන පුහුණු කිරීමට අයදුම්පත්‍ර කැඳවීමේ දී අයදුම් කරන්න ඕනම කෙනෙකුට පුළුවන්.

නාසා ගගනගාමීන් සතු හැකියාවන් සහ සුදුසුකම් පොදුවේ ගොනු කළොත් එය පහත දැක්වෙනව වගේ දිග ලැයිස්තුවක් බවට පත් වෙනවා. කලිනුත් කිව්වා වගේ ගණිත, විද්‍යා අංශ වලට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි සහිත අධ්‍යාපනික පසුබිම, STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අංශ වල වෘත්තීමය නිපුණතාව සහ වසර 3 – 5 දක්වා පරාසයක අත්දැකීම්, ගුවන් නියමු පුහුණුව, විද්‍යාත්මක පර්යේෂණ හෝ ඉංජිනේරු අත්දැකීම්, කායික ශක්තිමත් බව, සන්නිවේදන කුසලතා, විවිධ භාෂා (විශේෂයෙන් රුසියන් භාෂාව) කුසලතා, ගැටළු විසඳීමේ සහ හදිසි තත්ත්ව යටතේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, අනුගත වීමේ සහ දරාගැනීමේ හැකියාව, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව, නායකත්ව හැකියා, පිහිනීමේ සහ කිමිදීමේ හැකියා, ක්‍රීඩාශීලී බව, මානසික ශක්තිමත් බව, අන්තර්පුද්ගල සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාව, නිසි අවධානය තුළින් වඩා වැදගත් කරුණු උකහා ගැනීමේ හැකියාව, අවදානම් කලමනාකරණය කර ගැනීමේ හැකියාව ආදී වශයෙන් මේ හැකියාවන් සහ සුදුසුකම් ලැයිස්තු ගත කරන්න පුළුවන්.

අතීතයේ දී, විශේෂයෙන්ම චිත්‍රපටියේ කතාවට අදාළ කාලය වෙද්දි අභ්‍යාවකාශයට මිනිසුන් යැවීමේ හැකියාව තිබුණේ ඇමෙරිකාවටත් රුසියාවටත් විතරයි. මේ නිසා අජටාකාෂගාමීන් වීමට වරම් ලද බොහෝමයක් දෙනා ඇමෙරිකානුවන් සහ රුසියානුවන් වුණා. සෝවියට් සංගමය පැවතුණු යුගයේ දී ඔවුන් තමන්ට හිතවාදී රටවල තෝරාගත් පුද්ගලයන්ටත් අජටාකාෂගාමීන් වීමේ වරම් ලබා දී තිබුණා. චීනය විසින් තමන්ගේම කියා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ගොඩනගාගෙන අභ්‍යාවකාශය තුළ හුදෙකලා ගමනක නිරත වීමට පටන් ගත්තේ සහ SpaceX වගේ පෞද්ගලික ආයතන අභ්‍යවකාශය ජය ගැනීමට පටන් ගත්තේ ඉතාම මෑතක දී. මේ නිසා හොසේට ඒ කාලෙ දි ගගනගාමියෙක් වෙන තමන්ගේ හීනෙට යන්න නාසා ආයතනයට සම්බන්ධ වෙනවා හැරෙන්න වෙනත් විකල්පයක් තිබුණා කියලා කියන්න පුළුවන් කමක් නැහැ.

හොසේ හර්නැන්ඩස් මුලින්ම නාසා වලට අයදුම් කරද්දී ඔහුට ඉංජිනේරු උපාධිය තිබුණා විතරයි කියලා කියන්න පුළුවන්. ඔහුගේ අයදුම් පත්‍රය නාසා වලින් ප්‍රතික්ෂේප වෙන වාර ගණන එක පාරක් දෙපාරක් නෙවෙයි. ඇත්තටම ඒ වාර ගණන තනි ඉලක්කමකින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ක්‍රමයෙන් සුදුසුකම් සම්පූර්ණ කර ගනිමින් නැවත නැවත අයදුම් කරමින් ඉදිරියට යන ඔහුගේ තරුණ වයසත් ක්‍රමයෙන් ඉක්මවලා යනවා. කොයි තරම් සුදුසුකම් සපුරලා තියෙනවා කියලා තමන් හිතුවත් ඒක නාසා ආයතනයට තේරෙන්න ප්‍රමාණවත්ද නැද්ද කියලා හරියටම කියන්න පුළුවන් සමතෙක් ඇත්තෙත් නැහැ. මේ නිසා කවදා හරි තමන්ව තෝරා ගනීවිය කියන බලාපොරොත්තුවෙන්, තමන්ගේ කාලය, ධනය සහ ශ්‍රමය වගේ ගොඩක් දේවල් කැප කරලා තව තවත් තමන්ගේ සුදුසුකම් වර්ධනය කර ගන්න අතරේ නාසා වලට අයදුම් කරමින් අපේක්ෂා සහගතව අවුරුදු 20කට වැඩි කාලයක් ඔහු ගත කරනවා. අන්තිමේදී නාසා වලට තේරිලා ඔහු තමන්ගේ පළමුවෙනි අභ්‍යාවකාශ චාරිකාවට සහභාගී වෙද්දී ඔහු තමන්ගේ හීනය වෙනුවෙන් කැප වෙන්න පටන් අරගෙන අවුරුදු 30 කුත් ගත වෙලා තිබුණා.

A Million Miles Away

හොසේ හර්නැන්ඩස් 

මරණයේ සෙවණැලි

අභ්‍යාවකාශ චාරිකා වලට සහභාගී වීමට විශාල උනන්දුවක් බොහෝ දෙනා තුළ පැවතුණත් ඒ හා සමඟ අනතුරෙහි සහ මරණයෙහි සෙවණැලිත් නිරතුරුව බැඳී තිබුණා. අභ්‍යාවකාශයට යාමේ වරම් හිමි වන්නේ ඉතාම සීමිත පිරිසකට බැවින් සිදුවන එක් මරණයක් පවා එහි ආරක්ෂාව පිළිබඳව විශාල ගැටළු මතු කලා. මේ දක්වා (2023 වසර අවසානය වන විට), අමෙරිකානු ගුවන් හමුදාවේ පිළිගැනීම අනුව, අභ්‍යාවකාශ චාරිකා වලදී මියගිය පිරිස 19ක් වෙනවා. ඉන් 4 දෙනෙක් රුසියානු (සෝවියට්) ජාතිකයන් වන අතර අනික් 15 දෙනා අමෙරිකානු අභ්‍යාවකාශ වැඩසටහනට සහභාගී වූ අය. එයිනුත් 14 දෙනෙක්ම මිය ගොස් ඇත්තේ අභ්‍යාවකාශ ෂටල අනතුරු වලින්. ඒ 1986 දී චැලේන්ජර් ෂටලය දියත් කර තත්පර 73කට පසුව පුපුරා යාමෙන් සිදු වූ අනතුර සහ 2003 වසරේ කොළොම්බියා ෂටලය පුපුරා යාමේ අනතුර ඒ විදියට 14 දෙනෙක්ගේ ජීවිත අහිමි කළ අභ්‍යාවකාශ ෂටල අනතුරු වෙනවා. කොළොම්බියා ෂටල අනතුරත් සමඟ අභ්‍යාවකාශ චාරිකා වල ආරක්ෂාකාරී බව ගැන විශාල කතිකාවතක් නැවතත් හට ගන්නවා. විශේෂයෙන්ම අභ්‍යාවකාශ ෂටල ආරක්ෂාකාරී නොවන බවත්, විශාල පිරිසක් එමගින් එකවර අනතුරෙහි හෙලන බවටත් චෝදනා එල්ල වන්නට පටන් ගත්තා. රුසියානු සෝයුස් යානය වඩා ආරක්ෂාකාරී බව බොහෝ දෙනාගේ පිළිගැනීම වුණා. අභ්‍යාවකශ ගමන් වල ආරක්ෂාව තහවුරු කළ නොහැකි නම් ඒවා නතර කර දැමිය යුතු බවට නාසා ආයතනයට චෝදනා එල්ල වන්නට පටන් ගත්තා. මේ නිසා කොළොම්බියා ෂටල අනතුරෙන් පසුව අභ්‍යාවකාශ ෂටල යුගයේ නිමාව සනිටුහන් වන ලකුණු පහළ වන්නට පටන් ගත්තා.

1986 දී, ගුවන් ගත කර තත්පර 73 කට පසු
චැලෙන්ජර් ෂටලය පුපුරා විනාශ වන ආකාරය

චැලෙන්ජර් විනාශය නිසා ජීවිත අහිමි වූ ගගනගාමීන් පිරිස 

යං යං යං හීනෙට ඇවිදන් යං

ඉතින් අපේ කතා නායකයා වෙන හොසේ හර්නැන්ඩස් නාසා ආයතනයට ගගනගාමී පුහුණුවට සම්බන්ධ වෙලා ඉන්නෙත් මෙන්න මේ අර්බුධකාරී කාල පරිච්ඡේදයේදී ම යි. විශාල පරිශ්‍රමයක් දරලා නාසා ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ තමන්ගේ හීනෙට ළඟා වුණා කියලා හිතුවට ඒක එහෙමම නෙවෙයි කියලා තේරෙන්න පටන් ගන්නවා වැඩි කල් නොගිහින්ම. ගගනගාමී පුහුණුව කියන්නේ ඉතාම දුෂ්කර පුහුණුවක්. පුහුණුවට තේරුණු අයත් පුහුණුවේ දුෂ්කර බව නිසා පුහුණුව අත්හැරලා යන තරම්. මේ දක්වා ඉතිහාසය තුළ අභ්‍යාවකාශ ගමන් සඳහා වන පුහුණු සැසි වල දී විවිධ අනතුරු සිදු වීම නිසා මිය ගොස් තිබෙන ගගනගාමීන් සංඛ්‍යාව 11 ක්. මේ පුහුණුවේ දුෂ්කර බව නිසා අභ්‍යාවකාශය වෙත යාමේ තමන්ගේ හීනය තමන්ගේ ජීවිතයටත් වඩා වටිනවාද කියන දෙගිඩියාවට මුහුණ දෙන්න වගේම මේ කරන කැප කිරීම් වලට ගැළපෙන තරම් වටින ප්‍රතිඵලයක් අභ්‍යාවකාශයට යාම තුළින් තමනගේ ජීවිතයට එකතු වෙනවද කියලා නැවත සිතා බලන්නත් ඔහුට සිදු වෙනවා.

STS-128

කොළොම්බියා ෂටල අනතුර සිදු වීමෙන් පසු සිදු කළ 11 වන ෂටල මෙහෙයුම STS-128, අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බලා 2009 අගෝස්තු 28 දින දියත් කරනු ලැබුවා. මේ සඳහා ඩිස්කවරි අභ්‍යාවකාශ ෂටලය යොදා ගනු ලැබුවා. එහි ගමන් කළ හත් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයේ දෙවනි මෙහෙයුම් විශේෂඥයා ලෙස හොසේ හර්නැන්ඩස් කටයුතු කරනු ලැබුවා. මෙම මෙහෙයුම දියත් කිරීමත් විවිධ හේතු කාරණා නිසා කල් දමන්නට සිදු වුණා. එහි මුල්ම දියත් කිරීමේ ප්‍රයත්නය අයහපත් කාළගුණය නිසා කල් දැමුණා. දෙවැනි ප්‍රයත්නය ෂටලයේ ඉන්ධන කපාටයේ දෝෂයක් හේතුවෙන් කල් දමන්නට සිදු වුණා. අවසානයේ 2009 අගෝස්තු 28 දින එහි තුන්වන ප්‍රයත්නය සාර්ථකව සිදු කරන්නට හැකි වුණා. මෙම මෙහෙයුමේ දී ඩිස්කවරි ෂටලය මගින් ලියනාඩෝ බහුකාර්ය ලොජිස්ටික් මොඩියුලය ISS වෙත රැගෙන යනු ලැබුවා. මෙම මොඩියුලය තුළ ක්ෂුද්‍ර ගුරුත්වයෙහි භෞතිකය සහ රසායනය හැදෑරීම සඳහා වන පර්යේෂණ කට්ටල එකතුවක් අන්තර්ගත වුණා. එමෙන්ම මෙම මෙහෙයුමේ දී අභ්‍යාවකාශ ඇවිදීම් තුනක් ද සිදු කරනු ලැබුවා. ඒවායේදී ESA (යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය) ට අයත් කොළොම්බස් මොඩියුලයෙහි පිටත ඇති ද්‍රව්‍ය සැකසුම් පරීක්ෂණ ඒකකයක් ඉවත් කර ප්‍රතිස්ථාපනය කළ අතර ඇමෝනියා ටැංකි සැකසුමක් නැවත සවි කරනු ලැබුවා.

තවද ISS හි ගවේෂණ (Expedition) වල කාර්ය මණ්ඩල හුවමාරුව පූර්ණව සිදු කරන ලද අවසන් ෂටල මෙහෙයුමද මෙය වුණා. ඒ අනුව ඩිස්කවරි ෂටලය මගින් ISS වෙත ගිය නිකෝල් ස්කොට් Expedition 20 සඳහා එහි නතර වූ අතර, Expedition 20 සඳහා එන්ඩීවර් ෂටලය මගින් STS-127 මෙහෙයුම ඔස්සේ ISS වෙත ගොස් සිටි ටිමති කොප්‍රා දින 60කට මදකට අඩු කාලයක් එහි ගතකොට ඩිස්කවරි ෂටලය මගින් ආපසු පෘථිවියට පැමිණුනා. STS-128 තවත් හේතුවක් නිසා සුවිශේෂ වුණා. ඒ ප්‍රථම වතාවට හිස්පැනික්-ඇමරිකන් (මෙක්සිකානු සම්භවයක් සහිත) පුද්ගලයන් දෙදෙනෙක් එකම ෂටල මෙහෙයුම් කාර්ය මණ්ඩලයක සිටීමයි. ඉන් එක් අයෙක් හොසේ හර්නැන්ඩස් වූ අතර අනෙක් පුද්ගලයා වූයෙ ජෝන් ඔලිවාස් නම් ගගනගාමියායි.

STS-128 කාර්ය මණ්ඩලය

සංක්‍රමණික ජීවිතය

මේ චිත්‍රපටිය බලන අපිට ආරම්භයේ දී හිතෙන දෙයක් තමයි හොසේ හර්නැන්ඩස් කියන්නේ ඇමෙරිකන් ජාතිකයෙක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ ඔහු තමන්ගේ පවුලේ අය එක්ක මෙසිකෝවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වෙන කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ගත්තොත් හොසේ ඉපදිලා තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී. ඔවුන් ජීවත් වුණ කැලිෆෝනියාවේ ස්ටොක්ටන් කියන ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වෙන්නේ මෙක්සිකානු හෝ වෙනත් ලතින්-ඇමෙරිකානු සම්භවයක් සහිත හෝ ලතින්-අමෙරිකානු රටවලින් එහි සංක්‍රමණය වූ පිරිස්. ඔවුන් ප්‍රධාන වශයෙන් කතාබහ සඳහා ස්පාඥ්ඥ භාෂාව භාවිත කරනු ලැබුවා. මේ නිසා වයස අවුරුදු 12 වන තුරුත් හොසේට හරි හැටි ඉංග්‍රීසි භාෂාව කතා කරන්නට නොහැකි වෙලා තියෙනවා. හොසේගේ දෙමව්පියන් ඇතුළු බොහොමයක් අසල්වැසියන්ගෙත් ජීවිකාව වුණේ වගාබිම් වල සේවය කිරීම. වගාබිම් සකස් කිරීම, බීජ රෝපණය, අස්වැන්න නෙළීම, ඇසිරීම සහ ප්‍රවාහනය ආදී නොයෙකුත් කාර්යයන් මේ වගා බිම් වල සිදු කළ යුතු වුණා. එක් වගා බිමක වැඩ අවසන් කළ පසු තවත් වගා බිමක් කරාද, ඉන් පසු තවත් එකක් කරාද වශයෙන් විවිධ ප්‍රදේශ වල නොයෙකුත් වගා බිම් කරා යමින් ඔවුන් ගත කළේ සංක්‍රමණික ජීවිතයක්. වැඩි වශයෙන් මුදල් උපයා ගැනීමේ අවශ්‍යතාවය මත මෙසේ නගරයෙන් නගරයට යමින් හා එමින් විටින් විට පදිංචිය සහ පාසල් මාරු කරමින් තම ජීවිත ගත කරන්නට ඔවුන්ට සිදු වුණා.

සාර්ථකත්වයේ වට්ටෝරුව

හොසේ කුඩා කාලයේ දී, තැනින් තැනට සංක්‍රමණය වෙමින් ගොවිබිම් වල වැඩ කරමින් ගෙවන දුෂ්කර දිවි පෙවෙතට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන්ම විටින් විට පාසල් මාරු කිරීම නිසා තමන්ගේ අධ්‍යාපනයට එය බාධාවක් වෙන බවත් ඔහු තේරුම් අරගෙන තිබුණා. ගොවිබිම් වල වැඩ නිසා වෙහෙසට සහ අධෛර්යයට පත්වෙලා හොසේ එක දවසක් කෑ ගහන්න පටන් ගන්නවා. තමන්ට මේ ගොවිබිම් වල ගෙවන ජීවිතය තිත්ත වී ඇති බව ඔහු පවසනවා. මේ වෙලාවේ ඔහුට කිට්ටු වෙන ඔහුගේ පියා ඔහුට සාර්ථක වෙන්න/තමන්ගේ හීනය කරා ළඟා වෙන්න නම් අනුගමනය කරන්න ඕන පියවර පහකින් යුතු වැඩ පිළිවෙලක් ඔහුට ලබා දෙනවා. මේ චිත්‍රපටිය බලන ඔයාට ඒ වැඩ පිළිවෙලත් ඉගෙන ගන්න පුළුවන්. හොසේ ඒ වැඩපිළිවෙල තම පවුලේ සාර්ථකත්වයේ වට්ටෝරුව විදියට හඳුන්වනවා. පසු කාලීනව ඔහු ඒ වට්ටෝරුවට හයවන අමුද්‍රව්‍යයක්, එහෙමත් නැත්නම් පියවරක් එකතු කරනවා. නාසා ආයතනයෙන් 11 වාරයක්ම ප්‍රතික්ෂේප වෙලා 12 වෙනි වතාවෙදි තේරෙන්න ඒ පියවර බොහොම වැදගත් වූ බව හොසේ කියනවා. ඒ තමයි “නොපසුබට උත්සාහය.”

හොසේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී 

ෂටල යුගයේ අවසානය

හොසේ හර්නැන්ඩස්, සංක්‍රමණික වගා බිම් සේවක පවුල් පසුබිමක ඉඳලා ලෝකයේ උසස්ම ගණයේ රැකියාවක් විදියට සැළකෙන ගගනගාමියෙකුගේ තත්ත්වයට පැමිණි පළමු පුද්ගලයා ලෙසට සළකනු ලබනවා. බොහෝවිට සුදු ජාතිකයන්ට පමණක් හිමි වුණු අභ්‍යාවකාශ තරණය කිරීමේ අවස්ථාව අනෙකුත් ජාතීන්ට පවා ලබා ගත හැකි බව කල්පනා චව්ලා, හොසේ හර්නැන්ඩස් වගේ පුද්ගලයන් නිසා ලෝකයට දැක ගන්නට හැකිවුණා. නමුත් අභ්‍යාවකාශ චාරිකා සහ ගවේෂණ සඳහා දරන වියදම් මුදල් නාස්තියක් බවත්, රජය විසින් එම මුදල් වෙනත් ආකාරයකින් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යෙදවිය යුතු බවත් කියවෙන චෝදනා සහ මත පළ කිරීම් ආදියෙහි ප්‍රතිඵලයක් විදියට පසු කාලීනව රජය විසින් නාසා ආයතනය වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය අඩු වෙන්නට පටන් ගත්තා. මේ වගේ විවිධ හේතු පදනම් කර ගනිමින් නාසා ආයතනය විසින් සිදු කරන අභ්‍යාවකාශ මෙහෙයුම් ප්‍රමාණය සීඝ්‍ර ලෙස අඩු වෙන්නට වුණා. 2011 ජුලි මාසයේ දී ඇට්ලැන්ටිස් යානාව යොදාගෙන සිදු කරනු ලැබූ STS-135 මෙහෙයුම අභ්‍යාවකාශ ෂටල යුගයේ අවසානය සනිටුහන් කලා. ඒ අනුව 2003 වසරේ සිදු වූ කොළොම්බියා ෂටල අනතුරෙන් පසු තවත් ෂටල මෙහෙයුම් සිදු වුණේ 22ක් පමණයි. ඉන් පසු ISS වෙත ගගනගාමීන් යැවීම සහ ආපසු ගෙන්වා ගැනීම සඳහා රුසියානු සෝයූස් යානාව මත රඳා පවතින්නට වසර ගණනාවක් පුරාවට අමෙරිකාවට සිදු වුණා.

කැලිෆෝනියාවේ උණුසුම

චිත්‍රපටිය පටන් ගන්නේ ද මමාස් ඇන්ඩ් ද පපාස් සංගීත කණ්ඩායමේ කැලිෆෝනියා ඩ්‍රීමිං කියන ගීතයේ ඛණ්ඩයක් පසුබිමෙන් වාදනය කරමින්. 1965 දී නිකුත් කරන ලද මේ ගීතය එම සංගීත කණ්ඩායමේ වඩාත් ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. සිසිර සෘතුවේ සීතල දිනෙක දී, කැලිෆෝනියාවේ උණුසුම සහ හිරු රශ්මිය විඳ ගැනුමට ඇති ආශාවක් පිළිබඳව එම ගීතයෙන් කියැවෙනවා. හොසේ සහ ඔහුගේ පවුලත් ඒ විදියට මෙක්සිකෝවේ ඉඳලා වඩාත් සුවපහසු ජීවිතයක් බලාපොරොත්තුවෙන් කැලිෆෝනියාවට ගිය අය. ඉතින් කැලිෆෝනියාවෙදි ඔවුන් කොහොමද ජීවිතේ ඉලක්ක සපුරා ගන්න වෙහෙස වෙන්නේ කියල බලන්න පුළුවන් වෙනවා ඔයාටත් මේ චිත්‍රපටිය බැලුවොත්. එහෙනම් චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම සුභ දවසක්!  

 


I'll Be Home for Christmas (1998) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “NCJD ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-10-17
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A Million Miles Away, A Million Miles Away (2023) Sinhala Subtitles, A Million Miles Away Sinhala Sub

11 thoughts on “A Million Miles Away (2023) Sinhala Subtitles | හීන දුර වැඩි නැහැ [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • thanks machn….

    Reply
  • හම්මෝ බං ඒ විස්තරය..
    පට්ටෙටම තිබ්බා බං.. එක හුස්මට කියවල ඉවරකරා….
    ඒ මහන්සියට බොහෝම ස්තූතියි මචං…..
    සබටත් තෑන්ක්ස් හොදේ……

    Reply
  • මේවැනි සිනමාපට මෙහෙම ලබා දීම පිලිබදව හර්දයාංගම ස්තුතිය පුද කරනවා.ලිපිය වටිනවා.

    Reply
  • thanks a lot NCJD saho sub ekata

    Reply
  • ගොඩක්ම ස්තූතියි NCJD සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    wistharayatath godak thanks ……..

    Reply
  • Sub ekata Thanks Bro..loku deyak dena gaththa oyage asa livima kiyawala…supiri bro..aye supiri film ekak denna.. ❤️❤️❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *