අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxANCJDSinhala SubtitleWorld War IIඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Last Samurai (2003) Sinhala Subtitles | අවසාන සමුරායිවරයා! [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

සුබ දවසක් හැමෝටම! හිතුවට වඩා ඉක්මනින් ආයෙමත් උපසිරැසියක් අරගෙන එන්න පුළුවන් වුණා. ඉතින් මේ පාර අරගෙන ආවේ කවුරුත් දන්න චිත්‍රපටියක්. ගොඩක් දෙනෙක් බලලත් ඇති. එහෙම නැත්නම් චිත්‍රපටියේ නම අහලවත් ඇති. ඉතින් මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා, නැත්නම් සමහර කෙනෙක්ට පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන් මේකට කලිනුත් උපසිරැසි දීල තිබුණා නේද කියලා. ඔව්, The Last Samurai චිත්‍රපටියට මීට කලින් සිංහල උපසිරැසියක් බයිස්කෝප් අඩවියෙන් දීල තිබුණා. ඒත් ඒ උපසිරැසියේ තිබුණු ගැටළු නිසා ඒක ඉවත් කරන්න සිදු වුණ බවත්, අළුතින් සිංහල උපසිරැසියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙන බවත් විමා සහෝ දැනුම් දීපු නිසයි මේක මම භාර ගත්තේ.

එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු නේද? The Last Samurai චිත්‍රපටිය තිරගත වෙන්නේ 2003 අවුරුද්දේ දී. ඩොලර් මිලියන 456 ක ආදායම් වාර්තාවක් තියපු මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ තිරගත වුණ චිත්‍රපටි අතරින් හය වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය වුණා. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟ පාන්නේ අපි කවුරුත් දන්න ටොම් කෲස්. ඉතින් ටොම් කෲස් කියද්දී 2022 දී ඩොලර් බිලියන 1.4 ක සුපිරි ආදායම් වාර්තාවක් තබමින් තිරගත් වෙච්ච Top Gun: Maverick චිත්‍රපටිය එහෙමත් මතක් වෙනවා ඇති නේද කට්ටියට? එතකොට මේ The Last Samurai චිත්‍රපටියේ අවසන් සමුරායිවරයාගේ චරිතය රඟපාන්නේ ජපන් නළු කෙන් වටනාබේ. එම චරිතය රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයට ඔහුව නිර්දේශ වෙලා තියෙනවා. ඊට අමතරව මේ චිත්‍රපටිය හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම ශ්‍රව්‍ය සංකලනය කියන අංශ ඔස්සේ තවත් ඔස්කාර් සම්මාන තුනකටත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනකටත් නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම IMDB රේටිං වල 7.8 ක අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ජපානය තුළ මේ චිත්‍රපටිය අති සාර්ථක වෙලා තියෙනවා. ඒ එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් දෙකේදිම ලබපු ආදායමට වඩා වැඩි ආදායමක් ජපානය තුළ දී උපයමින්.

එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දිහාවට හැරෙමු නේද? මේ චිත්‍රපටියේ කතාව ගොඩනගලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ජපන් ඉතිහාසයත් ඇමෙරිකන් ඉතිහාසයත් ඒකාබද්ධ කරලා. හරියටම කිව්වොත් 19 වන ශත වර්ෂයේ දී ජපානයෙත්, ඇමෙරිකා එක්සත් ජනපදයෙත් සිදු වුණු සත්‍ය සිදු වීම් වලට ප්‍රබන්ධමය කරුණුත් එකතු කරල තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් පහළින් මම උත්සහ කරල තියෙන්නේ ඒ ඉතිහාස සිදු වීම් පෙළ වගේම චිත්‍රපටියට ඒවා සම්බන්ධ වෙලා තියෙන විදිහ පැහැදිලි කරන්න. එතකොට චිත්‍රපටියෙ කියවෙන සමහර සිද්ධි අපැහැදිලියි වගේ තියෙනවා නම් ඒවත් පහළ තියෙන විස්තරයෙන් පැහැදිලි වෙයි කියලා හිතනවා.

ලිට්ල් බිග් හොර්න් සංග්‍රාමය සිදු වුණේ 1876 ජුනි 25 – 26 දින වල දී. කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් ජපානයට යන්න නැව් නැගලා, තමන්ගේ ජර්නල් එකේ සටහන් තියන්නේ 1876 ජුලි 12 වෙනිදා. එතකොට ඉයුජින් කොලෙක් සහ යූල්ස් බෲනෙට් ජපානයට ඇවිල්ලා තියෙන්නේ 1867 දී. ඒ වගේම තමයි ජපානයේ සත්සුමා කැරැල්ල ආරම්භ වුණේ 1877 ජනවාරියේ.

හෝව්! හෝව්! හෝව්! පටන් ගත්ත ගමන් මේ මොකක්ද මේ කියන්නෙ කියලා බලනවා ඇති නේද කට්ටිය? මොකක්ද මේ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය කියන්නේ? කවුද කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් කියන්නේ? කවුද ඉයුජින් සහ යූල්ස් කියන්නේ? මොකක්ද මේ සත්සුමා කැරැල්ල කියන්නේ? ඒ ඔක්කොම පැත්තකින් තියෙද්දි, මේ කියපු දේවල් කොහොමද The Last Samurai චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ? හරි, මේ ලෑස්ති වෙන්නේ ඒ ඔක්කොම පැහැදිලි කරලා දෙන්න. ඒත් මුලින්ම කියන්න ඕන චිත්‍රපටිය බලලා රස විඳින්න, පහළින් කියලා තියෙන ඔක්කොම දේවල් දැන ගෙන ඉන්න ඕනම කියල එකක් නම් නැහැ. හැබැයි දැන ගෙන හිටියොත් වඩාත් අවබෝධයකින් යුක්තව චිත්‍රපටිය බලලා රසවිඳින්න පුළුවන් කියන එක නම් ෂුවර්. එහෙනම් අපි යමු විස්තරේට.

හරි එහෙනම්, මුලින් පටන් ගත්ත තැනටම ආපහු ගියොත්, ලිට්ල් බිග් හෝර්න් කියලා කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා සහ වයෝමිං ජනපද හරහා ගලා බහින ගඟක්. මෙන්න මේ ගඟ අසබඩ දී 1876 ජුනි මාසෙ 25 – 26 දින වල දී, ගිණිකොන දිග මොන්ටානා ප්‍රදේශයේ ක්‍රෝ ඉන්දියන් රක්ෂිත භූමියේ දී ඇති වුණ සංග්‍රාමය තමයි ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය කියලා කියන්නේ. ඉතින් කවුද මේ සංග්‍රාමයේ සටන් වැදුණේ? සංග්‍රාමයක් නම් අඩු තරමේ පාර්ශ්ව දෙකක්වත් ඉන්න ඕනනෙ නේද? ඔව්, පාර්ශ්ව දෙකක් හිටියා. ඒ තමයි එක්සත් ජනපද හමුදාවේ 7 වන අශ්වාරෝහක රෙජිමේන්තුව සහ රතු ඉන්දියානුවන් කියල අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන ඇමෙරිකාවේ ආදි වාසික ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක එකතුවෙන් හැදුණු පිරිස. ඔවුන් තමයි සංග්‍රාමයේ පාර්ශ්ව දෙක වුණේ. (ඉතින් ඕගොල්ලොත් දන්නව ඇතිනේ මේ “රතු ඉන්දියානුවන්” කියන හැඳින්වීම දැන් යල් පැන ගිය සහ තරමක අපහාසාත්මක පදයක් විදියට සළකනවා කියලා. ඒ වෙනුවට දේශීය-ඇමෙරිකානුවන්, නැත්නම් ඇමෙරිකන්-ඉන්දියානුවන් කියන පද තමයි දැන් භාවිත වෙන්නේ. ඒ නිසා මේ ලිපියෙදිත් ඉස්සරහට ඒ පද තමයි යොදලා තියෙන්නේ.) ඉතින් ඇයි ඒ ගොල්ලෝ ඒ විදියට සටන් වැදුණේ? හරි, ඒ ගොල්ලෝ සටන් වැදුණේ ඇයි කියලා බලන්න කලින්, මේ සිද්ධිය කොහොමද චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් බලලා ඉමුද?

චිත්‍රපටියේ ආරම්භක හරියෙදි අපිට හම්බ වෙනවා අපේ කතා නායකයා වෙන කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් (දැන් දන්නවනේ නේතන් ඇල්ග්‍රෙන් කියන්නේ කවුද කියලා), වේදිකාවක් උඩ නැගලා ජනතාව ඉදිරියේ රඟපාන දර්ශනයක්. මෙතනදි ඔහු ලිට්ල් බිග් හෝර්න් ගැන සඳහන් කරනවා. එතකොට රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මුහුණු අඳුරු වෙලා යනවා. හරියට නිකම් දුක හිතෙන දෙයක්, නැත්නම් අකමැති දෙයක් මතක් කලා වගේ. ඉතින් මේ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය කියන්නේ මේ තරම් දුක හිතෙන, අකමැත්තෙන් මතක් කරන්න තරම් දෙයක් ද? යුද්ධ, කැරළි කෝලාහල කාලෙන් කාලෙට ඕන තරම් ලෝකෙ වෙලා තියෙනවානේ. ඉතින් මිනිස්සු ඒ හැම එකක්ම මතක් කරද්දී මේ විදියට දුක් වෙනවා කියලා එකක් නැහැනේ. එහෙනම් මේ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමයේ මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕන. ඔව්, ඒ සංග්‍රාමය විශේෂයි තමයි. විශේෂ වෙන්න එක හේතුවක් තමයි ඒ වෙන කොට ඒ සංග්‍රාමය සිද්ධ වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. හරියටම කිව්වොත් සති දෙකකටත් අඩු කාලයක්. ඉතින් ලඟදි සිද්ධ වෙච්ච යුද්ධයක් ගැන කියද්දි දැනෙන කම්පනය ටිකක් වැඩියි තමයි නේද? ඒ වගේම ඒ සංග්‍රාමයේ දී 7 වන අශ්වාරෝහක රෙජිමේන්තුවේ සියළු දෙනාම වගේ (බේරුණා නම් ඒ ඉතාම සුළු පිරිසක් තමයි) මරණයට පත් වුණා. ඒ නිසා ඒ සිද්ධිය මුළු ඇමෙරිකාවම දැනගෙන හිටියා. ඉතින් ඒ වගේ සිද්ධියක් ගැන කියද්දී මිනිස්සු කම්පනයට පත් වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

හරි එහෙනම් දැන් බලමු කොහොමද ඒ වගේ සංග්‍රාමයකට පාර කැපුණේ කියලා. ඉතින් ඕගොල්ලො දන්නව වගේම ඇමෙරිකාවෙ ඉතිහාසය කියල කියන්නේ අවුරුදු දහස් ගාණක් දුරට ලියවෙච්ච එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට ඒක පටන් ගන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමෙරිකන් මහද්වීපය හොයාගත්ත කාලෙන් තමයි. ඒ 1492 දී. ඒ කාලෙ යුරෝපයෙ මිනිස්සු ඇමෙරිකාවට කීවෙ “නව ලෝකය” කියල. ඉතින් මේ අළුතින් හොයා ගත්ත ලෝකෙ පදිංචි වෙන්න සියවස් කීපයක් තිස්සේ යුරෝපයේ විවිධ රටවලින් මිනිස්සු ඇදිලා ගියා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉංග්‍රීසි ජාතිකයින්. 18 වන ශතවර්ෂය වන විට ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළට ආසන්නව ඉංග්‍රීසි ජනාවාස 13 ක් බිහි වෙලා තිබුණා. බ්‍රිතාන්‍ය කිරීටය මේවායේ සමාජ, ආර්ථික සහ පාලන කටයුතු වලට මැදිහත් වුණා. මේ විදිහට බ්‍රිතාන්‍ය කිරීටය ඇමෙරිකාව තුළ පාලන කටයුතු වලට මැදිහත් වෙනවට ඇමෙරිකාවේ ජනතාව තවදුරටත් කැමති වුණේ නැහැ. මේ නිසා ඊට විරුද්ධව ඇමෙරිකන් විප්ලවය හට ගන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 1776 ජුලි 04 වෙනි දා ඇමෙරිකාවට නිදහස හිමි වෙනවා.

දැන් ඇමෙරිකා එක්සත් ජනපදය කියලා හඳුන්වනු ලබන භූමි ප්‍රදේශය යුරෝපීය ගවේෂකයින් විසින් සොයා ගන්නට කළින්, වසර දහස් ගණනක් තිස්සේ ඇමෙරිකානු ආදි වාසීන් එහි පදිංචි වී සිටියා. ඔවුන් විවිධ භාෂා කතා කළ, විවිධ සංස්කෘතීන්ට සහ විවිධ ගෝත්‍ර වලට අයිති මිනිසුන් වුණා. ඒ අය වැඩි පිරිසක් හිටියේ ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශ වල. 1776 දී එක්සත් ජනපදය පිහිටුවා ගත්තට පස්සේ, ඔවුන් තවදුරටත් එක්සත් ජනපදය බටහිර දෙසට ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා. එහි එක් පියවරක් විදියට ඔවුන් ප්‍රංශයට හිමිවෙලා තිබුණු ලුයිසියානා ප්‍රදේශය ප්‍රංශයෙන් ලබා ගන්නවා. එක්සත් ජනපදය, සමස්ථ මහද්වීපය පුරාම පැතිරවීමේ අරමුණ මත ඇති වූ විශ්වාසයක් වුණු “Manifest Destiny” පදනම් කර ගනිමින් ජනතාව විවිධ මංපෙත් ඔස්සේ බටහිර කරා ගමන් කරන්නට වුණා. එය එක්සත් ජනපදයේ දෛවය යැයි ඔවුන් විශ්වාස කළා. තවද එක්සත් ජනපද රජය විසින් බටහිර ප්‍රදේශ වල මිනිසුන් පදිංචි කිරීම දිරිමත් කිරීම සඳහා හෝම්ස්ටෙඩ් පනත 1862 දී ගෙන එනු ලබනවා. මේ මගින් බටහිර ප්‍රදේශ වල පදිංචි වී, එම භූමි ප්‍රදේශ සංවර්ධනය කරමින්, වගා කටයුතු සිදු කරමින් ජීවත් වන්නට කැමති අයට අක්කර 160 ක ඉඩම බැගින් නීත්‍යානුකූලව රජය විසින් පවරා දෙනු ලැබුවා. ඒ වගේම කැලිෆෝනියානු ප්‍රදේශ වල රත්‍රන් නිධි පවතින බව සොයා ගැනීමත් සමඟ ලෝකයේ නන් දෙසින් ජනතාව ඒ කරා ඇදෙන්නට වුණා. මේ විදියට බටහිට ප්‍රදේශ කරා ජනාවාස ව්‍යාප්ත වෙමින් යන අතරතුර 19 වන ශතවර්ෂයේ දී කාර්මීකරණය සහ නාගරීකරණය ද ඉතා වේගයෙන් සිදු වෙමින් පැවතුනා.

මේ සියල්ල මේ විදියට සිදු වෙමින් පවතිද්දී ඉන් මහත් සේ පීඩාවට පත් වුණ පිරිසකුත් හිටියා. ඒ වෙන කිසිවෙක් නෙවෙයි, ඇමෙරිකන් ඉන්දියන්වරු. ඔවුන්ට තම වාසස්ථාන සහ ජන්ම භූමි ප්‍රදේශ හැර දමා යන්නට බල කෙරුණා. ඒවායින් ඔවුන්ව පන්නා දැමුණා. ඉතින් දෙපිරිස අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් යුරෝපීය ජාතීන් ඇමෙරිකාවට ආපු මුල් කාලෙ ඉඳලම වගේ මේ ගැටුම් පොඩි පොඩියට තිබිලා තියෙන්වා. 19 වෙනි ශතවර්ෂයේ අග භාගය දක්වාම මෙම ගැටුම් කාලෙන් කාලෙට ඇති වෙලා තියෙනවා. මේ ගැටුම් පොදුවේ හඳුවනු ලබන්නේ ඇමෙරිකන්-ඉන්දියන් යුද්ධ කියලා. මේ එක් එක් ගැටුම් වලට විවිධාකාර හේතු කාරණා පදනම් වෙලා තියෙනවා වුණත් වඩාත් පොදු කාරණයක් වෙලා තියෙන්නේ නව ජනපදිකයන්ට සහ රජයට ආදි වාසීන්ගේ භූමි ප්‍රදේශ අයිති කර ගැනීමට අවශ්‍ය වීමයි.

මේ ඇමෙරිකන් ඉන්දියන් යුද්ධ වල එක කොටසක් තමයි සියු යුද්ධ (Sioux Wars) කියල කියන්නේ. ඒ යුද්ධ ඇති වෙලා තියෙන්නේ ඇමෙරිකානු රජය සහ සියු කියන දේශීය ඇමෙරිකානුවන්ගේ විවිධ උප කණ්ඩායම් අතර. ඒ 19 වන ශතවර්ෂයේ අග භාගයේ දී (1850 -1900 අතර කාලයේ දී.) ඒ යුද්ධ මාලාවේ එකක් තමයි 1876 දී ඇති වෙච්ච මහා සියු යුද්ධය (Great Sioux War of 1876) කියන්නේ. අපේ කතාවේ කියවෙන ජෙනරල් ජෝර්ජ් ආම්ස්ට්‍රෝන්ග් කස්ටරුත් නායකත්වය දුන්න යුධ ගැටුමක් තමයි මේ මහා සියු යුද්ධය. හරියටම කිව්වොත් 1876 මහා සියු යුද්ධයෙත් උප කොටසක් වෙන ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය පිළිබඳව තමයි චිත්‍රපටියේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ගැටුම, කස්ටර්ගේ අවසන් නැවතුම (Custer’s Last Stand) කියලත් හඳුන්වනවා. ජෙනරල් කස්ටර් කියන්නේ වෙස්ට් පොයින්ට් හමුදා පුහුණු පාසලෙන් පුහුණුව ලැබූ කෙනෙක්. ඔහු වෙස්ට් පොයින්ට් වලින් පිට වෙන්නේ ඔහුගේ කණ්ඩායමේ අන්තිමයා විදියට. ඒත් ඒ කාලෙදි ඇමෙරිකන් සිවිල් යුද්ධය ආරම්භ වෙමින් තිබුණු කාලෙ. මේ ඇමෙරිකන් සිවිල් යුද්ධයට, අපේ කතා නායකයා වෙන කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් (ටොම් කෲස්) සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි බලමු මොකක්ද මේ ඇමෙරිකන් සිවිල් යුද්ධය කියන්නේ කියල. බය වෙන්න එපා, අපි ආපහු ලිට්ල් බිග් හෝර්න් වලට එනවා.

ඇමෙරිකන් සිවිල් යුද්ධය

ඇමෙරිකන් සිවිල් යුද්ධය කියන්නේ 1861 ඉඳලා 1865 දක්වා පැවතුණු වෙනමම යුද්ධයක්. ඒ කියන්නේ මේක ඇමෙරිකන් ඉන්දියන් යුද්ධ වලට සම්බන්ධයක් නැහැ. ඇමෙරිකන් සිවිල් යුද්ධය ඇති වුණේ යුනියන්, එහෙම නැත්නම් ‘උතුර’ (The North) කියලා හඳුන්වපු එක්සත් ජනපදයත්, කන්ෆෙඩරසි, එහෙම නැත්නම් ‘දකුණ’ (The South) කියලා හඳුන්වපු එක්සත් ජනපදයෙන් ඉවත් වී ගිය ජනපදත් අතර. මේ ඇමෙරිකන් සිවිල් යුද්ධයට හේතු වුණේ වහල් සේවය අහෝසි කිරීම කියලා කිව්වොත් ඔබ පුදුම වේවි. යුරෝපීයයන් ඇමෙරිකාවේ පදිංචි වුණ මුල යුග වල ඉඳලා වහල් සේවය ඇමෙරිකාවේ මුල බැස ගෙන තිබුණා. “දකුණ” එහි කෘෂිකාර්මික ආර්ථික කටයුතු සඳහා වහල් සේවය මත විශාල වශයෙන් රඳා පැවතුණා. නමුත් “උතුර” කාර්මීකරණය වෙත නැඹුරු වෙමින් විශාල ලෙස වහල් සේවය අහෝසි කරමින් පැවතුණා. ඒ වගේම උතුර සහ දකුණ අතර පැවතුණු ආරථික සහ සමාජ වෙනස්කම්, 1860 දී වහල් සේවයට විරුද්ධ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඒබ්‍රහම් ලින්කන්, ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම වැනි දේශපාලනික හේතු එහෙමත් මේ ඇමෙරිකන් සිවිල් යුද්ධය ඇති වෙන්න බලපෑවා. කොහොම වුණත් සිවිල් යුද්ධයට බලපෑ මේ සියළු කරුණු සමඟ වක්‍රාකාරව හෝ වහල් සේවය හා සම්බන්ධ කරුණු ද බැඳී තිබුණා. අන්තිමේ දී සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට “විමුක්ති ප්‍රකාශනය” (Emancipation Proclamation) මගින් වහල් සේවය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබුවා. ඒ වගේම කන්ෆෙඩරසි හමුදා පරාජයට පත් වෙලා යටත් වීමත් සමඟ සිවිල් යුද්ධය ද නිමාව දුටුවා. මෙන්න මේ උතුර සහ දකුණ අතර ඇති වුණ ඇමෙරිකන් සිවිල් යුද්ධය තමයි ලෝක ප්‍රසිද්ධ Gone with the Wind චිත්‍රපටියෙදි එහෙමත් අපිට දකින්න ලැබෙන්නේ.

ජෙනරල් කස්ටර්

හමුදා පුහුණු පාසලේ දී කස්ටර්, ඔහුගේ කණ්ඩායමේ අන්තිමයා වුණාට සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ හමුදා සෙබළුන්ට තිබුණු ඉල්ලුම වැඩි වුණ නිසා කස්ටර්ටත් සිවිල් යුද්ධයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහි දී අශ්වාරෝහක සේනාංකයේ නායකයෙක් විදියට ඔහු දක්ෂතා පෙන්වලා තියෙනවා.ඒ දක්ෂතා නිසා ඔහුව බ්‍රිගේඩියර් ජෙනරල් තනතුරට උසස් කරනු ලබනවා වයස අවුරුදු 23 ක් වෙද්දී. ඒ උසස් වීමෙන් දින කීපයක් ගත වෙනකොටම වගේ ඔහු ගෙටිස්බර්ග් සංග්‍රාමයෙහි සටන් වදිනවා. ඒ මිචිගන් අශ්වාරෝහක සේනාංකයේ ප්‍රධානියා විදියට. ඇමෙරිකන් සිවිල් යුද්ධයේ ම එක සංග්‍රාමයක් වුණු මෙන්න මේ ගෙටිස්බර්ග් සංග්‍රාමයේ දි අපේ කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන්, ජෙනරල් කස්ටර් යටතේ සටන් කරලා තියෙනවා. හැබැයි කස්ටර් කියන්නේ සැබෑ පුද්ගලයෙක් වුණාට නේතන් ඇල්ග්‍රෙන් කියන්නේ චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය කරන ලද චරිතයක් පමණයි කියන එකත් අපිට මතක තියා ගන්න වෙනවා. ඒ වගේම නේතන්, කර්නල් බෑග්ලි නායකත්වය දුන්න ඇමෙරිකන් ඉන්දියන් යුද්ධ වලත් සටන් වැදිලා තියෙනවා. ඒ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය සිද්ධ වුණු 1876 ට කාලෙකට උඩ දී. ඒ යුද්ධ වල දී දේශීය ඉන්දියානුවන්ගේ කාන්තාවන් සහ දරුවන් පවා කර්නල් බෑග්ලි හිත් පිත් නැති විදියට කුරිරු ලෙස ඝාතනයා කරලා තියෙනවා. මේ නිසා නේතන්, කර්නල් බෑග්ලි එක්ක ඉන්නේ වෛරයකින්. මේ බව චිත්‍රපටිය තුල දී අපිට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේ කර්නල් බෑග්ලි කියන්නෙත් සැබෑවටම හිටිය පුද්ගලයෙක් නම් නෙවෙයි.

ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසන් වෙලා තවත් අවුරුදු 10 කට පස්සේ තමයි ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය සිදු වෙන්නේ. මේ සංග්‍රාමයේ දී කස්ටර් ඇතුළු 7 වන අශ්වාරෝහක රෙජිමේන්තුවේ සියළුම දෙනා පාහේ මිය ගියා කියල තමයි සඳහන් වෙන්නේ. මිය ගිය ගණන විවිධ ඉතිහාස වාර්තා වල වෙනස් විදියට දැක්වෙන නිසා ඒ ගණන හරියටම මෙච්චරයි කියලා කියන්න හැකියාවක් නැහැ. ඒත් චිත්‍රපටියෙ සඳහන් වෙන්නේ ඒ ගණන 211 ක් කියලා. දේශීය ඇමෙරිකානුවන් 2000 ක විතර පිරිසක් සමඟ සටන් වදින්නට ගිය අශ්වාරෝහක රෙජිමේන්තුවේ 211 ක සුළු පිරිස සමූල ඝාතනය වුණ බවයි. කියන්නේ. මේ පරාජයට හේතුව ජෙනරල් කස්ටර් බවයි බොහෝ තැන්වල දැක්වුණේ. ඔහුගේ වගකීම් විරහිත තීරණ දැඩි ලෙස විවේචනයට බඳුන් වුණා. ඔහු තම කුඩා බල ඇණිය තව දුරටත් බෙදා වෙන් කර විශාල ගම්මානයක් වැටලීම සඳහා යැවීමෙන් බල ඇණියේ ශක්තිය තවදුරටත් හීන කර වූ බව ඔහුට එල්ල වන එක් චෝදනාවක්. ඔහු දේශීය ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව අවතක්සේරු කරමින්, තවත් විශාල හමුදා භට පිරිස් ඔහුට සම්බන්ධ වීමට පැමිණෙමින් සිටින බව දැන දැනම, ඔවුන් එනතෙක් පමා නොවී පහර දීමට තීරණය කර තිබුණා. ඔහු සටනට අවතීර්ණ වුණේ ඉක්මන් සහ පහසු ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ආරක්ෂක උපාය මාර්ග අනුගමනය නොකරමිනුයි. කස්ටර්ගේ එම අමනෝඥ ක්‍රියා මාර්ගය නිසා බොහෝ පිරිසකගේ ජීවිත අහිමි වුණා. මේ නිසා කස්ටර්ට බොහෝ දෝෂාරෝපණ එල්ල වුණා (ඒ වෙද්දී ඔහු මිය ගිහිල්ලා තිබුණා වුණත්.) ප්‍රසිද්ධිය ලබා ගැනීමට සහ තනතුරු වලින් ඉහලට යාමේ ආශාවෙන් ඔහු පොළඹවන ලද බවත්, සිවිල් යුද්ධයේ දී ලද ජයග්‍රහණ හේතුවෙන් ඔහු තමන් පිළිබඳව අධි තක්සේරුවකින් සිටි බවත්, ජනමාධ්‍යවේදීන් සමඟ සබඳතා ගොඩනගා ගනිමින් මිනිසුන් අතර තමන්ව හුවා දක්වා ගැනීම සඳහා කටයුතු කළ බවත්, හමුදා ජීවිතයෙන් පසු දේශපාලනයට අවතීර්ණ වීමේ අරමුණක් ඔහුට පැවති බවත්, තම පුද්ගලික සුබ සිද්ධිය සහ කීර්තිය වෙනුවෙන් තම හමුදාව බිල්ලට දුන් බවත්, තම පෙනුම ආදියෙන් පවා ආවේණික වූ පෞද්ගලික ප්‍රතිරූපයක් සහ සන්නාමයක් පිළිබිඹු කරවා ගැනීමට තැත් කළ බවත් ආදී වශයෙන් බොහෝ චෝදනා ඔහුට එල්ල වුණා. ඉතින් මෙන්න මේ හේතු කාරණා පදනම් කරගෙන තමයි චිත්‍රපටියේ අපේ කතා නායකයා වෙන නේතන් ඇල්ග්‍රෙන් පවා ජෙනරල් කස්ටර් පිළිබඳව අප්‍රසාදයෙන් කතා කරනවා අපිට දකින්න ලැබෙන්නේ.

මෙයිජි අධිරාජ්‍යයා

හරි එහෙනම්, චිත්‍රපටියට පාදක වෙච්ච ඇමෙරිකන් ඉතිහාසය ගැන කතා කලාට පස්සේ පොඩ්ඩක් බලමු එයට පාදක වෙච්ච ජපන් ඉතිහාසය පිළිබඳවත්. ජපානය මේ කාලයේ දී පාලනය කරනු ලැබුවේ මෙයිජි අධිරාජ්‍යයා විසින්. 1852 දී උපන් ඔහු 1867 දී ජපානයේ අධිරාජ්‍යයා බවට පත් වෙන්නේ වයස අවුරුදු 15 ක්ව තියෙද්දීයි. මොහුගේ පාලන සමය මෙයිජි යුගය කියලා හඳුවනු ලබනවා. මෙයිජි යුගයේ දී මෙයිජි ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලබන වෙනස්කම් මාලාවක් ජපානය තුළ සිදු කරනු ලබනවා. මෙයිජි ප්‍රතිසංස්කරණ වලට පෙර ජපානය අනුගමනය කළේ ලෝකයෙන් හුදෙකලාව සිටීමේ ප්‍රතිපත්තියක්. මේ ඇවුරුණු ප්‍රතිපත්තිය නිසා ඔවුන් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වැඩි ඇයි හොඳැයිකම් පවත්වන්නට ගියේ නැහැ.

ටොකුගාවා ෂෝගුනේට්

මෙයිජි අධිරාජ්‍යයා බලයට පත්වෙන්නට පෙර ජපානය පාලනය කරනු ලැබුවේ ටොකුගාවා ෂෝගුනේට් නම් මිලිටරි පාලන තන්ත්‍රයක් විසින්. ටොකුගාවා ෂෝගුනේට් යුගයේ දී අධිරාජ්‍යයා හුදෙක් නාම මාත්‍රික තනතුරක් පමණක් වුණා. අධිරාජ්‍යයා ජපන් සමාජයේ ඉහලම තනතුර හෙබවූවත් ඔහුට හිමි වුණේ ඉතා සීමිත බලතල ප්‍රමාණයක් පමණයි. අනෙක් සියළු බලතල හිමිව තිබුණේ ෂෝගුන්වරුන්ටයි. අධිරාජ්‍යයා රාජ්‍යයේ සංකේතයක් සහ දේවත්වයේ පිළිබිඹුවක් ලෙසට පමණක් සැළකුණා. ෂෝගුන්වරු අධිරාජ්‍යයාව රූකඩයක් ලෙස පාවිච්චි කළ අතර සියළු පරිපාලන කටයුතු ෂෝගුන්වරු සන්තකයේ තබා ගන්නට කටයුතු කළා. මෙම මිලිටරි රජය එඩෝ ෂෝගුනේට් යන නමින්ද හැඳින්වුනා. එමෙන්ම එම පාලන තන්ත්‍රය පැවති 1603 සිට 1868 දක්වා වසර 265 ක් පමණ කාලය එඩෝ යුගය ලෙස හැඳින්වෙනවා. මෙම එඩෝ යුගයේ අවසාන භාගයේ දී ජපානයේ අධිරාජ්‍යයාව සිටියේ මෙයිජි අධිරාජ්‍යයා ගේ පියා වූ කොමෙයි අධිරාජ්‍යයා යි. මේ කොමෙයි අධිරාජ්‍යයා ගේ පාලන කාලයේ දී තමයි ජපානය සහ ඇමෙරිකාව අතර ප්‍රධාන පෙළේ සම්බන්ධතාවයක් ප්‍රථම වරට ඇති වෙන්නේ. ඒ කොමදෝරු පෙරී යටතේ 1853 දී සහ 1854 දී පැමිණි පෙරී ගවේෂණ යනුවෙන හැඳින්වෙන හමුදාමය සහ රාජ තාන්ත්‍රික කණ්ඩායම් සමඟ. මේ සමඟම එතෙක් වසර 220 ක් තිස්සේ ජපානය විසින් ක්‍රියාවට නංවමින් පැවති සකෝකු (Sakoku) නමින් හැඳින්වූ විදේශීය රාජ්‍යයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් ඈත්ව සිටීමේ ප්‍රතිපත්තිය අවසන් කරන්නට බලපෑම් කරමින් එක්සත් ජනපදය සහ ටොකුගාවා ෂෝගුනේට් අතර 1854 මාර්තු 31 දින කනගාවා සම්මුතිය අත්සන් තැබෙනවා. එය, විදේශීය ආක්‍රමණ එල්ල කරන බවට ටොකුගාවා ෂෝගුන්වරුන්ව බිය ගන්වා, බලෙන් අත්සන් තබා ගන්නා ලද සම්මුතියක් ලෙසට සැලකෙනවා. එම සම්මුතිය මගින් ජපානයේ ෂිමෝඩා සහ හකොදතේ යන වරායයන් ඇමෙරිකානු යාත්‍රා සඳහා විවෘත කරනු ලබනවා. එමෙන්ම ඇමෙරිකානු යාත්‍රා සහ නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නටත්, ජපානය තුළ ඇමෙරිකානු කොන්සල් (විදේශ තානාපතී) කටයුතු පිහිටුවන්නටත් එමගින් අවස්ථාව සැලසෙනවා.

බොෂින් යුද්ධය

මෙම කනගාවා සම්මුතිය අත්සන් කිරීම, ටොකුගාවා ෂෝගුනේට් පාලන තන්ත්‍රය අහෝසි වී යාමට ප්‍රධාන වශයෙන් බලපෑ සිදුවීමක් වශයෙන් සැළකෙනවා. එම සම්මුතියට එළඹීම මගින් “ජපානය විවෘත කිරීම” නිසා ෂෝගුනේට්වරුන්ගේ හමුදාමය දුර්වලතාවය හෙළිදරව් වුණා. එතැන් සිට බටහිර ජාතීන් ජපානය තුළ දිගින් දිගටම වෙළඳ සහ රාජතාන්ත්‍රික කටයුතු සඳහා රැඳී සිටීමත්, ඔවුන්ගේ විවිධ ඉල්ලීම් ආදියත් ටොකුගාවා ෂෝගුනේට්වරුන්ට විශාල පීඩනයක් ඇති කළා. මෙම බාහිර බලවේගයන් ගේ බලපෑම නිසා පාලන තන්ත්‍රයන්ගේ වෙනස්කම් සහ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වෙන්නට පටන් ගත්තා. එමෙන්ම රට තුළ අභ්‍යන්තර කැරලි සහ සිවිල් යුද්ධ හට ගැනුණා. එහි එක් වැදගත් සිදුවීමක් වුණේ ටොකුගාවා ෂෝගුනේට්වරුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව අධිරාජ්‍යයාට පක්ෂපාතී වූ බලවේග විසින් ඇති කළ සිවිල් යුද්ධයක් වූ බොෂින් යුද්ධය (1868 – 1869) යි. එම යුද්ධයේ ප්‍රතිඵලය වූයේ මෙයිජි අධිරාජ්‍යයා ගේ නායකත්වයෙන් යුතු අධිරාජ්‍යයාට පක්ෂපාතී වූ බලවේග වල ජයග්‍රහණය යි. 1868 දී මෙයිජි අධිරාජ්‍යයා පූර්ණ පාලන බලතල හිමි කර ගන්නා ලද අතර, මෙයිජි ප්‍රතිසංස්කරණ වල ආරම්භය සනිටුහන් කරන ලදි. එමෙන්ම මෙයිජි අධිරාජ්‍යයා දේශපාලන බලයේ වෙනසක් සනිටුහන් කරමින් ජපානයේ අගනුවර කියෝතෝ සිට ටෝකියෝ වෙත අරගෙන යනවා. 1869 දී ටොකුගාවා ෂෝගුනේට්වරු නිල වශයෙන් යටත් වූ අතර අවසන් ෂෝගුන්වරයා වූ ටොකුගාවා යොෂිනොබු ඉල්ලා අස් වෙනවා. ඒ විදියට ෂෝගුනේට්වරුන්ගේ සහ සමුරායිවරුන්ගේ යුගය අවසන් වෙනවා. ඒත් කොහොමද ෂෝගුනේට් යුගයේ අවසානය සමුරායිවරුන්ගෙත් අවසානය වුණේ? අපි දැන් ඒ ගැන බලමු.

සමුරායිවරු

සමුරායිවරුන් ගේ මූලාරම්භය 8 වන සියවසේ අග භාගයේ දී පමණ සිදු වන්නට ඇතැයි සැළකෙනවා. ‘සමුරායි’ යන පදය මුලින්ම භාවිත කරනු ලැබුවේ ජපන් අධිරාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස සිටි දුනුවායන් හැඳින්වීමට යි. මෙම මුල් සමුරායිවරු දුනු ශිල්පයේ සහ අසරු ශිල්පයෙහි දක්ෂයෝ වුණා. ජපානයේ වැඩවසම්වාදයේ නැගීම සිදු වූ කමකුරා සහ මුරෝමාචි යුග ලෙස හැඳින්වෙන ජපානයේ මධ්‍යතන යුගයේ (12 – 16 වන සියවස්) දී සමුරායිවරුන් වෙනස් සමාජ සහ හමුදා පන්තියක් බවට පරිණාමය වුණා. ඔවුන් හමුදා ප්‍රභූන් බවට පත් වී ඩයිමියෝ ලෙස හැඳින් වූ බලවත් වැඩවසම් ස්වාමිවරුන්ට සේවය කළා. එමෙන්ම මේ කාලවල දී සමුරායිවරුන් “බුෂිඩෝ” ලෙස හැඳින්වෙන චර්යාධර්ම පද්ධතියක් වර්ධනය කරනු ලැබුවා. බුෂිඩෝ මගින් පක්ෂපාතීත්වය, ගෞරවය, යුතුකම සහ ස්වයං විනය වැනි ගුණ ධර්ම අවධාරණය කරනු ලැබුණා. බුෂිඩෝ මගින් යුධ පිටියේ දී සහ ඉන් පිටත දී ඔවුන්ගේ හැසිරීමට මග පෙන්වනු ලැබුණා. 15 වන සියවසේ අග භාගයේ සිට 16 වන සියවසේ අග භාගය දක්වා ජපානය, සෙන්ගෝකු හෙවත් රණකාමී රාජ්‍ය සමය ලෙස හඳුවනු ලබන සිවිල් යුද්ධ සහ ගැටුම් වලින් පිරි දීර්ඝ කාල පරිච්ඡේදයකට මුහුණ දුන්නා. සමුරායිවරු මේ ගැටුම් වල ප්‍රධාන භූමිකාවන් ඉටු කරද්දී ප්‍රබල ඩයිමියෝවරු රට පාලනය කිරීම සඳහා තරග වැදුනා.

ටොකුගාවා ෂෝගුනේට් යුගයේ දී සමුරායිවරුන්ට සමාජයේ සුවිශේෂී තැනක් හිමි වුණා. සමුරායිවරු, ඩයිමියෝ ලෙස හැඳින් වූ වැඩවසම් ස්වාමිවරුන්ට සහ ටොකුගාවා ෂෝගුනේට්වරුන්ට සේවය කළ පාරම්පරික රණශූර පන්තියක් වුණා. ඔවුන් සටන් කලාව සහ ආයුධ භාවිතය පිලිබඳව පුහුණුව ලැබූ වෘත්තීය රණ ශූරයන් වුණා. සමුරායිවරු ඔවුන්ගේ ඉඩම් හිමි වැඩවසම් ස්වාමිවරුන් වූ ඩයිමියෝවරුන්ට පක්ෂපාතී වූ අතර, ඩයිමියෝවරු ෂෝගුන්වරුන්ට පක්ෂපාතී වුණා. මෙම වැඩවසම් ධූරාවලිය එම යුගයේ ජපානයේ සමාජ හා දේශපාලන ව්‍යුහයේ පදනම වුණා. ටොකුගාවා යුගයේදී ජපානය තුළ යම් තරමක සාමකාමී වාතාවරණයක් පැවතුණා. සමුරායිවරු ඔවුන්ගේ ඩයිමියෝවරුන්ගේ වසම් වල පරිපාලකයන්, ඉඩම් භාරකරුවන්, සහ නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් ලෙස සේවය කරමින් මෙම සාමය පවත්වා ගැනීමේ කාර්යභාරයක් ඉටු කලා. එමෙන්ම බොහෝ සමුරායිවරු රණශූරයන් ලෙස ඔවුන්ගේ සාම්ප්‍රදායික භූමිකාවන්ගෙන් පරිබාහිරව නිළධාරීන් සහ පරිපාලකයන් බවටත් පත් වුණා. ඔවුන්ගේ ඩයිමියෝවරුන්ගේ වතු කළමනාකරණය, බදු එකතු කිරීම සහ ප්‍රාදේශීය කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඔවුන් වගකිව යුතු වුණා. සාමය පැවතුණු කාලවලදී, බොහෝ සමුරායිවරු කාව්‍ය රචනා කිරීම, තේ පැන් උත්සව සහ අක්ෂර ඇඳීමේ කලාව වැනි සංස්කෘතික කටයුතු වල නිරත වුණා. මේ විදියට ටොකුගාවා යුගයේ දී වෙනස්ම ආකාරයේ සමුරායි සංස්කෘතියක් වර්ධනය වුණා.

මෙයිජි ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මේ සියල්ල වෙනස් වී ගියා. අළුතින් පත්වුණු රජය, එහි නවීකරණ ප්‍රයත්න වල කොටසක් විදියට සමුරායි පන්තිය අහෝසි කර, අනිවාර්ය සේවයට කැඳවූ හමුදාවක් ඒ වෙනුවට ආදේශ කළා. මේ නිසා හිටපු සමුරායිවරුන්ට වෙනස් වන සමාජ – දේශපාලන වටපිටාවට අනුගත වීම සඳහා අරගල කරන්න සිදු වුණා. ඔවුන්ගෙන් සමහරු ව්‍යාපාර, දේශපාලන හෝ ශාස්ත්‍රීය ක්ෂේත්‍ර වල නව වෘත්තීන් වලට එළඹුණු අතර තවත් සමහරුන්ට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදු වුණා. තවත් සමහරු මෙයිජි යුගයේ දී පිහිටුවන ලද නව අධිරාජ්‍ය ජපන් හමුදාවට සම්බන්ධ වුණා. ඔවුන් ඔවුන්ගේ සටන් කුසලතා නවීන පන්නයට සකස් කළ නව හමුදාවට රැගෙන ආ අතර පළමු චීන-ජපන් යුද්ධය සහ රුසියා-ජපන් යුද්ධය ඇතුළුව ජපානයේ හමුදා ව්‍යාපාරවල ප්‍රධාන භූමිකාවන් ඉටු කළා. හිටපු සමුරායිවරුන් ගණනාවක් මෙයිජි රජයේ බලගතු පුද්ගලයින් බවට පත් වෙලා ජපානයේ නවීකරණ ප්‍රයත්නයන් හැඩගැස්වීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඔවුන් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් පිහිටුවා ගැනීමට සහ බටහිර ක්‍රමවේද සම්මත කර ගැනීමට දායක වුණා. මේ විදියට සමුරායි පන්තිය අහෝසි වෙලා ගියාම ඔවුන්ට හිමිවෙලා තිබුණු සුවිශෙෂී වරප්‍රසාද වල ද අවසානය සනිටුහන් වුණා. ඒ විදියට නැතිවෙලා යමින් තිබුණු සමුරායිවරුන්ගේ අවසන් යුගය ගැන තමයි මේ චිත්‍රපටියෙන් දැක්වෙන්නේ.

හරාකිරි

සමුරායිවරු ඔවුන්ගේ අභිමානය පිළිබඳව බොහෝ සෙයින් සිතනු ලැබුවා. ඒ නිසා සටනක දී සතුරාට පරාජය වීම හෝ ඔවුන්ගේ සිරකරුවෙකු වීමට වඩා මරණය වැළඳ ගැනීම යහපත් යැයි ඔවුන් සිතුවා. මේ නිසා එවන් අවස්ථාවල දී සතුරාගේ අතට පත් වනවාට වඩා, ස්ව කැමැත්තෙන්ම මරණය තෝරා ගැනීම ගෞරවයක් බව සමුරායිවරුන් ගේ පිළිගැනීම වුණා. මේ සඳහා හරාකිරි (Hara-kiri), එසේත් නැතිනම් සෙප්පකු (Seppuku) යනුවෙන් හැඳින්වෙන සියදිවි නසා ගැනීමේ ක්‍රම වේදය භාවිත කරනු ලැබුවා. එමගින් පරාජයේ අවමානයෙන් ගැලවීම, සතුරාගේ අතට පත් වීමෙන් වැළකීම, සතුරාගේ වධ බන්ධනයට පත් වීමෙන් වැළකීම යනාදිය අපේක්ෂා කෙරුණා. මෙම සෙප්පකු ක්‍රමවේදයේ දී පරාජයට පත් වූ සමුරායිවරයා ස්ව කැමැත්තෙන්ම, තමා විසින්ම ටන්ටෝ (Tanto) යනුවෙන් හැඳින්වෙන කෙටි තියුණු කඩුවක් වැනි ආයුධයකින් සිය උදර ප්‍රදේශයට ඇන ගෙන එම ආයුධය ශරීරයේ වම් පස සිට දකුණු පස දක්වා ඇදගෙන එනු ලබනවා. එවිට උදරය විවෘත වී රුධිර වහනය වීමෙන් එම පුද්ගලයා මිය යනවා. නමුත් බොහෝ විට මෙම සෙප්පකු ක්‍රමවේදය ක්‍රියාත්මක වෙද්දී කයිෂකුනින් නම් සහායකයෙකු ගේ සහාය ලබා ගැණුනා. එම කයිෂකුනින් විසින් උදරය කපා ගත් තැනැත්තාගේ ගෙල සිඳ දැමීම අපේක්ෂා කරනු ලැබුවා. මෙම කයිෂකුනින් පත් කරගනු ලැබුවේද සියදිවි නසා ගන්නා තැනැත්තා විසින්මයි. කයිෂකුනින් විසින් සියදිවි නසා ගන්නා තැනැත්තා සිය උදරය කපා ගැනීමෙන් පසු (දෙනු ලබන සංඥාවකට අනුව බොහෝ විට) එක කඩු පහරින් ඔහුගේ ගෙල සිඳ දැමීම අපේක්ෂා කෙරුණා. එසේ කිරීමට අපොහොසත් වුවහොත් එය කයිෂකුනින් ට සහ ඔහුගේ පවුලේ අයට අවමානයක් ලෙසට සැළකුණා. කයිෂකුනින් වරයෙකුගේ සහභාගීත්වයකින් තොරව සිදුවන සෙප්පකු ක්‍රියාවලියක දී, සියදිවි නසා ගන්නා තැනැත්තා විසින් සිය උදරය කපා ගැනීමෙන් අනතුරුව ටන්ටෝ නම් කඩුව උදරයෙන් ඉවතට ඇද සිය උගුරට ඇන ගැනීම හෝ කඩුව තම පපුව වෙතට යොමුව සිටින සේ තබා ගෙන එය මතට ඇද වැටීම හෝ සිදු කළ යුතු වුණා.

සත්සුමා කැරැල්ල

1877 දී ජපානයේ ඇතිවුණ සත්සුමා කැරැල්ල, The Last Samurai චිත්‍රපටියට ප්‍රධාන ආභාෂයක් වෙලා තියෙනවා. මේ සත්සුමා කැරැල්ලට සෙයිනාන් යුද්ධය කියලත් කියනවා. මේ කැරැල්ල තමයි ජපානයේ සිදු වූ අවසන් සමුරායි යුද්ධය ලෙස සැළකෙන්නේ. මේ සත්සුමා කැරැල්ලට නායකත්වය දුන්නේ හිටපු සමුරායිවරයෙකු (මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් සමුරායි සම්ප්‍රධාය තහනම් කරනු ලැබූ නිසා) වන සයිගෝ ටකමොරි විසින්. මේ සමුරායිවරයා තමයි චිත්‍රපටියේ අපිට දකින්න ලැබෙන කට්සුමොටෝ චරිතය බිහිවෙන්න ප්‍රධාන ආභාෂය වෙලා තියෙන්නේ. මෙයිජි රජයේ නවීකරණ, බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ වැනි ප්‍රතිපත්ති වලට එරෙහිව මේ කැරැල්ල හට ගැනුණේ. සත්සුමා කියල කියන්නේ ජපානයේ ටොකුගාවා ෂෝගුනේට් පාලන සමයේ තිබුණු දේශපාලන වසමක්. ඒ වසමේ හිටි සමුරායිවරයෙක් වුණු සයිගෝ ටකමොරි මේ අවසන් සිවිල් යුද්ධය මෙහෙයවපු නිසා ඔහුව තමයි සත්‍ය වශයෙන්ම ජපානයේ “අවසන් සමුරායිවරයා” කියලා හඳුන්වන්නේ. 1877 සැප්තැම්බර් වල දී ටකමොරි ගේ හමුදා ෂිරෝයමා සංග්‍රාමයේ දී දරුණු පරාජයකට ලක් වෙනවා. එහි දී ටකමොරිත් දරුණු තුවාල ලබනවා. ඒ විදියට කැරැල්ල අවසාන වෙනවා. මාරාන්තික තුවාල ලබපු ටකමොරි සෙප්පකු මගින් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණය, ජපානයේ සමුරායි යුගයේ අවසානය සනිටුහන් කරනවා.

නේතන් ඇල්ග්‍රෙන්

දැන් අපි බලමු කවුද මේ ඉයුජින් කොලෙක් (Eugene Collache) සහ යූල්ස් බෲනට් (Jules Brunet) කියන්නේ කියලා. මෙන්න මේ දෙන්නගේ සත්‍ය කථාව ඇසුරෙන් තමයි නේතන් ඇල්ග්‍රෙන් චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. ඉයුජින් කොලෙක් කියන්නෙ බොෂින් යුද්ධයේදී, ෂෝගුන්වරුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් සටන් වැදුණු ප්‍රංශ ජාතික නාවික හමුදා නිලධාරියෙක්. ඔහු “මිනර්වා” යන නමින් හැඳින්වුනු ප්‍රංශ නාවික හමුදාවට අයත්ව තිබුණු නෞකාවේ තමයි සේවයේ යෙදී හිටියේ. මේ නෞකාව ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් දාලා තියෙද්දී ඉයුජීනුත්, හෙන්රි නිකෝල් කියන ඔහුගේ මිතුරාත් නාවික හමුදාවෙන් පැනලා ගිහිල්ලා, බකුෆු පාර්ශ්වයට සම්බන්ධ වෙලා හිටපු තවත් ප්‍රංශ නිලධාරින් පිරිසක් සමග එකතු වෙනවා. බකුෆු කියන්නේ ඒ කාලයේ ජපානයේ පාලක රජය (ඒ කියන්නේ ටොකුගාවා ෂෝගුනේට් එක.). බොෂින් යුද්ධය, නැත්නම් ජපානයේ සිවිල් යුද්ධය සිද්ධ වෙන්නේ මේ බකුෆු පාර්ශ්වය සහ අධිරාජ්‍යයාගේ හමුදා අතර. ඉතින් ඉයුජින්ටයි නිකෝල්ටයි ඕනවෙලා තියනවා තව තවත් ප්‍රංශ නිලධාරීන් බකුෆු පාර්ශ්වයට එකාතුකරගෙන ඔවුන්ව ශක්තිමත් කරන්න. අන්තිමේදී 1868 නොවැම්බර් 29 වෙනිදා ඉයුජිනුත් නිකෝලුත් යොකුහුමා වරායෙන් වෙළඳ නැවකට නැව් නැගලා ජපානයෙන් පිටත් වෙලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ.

යූල්ස් බෲනට් කියන්නෙත් බොෂින් යුද්ධයේදී ටොකුගාවා ෂෝගුනේට් වෙනුවෙන් සේවය කරපු ප්‍රංශ හමුදා නිළධාරියෙක්. 1867 දී ඔහුව ජපානයට යවනු ලබන්නේ ප්‍රංශ හමුදාව විසින් කාලතුවක්කු උපදේශකයෙක් විදිහට. හැබැයි ඒ යවන්නේ අධිරාජ්‍යයාගේ හමුදාවට උපදෙස් දෙන්න නම් නෙවෙයි. ෂෝගුන්වරුන්ගේ හමුදාව නව්‍යකරණය කරන්න උපදෙස් දීමටයි. (හැබැයි චිත්‍රපටියේ නම් නේතන් ජපානයට යන්නේ අධිරාජ්‍යයාගේ හමුදාවට උපදෙස් දෙන්න. අනික නේතන් බොෂින් යුද්ධයට සම්බන්ධ වෙන්නෙත් නැහැ.) යූල්ස් ජපානයට එන්නේ 1867 ජනවාරි මාසයේ දී. ඇවිල්ලා අවුරුද්දක් විතර ෂෝගුන්වරුන්ගේ හමුදා පුහුණු කරවනවා. ජපානයේ ඉන්න අතරතුරදී ඔහුව කැප්ටන් තනතුරට උසස් කරන්වා. කොහොමහරි බොෂින් යුද්ධයේදී ෂෝගුන්වරු පරදිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයිජි අධිරාජ්‍යයා ජපානයේ සම්පූර්ණ පාලන බලතල තමන්ගෙ අතට ගන්නවා. 1868 සැප්තැම්බර් අවසානය වෙද්දි ප්‍රංශ හමුදා නිළධාරීන්ට ජපානයෙන් පිටවෙන්න කියලා ප්‍රංශ රජයෙන් අණ ලැබෙනවා. මේ නිසා ප්‍රංශ නිළධාරීන් ජපානයෙන් පිටත්වෙන්න නැව් සූදානම් කරනවා. ඒත් බෲනට් තීරණය කරනවා ජපානයේ නවතින්න. නැවතිලා ෂෝගුන්වරුන්ට උදව් කරන්න. අධිරාජ්‍යයාගේ රජය විසින් බෲනෙට්ව අත්තඩංගුවට ගන්න නියම කරනවා. ඒත් බෲනෙට් කොහොමහරි බේරිලා ආපහු ප්‍රංශයට පැන ගන්න සමත් වෙලා තියෙනවා. ජපන් රජය විසින් ප්‍රංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා බෲනෙට් බොෂින් යුද්ධයට සම්බන්ධ වෙලා කරපු වැරදි වලට දඬුවම් කරන්න කියලා. ඒත් ඒකෙන් බෲනෙට් ගේ ජනප්‍රියත්වය වැඩි වෙලා තියෙනවා මිසක ඔහුට ලොකු දඬුවමක් නම් ලැබිලා නැහැ. කොහොමහරි ඉයුජීන් සහ බෲනෙට් කියන මේ දෙන්නම සත්සුමා කැරැල්ල ඇතිවෙන්න කාලෙකට කලින් ජපානයෙන් පිට වෙලා තියෙනවා.

මෙයිජි ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල

මෙයිජි ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් විදියට තමයි ජපානය ලෝක බලවතෙකුගේ තත්ත්වයට පත්වෙන්න අඩිතාලම වැටෙන්නේ. ටොකුගාවා ෂෝගුනේට් අහෝසි වීම, වැඩවසම් ක්‍රමයේ අවසානය, සමුරායිවරුන්ගේ අවසානය වගේ සියවස් ගණනාවක් තිස්සේ ජපානය තුළ තිබුණු ක්‍රමවේද අහෝසි වෙලා යන්නෙත් මෙයිජි ප්‍රතිසංස්කරණත් එක්ක. සමුරායිවරු කොච්චර උත්සාහ කළත් ඔවුන්ට ආයේ නැගී සිටින්න ලැබුණේ නැහැ.

හරි එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් විස්තරේ මෙතනින් ඉවර කරනවා. මම හිතනවා අපැහැදිලි තැන් පැහැදිලි වෙන්න ඇති කියලා. නැත්නම් තවත් අවුල් වුණාද මන්දා නේද? කොහොමහරි, කවුරුහරි ඉවර වෙනකම් කියෙව්වා නම් ඒ අයට විශේෂ ස්තූතියකුත් කරන ගමන් එහෙනම් ගිහින් එන්නම්!


I'll Be Home for Christmas (1998) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6342 --

 

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “NCJD ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-10-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

9 thoughts on “The Last Samurai (2003) Sinhala Subtitles | අවසාන සමුරායිවරයා! [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ හොයා හොයා හිටියේ thanks

    Reply
  • Lakshansilva18

    thanks for subtitles

    Reply
  • sapumal senanayake

    The letter is very important.thanks for it. l never reply any one,I break this policy due to this letter and salute you for the letter.

    Reply
  • thank you so much. Amazed by the information.

    Reply
  • ලිපියනං මරු…
    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහොම වටින ලිපියක්
    උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    හැකිනම් Cleopatra – 1963 චිත්‍රපටයට උපසිරැසි දෙන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *