එකමත් එක කාලයක, “පද්මා” නම් නදිය හරහා “පාලමක්” වී ය. බෙංගාලයේ “නැගෙනහිර” සහ “බටහිර” ප්‍රදේශ යා කරමින් තැනුණු “දුම්රිය මාර්ගයක්” මෙම පාලම ඔස්සේ වැටී තිබිණි. කුඩා අවධියේ ඒ මාර්ගය ඔස්සේ දුම්රියෙන් “කල්කටාවට” ගිය අයුරු ඔහුට මතක ය. පාලම පසුකොට ඔහු නිවසට එනතුරු “අම්මා” ගං ඉවුරට වී බලා සිටි අයුරු ද ඔහුට හ…

එකමත් එක කාලයක, “පද්මා” නම් නදිය හරහා “පාලමක්” වී ය. බෙංගාලයේ “නැගෙනහිර” සහ “බටහිර” ප්‍රදේශ යා කරමින් තැනුණු “දුම්රිය මාර්ගයක්” මෙම පාලම ඔස්සේ වැටී තිබිණි. කුඩා අවධියේ ඒ මාර්ගය ඔස්සේ දුම්රියෙන් “කල්කටාවට” ගිය අයුරු ඔහුට මතක ය. පාලම පසුකොට ඔහු නිවසට එනතුරු “අම්මා” ගං ඉවුරට වී බලා සිටි අයුරු ද ඔහුට හොඳින් මතක ය. නැගෙනහිර සහ බටහිර එකම බෙංගාලයක්, එකම ජන ප්‍රජාවක් වූ මේ වකවානුවේ “හින්දු” සහ “මුස්ලිම්” අසල්වැසියන් එකිනෙකා සමග “සමගියෙන්”, “සහජීවනයෙන්” හා “සාමයෙන්” යුතුව දිවි ගෙවූ අයුරු ඔහුට තවමත් මතක ය.
දවසක්දා, “ආගම්වාදයේ” රුදුරු කුණාටුවක් “භාරතය” සිසාරා හමා ගියේ ය. “පද්මා” ගඟ දිය ප්‍රචණ්ඩ විය. “බෙදුම්වාදයේ” ජලධාරාවෝ දෙගොඩ තලා ගලා ගිය හ. නැගෙනහිර සහ බටහිර බෙංගාල යා කෙරුණු “සහජීවනයේ පාලම” කැඩී බිඳී, සුණුව ගියේ ය. එක් දිනක්, හිරු උදාවත් සමග බෙංගාල වාසීහු තේරුම් ගත් එක් රුදුරු යථාර්ථයක් වී ය. එය නම්, “පද්මා” තොමෝ තවදුරටත් “බෙංගාලය” හරහා නොව, “ඉන්දියාව” සහ “නැගෙනහිර පකිස්ථානය” නම් නවක රාජ්‍යයන් දෙකක “දේශ සීමාව” අතරින් ගලා බසිනා බවයි. තම ප්‍රාණ සම නිජ භූමියත්, පද්මා ඉවුරේ සාරවත් කෙත් වතුත් අතහැර, කල්කටාව දෙසට ගසාගෙන යන්නට තමන්ට සිදුවන බව නැගෙනහිර බෙංගාල වාසී හින්දු භක්තිකයෝ වටහා ගත් හ.
දුම්රිය වේදිකා යටට වී මදුරුවන් තලමින්, අඩක් හාමත්ව, “සරණාගතයකු” ලෙස දිවි ගෙවූ කාලය අවසන් වී වසර ගණනාවක් ගත වී ඇත. එහෙත්, ඔහුට දැනෙන්නේ “කල්කටාව” තුළ තමන් තවමත් “සරණාගතයකු” බවයි. ජීවිතයේ දුර්භාග්‍යයට හසුව, පියා සමුගෙන ගොසිනි. මව හාමතින් ම මියගොසිනි. තමන්ගේ යැයි කිව හැකි කිසිවෙකුත් නැතිව, දුමින් පිරුණු කල්කටාවේ කඨොර පරිසරය තුළ ඔහු තනි වී ඇත. කැඩී ගිය “දුම්රිය පාලමේ” නටඹුන් පද්මා ඉවුරේ තවමත් දැකිය හැකි ය. එතැන් සිට බලන විට එහා ඉවුරේ ඇති “තමන් උපන් ගම්මානය” ඔහුට හොඳින් දර්ශනය වේ. බාල වියේ දුව පැන ඇවිදිමින් කෙළි සෙල්ලමේ යෙදුනු ස්ථාන, කෙත් වතු, මිටියාවත් සේ ම ඒ භූමියේ පිහිටි, කාලයක් ඔහුගේ පවුලට අයත්ව තිබූ නිවස ද ඔහුට පැහැදිලිව හඳුනා ගත හැකි ය. එහෙත්, දෑත් දිගුකොට ඒවා වැළඳගැනීමට ඔහුට තව දුරටත් නොහැක්කේ “පද්මා” ඔවුන් වෙන් කරමින් ගලා බසින බැවිණි.
.. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. ..
තම උපන් බිම වන “ඪකා” නගරය 1947 වර්ෂයේදී ඉන්දියාවට අහිමි වීමෙන් පසුව සරණාගතයකු ලෙස කල්කටාවට පැමිණ, පසුව බෙංගාලයේ විශිෂ්ට සිනමාකරුවකු බවට පත් වූ “ඍත්වික් ඝටක්” තම නිර්මාණ අතරින් වැඩි ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේ “බෙංගාලය දෙකඩ වීම” නිසා ජන සමාජය අත් විඳි බලපෑම් සාකච්ඡා කිරීම වෙනුවෙනි. එහෙත්, මේ සිදුවීම නිසා ඔහුගේ සිත තුළ ඇති වූ කම්පනය පිළිබද “ආත්ම ප්‍රකාශනය” “කෝමල් ගාන්ධාර්”හි තරම් ප්‍රබලව ඒ අන් කිසිදු චිත්‍රපටයක සාකච්ඡා කෙරෙන්නේ නැතැයි පැවසිය යුතු ය. මෙම ප්‍රකාශයෙහි අරුත “ඒ අනෙක් චිත්‍රපට” දුර්වල බව නොව, මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී නිර්මාණකරුවා තම “මනෝභාවයන්” ඉදිරිපත් කිරීමට වැඩි ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවයි. සැබැවින්ම, මෙහි එන “බ්‍රිගූ” නම් නාට්‍යකරුවාගේ චරිතය “ඝටක්” විසින් යොදාගනු ලැබ ඇත්තේ තම අධ්‍යාත්මය ප්‍රේක්ෂකයන් වෙත මුදා හරිනු පිණිස ය.
“බෙංගාලය දෙකඩ වීම” සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය වන්නේ 1950 වර්ෂයේ තිරගත වූ “චින්නාමූල්” නම් වංග චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයට රංග ශිල්පියකු වශයෙන් දායක වන “ඝටක්” එතැන් පටන් තම අවසාන චිත්‍රපටය වන “ජුකි තක්කා ආර් ගප්පෝ” දක්වාම මේ විෂයය සම්බන්ධ සාකච්ඡාව අත් නොහැරීම තුළ උක්ත සංසිද්ධිය ඔහුගේ ජීවිතයට කවර අන්දමේ බලපෑමක් සිදු කර ඇති දැයි යන්න වටහා ගත හැකි ය. පසු කලෙක, “විභේදන ත්‍රිත්වය (Partition Trilogy)” ලෙසින් ප්‍රසිද්ධ වූ “මෙඝේ ධකා තාරා (1960)”, “කෝමල් ගාන්ධාර් (1961)” සහ “සුබර්ණරේඛා (1965)” යන තුන් ඈඳුතු චිත්‍රපට නිර්මාණය කිරීමෙන් “ඝටක්” අපේක්ෂා කරන්නේ තම සිත තුළ ඇති වූ “කම්පනය” ප්‍රේක්ෂකයන් සමග බෙදා හදා ගැනීම වුවත්, “බටහිර බෙංගාල ජන සමාජය” ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් සංවේදී වූවාදැයි සැකයක් මතුවන්නේ “සුබර්ණරේඛා” සහ “කෝමල් ගාන්ධාර්” චිත්‍රපට වාණිජ වශයෙන් අසාර්ථක වීම හේතුවෙනි. කෙසේ නමුත්, “ජන්ම භූමිය අහිමි වූ සරණාගතයකු” වීම තුළ ඔහු විසින් අත් විඳින ලද “මානසික පීඩාව” වංග සිනමාවට “සදා අමරණීය චිත්‍රපට ත්‍රිත්වයක්” උරුම කර දීමට සමත් වී ඇති බව පැවසීම අසාධාරණ නොවන්නේ, වර්තමානයේ පවා අප මෙම “නිර්මාණ තුළින්” ඔහුගේ “සිත් වේදනාවට” සංවේදී වන බැවිණි.
බෙංගාලයේ භූ විෂමතාව හෝ දේශ සීමා සිංහල ප්‍රේක්ෂකයන්ට එතරම් හුරුපුරුදු නොවන බැවින් පසුබිමින් එන සමහර තොරතුරු සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම චිත්‍රපටය රස විඳීමට පහසුවක් වනු ඇත. සැතපුම් 80 ක් පමණ දිගැති “පද්මා” නම් නදිය “බංගලිදේශයේ” ප්‍රධාන ගංගාවයි. “ගංගා” නම් ගඟෙහි ම කොටසක් ලෙස හඳුන්වා දිය හැකි මෙය, බංගලිදේශයේ “චාන්ද්පූර්” නම් ප්‍රදේශයේදී “මේඝ්නා” නම් නදියට එක්ව “බෙංගාල බොක්කෙන්” තම ගමන අවසන් කරයි. මෙම චිත්‍රපටයේදී “පද්මා” නදියට විශේෂත්වයක් ලබා දී ඇත්තේ “ඉන්දියාව” සහ “බංගලිදේශය” වෙන් කෙරෙන දේශසීමාවක් වශයෙනි. එම හඳුන්වාදීම වැරදි සහගත නොවූවත්, එය උක්ත දේශ සීමාව ඔස්සේ ගලා යන්නේ “රාජ්ශෂී” සහ ආසන්න ප්‍රදේශ කිහිපයකදී පමණක් වන බැව් සිහිපත් කළ යුතු ය. එසේම, ඒ ආසන්න කිසිදු ප්‍රදේශයකදී “ඍත්වික් ඝටක්” උපන් “ඪකා” නගරය “පද්මා ඉවුරට” දර්ශනය වන්නේ ද නැත.
“කෝමල් ගාන්ධාර් (1961)” චිත්‍රපටයට උපසිරැසි යෙදීම සඳහා පිටපත් තෝරා ගැනීමේදී මුහුණපාන්නට සිදු වූ ප්‍රධාන ම ගැටළුව නම් පැහැදිලි පිටපතක් සොයා ගැනීමේ අපහසුවයි. কোমল গান্ধার – ঋত্বিক ঘটক යන නමින් යුතුව “යූ ටියුබ්” හි ඇති “පැය 2 මිනිත්තු 07 තත්පර 55”ක් දිගැති පිටපත තරමක් හොඳ තත්ත්වයෙන් පවතින්නක් වන බැවින් එම පිටපත සඳහා උපසිරැසි නිර්මාණය කළෙමි. වඩා හොඳ පිටපතක් හමු වූ වහාම උපසිරැසි යාවත්කාලීන කිරීම සඳහා සූදානමින් සිටින බැවින් “[email protected]” යන ඊමේල් ලිපිනය ඔස්සේ මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
මේ මගේ දහතුන් වැනි උපසිරැසි නිර්මාණයයි. “බෙංගාලය දෙකඩ වීමේ ප්‍රතිඵල” සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා ඍත්වික් ඝටක් විසින් නිර්මාණය කෙරුණු “විභේදන ත්‍රිත්වය” සඳහා සිංහල උපසිරැසි මේ සමග සම්පූර්ණ වේ. එසේම, මේ වන විට මම “ඝටක්ගේ” චිත්‍රපට හතරක් සඳහා උපසිරැසි නිර්මාණය කොට ඇත්තෙමි. ඉතිරි චිත්‍රපට හතර සඳහා ද හැකි ඉක්මනින් සිංහල උපසිරැසි නිර්මාණය කොට ඔබ වෙත රැගෙන ඒමට අපේක්ෂා කරමි.
“සෞන්දර්යාත්මකව” සංගීතය භාවිත කිරීමේ මනා පරිචයක් ඇති “ඍත්වික් ඝටක්” සිනමාකරුවා “කෝමල ගාන්ධාර ස්වරය” චිත්‍රපටය සඳහා ද ඉතාමත්ම විශිෂ්ට සංගීතයක් යොදාගෙන ඇති බැව් කිව යුතු ය. මෙහි එන ගීත සියල්ල “රවීන්ද්‍ර ගීත” වලින් උපුටා ගත් ඒවා වේ. අවසන් වශයෙන්, මෙහි එන “රවීන්ද්‍ර ගීයක” පද කීපයක් සිහිකරමින් මෙම ලිපිය අවසන් කරන්ට සිතුවෙමි.
“ඒ පැතතෙනුත් පද්මාව ය. මේ පැත්තෙනුත් පද්මාවය. මැදින් ඇති ජගීනා වැලිපරයේ ශිව දෙවිඳු වැඩ වාසය කරන්නේය.”
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
208 downloadsDownload Komal-Gandhar-1961.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/VajiraRathnayaka2-e1479670159444.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
7 comments
Kulanjana Maduranga
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔයාගේ සබ් එකක් ලැබෙනකම් තමයි බලා සිටියේ. පුළුවන්නම් Gauri (1968) ෆිල්ම් එකටත් සබ් දෙන්න. මගේ මාපියන් ඒ චිත්‍රපටයට හරි ආසයි.
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රේමකුමාර
සම්භාව්‍ය සිනමා කෘතීන් පරිශීලනයෙන් ලද වින්දනය අනෙක් සහෘදයන් ලවා ද වින්දවීමට රත්නායකයක් වගුළ බුද්ධිමය ශ්‍රමයට තුති පුදමි. සිනමා කෘතීන්හි ගෞරවය සුරකින අයුරින් ලියවෙන විමර්ශනයන් ද වෙබ්පළකින් බලාපොරොත්තු නොවිය හැකි තරම් උසස් අදියරක් නියෝජනය කරයි.
SriMkv
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේWithanage Priyantha Dayakeerthi
වජිර රත්නායක සොයුර,
මමත් පැරණි කලාත්මක සිනමාපට තෝරා නරඹන කෙනෙක්, මෙයත් අනිවාර්යයෙන් නරඹනවා. හැකිනම් Aan (1952) පැරණි හින්දි සිනමාපටයට උපසිරසි ලබාදෙන්න. එය පැරණි රසිකයින් ඉතාමත් අගය කරන සිනමාපටයක්. මීට වසර ගණනාවකට පෙර
මෙය ITN නාලිකාවේ සිංහල උපසිරසි සහිතව විකාශය කළා. මමත් ඉතාමත් ආශාවෙන් නැරඹුවේ. අවාසනාවට දැන් ITN එකටත් ඒ යුගය අමතකවෙලා. ඔබ බෙංගාලි සිනමාපට බොහොමයක් ලබාදුන් නිසා වෙනසක් වෙන්න මෙය ලබාදෙන්න. ඔබේ උපසිරසි කරණය ඉතාමත්ම පැහැදිලි නිසා ඔබ දෙන ඒවායේ සුවිශේෂී අගයක් ඇතැයි මට සිතෙනවා. ස්තුතියි!වජිර රත්නායක
ආන් කියන්නේ හින්දි සිනමාවේ පළමු වර්ණ චිත්‍රපටය. සුවිශේෂී වැදගත්කමක් දරන චිත්‍රපටයක්. ඔබේ ඉල්නිලීම වාර්යයෙන්ම ඉටු කරන්නම්.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……