අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

My Little Pony: A New Generation (2021) Sinhala Subtitles | පෝනියෝ ඔක්කොම යාලුවෝ මල්ලි [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 12 votes.
Please wait...

My Little Pony: A New Generation Cover

My Little Pony: A New Generation (2021) Sinhala Subtitles

ෆොහ් හොහ් හෝ…. මගෙ රත්තරං යාලුවනේ. ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ මගේ හතරවෙනි සිංහල උපසිරැසි පරිවර්තනයයි. මෙදා පාර අරන් ආවේ හරිම හුරුබුහුටි Animation චිත්‍රපටයක්.

මේක Animation, Adventure, Comedy, Fantasy යන ශානර වලට අයත් ලොකු පොඩි කාටත් බලන්න පුළුවන් හරිම ලස්සන සලරුවක්. IMDB මීටරය 6.8 සහා කුණු තක්කලි මීටරේ 92% සහ 83% ක audience score එකකුත් මේකට තියනවා.

ඕං දැන් ඉතින් ඔයත් චිත්‍රපටයේ නම දැක්ක පලියට “හැයියෝ මේක මේ පොඩි උන්ගේ එකක්නෙ…, ඕවා බලන්නෙ පොඩි එවුන්නේ…, ඕවා සුරංගනා කථානේ…, ඕවා බලන්නෙ ගෑල්ළමයිනේ.., යැයි යැයි ගගා බයිලා ගගහා පොර ටෝක් දෙන හාදයෙක් නම්.. අමෝ අමෝ ඔස්තාර් මහත්තයෝ/නෝනෝ ඔහෙලා මේක බලන්න එපා.

හැබැයි ඔයා Animation චිත්‍රපට රසිකයෙක්ද. කාටුන් එකක් එහෙම බලලා හිනාවෙලා ෆන් එකක් එහෙම ගන්න ආස කෙනෙක්ද. එහෙනම් මෙන්න තියනවා හරිම හුරුබුහුටි animation movie එකක්. සුපිරියක්ම නොවුනත් කම්මැලි නැතුව නිවාඩු පාඩුවේ බලන්න පුළුවන් ලස්සන සලරුවක්.

චිත්‍රපටය ගැන පුංචි විස්තරයක් කියනවානම් නමේ හැටියටම මේකෙ ඉන්නේ ඉතින් පෝනියෝ විතරයි. සමහර විට ඔයාලා මීට කලින් ආපු My Little Pony : The Movie (2017) සලරුව බලලා ඇති. බලලා නැත්තං ඒකත් බලන්න. ඒකත් ආතල්. හැබැයි මේකෙයි ඒකෙයි කතාව ලොකු සම්බන්ධයක් නෑ. ඒක නොබලපු කෙනෙක්ට උනත් මේක බලන්න පුළුවන්. (ඒක මේකට prequel එකක්. ඒක අයිති වෙන්නේ G 4 වලට)

මේකෙ කතාව යන්නේ Equestria නම් පෝනි රාජධානිය බිද වැටුනට පස්සේ අවුරුදු ගානකට පස්සෙ වෙන නව පරපුරක කතාවක්. ඒකයි මේකෙ නම A New Generation වෙන්නේ. ( මේ චිත්‍රපටය අයිති වෙන්නේ G 5 වලට. My little pony විශ්වය යනු කුමක්ද යන්න ගැන සවිස්තරාත්මක ලිපියක් මම අන්තිමට ලියන්නම්). ඉතින් මේ පොනියෝ ප්‍රධාන වර්ග තුනක් ඉන්නවා. පෘථිවි පෝනියන්, පෙගසස්/පෙගසායි සහ යුනිකෝන්ලා තමයි ඒ වර්ග තුන. පෘථිවි පෝනියෝ කියන්නේ නෝමල් පෝනියන්ට. එයාලා ඉන්නේ maretime bay නම් ප්‍රදේශයේ. මෙයාලගේ කිසි විශේෂයක් නෑ. පෙගසස්ලා කියන්නේ තටු තියන පියාබන්න පුලුවන් පෝනියන්ට. පියාඹන අස්සයෝ කියමුකෝ. මෙයාලා ඉන්නේ Zephyr Heights නම් ප්‍රදේශයේ. යුනිකෝන්ලා ගැන නම් ඉතින් හැමෝම දන්නවනේ. නලලේ අඟක් වැනි අයිටම් එකක් තියන ලස්සන ඩයල් එකක්. මෙයාලා ඉන්නේ Bridlewood කියන කැලෑ ප්‍රදේශයේ.

මෙහෙමයි, කොටින්ම කිව්වොත් මේ පෝනි වර්ග තුන අතර කිසිම ඇයි හොදයියක් නෑ. කාලෙකට කලින් කරපු මහා යුද්ධෙයක් නිසා මුං මෙහෙම වෙන වෙනම ඉන්නවා කියලා තමයි මුංගේ ඉතිහාස කතාව කියන්නේ. මෙයාලා වර්ග තුන එකිනෙකාට තරහයි අදටත්. මුං අනිත් පෝනි වර්ගෙ ඉන්න පැත්ත බලාගෙන බත්වත් කන්නෑ. කොහොමත් මුං බත් කන්නෑ. මොනවා කනවද නම් දන්නෑ. හැබැයි කතාව මේකයි.

අපේ කතා නායිකාව තමයි සනී කියන හැඩකාර පෝනි කෙල්ල. මෙයා විස්වාස කරනවා කාලෙකට කලින් පෝනියෝ වර්ග තුනම යාලුවෝ වෙලා හිටියා කියලා. ආපහු ඒ යාලුකම පටන්ගන්න පුලුවන් කියලත් එයා හිතනවා. ඒත් මෙයා කියන කිසිම දෙයක් අනිත් පෝනි විස්වාස කරන්නෙ නෑ. එතකොට ඇත්තටම පෝනි වර්ග තුන සදහටම හතුරොද? නැත්තං කාලෙකට කලින් ඇත්තටම මෙයාලා ඔක්කොම යාලුවෝද? සනීට ඒ යාලුකම ආපහු ගොඩනගලා පෝනියන්ව එක්සත් කරන්න පුලුවන් වෙයිද? නැත්තං එහෙම ලබ්බක් නැද්ද. මුං ඔක්කොම යාලුවොද? සනී කෙල්ලට මේ ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් වෙයිද? උත්තර හොයන්න නම් මේ ලස්සන සලරුව රස විඳින්න කියලා හැමෝටම මම ආරාධනා කරනවා.

“ඕවා හොදයි බත් කන්නැති පොඩි උන්ට පෙන්නලා රවට්ටන්න” යැයි යැයි යැයි…(ඔව් හැබැයි එහෙම කරන්නත් පුලුවන්. ඔබත් බබෙක් සිටින මවක්ද, පියෙක්ද? ඔබේ දරුවාත් බත් කෑම ප්‍රතික්ශේප කරනවද. එසේනම් මෙය පෙන්වා රවටා කවාගනු මැනවි) නිකං පල පල ඩෝ යන්ඩ. මේක හරි ආතල් ලස්සන සලරුවක්. ඔයත් අර වගේ පොර ටෝක් දෙන ඔස්තාර් උතුමෙක් ද? ඒත් කමක් නෑ මේක බලපං මචං…

මම කිව්වා නේද මේ My Little Pony විශ්වයේ අග මුල ගැන සවිස්තරාත්මකව ටිකක් කියලා දෙන්නම් කියලා. ඔන්න එහෙනම් මෙතන ඉදන් මම ලියන්න යන්නේ මේ ගැන ෆුල් පැටිකිරිය සහිත පට්ටන්දරයම.(හැබැයි මම දන්න තරමින් පමණයි හොදද, වැරදි අඩුපාඩු ඇත්නම් සමාවෙන්න ඕනෙ හොදද. හේ…හේ….)

මුලින්ම බලමුකෝ මේ My Little Pony කියන්නේ මොකද්ද කියලා. කොටින්ම කිව්වොත් මේක මුලින්ම සෙල්ලම් බඩු සන්නාමයක් (Brand එකක්) සහ දැන් Media Franchise එකක් බවට පත්වෙලා තියනවා. ඒ කියන්නේ මේ Brand name එක යටතේ චිත්‍රපටි, කතාමාලා, පරිගණක ක්‍රීඩා ආදී ඩිජිටල් දේවලුත් තවද පොත්, සඟරා, සෙල්ලම් බඩු, කෙටි චිත්‍රපට, චිත්‍ර කතා, ඇදුම් පැළදුම්, ස්ටිකර්, ආදී විවිධ වෙළඳ භාණ්ඩ ඔස්සේ ද මෙය ජනප්‍රිය වී හමාරයි. මෙම My Little Pony සන්නාමය අයිති Hasbro නම් අමෙරිකානු සෙල්ලම් බඩු නිපදවන සමාගමකට (Hassenfeld Brothers). මේක සෙල්ලම් බඩු, Puzzles, Board games, Wargames, sport equipments ආදිය නිපදවන සමාගමක්. වැඩිය මීටර් නෑ නේද. ඉන්නකො එහෙනම්. ඔයා ලොවෙත් අහලා ඇති නේද සුප්‍රසිද්ධ G I joe, Dungeons and Dragons, Power Rangers, Transformers වැනි නම් කීපයක්. ඔව් ඔව් මේ සන්නාම (Brand) දැනට අයිති වෙන්නෙත් මේ කියන Hasbro සමාගමට තමයි. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ Peppa pig සන්නාමයත් දැනට අයිති මෙම සමාගමටයි. තව ඒ වගේ මෙයාලට අයිති ප්‍රසිද්ධ brands ගොඩක් තියනවා. My Little Pony කියන්නෙත් දැනට මෙයාලට අයිති Brand එකක්.

මුලින්ම මේ My Little Pony සෙල්ලම් බඩු ඩිසයින් කරලා හදුන්වලා දීලා තියෙන්නේ Bonnie Zacherle කියන නෝනා ඇතුලු කීප දෙනෙක්. ඒ 1981 දි. Pony figures තමයි මේ සෙල්ලම් බඩු. මුලින්ම 1981 දි මේ brand එකේ නම උනේ My Pretty Pony.

ඊට පස්සේ 1982 දි Hasbro සමාගම විසින් මෙහි වැඩිදියුනු කරන ලද පෝනි වර්ග කිහිපයක් ඇතුලත් නවතම පෝනි සෙල්ලම් බඩු දිගහැරුමක් My Little Pony නමින් එලි දක්වනවා. පස්සේ 1984 දි Animation television special කතාංගයක් එළිදැක්වීමත් සමගම මෙය media franchise එකක් බවටද පත්වෙනවා. ඊට පසු 1986 දි My Little Pony නමින් කතාංග 50 කින් යුත් animated tv series එකක් සහ 1987 දි කතාංග 15 කින් යුත් එහි දෙවන කතා සමයක්ද විකාශය කරලා තියනවා. 1992 දී My Little Pony Tales යන නමින් කතාංග 26 කින් යුත් කතාමාලාවක්ද විකාශය කරලා තියනවා. 1981 මෙම පලමු සෙල්ලම් බඩු එලිදැක්ම G 1 හෙවත් Generation 1 ලෙස හදුන්වනවා. මෙම 1981 න් පටන්ගත්ත toy version ටික 1992 තෙක් නිපදවා තවතා දමනවා. මෙය මේ සෙල්ලම් බඩු වල G 1 ලෙස රසිකයින් හදුන්වනු ලබනවා.

නැවතත් 1997 දී Hasbro සමාගම විසින් මේ පෝනි සෙල්ලම් බඩු වල “Friendship Garden” නමින් අලුත් version එකක් එලිදක්වනවා. මේ අලුත් සෙට් එක කලින් ඒවාට වඩා ගොඩක් ලස්සනට හදලා තියනවා. 1999 දී මෙම දිගහැරුමද නිෂ්පාදනය ඇමරිකාව තුල නතර කලත් බටහිර යුරෝපයේ රටවල මෙය වඩාත් ජනප්‍රිය වීම හේතුවෙන් Hasbro සමාගම විසින් තවත් වසර කීපයක් එම රටවල මේවා නිපදවා බෙදාහැරලා තියනවා. මේක තමයි මේ සෙල්ලම් බඩුවල G 2 හෙවත් Generation 2. යුරෝපා රටවල එලිදක්වන ලද version එකේදි අර කලින් කිව්ව “Friendship Garden” වෙනුවට “Ponyland” යන නම යොදාගෙන තියනවා. මෙම G 2 version එක යටතේ ඇදුම් පැළදුම්, පොත්, සඟරා ඇතුලු විවිධ වෙලඳ භාණ්ඩ ද නිපදවා අලවිකර තියනවා. My Little Pony: Friendship Gardens නමින් පරිගණක ක්‍රීඩාවක් පවා එලිදක්වලා තියනවා. තවද මෙහි වෙලද අයිතිය ලබාගත් සමාගමක් චීනය තුලද මෙම සෙල්ලම් බඩු නිපදවා බෙදාහැරලා තියනවා.

ඊට පස්සේ 2003 දී G 3 හෙවත් Generation 3 පටන් අරන් තියනවා. වැදගත්ම කාරණය තමයි මේ සෙල්ලම් බඩු වල Generation 1, 2, 3, 4… ආදිය නිල වශයෙන් Hasbro සමාගම විසින් බෙදලා වෙන්කරලා නෑ. මේ generation බෙදාගෙන හදුන්වා ගන්නේ සෙල්ලම් බඩු රසිකයින් විසින්. කෙසේ හෝ වේවා මේ G 3 version එක මේ වතාවේදී ප්‍රධාන වශයෙන් තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන තමයි සෙල්ලම් බඩු හදලා තියෙන්නෙ. ඉතින් 2003 සිට 2009 තෙක් මේ G 3 version එක තිබිලා තියනවා.

ඊට පස්සේ 2010 දී Hasbro සමාගම විසින් My Little pony සෙල්ලම් බඩු අලුත්ම වැඩකෑලි සහා අලුත්ම දැවැන්ත ම කතාවක් විදියට Re launch කරනවා. G4 හෙවත් Generation 4 පටන් ගන්නේ ඕකෙන් තමයි. ඉතින් ඔන්න G 4 වලින් තමයි අපිට හුරු පුරුදු Equestria නම් පෝනි රාජධානිය හදුන්වනවා දෙන්නේ. ඉතින් මේ හදුන්වා දෙන ලද අලුත් Equestria ව ඇතුලත් පෝනි version එක සුපිරියටම ජනප්‍රිය වෙනවා. මේකදි My Little Pony : Friendship is Magic යන නමින් නවතම ආරක කතාමාලාවක් 2010 දි පටන් අරන් 2019 වන තෙක් කතාසමයන් 9 කින් යුක්ත Episode බර ගානක් තියන පත සයිස් දඩාර Animation tv series එකක් විදිහට විකාශය කරලා තියනවා. එයට My Little Pony : The Movie යන නමින් 2017 දි චිත්‍රපටයක් ද නිපදවා තියනවා. හුගක්ම මේක වැඩිහිටියන් අතරේ ජනප්‍රිය වෙන්න ගත්තෙත් ඔන්න ඔය කියන Friendship is Magic කතාමාලාවෙනුයි.

එතනින් මුං නවතිනවද මිතුරනි. ලොවෙත් නෑ. ඔය අස්සේ මේ යක්කු My Little Pony: Equestria Girls යන නමින් Spinn-off එකක් 2013 දි එලියට දානවා. ඒකෙන් මේ pony universe එක තවත් විශාල වෙනවා. මෙම Equestria Girls spinn-off එක ඇසුරින් බෝනික්කන් ඇතුලු සෙල්ලම් බඩු නිපදවීම සහා ඒ ඇසුරින් වෙනනම Media Franchise එකක් Build-up කරනවා. ප්‍රධාන My little pony brand එකේ spinn-off brand එකක් විදියට මෙම Equestria Girls ප්‍රධාන තැනක් ගන්නවා. මෙම spinn-off එකට අදාලව චිත්‍රපට කීපයක් පිලිවෙලින් Equestria Girls (2013), Rainbow Rocks (2014), Friendship Games (2015), Legend of Everfree (2016) යන නම් වලින් Release කරලා තියනවා. මෙයට තව දුරටත් short films, television specials, Games ආදියත් ඇතුළත් වෙනවා. මේකත් සෑහෙන දේවල් අඩංගු දඩ සයිස් media franchise එකක් වගේම වෙළඳ භාණ්ඩ එකතුවක්.

මීටත් අමතරව මේ යක්කු 2020 දි My Little Pony : Pony Life යන නමින් තවත් Spinn-off Comedy Series එකක් එලියට දානවා. හැබැයි මේක අලුත්ම අමුතුම ඇනිමේෂන් ස්ටයිල් එකක් සහිත කොටස් 40 ක් ඇතුලත් ආතල් කතාමාලාවක්.

ඊටත් පසුව 2021 දී අලුත්ම අලුත් toyline එකක් Hasbro සමාගම විසින් එලියට දානවා. ඒක G5 හෙවත් Generation 5 ලෙස හදුන්වනවා. මෙම නව හදුන්වා දීම Generation Alpha ලෙස ද හදුන්වනවා.

නවතම 3D Animation සහිත අලුත්ම කතා තේමාවක් රැගත් මෙම version එකට මම අද උපසිරැසි දී ඇති My Little Pony : A New Generation (2021) චිත්‍රපටය ද ඇතුලත් වෙනවා. paramount pictures හරහා සිනමාශාලා වල විකාශය වීමට තිබුනත්, covid-19 වසංගතය නිසා චිත්‍රපටය විකාශය කැන්සල් කරලා තියනවා. ඉන් පසුව එය නෙට්ෆ්ලික්ස් හරහා විකාශය කරනවා. මෙම G 5 වලට අදාලව My Little Pony: Make Your Mark යන නමින් නවතම ඇනිමේෂන් කතා මාලාවක් ද නෙට්ෆ්ලික්ස් හරහා විකාශය කරනවා. එයට කතාංග 8 කින් යුත් පලමු කතා සමය 2022 දීද, කතාංග 6 කින් යුත් දෙවන කතාසමයක් 2023 දී ද, තවත් special කතාංග දෙකක්ද දැනට නෙට්ෆ්ලික්ස් හරහා විකාශය කරලා තියනවා.

Time line එකේ හැටියට මෙම G 5 කතාව ආරම්භ වෙන්නේ G 4 වල Friendship is magic අවසාන වෙලා සෑහෙන කාලවකවානුවට පසුවයි. ඒ කියන්නේ G 4 වල තිබ්බ Equestria රාජධානිය දැන් මේකට අනුව ඉතිහාසයට අයිති පුරාවෘත්තයක් වෙලා ඉවරයි. කලින් පෝනියන් අතර තිබ්බ යාලු මිතුරුකම්, සමගිය සමාදාන දැන් මොකවත් නෑ. ඒ වෙනුවට පොනි වර්ග තුන අතර අසමගිය වෛරය සැකය වගේ දේවල් තමයි තියෙන්නේ. කොටින්ම කිව්වොත් දැන් මේ පෝනි වර්ග තුන අතර කිසි ඇයි හොදැයියක් නෑ. සමගිය lept. කොටින්ම කිව්වොත් දැන් මුන්ට මැජික් බලයක් වත් නෑ. Equestria ව කොටස් තුනකට කැඩිලයි දැන් තියෙන්නේ. පුරාන Equestria වේ කලින් පෝනියෝ සමගියෙන් හිටියාද කියලාවත් දැන් ඉන්න උන් දන්නෑ. උං දන්නේ මහා යුද්ධෙකින් පස්සේ මුං එකිනෙකා කාකොටා ගෙන කැඩිලා ගියා කියන කතන්දරය විතරයි.

ඒකෙන්ම ඔයාලට තේරෙනවනේ මේ Time line එකේ තියන Time gap එකේ තරම නේද. ඇත්තටම මේ අලුත් කතාව පට්ටටම Build කරලා තියනවා මේ චිත්‍රපටයෙන්. පෘථිවි පෝනියෝ හිතං ඉන්නෙ පෙගසායිලටයි යුනිකෝන්ලාටයි මැජික් පුලුවන් කියලා. පෘථිවි පෝනියෝයි යුනිකෝන්ලායි හිතන් ඉන්නේ පෙගසායිලට පියාඹන්න පුලුවන් කියලා. යුනිකෝන්ලා හිතන් ඉන්නේ උංගේ මැජික් බලයට කෙල කරේ පෙගසස්ලා කියලා. පෙගසස්ලා හිතන් ඉන්නේ යුනිකෝන්ලාට මැජික් පුලුවන් කියලා. ඒ අස්සේ පෘථිවි පෝනියෝ මේ මොන මගුලක් වත් දන්නෙත් නෑ. අලුත් ඇල්ෆා පරම්පරාවත් එක්ක G 5 නියමෙට සෙට් වෙලා යනවා වගේ දැනට නම්.

හම්මෝ මේ ලිපිය මම දැන් පැය ගානක් තිස්සේ ටයිප් කරන්නේ. දැන් ඇති, මට හති. මම හිතනවා මම ලියපු මේ විස්තර ටිකෙන්, My Little Pony විශ්වය ගැන විස්තර හොයලා බලන්න ආස කවුරුම හරි කෙනෙක්ට මේකෙන් පොටක් පෑදිලා ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. මටත් ඇත්තටම සතුටුයි මම දැනගත්ත දෙයක් මෙහෙම තවත් කාටහරි දැනගන්න ෂෙයා කරන්න පුලුවන් වීම ගැන. ඉතින් ඔන්න මම දැනට දන්න ටික ඔයාලත් එක්ක බෙදාගත්තා.

හැමදාම කියනවා වගේ ලිපිය අන්තිම වෙනකල් කියෙව්ව ඔයාට ගොඩක් ස්තුතියි. ඔව් ඔව් ඔයා තමයි. අර ඉතින් වටපිට බලන්නෙ මොකෝ. ඔයාට තමයි කිව්වේ. යෝ..තෑන්ක්ස් ආ කියෙව්වට. මම හිතනවා ඔයාගෙ චිත්‍රපටි පිලිබද දැනුම පොතට අලුත් දෙයක් එකතු වෙන්න ඇති කියලා. මේ සබ් එක කරන්න මම Request කලාම, ඒක මට සෙට් එකපු ඇඩ්මින් මඩුල්ලේ විමා සහෝටත් බොහොම ස්තූතියි. කමෙන්ට් එකක් එහෙම දාලා ගැම්මක් අරන් දෙන අයටත් ගොඩක් ස්තුතියි. ඕං එහෙනම් මම කැපුනා. හැමදාම අන්තිමට කියනවා වගේ “කැමැත්ත ඇත්තෝ නරඹත්වා..ඒස්වා..ක්‍රෑහ්.. තුහ්!”

මුං ඔක්කොම යාලුවෝ මල්ලි (මං මේ කිව්වේ පෝනියෝ ගැන ඈ)

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEB පිටපත් සඳහා ආදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

My Little Pony: A New Generation (2021) Sinhala Subtitles

5 thoughts on “My Little Pony: A New Generation (2021) Sinhala Subtitles | පෝනියෝ ඔක්කොම යාලුවෝ මල්ලි [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Sub ekata thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරසියට සහෝ…ජය වේවා…

    Reply
    • හරිම විනෝදාත්මක ලිපියක්. ඒවගේම නොදන්න දේවල් ගොඩක් දැනගන්නත් පුළුවන් වුණා. පොඩි උන්ගේ චිත්‍රපටියක් වුණත් සෑහෙන්න මහන්සි වෙලා ලිපිය ලියලා තියෙනවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *