අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Thalapathi AKA Dalapathi (1991) Sinhala Subtitles | මගේ තලපති. [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 5 votes.
Please wait...
Thalapathi (1991) Sinhala Subtitles
Thalapathi (1991) Sinhala Subtitles

තලපති නැත්නම් ඩලපති සිනමා අධ්‍යක්ෂක මනිරත්නම් විසින් කළ තවත් අද්විතීය නිමැවුමක්. දමිළ සිනමාවේ හොඳම චිත්‍රපට ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් මේ තලපති චිත්‍රපටයට ලැබෙනවා. මහාභාරතයේ එන කර්ණන් සහ දුර්‍යෝධනාගේ මිත්‍රත්වය පාදක කරගෙන මේ කතාව නිර්මාණය කර තිබෙනවා. සූරියා – කර්ණන්, දේවරාජ් – දුර්යෝධනා, සුබ්බුලක්ෂ්මි – ද්‍රෞපති, අර්ජුන් – අර්ජුණා, කල්‍යාණි – කුන්ති යන ආකාරයට පාදක කරගෙන තිබෙනවා. ඒ සමයේ ඉ.රු. කෝටි 3ක අති දැවැන්ත වියදමක් දරා මෙය නිෂ්පාදනය කරනු ලැබුවා. කොහොම වුණත් මනි රත්නම් හා රජිණිකාන්ත් එක්ව කළ එකම චිත්‍රපටය තලපති පමණයි.

Thalapathi (1991) Sinhala Subtitles

මෙහි සුපර් ස්ටාර් රජිණිකාන්ත් සහ මෙගා ස්තාර් මම්මුට්ටි සමඟින් ජයි ශංකර්, අරවින්ද් සාමි, ශෝභනා, අම්රීෂ් පූරි, ශ්‍රීවිද්‍යා, භානුප්‍රියා, නාගේෂ්, චාරුහසන්, චාර්ලි, තලපති දිනේෂ් යන අය රඟපානවා.

Thalapathi (1991) Sinhala Subtitles

රජිණිකාන්ත් හා මනිරත්නම්ගේ සහෝදරයා වන ජී. වෙන්කටේෂ්වරන් හොඳ මිතුරන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා එක්ව චිත්‍රපටයක් කිරීමට බොහෝ කලක් කතා කරගෙන තිබුණා. මේ අතරවාරයේ මනීට රජිණිව වතාවන් දෙකක්ම මුණ ගැසුණත් ඒ වනවිට ඔහු සතුව රජිණි වෙනුවෙන් කතාවක් තිබුණේ නැහැ. මනීටත් රජිණි වෙනුවෙන් කතාවක් ලියන්නට ඕනෑකමක් තිබුණා. ඒත් සුපර් ස්ටාර්ගේ තත්වයේ විෂය පථය බොහෝ වෙනස් එකක්. රජිණිට ප්‍රතික්ෂේප කරන්න් බැරි වෙන විදියේ කතාවක් මනීට උවමනා වුණා. කොහොම වුණත් මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ සිනමාපටයක් වෙන්න ඕන කියන තැන මනී දැඩිවම හිටියා.

Thalapathi (1991) Sinhala Subtitles

මේ සුසංයෝගය ප්‍රමාද වෙන්නටත් හේතුවත් එයයි. ඒ අනුව මහාභාරතයේ එන කර්නාගේ කතාවේ සංකල්පය තලපති සඳහා පදනම වුණා. එය කර්ණන්ගේ දෘෂ්ටිකෝණයෙන් වර්ථමානයට(ඒ කාලයේ) ගැලපෙන අයුරින් කතාව රචනා කළා. ඒ වගේම මේ සඳහා මනීට Mullum Malarum (1978) චිත්‍රපටයේ මෙන් සැබෑම රජිණිකාන්ත්ගේ රංගනය දැකගැනීමට වුවමනා වුණා. අනෙක් අතට ඔහුගේ සුපුරුදු රටාව වූ අසාමාන්‍ය මාස් චරිත සහ කිසිදු ශෛලීය(Style) අංගයක් නිරූපණයෙන් තොරව.
කර්ණන් කියන්නේ සූර්යයාට කියන තවත් නමක්. ඒ නිසා කර්ණන් සූරියා(සූර්යා) ලෙස මෙහි යොදාගෙන තියෙනවා.

පලමුවෙන්ම මනිරත්නම් දේවාගේ චරිතය සඳහා මම්මුට්ටිට ඇරයුම් කල විට මනිරත්නම් කතාව ඉදිරිපත් කළ විලාශයෙන් ඔහුට මේ කතාව පිළිබඳ පැහැදීමක් ලැබුණේ නැහැ. මලයාලම් අධ්‍යක්ෂක ජෝශි, මමුට්ටිට උපදෙස් දී මේ සඳහා එකඟ කරවා ගන්නවා. මම්මුට්ටිගේ නිර්දේශයෙන් අර්ජුන්ගේ චරිතය වෙනුවෙන් මුලින්ම නළු ජයරාම්ව(මලයාලම්) යොදාගැනීමට හිතුවත් ඔහු වෙනත් චිත්‍රපටි කිහිපයක් සමඟින් කාර්යබහුලව සිටි නිසා එම අවස්ථාව මඟ හැරෙනවා.

Thalapathi (1991) Sinhala Subtitles

මම්මුට්ටිට මේ සඳහා එකල මුදලින් ඉ.රු. ලක්ෂ 10ක් ගෙවා තිබෙනවා. (වර්ථමානයේ අගය ඉ.රු. ලක්ෂ 86ක් පමණ.) තවද හින්දි නළු අම්‍රීෂ් පූරි හට ඉ.රු. ලක්ෂ 5ක ගෙවීමක්ද කර තිබෙනවා. සූරියාගේ(රජිණි) මවගේ චරිතය රඟපෑ ශ්‍රීවිද්‍යා රජිණිට වඩා වසරක් ලාබාලයි. ශෝභනා මීට පෙර රජිණි සමඟ Siva (1989) චිත්‍රපටයේ රඟපා තිබෙනවා. නළු ක්‍රිෂ්ණා [Kazhagu (2012), Veera (2018), Yatchan (2015)] මෙහි බාල වියේ සූරියාගේ චරිතය නිරූපණය කලා. නමුත් ධාවන කාලය දීර්ඝ වීම හේතුවෙන් එම කොටස් කපා ඉවත් කිරීමට සිදු වුණා.

Thalapathi (1991) Sinhala Subtitles

මනිරත්නම්ට උවමනා කරන විදියට රඟපාන එක අමාරු වැඩක් කියා රජිණි අවස්ථා කිහිපයකදීම ප්‍රකාෂ කර තිබෙනවා. රූගත කිරීම් සිදුවන අවස්ථාවේදී නැවත නැවතත් රූගත කිරීම් සිදු වන නිසා(Re-take) කමල්ට දුරකථන ඇමතුමක් දී අදහසක් ඉල්ලා තිබෙනවා. ඊට පිළියමක්ද ඔහු ලබා දුන්නා. කොහොමින් හරි මේ අයුරින් දෙදෙනාම එක් වී අවස්ථා කිහිපයකදීම මනීව රවටා තිබෙනවා.

Thalapathi (1991) Sinhala Subtitles

අරවින්ද් සාමිගේ වෘත්තීය දිවියේ තම මංගල සිනමාපටය තලපති. තලපතිගෙන් පසුව අරවින්ද් සාමි දිගින් දිගට සාර්ථක චිත්‍රපට පෙළක්ම ලබා දුන්නා. මනිරත්නම් සමඟ චාරිකාවේ යෙදෙමින් Roja, Bombay, Alai Payuthey, Kadal, Chekka Sivantha Vaanam යන චිත්‍රපටවලට රංගනය ලබා දුන්නා. 1997-2000 කාලයේ අරවින්ද්ගේ චිත්‍රපටවල නිෂ්පාදන ප්‍රශ්න ඇති වෙන්නට ගත්තා. ඒ නිසාම එම චිත්‍රපට තිරගත කිරීමට බොහෝ කාලයක් ගත වුණා. අවසානයේ අරවින්ද් රඟපෑම පිළිබඳ කලකිරීමට පත් වී රංගනයෙන් ඉවත් වුණා. ඉන් පසුව අරවින්ද් පෞද්ගලික සමාගමක වසර ගණනාවක් සේවය කළා.

2005දී ඔහු අනතුරකට ලක්ව කොඳුඇට පෙළ කැඩී ගොස් වසර 4-5ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නට සිදු වුණා. පසුව මනිරත්නම් ඔහුගේ Kadal (2013) වෙනුවෙන් අරවින්ද්ට ඇරයුමක් කරනවා. එයට එකඟව තම සිරුරේ බර කිලෝග්‍රෑම් 15කින් අඩු කරගෙන එහි රඟපෑවා. මේ අනුව අරවින්ද්ගේ සිනමා දිවිය 1991 සිට 2000 කාලය සහ 2013 සිට වර්ථමානය ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකියි. අරවින්ද් Thani Oruvan (2014) චිත්‍රපටයේ සිද්ධාර්ත් අභිමන්‍යුගේ චරිතයෙන් දෙමළ සිනමාවේ හොඳම දුෂ්ඨයන් අතරේ ඉහළ ස්ථානයක් අත් පත් කරගත්තා.

අරවින්ද් එදා පමණක් නෙවෙයි, වර්ථමානයේත් විශාල ඉල්ලුමක් පවතින නළුවෙක්. Maanaadu චිත්‍රපටයේ DCP ධනුෂ්කෝඩිගේ චරිතය වෙනුවෙන් මුල්ම තෝරාගැනීම වුණේ අරවින්ද්. රූගත කිරීමේ දින ගැටළු නිසාවෙන් ඒ අවස්ථාව ඔහුට මඟ හැරෙනවා. පසුව වෙන්කට් ප්‍රභූ ඔහුගේ ඊලඟ චිත්‍රපටය වූ Custody චිත්‍රපටයේ චරිතයක් ලබා දුන්නා.

Thalapathi (1991) Sinhala Subtitles

අධ්‍යක්ෂණය, සංගීතය මෙන්ම මේ චිත්‍රපටයේ සිනමාකරණය ද අද්විතීයයි. මෙහි සූරියා සහ දේවාගේ මිත්‍රත්වය පිළිබඳ කතාව සහ සූරියාගේ පෞද්ගලික ජීවිතයේ කතාව ලෙසින් වෙන වෙනම ගලා යන කතා දෙකක් ඇතුලත්. සූරියාගේ පෞද්ගලික ජීවිත කතාවේ දර්ශනවල උපතේ සිටම සූරියා සහ සූර්යා(හිරු) අතර සම්බන්ධතාවය වඩා ඉස්මතු කර, සංසන්දනය කර දක්වා තිබෙනවා. එම දර්ශන සියල්ලේදීම සිනමාකරණයේදී සන්තෝෂ් සිවන් සූර්‍ය ආලෝකය මනාව හසුරුවමින් රජිණිව Silhouette(සිලුවටය) ආකාරයෙන් පෙන්වා විශිෂ්ඨ දර්ශන පෙළක් බිහි කර තිබෙනවා.

Thalapathi (1991) Sinhala Subtitles

Thalapathi (1991) Sinhala Subtitles

Thalapathi (1991) Sinhala Subtitles

චිත්‍රපටයේ බොහෝ අවස්ථාවල සූරියා හැඳ සිටින කමිසය රතු පැහැතියි. එයත් සූරියා, සූර්යයා සමඟ ඇති සම්බන්ධතවය විදිහා දක්වනවා. සූරියා බාල වියේදී තම මව තමන්ව අතහැර දැම්මේ ඇයිද කියන උභතෝකෝටිකය ගැන සිතද්දී හිරු අවරට යාමත්, සූරියාගේ අම්මා සූරියාව දැකීමට පැමිණෙද්දි හිරු උදාව ද පෙන්නුම් කරන්නේ සූරියාගේ ජීවිතය ආලෝකමත් වුණ ආකරයෙන්.

මේ තලපති චිත්‍රපටය ජන ජීවිතයට බොහෝම බලපෑමක් ඇති කළා. ජනයා සූරියා කියන නම බලවත් නමක් විදියට විශ්වාස කරන්න ගත්තා. නළු සූරි(Viduthalai Part 1) උපතින් ලැබූ නම රාමක්‍රිෂ්ණන් මුත්තුසාමි. ඔහු විසින් සූරියා කියන නම තබාගත් බව ඔහු විසින්ම එක් වරෙක කීවා. ඒ වුණත් පසු කාලෙකදි සූරියා, සූරි විදියට ලඝු වෙනවා.

Thalapathi (1991) Sinhala Subtitles

රජිණිකාන්ත් තලපති තිරගත වූ සමයේ “තලපති” යන නමින්ද ආමන්ත්‍රණය කරනු ලැබුවා. ඒ වුණත් තලපති(සෙන්පති) යන නමට වඩා තලෛවර්(නායකයා) යන්නට උසස් භාවයක් සහිත නිසා විශාල වශයෙන් තලෛවර් කියන නම ප්‍රචලිත වුණා. 2000 දශකයේ නළු විජයි තමන්ව හැඳින්වීමට “ඉලෛය තලපති” යන නාමය යොදාගන්නවා. ඒ රජිණිකාන්ත් කෙරෙහි වූ හදපිරි රසිකත්වය නිසාවෙන්.

ඒ වුණත් මේ කාලයේ රජිණිව තලපති ලෙසින් හැඳින්වීම සුළු වශයෙන් පැවතුණා. උදාහරණයක් ලෙස Chandramukhi චිත්‍රපටයේදිත් වඩිවේළු රජිණිව “තලපති” නමින් ආමන්ත්‍රණය කරනවා දකින්න පුළුවන්. විජයි ඉලෛය තලපති යන නම නිදහසේ භාවිතා කළත් ඒ වනවිටත් නළු සරවණන් ඔහුව හැඳින්වීමට ඉලෛය තලපති යන නම යොදාගෙන තිබුණා. 2010 සමය වෙද්දී විජයි තමන්ව “තලපති” යන නමින්ම හැඳින්වීමට තීරණය කළා.

පොලිසියට බාර වෙන්නට කියන අවස්ථාවේ දේවරාජ් අර්ජුන්ට “බැහැ” කියන අවස්ථාවේ මාමුට්ටිගෙ රංගනය සිතට කා වැදුණු මහි වී රාඝව් වයි. එස්. රාජශේකර රෙඩ්ඩිගේ චරිතාපදානය Yatra (2019) තෙළිඟු චිත්‍රපටයේ රාජශේකරගේ චරිතය සඳහා යොදා ගැනීමට තීරණය කරනවා. මම්මුට්ටිව ඊට සම්බන්ධ කරගැනීමට මාස කිහිපයක්ම බලා සිටීමටත් සිදු වනවා. ඒ වගේම එහි දෙවන්න Yatra 2 (2024) චිත්‍රපටය ලබන පෙබරවාරි මස 9දා තිරගත වීමට නියමිතයි.

එදා සිට අද දක්වාම විවිධ ආකාරයෙන් තලපති චිත්‍රපටය ජනයාගේ හදවතේ අරක්ගෙන තිබෙනවා. කාර්තික් සුබ්බුරාජ් Jigarthanda (2014) චිත්‍රපටයේ තලපති චිත්‍රපටිය පිළිබඳව කිහිප වාරයක්ම සඳහන් කරනවා. මේ මෑතකදීම පසුගිය වසරේ නිකුත් වුණ Dada (2023) චිත්‍රපටයේ “Avide Goods Train-ina Goods Train-ina Aadhyam Kandathu Yaaru?”(බඩු කෝච්චියේ මූලාරම්භය දැක්කේ කවුද?) පද වල අන්තර්ගත වන්නේද සූරියාව බඩු කෝච්චියේ දමා යැවීම ගැනයි.

Thalapathi (1991) Sinhala Subtitles

කේරළයේ දෙමළ චිත්‍රපටවලට විශාල වශයෙන් වෙළඳපලක් ඇති කළ චිත්‍රපටය, තලපති. තමිල්නාඩුවේ වැඩිම සිනමාශාලා ප්‍රමාණයක තිරගත වූ චිත්‍රපටයද වනවා. දෙමළ සිනමාවේ අද වනතුරුම පුරුද්දක් වශයෙන් පැවතෙන අළුයම 4 පලමු දින පළමු දර්ශනය, පළමුවෙන්ම ලබා දුන්නේ තලපතිටයි. තලපති වාණිජමය වශයෙන් අති සාර්ථකත්වයක් වගේම විචාරකයන්ගේ ඉහළ පැසසුම් වලට පාත්‍ර වුණා. මේ කාලයේ බොහෝ දුරට රජිණිගේ චිත්‍රපටයකට විචාරකයින්ගේ යහපත් ප්‍රතිචාර හිමිවෙන අවස්ථා අවමයි. වර්ථමානයේ මේ චිත්‍රපටයට ලැබී තිබෙන Imdb රේටින් අගය් 8.5/10ක්. රොටන් ටොමැටෝස් දර්ශකය 87%ක්.

Thalapathi (1991) Sinhala Subtitles

මනිරත්නම් කොලිවුඩයේ වැජඹෙන සුපිරි තරු යුගලය වූ රජිණිට හා කමල්ට තලපති හා නායකන් ලෙසින් ගැන්ග්ස්ටර් චිත්‍රපට දෙකක් ලබා දුන්නා. ඇත්තටම මනී, රජිණි වෙනුවෙන් චිත්‍රපටයක් කිරීම පිළිබඳව කමල් බොහෝ සතුටට පත් වනවා. එක් අවස්ථාවක මනී කී කතාවේ නම මොකක්ද යන්න ඇසූ විට “තලපති” යන්න “ගණපති” ලෙස කමල්ට ඇසීම නිසා චිත්‍රපටයට දේව නාමයක් යොදාගැනීම පිළිබඳව ඔහු මනාපයක් දැක්වූවේ නැහැ. රජිණි මෙයින් තුෂ්ණිම්භූත වුණත් පසුව පැහැදිලි කර දීමෙන් පසුව කමල්ට වැරදියට ඇසුණු බව තේරුම් ගෙන තිබෙනවා.

මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඉලෙයරාජා විසින්. “රාජා කෛය වෙට්චා”(රාජා අත තිව්වොත්) කොහොමද කියලා කියන්න ඕනේ නැහැනේ. පසුබිම් සංගීතයේ සිට සියළුම ගීත දක්වා සියල්ලක්ම උපරිමයෙන්ම ලබා දී තිබෙනවා. සුපුරුදු පරිදි “රාක්කම්මා කයිය තට්ටු” සහ “කාට්ටු කුයිලේ මනසුක්කුල්ල” යුගල ගීත ගායනයේදී රජිණි වෙනුවෙන් එස්. පී. බාලසුබ්‍රමණියම් හඬ ලබා දුන්නා. කාට්ටු කුයිලේ ගීතයේ මම්මුට්ටි වෙනුවෙන් කේ.ජේ. යේසුදාස් හඬ ලබා දුන්නා.

Thalapathi (1991) Sinhala Subtitles

BBC නාලිකාව විසින් ලෝකයේ හොඳම ගීත තෝරාගැනීමට ඉදිරිපත් කළ මනාප විමසීමෙන් “රාක්කම්මා කයිය තට්ටු” ගීතයට ප්‍රථම ස්ථානය හිමි වුණා. මේ චිත්‍රපටයේ සියළුම ගීත පටිගත කරනු ලැබුවේ මුම්බායි හි යෂ්රාජ් ස්ටූඩියෝවේදීයි. මේ ගීත සියල්ලම දමිළ පමණක් නොවෙයි වෙනත් භාෂා ජනයා අතරද ජනප්‍රියයි. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ ගීත ඇල්බමයේ “පුත්තම් පුදු පූ” නම් ගීතයක් ඇතුලත්. මේ ගීතය සූරියා කල්‍යාණිව විවාහ කරගෙන තම නිවෙසට ගෙන යන අවස්ථාවේ තිබිය යුතුයි. ඒත් චිත්‍රපටයේ එම ගීතය ඇතුලත් කරලා නැහැ. ඊට හේතුව භානුප්‍රියාගේ ස්වාමිපුරුෂයාගේ අභාවය. ඒ නිසාවෙන් එම ගීතය වෙනුවට පසුම්බි වාදනය පමණක් එක් කර තිබෙනවා.

Thalapathi (1991) Sinhala Subtitles

“සුන්දරී කන්නාල් ඔරු සෙයිදි” ගීතයේ දර්ශන වලදී රජිණි සමුරායි වෙස් ගෙන සිටිනවා දකින්න පුළුවන්. මෙය සිනමා ක්ෂේත්‍රයේ මනිරත්නම්ගේ වීරයා වූ අකිරා කුරොසවා ආභාෂයට ගනිමින් කළ දෙයක් ලෙසයි සැළකෙන්නේ. සූරියා හා සුබ්බුලක්ෂ්මි වෙන් වන අවස්ථාවේ පසුබිම් වාදන ඛණ්ඩය(BGM) වර්ථමානයේත් පෙම්වතුන් විරහා වීමෙන් පසු යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්’ප් ස්ටෝරි හෝ රීල් වල පළ කර තිබෙනවා දකින්න පුළුවන්.

ඒ වගේම මනිරත්නම් හා ඉලෛයරාජාගේ දිගු කලක සිට පැවති සුසංයෝගය තලපති චිත්‍රපටයෙන් නිම වෙනවා. මනී, රෝජා චිත්‍රපටයෙන් ඒ. ආර්. රහුමාන්ව හඳුන්වා දීමෙන් අනතුරුව වර්ථමානයේ Thug Life දක්වාම රහුමාන් සමඟින් දීග කමින් සිටිනවා. එහි වරදක් කියන්න බැහැ, මොකද ඉලෛයරාජා කොතරම් විශිෂ්ඨ සංගීතඥයෙක් වුණත් ඔහුගේ මාන්නක්කාර කම නිසාවෙන් අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් අතර මතභේදයන් ඇති වුණා.

Thalapathi (1991) Sinhala Subtitles

මම්මුට්ටි පසුගිය 2023 වසරේදී Nanpakal Nerathu Mayakkam, Kannur Squad, Kaathal – The Core යන එකිනෙකාට වෙනස් චිත්‍රපට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ලබා දුන්නා. තවද මම්මුට්ටි, ජයරාම්ගේ Abraham Olzer (2024) චිත්‍රපටයේ විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරනවා. මම්මුට්ටිගේ පැමිණීමට නියමිත චිත්‍රපට අතර Yatra 2, Bazooka, Turbo, Brahmayugam, Big B 2, CBI (Sethuram Ayyar) යන චිත්‍රපට ඇතුලත්.

ඒ වගේම Thalaivar 171 චිත්‍රපටියේ චරිතයක් වෙනුවෙන් මම්මුට්ටිට ඇරයුම් කළ බව දූසමාන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත් මම්මුට්ටිට එවන් ඇරයුමක් නොලැබුණු බව ප්‍රකාෂ කළා. ජේලර් චිත්‍රපටයේ විනායකන් රඟපෑ වර්මාගේ චරිතයට ව මම්මුට්ටිව සම්බන්ධ කර ගත්තත්, රජිණි අතින් වර්මගේ චරිතය පහර කෑමට ලක්වන දර්ශන තිබෙන නිසා රජිණි එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

Thalapathi (1991) Sinhala Subtitles

අද්විතීය නායකන් සුසංයෝගය දශක දෙකකට වඩා වැඩි කලකට පසුව නැවතත් Thug Life චිත්‍රපටියෙන් දැකගන්න පුළුවන්. මනිරත්නම් අධ්‍යක්ෂණය කරන කමල් හසන්ගේ Thug Life චිත්‍රපටයේ Title Announcement වීඩියෝවක් මාස් 2කට පමණ පෙර නිකුත් කළා. “මගේ නම රංගරායර් ශක්තිවේල් නායකර්” කියලා චරිතය අපට හඳුන්වා දෙන්නෙ. නායකන් චිත්‍රපටයේ වේලු නායකර් හා මේ ශක්තිවේල් නායකර් අතර සම්බන්ධතාවයක් තියෙනවද කියන එක සාධාරණ සැකයක්. මොකද නායකර්ගේ මුණුබුරාගේ නම ශක්තිවේල්. නායකන් චිත්‍රපටියෙන් පසුව මනී හා කමල් එක් වන එකම අවස්ථාව මේක.

එම වීඩියෝවේම තවත් තැනකදී “උපදිද්දිම මගේ ඉරණමේ ලිව්වා. අපරාධකාරයා, මැරයා, යකූසා කියලා”ලෙසින් කියනවා. යකුසා කියන්නේ මූලිකවම ජපන් ජාතික දාමරිකයින් කොට්ඨාසයකට. යකූසා යන වචනයේ තේරුම දාමරිකයා, අපරාධකාරයා වැනි අදහසක්. විදෙස් රටවල ක්‍රියාදාම චිත්‍රපටි බලන අයට, ඒ නැතත් GTA 3, GTA Liberty City Stories වීඩියෝ ගේම් ගහපු අයට හුරු පුරුදු වචනයක්. අකිරා කුරොසාවා තැනූ Drunken Angel (1948) නම් චිත්‍රපටය “යකුසා ෂානරයේ” චිත්‍රපටියක්. වැදගත්ම දේ මේ යකුසා නමින් ෂානරයක් පවා නිර්මාණය කිරීමට තරම් මේ යකුසා කොට්ඨාසය බලවත්.

Thalapathi (1991) Sinhala Subtitles

අවසාන ලෙස Cult Classic චිත්‍රපටයක් ලෙස අදටත් බාෂා (1995), තලපති වගේ චිත්‍රපට නිර්මාණය කිරීමට ක්ෂේත්‍රයේ බොහෝ අධ්‍යක්ෂකවරුන් වෙර දරණවා. ලෝකේෂ් කනගරාජ් ප්‍රියතම රජිණිගේ චිත්‍රපටිය වන්නේ ද තලපති. ඒ නිසාවෙන් Thalaivar 171 චිත්‍රපටියට, තලපති චිත්‍රපටයෙන් යම් ආභාෂයක් ලැබේවි කියා අනුමාන කරන්න පුළුවන්. Thalaivar 171 ලෝකේෂ්ගෙ අත්හදා බැලීමක් බවත්, මත්ද්‍රව්‍ය ආදිය රහිත බවත්, රජිණිගේ දුෂ්ඨ චරිත රංගනයට වැඩි ඉඩකඩක් ලබා දෙන බවත් ඔහු විසින් ප්‍රකාෂ කළා.

Thalapathi (1991) Sinhala Subtitles

Laal Salaam චිත්‍රපටය මේ වසරේ ජනවාරි මස පෝංගල් උත්සවයට සමගාමීව තිරගත වීමට දින යොදාගෙන තිබුණත් පසුව එය පෙබරවාරි මස 9 දිනට කල් දමනු ලැබුවා. මේ වසරේ පෝංගල්/සංක්‍රාන්තියට සැළකිය යුතු, බොහෝ අපේක්ෂාවෙන් සිටි චිත්‍රපට කිහිපයක්ම නිකුත් වනවා. ඒවා එකිනෙක ගැටීමට සැළැස්වීමෙන් මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියන්නට බැහැ. ධනුෂ් හා ශිවකාර්තිකෙයන් දැඩි රජිණි රසිකයින් බව බොහෝ අය දන්නා කාරණයක්. බොහෝ විට රජිණි ඔවුන් වෙනුවෙන් මේ අවස්ථාව සළසා දෙන්න ඇති.

ටී. ඥානවේල් අධ්‍යක්ෂණය කළ Vettaiyan චිත්‍රපටයේ රූගත කිරීම් තවදුරටත් සිදු වෙමින් පවතිනවා. මෙහි රජිණි සමඟ බොලිවුඩයේ දැවැන්තයා අමිතාබ් බච්චන් ද එක් වනවා. ෆහද් ෆාසිල්, රානා ඩගුබාටි, මන්ජු වොරියර්, රීතිකා සිං, දුෂාරා විජයන් යන අයද චරිත නිරූපණය කරනවා.

Thalaivar 172 චිත්‍රපටය, Maamannan, Karnan චිත්‍රපට කළ මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන බවට යම් කටකතා සමාජමාධ්‍යයේ පැතිරෙනවා. ඒ වගේම Jailer 2 චිත්‍රපටයක් ගැනද යම් රාවයක් නැගෙනවා. කොහොම වුණත් ජේලර් චිත්‍රපටියෙන් පසු තවමත් නෙල්සන් කිසිදු සිනමා නිර්මාණයකට සූදානමින් අත තබා නැහැ.

Thalapathi (1991) Sinhala Subtitles

ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා.

Thalapathi (1991) Sinhala Subtitles

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි www.TamilBlasters.icu – Thalapathi (1991) [480p – WEBHD – (Tamil Telugu) – x264 AVC – AAC – 1.58GB – ESub] පිටපත සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Thalapathi (1991) Sinhala Subtitles

4 thoughts on “Thalapathi AKA Dalapathi (1991) Sinhala Subtitles | මගේ තලපති. [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • හම්මෝ බං ඒ ලිපිය….
    සබට වැඩිය ලිපියට මහන්සිවෙලා තියෙනවා වගෙයි…..
    බොහෝම ස්තූතියි මචං සබට….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *