He changed my face, not my heart. He threw acid on my face, not on my dreams. එයා වෙනස් කලේ මගේ මූණ මිසක්, මගේ හදවත නෙමෙයි. එයා ඇසිඩ් ගැහුවෙ මගේ මූණට මිසක්, මගේ හීන වලට නෙමෙයි…!!! හරි ලස්සන හිනාවකින් මුහුණ සරසාගෙන මෙහෙම කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, ලක්ෂ්මි අගර්වාල් නැමැති දිරිය කාන්තාව. සැබවින්ම, ව…

He changed my face,
not my heart.
He threw acid on my face,
not on my dreams.
එයා වෙනස් කලේ මගේ මූණ මිසක්,
මගේ හදවත නෙමෙයි.
එයා ඇසිඩ් ගැහුවෙ මගේ මූණට මිසක්,
මගේ හීන වලට නෙමෙයි…!!!
හරි ලස්සන හිනාවකින් මුහුණ සරසාගෙන මෙහෙම කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, ලක්ෂ්මි අගර්වාල් නැමැති දිරිය කාන්තාව. සැබවින්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දිරිය කාන්තාවක්. ඇයි මං එහෙම කියන්නෙ…? කවුද මේ ලක්ෂ්මි අගර්වාල් කියන්නෙ…?
තරුණ වයසෙ පසුවෙන කෙනෙක්ට තමන්ගෙ මූණ කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ වටිනා කියන දෙයක්. නිකමට මතක් කරලා බලන්න, ඔබේ තරුණ වයසෙදි ඔබේ මූණේ පුචි සිරීමක්, තුවාලයක්, එහෙමත් නැත්නම් කුරුලෑවක් ආවම ඔබ කොච්චර නම් දුක් වුණාද කියලා. තරුණ වයසෙ පසුවෙන ගෑණු ළමයෙක් නම් මේ තත්වය තවත් බරපතල වෙනවා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. ඉතිං එහෙම එකේ, මූණට කවුරුහරි ඇසිඩ් ගහනවා කියලා කිව්වොත් ඔබ මොකද හිතන්නෙ…? “ජීවත් වෙනවට වඩා මැරිලා යන එක දාහෙන් සම්පතයි” කියලා නිසැකවම ඔබ හිතාවි. කවුද කැමති වෙන්නෙ ඇසිඩ් වලට පිච්චිච්ච විරූපී මූණකුත් තියාගෙන ජීවිතේ ඉතුරු කාලය විඳව විඳවා ජීවත් වෙන්න…? කොහොමද දෙයියනේ ඒ විදියට පාරක බැහැලා යන්නෙ? කොහොමද සමාජයට මූණ දෙන්නෙ…? කිසිදෙයක් නොවිච්ච ගාණට, සදා නොමැකෙන කැළලක් එක්ක ජීවිතේ ඉතුරු කාලය ගෙවාගන්නෙ කොහොමද…? නිකමට හිතලා බලන්න ඔබටත් මේ වගේ ව්‍යසනයකට මූණ දෙන්න සිද්ධවුණා කියලා. ඔබ මොකක්ද ගන්න තීරණය…? මං කියන්නම් ඔබ ගන්න තීරණය. එක්කො ඔබ ඔබගේ ජීවිතය නැතිකර ගනීවී. එහෙමත් නැත්නම්, සමාජයෙන් හුදකලා වෙලා, කාමරේකට වෙලා තනියම ජීවිතය ගතකරාවි. ඒ වගේ ව්‍යසනයකදි ඔබට පිලිතුරු හොයාගන්න පුළුවන් උපරිම පරසය තමයි ඒ. ඒත්, ඒ පරාසයෙන් ඔබ්බට ගිහිල්ලා ලෝකය දකින්න පුළුවන් අන්දමේ දිරිය මිනිසුන් මේ ලෝකයේ ඉන්නවා කිව්වොත් සමහරවිට ඔබ විශ්වාස කරන එකකුත් නෑ. නැහැ, ඔබ වැරදියි. ඒ වගේ සැබවින්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය මිනිස්සු ඉන්නවා. මේ කියන්න හදන්නෙත් අන්න ඒ වගේ කෙනෙක් ගැන තමයි. ඒ තමයි, ඉහත මං සඳහන් කරපු ලක්ෂ්මි අගර්වාල්!
“ඇසිඩ් ගහනවා” කියන එක ලාංකිකයො විදියට අපිට එච්චර හුරු පුරුදු සිදුවීමක් නෙමෙයි. ඒත්, අපේ අසල්වැසි ඉන්දියාව ගත්තාම මේ තත්වය අපිට වඩා හාත්පසින්ම වෙනස්. මේ තත්වය කොච්චර බරපතලයිද කියලා තේරුම් ගන්න මං ඔබට සංඛ්‍යා දත්ත එක්කම කියන්නම්. පහුගිය අවුරුදු පහ ඇතුලත පමණක්, ඉන්දියාවෙන් වාර්තා වෙලා තියෙනවා ඇසිඩ් ගැසීමේ සිදුවීම් 1500කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නෙ, ආසන්න වශයෙන් අවුරුද්දකට ඇසිඩ් ගැසීම් 300ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නෙ, අවුරුද්දෙ දවස් 365ට, ආසන්න වශයෙන් ඇසිඩ් ගැසීම් 300ක්. දැන් තේරෙනවා නේද මේ තත්වය ඔබ හිතනවට වඩා කොච්චර නම් ව්‍යසනකාරීද කියලා…
ඇය ලක්ෂ්මි අගර්වාල්. මේ සිදුවීම වෙන්නෙ මීට වසර කීපයකට ඉහතදි. ඒ වෙනකොට ඇය වයස අවුරුදු 15ක නව යොවුන් තරුණියක්. ඔබ අපි වගේම ඇයටත් ඒ වයසෙදි ඇයගේම කියලා හීන තියෙන්න ඇති. ඒත්, ඒ හීන ලෝකයම කඩලා බිඳලා දාන්න, හිත් පිත් නැති නරුමයෙකුට ගත්වුනේ තත්පර කීපයක් විතරයි. මහ දවාලේ, දෙනෝදාහක් සෙනඟ ඉස්සරහා ලක්ෂ්මි අගර්වාල්ට සාහසික ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ අහිංසක කෙල්ලගෙ මූණ බලන්න බැරි තරමට විරූප වෙලා යනවා… යළි කවදාවත් සුව කරන්න බැරි අන්දමටම. ඒ විතරක් නෙමෙයි, ඒ ඇසිඩ් ප්‍රහාරයත් එක්කම ඒ අහිංසක කෙල්ලගෙ සම්පූර්ණ හීන ලෝකයම බිඳ වැටෙනවා… සඳහටම.

නමුත්, කවුරුවත් බලපොරොත්තු නොවිච්ච විදියට ඇය යළි නැගීසිටිනවා. තමන්ට වෙච්ච අසාධරණය වෙනුවෙන් වගේම, අනෙකුත් සුවහසක් තරුණියන් වෙනුවෙන්, මේ සාහිසිකත්වය වෙනුවෙන් ඇය සිය විරෝධය පාමින් නැගී සිටිනවා. චිත්‍රපටය නරඹන ඔබ සැබවින්ම පුදුමයට පත්වේවි, හිතාගන්නවත් බැරි තරමේ ධෛර්‍යයක්, මූණ විරූපී වෙච්ච මේ වගේ පුංචි කෙල්ලෙක්ට කොහෙන්ද කියලා. ඒකයි මුලදිම මං ඇයව නිර්වචනය කලේ, සැබවින්ම ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක් කියලා.
ඇසිඩ් මාරයා එක්ක සටන් කරපු පින්කි රාතෝර් අවසානයේ සටන අතෑරලා දාලා පරජය පිළිගන්නවා. පින්කි වෙනුවෙන් ඉස්පිරිතාලෙට ගියපු ලක්ෂ්මි අගර්වාල් අවසානයේ දිග හුස්මක් වාතලයට මුසුකරලා කියනවා…
මට පින්කි ගැන පොඩි ඉරිසියාවකුත් තියෙනවා.
උදාවෙන හැම දවසක් දවසක් ගානෙම හිතින් මැරි මැරී ජීවත් වෙන්න ඕනෙ වෙන්නෙ නැහැ එයාට.
උසාවි ගානෙ, ඉස්පිරිතාල වල ඔපරේෂන් ගානෙ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ එයාට.
කෙලින්ම මැරිලා ගියා.
ඒ අතින් එයා අපිට වඩා වාසනාවන්තයි!
මේ වචන ටිකම ඇති නේද මේ මිනිස්සු විඳින දුක කොච්චරද කියලා ඔබට තේරුම් ගන්න? හිතන්නකො මේ තරම් වැටිච්ච ජීවිතයක් කොහොමද ආපහු නැගිටින්නෙ කියලා. නැගිටිනවා විතරක් නෙමෙයි, තමන්ව මේ තත්වයට ඇදලා දාපු මිලේච්ජත්වයත් එක්ක හරි හරියට සටන් කරන්න නම් කොයි තරම් නම් හයිය හිතක් ඇයට තියෙන්න ඇද්ද?
ඉතිං, එදා ඒ විදියට අයුක්තිය වෙනුවෙන් නැගී හිටපු ලක්ෂ්මි අගර්වාල්ගෙ සත්‍ය කතාව කවුරුවත් නොහිතපු වෙලාවක සිනමාවට නැගෙනවා. ඒ ඔබ-අපිට නුහුරු නුපුරුදු අය අතින් නෙමෙයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ Meghna Gulzar මහත්මිය අතින්. සමහරවිට ඔබට මතක ඇති, එතුමිය තමයි Talvar සහ Raazi කියන විශිෂ්ඨ සිනමා නිර්මාණයන් දෙක අධ්‍යක්ෂණය කරන්නෙත්. චිත්‍රපටයේ තිර රචනය සිදුවෙන්නෙත් Meghna Gulzar මහත්මිය සහ Atika Chohan මහත්මිය අතින්. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය හෙවත්, ලක්ෂ්මි අගර්වාල්ගෙ ජීවිත කතාව මාලතී නම් තරුණිය තුලින් ඔබ වෙතට ගෙන එන්නෙ, ඔබ-අප කවුරුත් දන්න බොලිවුඩ් සුරූපිණිය Deepika Padukone විසින්.
හේතු කාරණා කීපයක් නිසා මේ චිත්‍රපටය දීපිකාගෙ ජීවිතේ සංධිස්තානයක් වෙනවා. එකක්, ආන්දෝලනාත්මක Padmaavat චිත්‍රපටයෙන් පස්සෙ වසර දෙකක ඇවෑමෙන් තමයි සිනමා නිර්මාණයක් තුලින් ඇය යලිත් කරළියට එන්නෙ. ඒ වගේම, මේ තමයි ඇය නිෂ්පාදනයෙන් දායකත්වය සපයන පළමු චිත්‍රපටය. ඒ වගේම, ඒ වෙනුවෙන් ඇය 100% ඇයගේ දායකත්වය නොමසුරුව සපයනවා.
චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර කාලයේදී දීපිකා විසින් වෙන කිසිම සිනමා නිර්මාණයක් බාරගෙන නැහැ. විශේෂයෙන්ම, චිත්‍රපටය සඳහා පදනම් වූ ලක්ෂ්මි අගර්වාල් සමගින් වැඩි වෙලාවක් ගත කරමින්, සිය චරිතය වෙනුවෙන් සීයට සීයක්ම අනුවර්තනය වෙන්න දීපිකා විසින් දැඩි පරිශ්‍රමයක් අරගෙන තිබුණා. ඒ වගේම තමයි, තවත් අසීරුම කර්තව්‍යයක් තමයි වේශ නිරූපණය. ඒ කියන්නෙ, දීපිකාව ලක්ෂ්මි අගර්වාල් බවට පත්කිරීම. සරලවම මං ඔබට මෙහෙම කියන්නම්. දීපිකා කියන්නෙ රූ රැජිණක්. ඉතිං, නිකමට හිතලා බලන්නකො ඒ වගේ කෙනෙක්ව, ඇසිඩ් ප්‍රහාරයෙන් විරූපී වෙච්ච ලක්ෂ්මි අගර්වාල් වගේ කෙනෙක් බවට පත්කරන්න කොච්චර ලොකු කට්ටක් කන්න ඇද්ද කියලා. වතාවක් ඒ ගැන අහපු ප්‍රශ්න වගයක්ට දීපිකා උත්තර දීලා තිබුණෙ මෙහෙමයි…

“ඇත්තටම CHHAPAAK කියන්නේ මගේ ලොකු හීනයක්. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානමින් හිටියේ. නමුත් වේශ නිරූපණය නම් මට ලොකු පීඩාවක් වුණා. ඒ වෙනුවෙන් මට පැය ගණනාවක් අමාරුවෙන් දරාගෙන ඉන්න වුණා. හැබැයි, ඒක නෙමෙයි අසීරුම දේ. මගේ මුහුණ කණ්ණාඩියෙන් දකින වාරයක් වාරයක් පාසා මම ඇත්තටම බය වුණා. මම කොයිතරම් බය වුණා ද කියනවා නම් සමහර දවස්වල මම අඬපු අවස්ථාත් තිබුණා.”
චිත්‍රපටයේ තිරයෙන් එහා කටුක, හද කම්පා කරවන අත්දැකීම් ගැන, සියළු දෙනාවම මොහොතකට ගොළු කරවමින් දීපිකා සිය අත්දැකීම් බෙදා හදාගෙන තිබුණේ ඒ විදියට. මේ චිත්‍රපටය ඇයට කොච්චර ලොකු පීඩාවක් වුණාද කියලා තේරුම් යන්න තව එක දෙයක් ඔබත් සමගින් බෙදාගන්නම්. ලක්ෂ්මි අගර්වාල්ගෙ කතා පුවත කෙතරම් හද කම්පාකරවනසුළුද කියනවා නම්, චිත්‍රපටයේ රූගත කිරීම කාල සීමාව තුලදි දීපිකා මානසික වශයෙන් පසුබෑමකට ලක්වෙලා තියෙනවා. මේ නිසා, චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වනතෙක් දීපිකා වෙනුවෙන් වෙනමම විශේෂඥ උපදේශකවරයෙක් යොදවා තිබෙනවා, ඇයගේ මානසික මට්ටම ස්ථාවරව තබා ගැනීමට.
පසුගිය දෙසැම්බර් 10 වෙනිදා තමයි CHHAPAAK චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිළ වශයෙන් නිකුත් කරන්නෙ. ඒ වෙනුවෙන් පැවැත්වූ උත්සවය වෙනුවෙන් දීපිකා සහභාගී වී සිටියා. විශේෂත්වය තමයි, ඒ වනතෙක් ඇය පවා චිත්‍රපටයේ කිසිඳු දර්ශණයක් දැක තිබුණේ නැහැ. පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ පූර්ව ප්‍රචාරක පටය නරඹන දීපිකා මොහොතකට ගොළු වුණා. නොනවත්වා ඇද හැලෙන කඳුළු බිඳු අතරින්, මාධ්‍ය අමතා ඇය ප්‍රකාශ කර සිටියේ, “මෙම චිත්‍රපටය තුල රංගන දායකත්වය ලබාදීමට ඇය කිසි ලෙසකින් නොපැලකුනු බවත්, මෙවනි චිත්‍රපටයක ප්‍රධාන රංගන දායකත්වය ලැබීම සිය ජීවිතයේ භාග්‍යයක් කොට සලකන බවත් ය.” මේ සිදුවීමෙන් පැමිණ සිටි පිරිස ලොකු කම්පනයකට පත්වුණා. සමහරවිට ඔබ කියන්න බැරි නැහැ, දීපිකා කියන්නෙ රංගන ශිල්පිණියක්. මේකත් ඇයගේ ප්‍රචාරණ වැඩසටහනේ කොටසක් වෙන්න බැරි නැහැ කියලා. ඔව්, සාධරණයි ඔබගේ තර්කය. ඒත්, තීරණයකට එන්න කලින් මුලින්ම චිත්‍රපටය නරඹලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට දැනේවි අවසානයේ ඔබගේ හදවත කෙතරම් නම් කම්පාවට පත්වුණාද කියලා. එතකොට හිතලා බලන්න, ඒ චරිතය රඟ දක්වපු ඒ කාන්තාව කොච්චර නම් කම්පාවකට ලක්වෙන්න ඇතිද කියලා. හිතලා බලන්න, ඒ සිදුවීමට ඇත්ත වශයෙන්ම මුහුණ දීපු කාන්තාව කොච්චර නම් කම්පාවකට ලක්වෙන්න ඇතිද, මානසිකව වැටෙන්න ඇතිද කියලා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දෙසැම්බර් 10 වෙනිදා අන්තර්ජාලයට නිකුත් කිරීමත් එක්ක සමාජයේ ඒ පිළිබඳව ලොකු කතාබහක් ඇතිවෙන්න ගත්තා. පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙලා පැය 24ක් යන්නත් කලින්ම ඉන්දියාව තුල YouTube Trending Number 1 වෙන්න සමත්වුණේ කවුරුවත් නොහිතපු අන්දමින්. ඒ විතරක් නෙමෙයි, පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙලා දවස් දෙකක් යද්දි අපේ ලංකාවෙත් YouTube Trending ලැයිස්තුවේ 10 වෙනි ස්ථානය අත්පත් කරගන්න CHHAPAAK ට පුළුවන් වුණා. හැමෝම හොයන්න ගත්තා මොකක්ද මේ ඇසිඩ් කතාව කියලා… හැමෝම හොයන්න ගත්තා කවුද මේ ලක්ෂ්මි අගර්වාල් කියන්නෙ කියලා… ප්‍රේක්ෂකයෝ සැදී පැහැදී හිටියා සිනමා ශාලාවට ගිහිල්ලා ලක්ෂ්මි අගර්වාල්ගෙ දුක ඇයත් එක්ක බෙදාගන්න. ඒත්, හැමදේම හරියට සිද්ධවෙලා, තැටිය ගානට රත්වෙලා තියෙද්දි අන්තිම මොහොතෙදි දීපිකා වැඩේ අනාගන්නවා. ඇයගේ දේශපාලන මතවාදයක් නිසා සුපර් හිට් ලේබලය ගහගන්න තිබ්බ ෆිල්ම් එකකට ඒ අවස්තාව නැතිවෙලා යනවා. දේශපාලනයෙන් ඔළුව උදුම්මවගත්තපු, මොළයක් නැති සමහරක් ගොබ්බ ඉන්දියානුවො සමාජ ජාලා මාධ්‍යය හරහා දීපිකාව පතුරු ගසමින්, ඇයව වර්ජනය කරනවා. උන්ගෙ අබමල් රේණුවක් සයිස් මොලේට තේරුම් ගන්න බැරිවෙන්න ඇති කෙනෙක්ගෙ දේශපාලන මතවාදයන් නිසා විශිෂ්ඨ සිනමා නිර්මාණයකින් පළිගන්න එක මහා අපරාධයක් කියලා. කොහොමින් කොහොමහරි ඒ අසික්කිත පළිගැනීම හමුවේ අන්තිමේදි CHHAPAAK ට සිද්ධවුණා Imdb දර්ශකයේ 4.7ක අගයකිනුත්, ඉන්දියානු රුපියල් කෝටි 55ක වගේ මුදලකිනුත් සෑහීමකට පත්වෙන්න.
සමහරු කියනවා Chhapaak බොක්ස් ඔෆිස් ෆ්ලොප් කියලා. සමහරු කියනවා ඇවරේජ් කියලා. මගේ අදහස ගැන කියනවා නම්, මෙතනදි මට වැඩක් නැහැ Chhapaak බ්ලොක්බස්ටර්ද, හිට්ද, එහෙමත් නැත්නම් ෆ්ලොප්ද කියලා. Chhapaak මට සුවිශේෂී වුණේ Meghna Gulzar මහත්මිය නිසාවත් නෙමෙයි. දීපිකා නිසාවත් නෙමෙයි. පුරා පැය දෙකක් පුරාවට ඇහිපිය ගහන්නෙ නැතුව, සමහර වෙලාවට ඇස් දෙකේ කඳුළු පුරවගෙන මං බලාගෙන හිටියෙ ලක්ෂ්මි අගර්වාල් කියන දිරිය ගැහැණියගේ සංවේගාත්මක කතා පුවත දිහා… ආපහු නැගිටින්න තියා හිතාගන්නවත් බැරි මට්ටමකට වැටිලා ඉන්දෙද්දිත් ඇය ආපහු දෙපයින් නැගී සිටලා, අසාධාරණය වෙනුවෙන් හඬ නගපු දිහා… ඉතිං, දයාබර ඔබෙනුත් මං ඉල්ලන්නෙ, ඔබ නිකරුනේ ගතකරන හෝරා දෙකක් Chhapaak වෙනුවෙන් වෙන්කරලා බලන්න. දීපිකා වෙනුවෙන් වත්, ලක්ෂ්මි අගර්වාල් වෙනුවෙන් වත්, වෙන කිසිම කෙනෙක් වෙනුවෙන් නෙමෙයි… ඔබ වෙනුවෙන්ම! මොකද, ජීවිතයේ කවරදාකම හරි, කොයියම්ම මොහොතක හරි, ජීවිතයෙන් ඔබ පරාදයි කියලා ඔබට හිතුණොත්, ජීවිතයෙන් ඔබ වැටුණා කියලා හිතුණොත්, අන්න එදාට Chhapaak මතක් කරගන්න. Chhapaak ඔබට උපකාරයක් වේවි, මේ ලෝකෙ කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියලා…, මේ ලෝකෙ ඔබව වට්ටවන්න…, ඔබව පරාජය කරන්න කිසිම දෙයක් නැහැ කියලා ඔබේ හදවතටම තට්ටුවක් දාලා, ඔබට මතක් කරලා දෙන්න!
උඹ මගේ වචනෙට පිටින් යන්න පුළුවනි,
හැබැයි, එහෙම කියලා මට අයිතියක් නැහැ උඹේ ජීවිතේ මිහිපිට අපායක් කරන්න!
උඹයි මමයි තරහාකාරයො වෙන්න පුළුවනි…
හැබැයි, එහෙම කියලා මට අයිතියක් නැහැ උඹේ ජීවිතේ මිහිපිට අපායක් කරන්න!
උඹයි මමයි ආදරේ කරලා, පස්සෙ වෙන් වෙන්න ඇති…
හැබැයි, එහෙම කියලා මට අයිතියක් නැහැ උඹේ ජීවිතේ මිහිපිට අපායක් කරන්න!
උඹ මගේ ආදරේ පිළිගන්නෙ නැතිවෙන්න පුලුවනි…
හැබැයි, එහෙම කියලා මට අයිතියක් නැහැ උඹේ ජීවිතේ මිහිපිට අපායක් කරන්න!
පොඩ්ඩක් නැවතිලා හිතපන්…
උඹ එහෙම කළාම අනිත් එකා කොහොමද ජීවිතේට මූණ දෙන්නෙ කියලා…
පොඩ්ඩක් නැවතිලා හිතපන්…
උඹට එහෙම දෙයක් වුණොත් උඹ මොකද කරන්නෙ කියලා…
ආදරේ නැත්නම් ඌව හරි ඒකිව හරි අතෑරලා දාපං…
එහෙම නැතුව, ආදරෙ නාමයෙන් අමනුස්සයෙක් වෙන්න නම් එපා බං!
වරදක් තියෙනවා නම් මනුස්සයෙක් වගේ පෙන්නලා දීපං…
එහෙම නැතුව, අමනුස්සයෙක් වගේ පළිගන්න නම් එපා බං!
උඹත්, මමත්, අපි හැමෝම ඉපදෙන-මැරෙන මිනිස්සු…
එහෙව් අපි මොකටද මේ පොඩි කාලෙට අමනුස්සයො වගේ හැසිරෙන්නෙ…?
මනුස්සයෙක් වගේ ඉපදිලා,
මනුස්සයෙක් වගේ ජිවත්වෙලා,
මනුස්සයෙක් වගේම මැරිලා පලයන්!
ඇසිඩ්!
උඹ කරපු වින්නැහිය හොඳටම ඇති…
උඹ නිසා ආපහු හදන්න බැරිවෙන්නම කැඩිලා බිඳිලා ගියපු ජීවිත ගාණ හොඳටම ඇති…
උඹ නිසා ඇස්වලින් මේ මහපොළව තෙත් කරපු වාර ගාණ හොඳටම ඇති…
දෙයියනෙ නාමෙට දැන්වත් නැවතියන්!
ප.ලි. – අපි අතරත් ඇති ජීවිතේ අන්තයටම වැටිලා, ඒත් ඒ වැටිච්ච තැනින් නැගිටලා ඇවිල්ලා ජීවිතේ ජයගත්ත මිනිස්සු ඕනෙ තරම්. හැබැයි, බෙහෙතකටවත් අපිට ඒ අය ගැන දැනගන්න නම් වෙන්නෙ නැහැ. ඒ අයගේ ජීවිත අපේ ජීවිත වලට ආදර්ශයක් කරගන්න වෙන්නෙ නැහැ. මොකද, ඉන්දියාවෙ මේ වගේ මිනිස්සු ගැන චිත්‍රපටි හැදුනට ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. ඒ අතින් ඉන්දියාවෙ මිනිස්සු හරිම වාසනාවන්තයි. තමන්ගෙ රට ගැන, රටට ආඩම්බරයක් වෙන්න පුළුවන් මිනිස්සු ගැන චිත්‍රපටි අනන්ත අප්‍රමාණ නිර්මාණය වෙනවා ඒ රටේ සිනමාවෙන්. රටේ තියෙන ප්‍රශ්න ගැන සිනමාවෙන් කතාබහ කරනවා. හැබැයි, මේ වගේ සිනමා නිර්මාණයකට කරපු විනාශය ගැන නම් රටක් විදියට ඉන්දීය ප්‍රේක්ශකයා පොදුවේ ලැජ්ජාවට පත්වෙන්න ඕනෙ. අපිට අගේ වුණාට, සමහරවිට උන්ට ඕනෙවටත් වඩා මේ වගේ සිනමා නිර්මාණ තියෙන නිසා අගයක් නැති වෙන්නත් පුළුවන්. තියෙන එකාට ඕනෙ තරම් තියෙනවා, නැති එකාට ඇත්තෙම නැහැ!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.
16,208 downloadsDownload Chhapaak-2020.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
34 comments
Anonymous
Prabodha20
Godak sthuthi sahooo ...
මයුර
ස්තූතියි සහෝ. ජයවේවා!
Gihan perera
නියමයි මචන්.... දෙනකන් බලන් හිටපු ෆිලුමක්.... පට්ට හැදින්විම.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... ස්තුතියි සහෝ.... වෙච්ච මහන්සියට....ජය වේවා....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ :) :) ....
ජය වේවා.!Hemantha De Silva
ස්තුතියි සිසිල...
ස්තුතියි බයිස්....Anonymous
thanks sisila sahoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Thank you sisila
R_deshan
රේටින් නම් අදාලම නෑ අනිවා මේක බලනවා...තෑන්ක්ස් සහෝ ලිපියටයි වටින විස්තරේටයි.
Nirosh C
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
tharidu16
ගහමරාගන්න ෆීල්ම් හිට්වෙලා මෙවැනි නර්මාණ විසිවෙන එක නම් අපරාධයක් නිෂ්පාදකයන් ඊට පස්සේ මේවවා කරන්න පස්ස ගහනවා. ස්තූතියි ඔබට
Nuwan
Reting balala filme balana mata me lipiya kiyewwata passe reting kochchra adu unath aniwa balanwa
thanks sahoAnonymous
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Manjula
සුපිරිම ෆිලුමක් ස්තුතිය
Sanath
Thanx bro..
Nawarathne
good
indika75
thanks..
ප්‍රසන්න
මචං කොහොමද මෙහෙම ලස්සනට ලිපි ලියන්නේ..?? නියමයි.. අනිවා ලස්සන ෆිලුමක්..
Lalantha Madhushan
පට්ට ලිපිය බ්රෝ. සබ් එකට තෑම්ස්. පට්ට්ටම ෆිල්ම් එකක්.
mindika
Thanks !!!!!!!!!!!!!
Pradeep
Thanks bro
Anonymous
thnks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AmbalangodageDilshan
Thanks
D.Chamara
bohoma sthuthi
Anonymous
thank you!!!
isuru srinath sjs
බොහොම ස්තුතියි අයියේ සිංහල උපසිරැසියට !!
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
vimukthi
film eke full sory ekamadanna epa.me post eke film eke end ekath thiyenawa ne.ethakota balanna hithenneth na.thanks sub ekatai details walatai.ela
MAALnath
Thanks ................good luck .................
Anonymous
thanks saho ;)
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
අනිවා බැලිල්ලක්..
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Tks bro