අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Percy Jackson and the Olympians [S01 : E08] Sinhala Subtitles | “අනාවැකිය හැබෑවක් බවට පත් වුණා.” [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

Percy Jackson

සතියෙන් සතිය ගතවෙමින් ගිහිල්ලා එහෙනම් අන්තිමේදී අපි Disney Plus හරහා විකාශය වෙන Percy Jackson and the Olympians කතාමාලාවේ අවසාන එපිසෝඩ් එකටත් ඇවිල්ලා. ඔන්ගොයින් සීරිස් එකකට උපසිරසි දීලා අවසන් කරන්න ලැබීම හැමතිස්සෙම සතුටක්. සුපුරුදු පරිදි අද එපිසෝඩ් එකත් පොතේ පරිච්ඡේදයක නමින්ම තමයි නම් කරලා තියෙන්නේ. ඒ, පොතේ අන්තිම පරිච්ඡේදයේ මාතෘකාවෙන් හෙවත් “The Prophecy Came True” කියන නමින්.

මේ වෙනකොට කතාමාලාවට IMDb දර්ශකයේ 7.4ක් සහ Rotten Tomatoes දර්ශකයේ 97%ක වගේ ඉහළ අගයන් ලැබිලා තියෙනවා. මට නම් ෂෝ එක ගැන මාර සැටිස්. අවුරුදු 14කට පස්සේ ඇති යාන්තන් හරි විදියට කරපු පර්සි ජැක්සන් adaptation එකක් දකින්න ලැබුණා. ඒක තමයි මගේ පෞද්ගලික මතය. ඇනබෙත් චේස්ට කළු ජාතික ළමයෙක්ව cast කිරීම ආදී විවිධ මතිමතාන්තර නිසා මීට විරුද්ධ මතයක් දරන පිරිසකුත් ඉන්නවා. ඒත් ෆිල්ම්ස් දෙක එක්ක කම්පෙයා කරල බැලුවම show එක ඊට වඩා සෑහෙන්න book accurate සහ enjoyable බව පිළිගන්න ඕනේ (ලෝටස් කැසිනෝ සීන් එක ඇරෙන්න).

එහෙනම් අන්තිම එපිය බලන්න කලින් සීසන් එකක් පුරා වෙච්ච දේවල් අපි මතක් කරගෙන ඉමුකෝ. ලිපිය ටිකක් දිග වැඩි වේවි. ඒ නිසා කැමති නම් කෙලින්ම ගිහින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න.

SPOILERS

Episode 01: “I Accidentally Vaporize My Pre-Algebra Teacher”

පළමු එපිසෝඩ් එකෙන් අපිව පර්සි ජැක්සන් කියන චරිතයට හඳුන්වලා දුන්නා. එයාගේ ළමා කාලය මොන වගේද, එයා දැන් ඉන්නේ කොහෙද, කොහොමද, එයාගේ යාළුවෝ කවුද වගේ විස්තරත් අපට එළිකළා. පර්සි ජැක්සන් කියන්නේ වචන අන්ධතාවයෙන් සහ ADHD වලින් පෙළෙන සාමාන්‍ය ළමයෙක් කියලයි එයා හිතන් ඉන්නේ. ඒත් ඉක්මනින්ම එයාට එළිවෙනවා එයා නිකම්ම නිකන් ළමයෙක් නොවන බව, සහ එයා මෙච්චර කල් නොදැක්ක ලෝකයක් තියෙන බව.

පොඩි කාලේ ඉඳන්ම පර්සිට දකින්න පුළුවන්කම තියෙනවා අනිත් සාමාන්‍ය අයට දකින්න බැරි දේවල්. හරියට තටු තියෙන අශ්වයෝ හෙවත් පෙගසස්ලා වගේ. මේකට හේතුව එයා අර්ධ-ලෝහිතයෙක් වීම; ඒ කියන්නේ බාගයක් මනුස්ස, බාගයක් දෙවි. පර්සි වගේ අර්ධ-ලෝහිතයන්ට සාමාන්‍ය ලෝකය කියන්නේ බොහොම භයානක තැනක්. මොකද එයාලා පොඩි කාලේ ඉඳන්ම එයාලව මරන්න හිතාගෙන රාක්ෂයින් එයාලා පස්සෙන් එන නිසා. තමන්, තමන් අර්ධ ලෝහිතයෙක් කියලා දැනගත්ත හැටියෙම, තව තවත් වැඩියෙන් රාක්ෂයින් තමාට ආකර්ෂණය වෙනවා.

එපිසෝඩ් එක අවසාන වෙනකොට පර්සිට මේ ඇත්ත එළි වෙනවා. ඒවගේම එයාගේ පස්සෙන් මිනටෝර් නම් ග්‍රීක රාක්ෂයා හඹාගෙන එනවා. එයාගෙන් බේරෙන්න හිතාගෙන අර්ධ-ලෝහිත කඳවුරට යන ගමනේදී සැලී ජැක්සන් හෙවත් පර්සිගේ අම්මා මිනටෝර්ගේ අතින් “මරණයට පත් වෙනවා”. පර්සි කිසිම ආයුධයක් නැතුව මිනටෝර්ව පරාද කළාට පස්සේ, එයා ආරක්ෂිතව අර්ධ-ලෝහිත කඳවුර වෙත ළඟා වෙනවා.

Episode 02: “I Become Supreme Lord of the Bathroom”

දෙවෙනි එපිසෝඩ් එකෙන් අර්ධ-ලෝහිත කඳවුර වගේම ඉදිරියට ඉතාම වැදගත් වෙන චරිත ගොඩකුත් හඳුන්වලා දෙනවා. මිස්ටර් ඩී (ඩයනයිසස්) හෙවත් කඳවුරු අධ්‍යක්ෂක, කයිරොන්, ඇනබෙත්, ලූක්, ක්ලැරිස් ආදී චරිත අපට හමුවෙනවා. කඳවුරේ ඔලිම්පියානු දෙවිවරු 12 දෙනාට අයිති කැබින් 12ක් තියෙනවා. ඒ, ඒ දෙවියාගේ ළමයින් ජීවත් වෙන්න ඕනේ ඒ කැබින් එකෙයි. පර්සිට තාම එයාගේ දිව්‍යමය දෙමව්පියා හිමිකම් කියල නැති නිසා එයාට යන්න වෙන්නේ හර්මීස් කැබින් එකටයි. එතනදී එයාට හම්බවෙනවා එයාගේ role model එක; ලූක් කාසලන් (හර්මිස්ගේ දරුවෙක් සහ අතිදක්ශ කඳවුරුකරුවෙක්).

ඒවගේම අපට පර්සි කොච්චර විශේෂ අර්ධ-ලෝහිතයෙක්ද කියලත් හොයාගන්න ලැබෙනවා. තමන්ගේ ලේ තියෙන උපදෙවිවරු ඕනවට වඩා බලවත් වෙන නිසා සෑහෙන කාලෙකට කලින් සියුස්, පොසෙයිඩන් සහ හේඩීස් තවදුරටත් ළමයි හදන්නේ නෑ කියලා පොරොන්දුවකට ආවා. ඒත් සියුස් සහ පොසෙයිඩන් ඒ පොරොන්දුව කඩලා දෙන්නම එක ළමයෙක් බැගින් හදනවා. සියුස්, තාලයා සහ පොසෙයිඩන්, පර්සි වශයෙන්. ඉතින්, පර්සි ‘තහනම්’ දරුවෙක් කියා කියන්න පුළුවන්. කොඩිය ඇල්ලීමේ තරඟය අතරතුර පොසෙයිඩන්, පර්සිට හිමිකම් කියනවා.
එපිසෝඩ් එක අන්තිමේදී මිස්ටර් ඩී සහ කයිරොන් එයාට එළි කරනවා සියුස්ගේ බලයේ සංකේතය වන “ප්‍රධාන අකුණ” පැහැරගෙන ඇති බවට. මේක කළා කියලා සැක කරන්නේ පර්සිවයි. නමුත් ඒක ඇත්තටම කළේ හේඩීස් කියලයි විශ්වාස කරන්නේ. සියුස්, පොසෙයිඩන්ට අකුණ ආපහු බාරදෙන්න උත්තරායනය වෙනකන් කල් දීලා තියෙනවා. ඒක කරන්න බැරි වුණොත්, දෙවියන් අතර යුද්ධයක් ඇති වේවි. ඉතින්, ඒක වෙන්න කලින් පර්සිට පාතාල ලෝකය වෙත ගිහින්, හේඩිස්ගෙන් අකුණ අරගෙන ඒක ආපහු ඔලිම්පස්වලට ගෙනියන්න වෙනවා. ඒක තමයි එයාට භාර වෙන ගවේෂණය.

Episode 03: “We Visit the Garden Gnome Emporium”

එපිසෝඩ් එක පටන් ගන්නේ පර්සි, ඔරැකල් ගාවට ගිහින් තමන්ගේ ගවේෂණය ගැන අනාවැකියක් ලබාගන්න තැනින්. ඔරැකල් පර්සිට කියන අනාවැකිය මෙහෙමයි.

බටහිරට ගොස්, වෙනතක හැරුණු දෙවියන්ට මුහුණ දීමට නුඹට සිදු වේවි.
සොරකම් කරන දේ නුඹ විසින් සොයාගෙන නැවත ආරක්ෂිතව ගෙන ඒවි.
නුඹට යහළුවා යැයි අමතන අයෙක් නුඹට ද්‍රෝහී වේවි.
එමෙන්ම අවසානයේදී, වඩාත්ම වැදගත් දේ බේරාගැනීමට නුඹ අපොහොසත් වේවි.

ඉතින් මේ අනාවැකිය නිසා, පර්සි තමන් එක්ක ගවේෂණයට යන්න ග්‍රෝවර්ව සහ ඇනබෙත්ව තෝරගන්නවා. එයා එහෙම කරන්නේ ග්‍රෝවර් මොනවා සිද්ධ වුණත් එයත් එක්ක ඉන්න බව දන්න නිසත්, එයාව පාවාදෙන්න හොඳම අවස්ථාවක් තියෙන කෙනා ඇනබෙත් කියන බව දන්න නිසත්. දෙන්නට දෙන්නා කොහෙත්ම නොගැළපෙන බව දෙන්නා එපිසෝඩ් එකේ වෙන රණ්ඩුවලින් අපට තේරෙනවා. ඒත් ඇනබෙත් පර්සිවවත්, පර්සි ඇනබෙත්වවත් පාවා දෙන්නෙ නැති බව මෙඩූසා සහ ෆියුරි එක්ක සීන් වලින් අපට තේරුම් ගියා. එපිසෝඩ් එක අවසාන වුණේ වෙන් වෙලා හිටිය තුන්දෙනා, තුන්කට්ටුවක් බවට පත්වෙන තැනින්.

ආ, ඒවගේම අපට ඔලිම්පස් කන්දට යන විදියත් දැකගන්න ලැබුණා. එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ 600 වෙනි තට්ටුවේ තමයි ඒක පිහිටලා තියෙන්නේ; මොකද ලෝකයේ ප්‍රධාන ශිෂ්ටාචාරයත් එක්ක ඔලිම්පස් කන්ද තමන්ගේ පිහිටීම වෙනස් කරන නිසා. ගවේෂණය අවසානයේදී පර්සි මෙතනට යනවා අපට බලාගන්න පුළුවන් වේවි.

Episode 04: “I Plunge to My Death”

මේ එපිසෝඩ් එකේ අපට විශේෂයෙන්ම දකින්න ලැබුණේ පර්සි, ඇනබෙත්, ග්‍රෝවර්, රාක්ෂයින්ගේ අම්මා වන එකිඩ්නා සහ කයිමේරා එක්ක සටන් කරන හැටියි. එයාලා එකිඩ්නාගෙන් බේරෙන්න හිතාගෙන ඇනබෙත්ගේ අම්මා වන ඇතීනා දෙවඟනට පූජා කරපු දෙවොලක් වෙත යනවා. ඒ තමයි ඇමරිකාවේ ප්‍රසිද්ධ ස්මාරකයක් වන “Gateway Arch” එක. මේ වගේ තැන්වලට රාක්ෂයින්ට ඇතුළු වෙන්න නම් එයාලට අවසර ලබා දීලා තියෙන්න ඕනේ. නැත්නම් ඒවාට ඇතුළ් වෙන්න පුළුවන් උපදෙවිවරුන්ට සහ මිනිස්සුන්ට විතරයි. ඉතින් මේ තුන්දෙනා හිතාගෙන ඉන්නේ එයාලා ආරක්ෂිතයි කියලයි.

ඒත් එයාලා වැරදි බව අඟවමින් එකිඩ්නාට සහ කයිමේරාට ආරුක්කුවට ඇතුළ් වෙන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඇතීනා එයාලට අවසර දීලා කියන එකයි. ඇනබෙත් කියන විදියට, කලින් එපිසෝඩ් එකේදී ඒ තුන්දෙනා මෙඩූසාගේ ඔළුව ඔලිම්පස් කන්දට යැව්ව එකෙන් ඇතීනාට ඇතිවුණු කේන්තියට පළිගන්නයි එයා මේක කරන්නේ. අන්තිමේදී පර්සි තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන ග්‍රෝවර්ව සහ ඇනබෙත්ව බේරගන්නවා. එයා අඩි 660ක් උඩින් ඇද වැටුණත් පොසෙයිඩන් එයාව බේරගන්නවා. නමුත් එතන පොසෙයිඩන් නෑ, ඉන්නේ එයාගේ අණ පරිදි ආව ජල දෙවඟනක් විතරයි. පර්සිට වතුර යට හුස්ම ගන්න පුළුවන් කියලා එයා දැනගැනීමත් එක්ක, එපිසෝඩ් එක අවසන් වෙනවා.

Episode 05: “A God Buys Us Cheeseburgers”

මේ එපිසෝඩ් එකේදී අපට හම්බවෙනවා ඔලිම්පියානුවන් දොළොස්දෙනා අතරට අයිති වෙන පළමු දෙවියා; ඒ තමයි යුද්ධයට අධිපති දෙවියන් වන ඒරීස්. පර්සිව, ඇනබෙත්ව සහ ග්‍රෝවර්ව දැන් FBI එක හොයන නිසා, එයාලට සැන්ටා මොනිකාවලට යන්න ක්‍රමයක් නැතුව ඉන්නකොට, ඒරිස් ඇවිත් කියනවා එයාට පුළුවන් කියලා පාතාල ලෝකයට යන්න විදියක් සහ සැලසුමක් එයාලට දෙන්න… එයාගේ නැතිවුණු පළිහ පර්සිට සහ ඇනබෙත්ට හොයාගෙන එන්න පුළුවන් නම්.

ඉතින් මේ side quest එක හිතුව තරම් ලේසි එකක් නොවන බව මෙයාලට ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වෙනවා. ඒරිස්ගේ පළිහ ගන්න නම් එක්කෙනෙක්ට සදහටම හෙෆාස්ටස් විසින් උගුලක් විදියට හදපු පුටුවක හිරවෙන්න වෙනවා. පර්සි ඒක කරන්න තෝරගන්නවා. ඒත් ඇනබෙත් එයාව දාලා යන්නේ නෑ. මේක දකින හෙෆාස්ටස් ඇනබෙත් එක්ක කතාකරනවා. එතනදී ඇනබෙත් එයාට එළි කරනවා එයා පර්සිගේ ගතිගුණ කොච්චර අගය කරනවද කියා. මොකද එයා අනිත් අය වගේ කීර්තිය පස්සේ හඹායන්නේ නෑ. මේක අහන හෙෆාස්ටස් පර්සිව නිදහස් කරනවා. ඒරිස්ගේ පළිහ ආපහු අරගෙන ගියාම එයා, මේ තුන්දෙනාට ලෝටස් කැසිනෝ එකට යන්න ට්‍රක් එකක් දෙනවා.

Episode 06: “We Take a Zebra to Vegas”

පර්සි, ඇනබෙත් සහ ග්‍රෝවර් හර්මීස්ව හම්බවෙලා පාතාල ලෝකයට යන්න එයාගේ උදව් ගන්න හිතාගෙන ලෝටස් කැසිනෝ එකට යනවා. එයාලට හර්මිස්ව හමුවුණත්, එයාලට උදව් කරන්න හර්මීස් කැමති වෙන්නේ නෑ. එයත් එක්ක කරන කතාබහේදී අපට ලූක්ගේ අතීතය දැනගන්න ලැබෙනවා. ලූක්ගේ අම්මා කියන්නේ මීදුම හරහා දකින්න පුළුවන් දුර්ලභ හැකියාව තියෙන මනුස්සයෙක්. ඒත් ඒ දකින දෙයින් එයාට පිස්සු හැදෙනවා. ලූක් මේකට බනින්නේ හර්මිස්ටයි. ඉතින්, ඒ සිද්ධ වෙච්ච දෙයින් පස්සේ හර්මිස් උපදෙවිවරුන් එක්ක මැදිහත් වෙන්න කැමති නෑ.

ඒත් කොහොමහරි අන්තිමේදී වක්‍රාකාරයෙන් හර්මිස් එයාලට උදව් කරනවා. පොසෙයිඩන් පර්සිට කිව්ව විදියට, එයාලා සැන්ටා මොනිකාවලට යනවා. ඒත් එයාලට දැනගන්න ලැබෙනවා උත්තරායනය පාස් වුණු බවත්, යුද්ධය ආරම්භ වෙන්න යන බවත්. ඒ කියන්නේ එයාලා ගවේෂණය අසාර්ථක වුණා. ඒත් පර්සි ගවේෂණය සම්පූර්ණ කරලම තමයි පස්ස බලන්නේ. ඉතින්, ජල දෙවඟනගෙන් මුතු ඇට 4ක් එක්ක පර්සි පාතාල ලෝකය බලා පිටත් වෙනවා.

Episode 07: “We Find Out the Truth, Sort Of”

පාතාල ලෝකය නම් මං හිතුවටත් වඩා සුපිරියට ම තිබුණ බව කියන්න ඕනේ. පොතේ තියෙන විදියටම, පාතාල ලෝකය කියන්නේ ඔලිම්පස් කන්දේ උඩියටිකුරු කරපු වර්ශන් එකක් වගේයි. ඒවගේම සර්බෙරස්, චාරොන්, ඇස්ෆොඩෙල් යාය ආදී පාතාල ලෝකයේ ඉන්න කීපදෙනෙක් සහ ස්ථානත් අපට දකින්න ලැබුණා. මෙතනින් විශේෂම වුණේ ටාටරස්.

ලුක්, පර්සිට දුන්න සපත්තු පැළඳගෙන හිටපු ග්‍රෝවර්ව ටාටරස් දිහාට ඇදිලා යන්න පටන් ගත්තා. සපත්තු දෙක ගළවලා ග්‍රෝවර්ව බේරගන්න පර්සිට හැකියාව ලැබුණා. ඒත් එක්කම ඒරිස්, එයාට දුන්න බෑග් එකේ බර වැඩිවුණා. ප්‍රධාන අකුණ මායාවකින් දේව බලයකින් වගේ එතනට පහළ වෙලා! ටිකෙන් ටික මේ ගවේෂණයේ තියෙන ප්‍රහේළිකා ලිහෙන්න පටන් ගන්නවා.
පර්සි සහ ග්‍රෝවර්, හේඩීස්ව හම්බවුණාට පස්සේ එයා එළි කරනවා එයා ප්‍රධාන අකුණ හොරකම් කළේ නැති බවත්, එයාට ඒකෙන් කිසිම වැඩක් නැති බවත්. එයා පර්සිගේ අම්මා මැරෙන්න කලින් එයාව, එයා ළඟට ගත්තේ පර්සි එයාව ගන්න ආවාම පර්සිගෙන් එයාගේ “අන්ධකාරයේ හිස්වැස්ම” ආපහු ගන්නයි. මොකද හේඩීස් හිතාගෙන ඉන්නෙත් පර්සි තමයි අකුණු හොරා කියලා. අකුණු හොරා කවුරුවුණත් එයා ඒක කරලා තියෙන්නේ හේඩිස්ගේ අන්ධකාරයේ හිස්වැස්ම හොරාගෙන, ඒක පාවිච්චි කරලා සෙවණැලි අතරේ දියවෙලා කාටවත් නොපෙනෙන විදියටයි.

මේක තමයි ප්‍රහේළිකාවේ අන්තිම කෑල්ල. පර්සිට තේරුම් යනවා මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි ටාටරස් පතුලේ ඉන්න ක්‍රෝනෝස්. පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන්ම එයාගේ හීනවල ඉඳන් එයාව තමන්ගේ පැත්තට ගන්න හැදුවෙත් ක්‍රෝනෝස්ම තමයි. අකුණ හොරකම් කෙරෙව්වේත් එයායි. එයා තමන්ගේ මිනීවළෙන් ආපහු ගොඩඑන්නයි යන්නේ. ඒවගේම සියුස් සහ පොසෙයිඩන් අතර යුද්ධයක් ඇති වුණොත්, ඒක සිද්ධවෙන බව නිසැකයි. ඉතින් පර්සි, හේඩීස්ගේ අන්ධකාරයේ හිස්වැස්ම ආපහු ගේන්න එකඟවෙලා එයාගේ අම්මාව ගන්නේ නැතුව පාතාල ලෝකයෙන් පිටවෙනවා. එපිසෝඩ් එක අවසාන වෙන්නේ ඒරිස්, පර්සි එක්ක සටන් කරන්න එන තැනිනුයි.

ඉතින් ෆෑන්ස්ලා සෑහෙන්න කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්න, චිත්‍රපටිවලින් සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබුණ ඒ සටන අපට මේකෙදී බලාගන්න පුළුවන්. ඒවගේම 07 වෙනි එපිසෝඩ් එකේදී අපට පොසෙයිඩන්ව හමුවුණා වගේ, මේකෙදී අපට සියුස්ව දැකගන්න පුළුවන්. නමුත් සියුස්ට රංගනයෙන් පණපොවන Lance Reddick, මේ සීසන් එකට රංගනයෙන් දායක වුණාට පස්සේ අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත වුණා. ඉතින් මේක තමයි එයාගේ අවසන් රඟපෑම. එහෙනම්, මේ ඔක්කොම අවසාන වෙලා අනාවැකිය හැබෑවක් බවට පත් වෙන්නේ කොහොමද කියලා බලාගන්න මේ එපිය බලන්නකෝ. ඒවගේම සීරිස් එක ගැන අදහසත් පහළින් කොටාගෙන යන්න.

කලින් කිව්වා වගේ සීරිස් එක ගැන මම නම් තෘප්තිමත්. පොතට වඩා කතාව ටිකක් වෙනස් කරන එකට නම් මම විරුද්ධත්වයක් නෑ… ඒකෙන් ප්‍රධාන කතාවට ලොකුවට හානියක් නොවන තාක්. උදාහරණයක් විදියට, පොත්වලට සාපේක්ෂව සැලී ජැක්සන් සෑහෙන්න වැදගත් චරිතයක් කරලා තියෙනවා. මම ඒකට කැමතියි, මොකද ඒ හැම ජවනිකාවක්ම හරිම enjoyable. ඒවගේම රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව නම් ආයෙ ටොප් නොච්. විශේෂයෙන්ම Walker Scobell. මේ කොල්ලට පර්සි ජැක්සන් කියන චරිතේ 100%ක් ම ගැළපෙනවා. Leah Jeffries ඇනබෙත් විදියට කරන රංගනයත් නියමයි. නළු නිළියෝ ඔක්කොම වගේ තමන්ගේ චරිතවලට ගැළපෙන අය. චිත්‍රපටිවලට සාපේක්ෂව low budget එකක් තිබුණත් CGI/VFX වල කියන්න තරම් අඩුපාඩුවක් තිබුණේ නෑ.

ඒත් සටන් ජවනිකා ටිකක් දීර්ඝ වුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒවගේම 05, 06, 07 එකදිගට එපිසෝඩ් තුනකදිම පර්සි, ඇනබෙත් සහ ග්‍රෝවර්ව එකිනෙකාගෙන් වෙන් කරන එක නම් ටිකක් අවුල්. මට ඕනේ තුන් කට්ටුව එකට ඉන්නවා දකින්න. කොහොමහරි, මට කැමති නැති තව දෙයක් තමයි මේ තුන්දෙනා කලින්ම ගොඩක් අවදානම් ගැන දැනගෙන ඉන්න එක. උදාහරණයක් විදියට, ලෝටස් කැසිනෝ එකට යන්නත් කලින් එතන කට්ටියව වශී කරලා තියාගන්න හදන තැනක් බව මේ තුන්දෙනා දන්නවා, ක්‍රස්ටිව හම්බවෙන්නත් කලින් එයා සංචාරකයින්ව මරණ කෙනෙක් බව දන්නවා. එයාලා එහෙම කළේ මොකද කියලා මට තේරුම් ගන්න පුළුවන්, ඒත් පොතේ තිබුණ සුවිශේෂීම සහ සිත් ඇදගන්නා කොටසක් වුණේ එයාලත් එක්ක මේ ලෝකය ගැන, ඒකේ අනතුරු ගැන, රාක්ෂයින්ගේ උගුල් ගැන හොයාගන්න ලැබීම කියලයි මට හිතෙන්නේ. ඔය ටික ඇරෙන්න, මේ show එක සෑහෙන්න හොඳ බවයි මගේ මතය.

ඉතින් ලිපිය නම් සෑහෙන්න දිගයි. මේ තරමක් දුර කියෙව්වා නම් ස්තුතියි. තාම දෙවෙනි සීසන් එකක් එන බව confirm කරලා නෑ. ඒත් ඉහළ නැරඹුම්වාර සහ රසිකයින්ගේ positive feedback එක නිසා, දෙවෙනි සීසන් එකක් එන්න බොහෝවිට හැකියාවක් තියෙනවා. ආවොතින් අපි ආපහු ඒ සීසන් එකෙන් හමුවෙමු. එහෙනම්, කතාමාලාව අවසානය තෙක් බැලුවාට ස්තුතියි. අලුත් උපසිරසියකින් හමුවෙමු. පීස් ✌️.

 

Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Next BT1

8 thoughts on “Percy Jackson and the Olympians [S01 : E08] Sinhala Subtitles | “අනාවැකිය හැබෑවක් බවට පත් වුණා.” [සිංහල උපසිරසි]

  • thanks malli

    Reply
  • බොහෝම ස්තූතියි මල්ලි සබට…
    අලුත් සීරිස් එහෙකින් හම්බවෙමු…

    Reply
  • හැමදාම වගේ ඔයාගෙ වැඩවලට මුල්ම රිප්ලයි එක අදත් දෑන්න ලැබුනු එක ගැන සතුටුයි….ඔයාගෙ සබ් සුපිරි…දිගටම කර ගෙන යමු…

    Reply
  • බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *