අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

From Here to Eternity (1953) Sinhala Subtitles | සදාතනික වීරත්වය! [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඔන්න අවුරුදු 10කට පස්සේ ආයෙමත් උපසිරැසියක් අරං එන්න හිතුවා. 2013 දී Mamma Mia, Nowhere to Run සහ I’ll be Home for Christmas චිත්‍රපට වලට සිංහල උපසිරැසි නිර්මාණය කළාට පස්සේ ආයෙමත් උපසිරැසියක් කරන්න අවුරුදු 10 ක් ම ගත වුණා. මේ පාර අරං ආවේ ඔස්කාර් සම්මාන 13 කට නිර්දේශ වෙලා, හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය ඇතුළුව ඔස්කාර් සම්මන 8 ක් ම දිනා ගන්න සමත් වෙච්ච From Here to Eternity කියන චිත්‍රපටිය. ආදායම් වාර්තා අතින් ගත්තොත් මේ චිත්‍රපටිය 1953 දී තිරගත වුණ චිත්‍රපටි අතරින් දෙවැනියට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටිය වෙනවා. (The Robe සහ Shane චිත්‍රපටි පිලිවෙළින් පළමු සහ තුන් වන ස්ථාන වල පසුවෙනවා.)   

මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ 1951 අවුරුද්දේ දී නිකුත් වෙච්ච ජේම්ස් ජෝන්ස් කියන කතුවරයා ගේ, ඒ නමින්ම යුතු පොත පාදක කරගෙන. ඇත්තටම මමත් මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න පෙළඹුනේ පොත කියවද්දි ඇති වෙච්ච කැමැත්ත නිසා. ජේම්ස් ජෝන්ස්ගේ කතා පොතට හොඳ පාඨක ප්‍රතිචාර සහ විචාරක ප්‍රසාදය ලැබුණු නිසා ඊලඟ අවුරුදු දෙක ඇතුළත ඒ කතාව චිත්‍රපටියක් විදියට එළිදකිනවා. පිටු 900 කට වඩා වැඩි මේ පොතේ තියෙන කතාව ලොකු වෙනසක් කරන්නේ නැතුව ඉදිරිපත් කරන්න චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා. ඒත් අමෙරිකානු හමුදාව සහ හමුදාවට අයිති ස්ථාන නිරූපණය කෙරෙණ චිත්‍රපටයක් නිසා අමෙරිකානු හමුදාවෙන් අවසර ලබා ගැනීමට යාමේ දී, හමුදාවට අවශ්‍ය විදියට වෙනස්කම් කිහිපයක් සිදු කරන්න වෙලා තියෙනවා. කොහොම වුණත් පොතේ තියෙන ඇතැම් දෙබස් පවා කිසිම වෙනසක් නැතුව චිත්‍රපටිය තුළ අඩංගු වෙලා තියෙනවා දකින්න පුළුවන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fred Zinnemann විසින්. ඔහුගේ චිත්‍රපටි, ඔස්කාර් සම්මාන 65 කට නිර්දේශ වෙලා ඉන් 24 ක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහු හොඳම අධ්‍යක්ෂකවරයා විදියට දෙවතාවක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. කොහොම වුණත් අන්තිමේ දි මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ වුණාට පස්සේ අමෙරිකානු හමුදාවෙන් ඒ ගැන විරෝධතා එල්ල වෙලාත් තියෙනව චිත්‍රපටිය නිසා හමුදාවට අපහාසයක් වෙනව කියල.

චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. කතාවට පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න වගේ කාලෙක හවායි දූපත් වල තියෙන ස්කෝෆීල්ඩ් කියන හමුදා කඳවුර. (පොතේ කතුවරයා වෙච්ච ජේම්ස් ජෝන්ස් කියන්නෙත් මේ ආසන්න කාලයේදි මේ හමුදා කඳවුරේ සේවය කරපු කෙනෙක්. ඔහු තම හමුදා ජීවිතය තුළ අත්දැකපු සත්‍ය සිදුවීම් එහෙමත් එකතු කරලා පොත ලියලා තියෙන බව සඳහන් වෙනවා.) මේ හමුදා කඳවුරේ G කම්පැණි එකට මාරු කරලා එවන සාමාන්‍ය සෙබළෙක් වෙන රොබර්ට් E. ලී පෲවිට් කියන පුද්ගලයා වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ. පෲවිට් කියන්නේ හමුදාවෙ ඉන්න දක්ෂ බියුගල් වාදකයෙක්. ඒ වගේම ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුත් වෙනවා. ඒත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිදුවීම නිසා, පෲවිට් තීරණය කරනවා බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්න. ඇත්තටම, (පොතේ තියෙන විදියට) මේ අවාසනාවන්ත සිද්ධිය වගේම, පෲවිට් ඔහුගේ මව මිය යද්දී, ඇයට වුණ පොරොන්දුවකුත් ඔහුගේ මේ තීරණයට හේතු වෙනවා. ඒ පොරොන්දුව තමයි (ආත්මාරක්ෂාවට වගේ) නොකරම බැරි අවස්ථාවක ඇරෙන්න වෙනත් කිසිම හේතුවක් නිසා තවත් පුද්ගලයෙක්ට පහර දෙන්නේ නැහැ කියන එක. මොකද ඇය ඇගේ ජීවිත කාලය තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය කියන දේවල් සෑහෙන අත් විඳපු සහ දැකපු කෙනෙක් නිසා. ඒ පොරොන්දුව තියෙද්දීත් පෲවිට් බොක්සිං ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද කියන එක ගැටළුවක් වුණත්, ඒක ක්‍රීඩාවක් නිසා ඒ පොරොන්දුව එතනට අදාල නොවුණාවත් දෝ කියල වගේ දෙයක් අපිට අනුමාන කරන්න පුළුවන්.

කොහොමහරි, දක්ෂ ක්‍රීඩකයෙක් වුණ පෲවිට් ඒ විදියට ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන ඔහුගේ ඒකකයේ ප්‍රධානියා වෙන කැප්ටන් හෝම්ස් කොහෙත්ම සතුටු වෙන්නේ නැහැ. හෝම්ස් උත්සාහ කරනවා කොහොමහරි පෲවිට්ව ආපහු ක්‍රීඩාවට එකතු කර ගන්න. හොඳින් බැරි නම් නරකින් හරි පෲවිට්ව ආපහු බොක්සිං වලට ගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. මොකද බොක්සිං ශූරතාව තමන්ගේ ඒකකය දිනා ගත්තොත්, තමන්ට නිළ තනතුරු වලින් ඉහළට යන්න ඒක උදව්වක් වෙයි කියලා ඔහු විශ්වාස කරන නිසා. හෝම්ස්ගේ මේ වැඩ පිළිවෙල නිසා පෲවිට්ට හමුදා ජීවිතේ සෑහෙන අමාරු වෙනවා. මේ කරදර මැද්දේ, පෲවිට්ගේ උදව්වට ඉන්න, වැඩියෙන්ම කිට්ටු යාළුවෙක් තමයි ඇන්ජෙලෝ මැජියෝ කියන්නේ. පෲවිට්ව කරදර වලින් බේර ගන්න මැජියෝ තමන් ගැන පවා නොහිතා ඉදිරිපත් වෙනවා. ඒත් අවසානයේදි මැජියෝටත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මැජියෝට ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ කරපු කෙනාගෙන් පළිගන්න පෲවිට් කල්පනා කරනවා.

සාජන්ට් වෝර්ඩ්න් කියන්නෙත් පෲවිට්ට උදව් කරන හොඳ නිළධාරියෙක්. ඔහුත් පෲවිට්ව කරදරේ වැටෙන්න නොදී බේර ගන්න සෑහෙන මහන්සි වෙනවා. ඒත් කැප්ටන් හෝම්ස්ගේ තනතුරු වලට තියෙන කෑදරකමත් එක්ක ඒක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කාලෙදි සාජන්ට් වෝර්ඩ්න් සහ කැප්ටන් හෝම්ස්ගේ බිරිඳ කැරන් අතර අනියම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් දෙන්නගේ සම්බන්ධතාවය වැඩි දියුණු වෙද්දී, කැරන්ට ඕන වෙනවා හෝම්ස්ගෙන් දික්කසාද වෙලා වෝර්ඩ්න් එක්ක විවාහ වෙන්න. ඒත් ඒ දේවල් හිතන තරම් පහසුවෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ජීවිතේ කියන්නේ විවිධ බාධක කරදර මැද්දේ ගලාගෙන යන දෙයක් මිසක් අපි බලාපොරොත්තු වෙන විදියටම දේවල් සිද්ධ වෙන ලස්සන හීනයක් නොවෙන බව කතාව, එහි සිදුවීම් වලින් අපිට ඉඟි කරනවා. ඒ වගේ බාධක, කරදර හමුවේ බුද්ධිමත්ව කටයුතු නොකළොත් වෙන්න පුළුවන් අනිසි විපාකත් අවස්ථා කීපයකදීම චිත්‍රපටිය තුළ විදහා දැක්වෙනවා.

ජපනුන් විසින් පර්ල් වරායට බෝම්බ ගහන්න පටන් ගන්නවත් එක්කම කතාව අපි නොහිතූ, වෙනස්ම පැත්තකට හැරෙනවා. ඉතින් අපේ කතා නායකයා වෙන පෲවිට්ට මොන වගේ ඉරණමක් අත් වෙයි ද? පෲවිට්ට අකමැත්තෙන් හරි බොක්සිං සෙල්ලම් කරන්න වෙයිද? පෲවිට් කලින් ඉතාම කැමැත්තෙන් හිටපු බොක්සිං ක්‍රීඩාවට දැන් මේ තරම් අකමැති වෙන්න බලපාපු ඒ අවාසනාවන්ත සිද්ධිය මොකක් වෙන්න පුළුවන්ද? මැජියෝ වෙනුවෙන් පළිගන්න පෲවිට්ට පුළුවන් වෙයිද? සාජන්ට් වෝර්ඩ්න්ගේ ආදර කතාවට මොකක් වෙයිද? අවසානය මොන වගේ වෙයිද?

චිත්‍රපටියේ රඟපාන නළු නිළියෝ ගැනත් කතා නොකළොත් ඒක අඩු පාඩුවක් වෙනවා නේද? පනස් ගණන් වල හොලිවුඩ් සිනමාවෙ හිටිය නළු නිළියො ගැන වැඩි දෙනෙක් අහලා නම් නැතුවත් ඇති. ඒත් ෆ්‍රෑන්ක් සිනට්‍රා ගැන නම් අහලා නැති වෙන්නත් බැහැ. ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම නළුවෙකුත් වුණු ඔහු තමයි මේ චිත්‍රපටියේ ඇන්ජෙලෝ මැජියෝ ගේ චරිතයට පණ පොවන්නේ. මේ චරිතය රඟපෑම වෙනුවෙන් ඔහුට හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයත් හිමි වෙනවා. මීට අමතරව මොන්ට්ගෝමරි ක්ලිෆ්ට් තමයි අපේ කතා නායකයා වෙන පෲවිට්ගේ චරිතයට රඟපාන්නේ. තව බර්ට් ලැන්කැස්ටර්, ඩෙබෝරා කෙර්, සහ ඩොන්නා රීඩ් සෙසු ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. තවදුරටත් මේ චිත්‍රපටියට සම්බන්ධ පිරිස ගැන කතා කරනවා නම්, පොදුවේ ඔවුන් සියළු දෙනාම පාහේ මේ වෙනකොට ජීවතුන් අතර නැහැ කියන එකත් සඳහන් කරන්න වෙනවා.

ඉතින් මීට අවුරුදු 70 කට විතර කලින් තිරගත වුණ මේ චිත්‍රපටිය බලල රසවිඳින්න කියල මම ඔයාලට අරාධනා කරනවා. අවුරුදු දහයකට පස්සේ උපසිරැසියක් අරගෙන ආපු නිසා තව අමතර කතාවකුත් කියල යන්න හිතුණා. කොච්චර උපසිරැසි හදන්න කැමැත්ත තිබුණත් ඒකට වෙලාවක් වෙන් කරගන්න එක වගේම චිත්‍රපටියක් බලන්න වෙලාවක් හොයා ගන්න එකත් සෑහෙන අමාරු දෙයක්. ආයෙමත් උපසිරැසියක් කරන්න කොච්චර කාලයක් යාවිද කියල කියන්න අමාරු නිසා මේ කතාවත් කියාගෙනම යන්න හිතුවා.

හැම අවුරුද්දකම හොඳම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය ලබා ගත්ත චිත්‍රපටි ලැයිස්තුවත් – මේ වෙනකොට IMDB Top 250 ලැයිස්තුවෙන් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවා වගේ – සම්පූර්ණ කරන්න බයිස්කෝප් අඩවියට දායක වීමක් වශයෙනුත් තමයි මම මේ චිත්‍රපටිය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න හිතුවේ. මොකද 2012 දී විතර රොයිලි ප්‍රනාන්දු අයියා සිංහල උපසිරැසි නිර්මාණය කරපු Revolution TV සීරීස් එක නරඹද්දී ඇති වෙච්ච හැඟීම් මට අදටත් මතකයි. ඒ තමයි සිංහල උපසිරැසි එක්ක බලපු පළවෙනි TV සීරීස් එක (රූපවාහිනියේ විකාශය වුණු ඒවා ඇරුණම.) Revolution TV සීරීස් එක (පළමු කතා වාරය) ට මම මාර විදියට ආදරේ කළා. එක එපිසෝඩ් එකක් බලලා ඊළඟ එපිසෝඩ් එක සහ සිංහල උපසිරැසි එනකම් අපි මග බලාගෙන හිටියා. මම විතරක් නෙවෙයි ඒකට ඒ විදියට ආදරේ කළේ කියලා තේරුනේ “Revolution ඇසුරෙන් කියැවෙන මානසික රීතීන්” වගේ ලිපි පවා ඒ දවස්වල ‘බයිස්කෝප් මංසලේ’ ලියවෙනවා දකින කොටයි. සුපිරියටම නිර්මාණය කරලා තිබුණු ඒ උපසිරැසි නොතිබෙන්න ඒ දවස් වල ඉංග්‍රීසි කතා මාලාවක් බලලා තේරුම් අරං රස විඳින්න තරම් ඉංග්‍රීසි දැනුමක් තිබ්බේ නැහැ. කතාව බලන කොට හිතුනේ ඒ උපසිරැසි, රූපවාහිනි නාලිකා වල උපසිරැසි වලටත් වඩා ගුණාත්මකයිනේ කියලා. ඉතින් ඒ විදියට මම හදන උපසිරැසියකුත් කාට හරි උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉඩක් ලැබුණ විදියට නැවතත් උපසිරැසියක් නිර්මාණය කරන්න හිතුවේ.

Revolution වලින් පටන් ගත්ත TV සීරීස් සහ චිත්‍රපටි නැරඹිල්ල, ඒ දවස් වල බයිස්කෝප් අඩවියේ උපසිරැසි දීල තිබුණු නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් බලලා තමයි අවසන් වුණේ. මම මේ කියන්නේ 2012, 13 වගේ කාලේ. කොච්චර කතා මාලා, චිත්‍රපටි, වාර්තා වැඩසටහන් ඒ කාලෙ බැලුවද කිව්වොත් කිසිම උපසිරැසියක් නැතුව නිර්මාණ රසවිඳින්න පුළුවන් තරමට භාෂා දැනුමත් වර්ධනය වුණා ඉබේටම. මෙතන මම රොයිලි අයියා ගැන විතරක් විශේෂයෙන් සඳහන් කරලා තිබුණට නම් සඳහන් නොකළ බොහෝ පිරිසකගේ උපසිරැසි එක්ක නිර්මාණ රසවිඳින්න අපිට පුළුවන් වුණා. පස්සේ කාලෙදි ඉස්සර වගේ චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා බලන්න කාලයක් නොතිබුණත් ඉඩක් ලැබෙන වෙලාවට බයිස්කෝප් පැත්තේ ඇවිත් එහි පළවෙන ලිපි කියවන්න අමතක කලේ නැහැ. ඉතින් ඒ විදියට හැමෝගෙම රසවින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය, මහන්සිය කැපකරපු, කැපකරන හැමෝටම ස්තූතියි කියල කියන්නත් මේක අවස්ථාවක් කරගන්න ගමන් එහෙනම් ගිහින් එන්නම්! හැමෝටම සුබ දවසක්!

Gentlemen-rankers out on a spree,
Damned from here to Eternity,
God ha’ mercy on such as we,
Baa! Yah! Bah!


I'll Be Home for Christmas (1998) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “NCJD ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-10-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

6 thoughts on “From Here to Eternity (1953) Sinhala Subtitles | සදාතනික වීරත්වය! [සිංහල උපසිරැසි]

  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    අපිත් ඉතින් බයිස්කෝප් ටීම් එකට පිං සිද්දවෙන්න තමා මේ වගේ ලෝකේ පුරා තියෙන් මූවිස් සීරිස් අපිට තේරෙන විදිහට බලන්නේ…
    තැන්ක් යූ බයිස්කෝප් ටීම්…..///

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *