උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ජාවාරමක් පසුපස හඹා ගිය පොලිස් නිළධාරියෙක් වූ තම පුතුගේ අතුරුදන් වීමත් සමඟ විශ්රාමික බන්ධනාගාර නිළධාරියෙකු එම පුතු සොයමින් පාතාලයට බැස වර්මන් නම් දරුණු ජාවාරම් කරුවෙකුගෙන් පළිගැනීම කතාව පළමු කොටසේ අන්තර්ගත වුණා. එය නිමා වූයේ ඉතාමත් ඛේදනීය නිමාවකින්.
'නෙල්සන්' යන නම දැන් නම් ජේලර් නිසාම ඉන්දීය සිනමා අධ්යක්ෂකවරුන් අතරින් ජනප්රිය සන්නාමයක්. නෙල්සන්ගේ ඉහළතම නිර්මාණය Jailer හෝ Jailer 2 නම් නොවෙයි. ජේලර් නිකුත් වීමෙන් අනතුරුව නෙල්සන් හට මෙහි අනුප්රාප්තික චිත්රපටයක් නිර්මාණය කිරීමට අදහසක් ඇති බව සඳහන් කළා. කොහොම වුණත් ජේලර්ගෙන් පසු ඔහු වෙනත් ව්යාපෘතියක් කරා යොමු වූයේද නැහැ. මෙය ඔහු 'හුකුම්' ලෙස මූලික අවස්ථාවේදී නම් කර තිබුණත් පසුගිය වසරේ, එනම් 2025 ජනවාරි 14 දින Jailer 2 ලෙසින් නිළ වශයෙන් නිවේදනය කළා. මෙය සන් පික්චර්ස් හා රජිණිකාන්ත්ගේ 6 වැනි සංකලනය වීමයි. එය රජිණිකාන්ත්ගේ සිනමා දිවියේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් 2025 වසරේදී නිකුත් කිරීමට පොරොත්තු වූවත් නොයෙක් ප්රමාදවීම් හේතුවෙන් මේ වසරේදී නිකුත් කෙරෙන බව නිවේදනය කළා.
Annatthe (2021) බොහෝ ලෙස පහර කෑමට ලක් වීමෙන් අනතුරුව රජිණි විවිධ අධ්යක්ෂකවරුන්ගේ කතා විමසමින් සිටියා. ඒ අතරවාරයේදී නෙල්සන් සන් පික්චර්ස් හා එක්ව Beast රූගත කිරීම් කෙරෙමින් තිබෙන අතරවාරයේදී සන් පික්චර්ස් වෙත තවත් චිත්රපටයක් කරන ලෙස ඔවුන් නෙල්සන්ගෙන් ඇරයුම් කර සිටියා. අනිරුද්ගේ ඉල්ලීමකට අනුව නෙල්සන් රජිණි වෙනුවෙන් කතාවක් තනා එය ඔහු හමු වී ඉදිරිපත් කළා. ඉන් බොහෝ ලෙස පැහැදුණු නිසාවෙන් ඔහු නෙල්සන්ව ඊළඟ චිත්රපටයේ අධ්යක්ෂකවරයා ලෙස ස්ථිර කළා. ඒ බව නිළ වශයෙන් වීඩියෝවකින් නිවේදනය කරනු ලැබුවා. Beast (2022) චිත්රපටයට දරුණු ලෙස විවේචන එල්ල වෙද්දී රජිණි හා නෙල්සන්ගේ චිත්රපටය අත්හැර දැමූ බවට ව්යාජ්ය පුවත් පවා මැවුණා. එනමුත් ඒ කිසිවක් කාර්ය මණ්ඩලය සත පහකට ගණන් ගත්තේ නෑ. කෙසේ නමුත් සූපර් ස්ටාර්ගේ ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කළ විශේෂ වීඩියෝවෙන් මෙම ව්යාපෘතිය අත්හැර නොමැති බවට යළිත් බලාපොරොත්තු ඇති කළා. එහි ප්රථම ගීතය ලෙස කාවාලා නිකුත් කර සමාජ මාධ්යයේ සහ භෞතිකව ජනගත වීමට ඉඩ හැරියා. අපේක්ෂා කළ පරිදිම වයස් බේදයකින් තොරව කාවාලා ගීතය කා අතරත් ජනප්රියත්වයට පත් වුණා. පුරා අවුරුදු 1.5 කට වඩා බලා සිටි ප්රේක්ෂකයින්ගේ සිත් පුබුදු කරමින් නව ශක්තියක් ලබා දීම සඳහා ජවසම්පන්න ගීතයක් ලෙස හුකුම් ගීතය රසිකයින් වෙනුවෙන් නිකුත් කරනු ලැබුවා. ඒ වන තෙක් පණ අදිමින් සිටි චිත්රපටයේ ප්රචාරණය හුකුම් ගීතයෙන් පසුව වෙනස්ම මානයකට ගෙන ගියා. එය නව රජිණි ඇන්තම් එක බවට පත් වුණා. එක් පසෙකින් තලෛවර්ව නැවත හිනි පෙත්තේ සිටිනු දැකීමට රසිකයින් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටියා. තවත් අතකින් ඩොක්ටර් චිත්රපටය කළ නෙල්සන්ට අත් වූ ශෝචනීය තත්වය ගැන අනුකම්පා කරමින් ඔහු සාර්ථක විය යුතු බවද ප්රාර්ථනා කළා. පෙර චිත්රපටය අසාර්ථක වීමත්, නෙල්සන්ට ආවේණික ශෛලිය වන කමර්ෂල් නොවන ක්ලාස් පන්නයේ වීමත් නිසාවෙන් කිසිවෙකු මේ තරම් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගනියි කියා සිහිනෙකින් වත් සිතන්නට නැතිව ඇති. සාමාන්යෙන් විචාරකයින්ගෙන් රජිණිගේ චිත්රපටවලට ලැබෙන්නේ මිශ්ර හෝ සෘණාත්මක ප්රතිචාරයි. අනපේක්ෂිත ලෙසින් ජේලර්ට යහපත් ප්රතිචාර හිමි වීමත් සමඟ ජයග්රහණය පාලනයෙන් ගිලිහී ගියා.
ජේලර් හි දුෂ්ඨයා වූ වර්මන් ලෙස රඟ පෑ විනායකන් චරිතයේම ජීවත් වෙමින් තම උපරිමය ඊට ලබා දුන්නා. විනායකන් එක් කර ගැනීමට බොහෝ අසීරු වූවා. දැඩි ප්රයත්නයන්ගෙන් අනතුරුව ඔහු ඒ සඳහා සම්බන්ධ වීමෙන් අනතුරුව නෙල්සන් බලාපොරොත්තු වූවාටත් වඩා දෙගුණයකින් දායකත්වය ලබා දුන් බව කීවා. විශේෂයෙන් දෙවන භාගයේ මුත්තුවේල් වර්මන්ව හමු වීමට පැමිණෙන අවස්ථාව රූගත කරද්දී විනායකන් කැරවෑන් රථයෙන් වැටී කකුලට හානි වී තිබුණා. ඒ වේදනා විඳ දරාගනිමින් ඔහු කිසිදු ගණනකට නොගෙන තම රංගනය ලබා දුන්නා.
ජේලර් 1 දී චිත්රපටය අවසානයටම පැමිණි නිසා ශිවරාජ්කුමාර්ගේ චරිතය පිළිබඳව හැමෝටම අමතකව තිබුණා. එවන් අවස්ථාවක බලාපොරොත්තු නොවූ විලසින් ඔහු නිවසට ඇතුල් වීමම අවසන් ජවනිකාව උත්කෘෂ්ටවත් කළා.
රජිණිට වර්මා කියූ "මගේ පස්සෙන් ලෝකයක්ම තියනවා. ඔයාගේ ලෝකයම නරකාදියක් වේවි!" යන දෙබසත්, කෝටි දහස් ගණනක වටිනාකමකින් යුත් කන්ටේනර් තුන පිළිබඳවත් කුතුහලයක් ඇතිව තිබුණා. ඒ වෙද්දි නෙල්සන් ආසන්න ලෙස තෙළිඟු සිනමාවේ ඉහළ පෙළේ නළුවෙකු සමඟ චිත්රපටයක් කිරීමට සූදානමින් සිටියා. තලෛවර් මේ අදහස පිළිබඳව නෙල්සන්ගෙන් පළමුව අසද්දී එය ප්රතික්ෂේප කර හැරියා. ඒ අනුව ඔහු Vettaiyan (2024) හා ගිවිසුම් ගතවී නිෂ්පාදන වැඩ කටයුතු ඇරඹුවා. කේරළයේ රූගත කිරීම් සිදු වෙමින් පවතිද්දි දිනක් නෙල්සන් තමන් මෙහි දෙවන කොටසක් නිර්මාණය කිරීමට සිතූ බව සඳහන් කළා. තලෛවර් සඳහන් කළේ ඔහුට අනුප්රාප්තික චිත්රපට සඳහා ඇත්තේ අයහපත් දැක්මක් බවයි. Basha 2, Chandramukhi 2, Petta 2 යන චිත්රපට කිරීමට අධ්යක්ෂකවරුන් විටින් විට ආරාධනා කළත් ඔහු ඒවාට කැමති වූයේ නැහැ.
ජේලර් තලෛවර්ගේ සිනමා දිවියේ ඉතා විශේෂ ඓතිහාසික කඩයිමක්. එය ජේලර්ට පෙර හා පසුව ලෙස ද වෙන් කළ හැකියි. අන්නාතේ වැනි තම වයසට නොහොබින චරිත වළින් වැලකී උචිත චරිත තෝරා ගැනීමට යොමු වුණා. මන්ද නෙල්සන් සුපර් ස්ටාර් රජිණිකාන්ත්ගේ ආවේගශීලී රංගනයෙන් 5%ක් හෝ ප්රයෝජනයට ගෙන තිබුණේ නැහැ.
නෙල්සන්ගේ අනෙක් චිත්රපටවලින් ජේලර් 1 වෙනස් වන්නේ එය අවසාන වූයේ විවෘත අවසානයක් නිසාවෙන්. එය අධ්යක්ෂක නෙල්සන්ටත්, රජිණිටත්, අනිරුද්ටත් දෙවන කොටසකට හිතන්නට මඟ පෑදුවා. අනෙක් කාරණය නම් නෙල්සන්ට හුකුම් ගීතය තව දුරටත් ඉදිරි චිත්රපටවලට භාවිතා කිරීමට වුවමනාවක් ඇතිව තිබුණා. අනිරුද් ද හුකුම් ටුවර් නමින් සංගීත ප්රසංග කිහිපයක් පැවැත්වූවා. හුකුම් ගීතය ස්ථානගත කර ඇති බන්ධනාගාර දර්ශනයට මුලින්ම අනිරුද් හිප් හොප් # එක් කර තිබුණත් නෙල්සන් නැවතත් අනිරුද්ට දර්ශනය බලා සංගීතය නිර්මාණය කරන ලෙස කියා තිබෙනවා. දෙවන වර විනාඩි 10ක් පමණ කෙටි කාලයක් තුල "ඒයි මම පනවන දේ තමයි නීතිය" යන දෙබසින් හුකුම් යන කොටසද ඇතුලත්ව ජවසම්පන්න ගීතයක් නිර්මාණයට මඟ පෑදුවා.
දෙමළ සිනමාවේ එක් ශාපයක් වූ අනුප්රාප්තික චිත්රපට ශාපය මින් නිමාවට පත් වෙනවා. ජේලර් 2ට පෙර කොලිවුඩයේ සාර්ථකත්වයක් අත් කරගත් අනුප්රාප්තික චිත්රපට ලෙස දැක්විය හැක්කේ Kanchana 2, Singam 2 ආදී අතලොස්සක් පමණයි. 2.0 ආදායම් වශයෙන් සාර්ථක වූවත් රසික හදවත් දිනා ගැනීමට සමත් වූයේ නැහැ.
කෝටි 1000 කඩයිම කොලිවුඩයට ශාපයක්ව හමාරයි. බොලිවුඩයට දෙවෙනි වූ දෙමළ සිනමාව පසු කර අනෙක් සිනමා කර්මාණ්ත ඉ.රු. කෝටි 1000 සීමාව ඉක්මවූ චිත්රපට ආදායම් වාර්තා කරද්දී දෙමළ සිනමාවේ පළමු කෝටි 1000 චිත්රපටය Coolie (2025) වේවියි කියා බහුතරයක් අපේක්ෂාවෙන් සිටියා. මන්ද රසිකයින් අතර විවිධ ගැටුම් තිබුණත් එක් අතකින් අනෙක් තම කර්මාන්තයේ ගෞරවය රැක ගැනීමටත්, ආදායම් වලින් විවිධ වාර්ථා බිහි කළේ රජිණි නිසාත් ය. අධික ලෙස බලාපොරොත්තු සහ රසික සිද්ධාන්ත සැබෑ චිත්රපටයෙන් තෘප්තිමත් කරලීමට අපොහොසත් වීම නිසා කූලි වෙත සෘණාත්මක ප්රතිචාර එල්ල වූවා. කෙසේ වුවත් අවසානයේ එයට ඉ.රු. කෝටි 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට හැකි වූවා. ජේලර් 2ට මෙම සීමාව ඉක්මවීමට කොතරම් හැකියාවන් තිබියදීත් ඒ අවස්ථාවන්ගෙන් කිසිදු ප්රයෝජනයක් නොගත්තේ නිෂ්පාදන ආයතනයමයි. සති අටක එකඟතාවය මත OTT වෙත මුදා හැරීමට ඇමසන් ප්රයිම් එකඟ වූවත් සන් පික්චර්ස් සති හතරක කාලය තෝරා ගත්තා. ඒ වගේම හින්දි සිනමාශාල කෙරෙහි ඔවුන්ගේ නිසි අවධානයක් යොමු කෙරුණේ නැහැ. කොහොම වුණත් දින 4ක් අවසානයේ ජේලර් 2 චිත්රපටයේ මුළු ගෝලීය දළ ආදායම ඉ.රු. කෝටි 400 ඉක්මවා තිබෙනවා. මෙතෙක් වාර්ථා වුණ වේගවත්ම ආදායම් වාර්ථාව මෙය වනවා.
පළමු චිත්රපටයේදී දැඩි පොලිස් නිළධාරියෙකුගේ චරිතය සඳහා තමන් බාලක්රිෂ්ණා සම්බන්ධ කරගැනීමට අදහසක් තිබූ බව නෙල්සන් සඳහන් කළා. නමුත් පළමු චිත්රපටයේදී එය බාලයියාට ගැලපෙන තරම් බලසම්පන්න තත්වයක් නොතිබූ නිසා එම අදහස ඉවත් ඔඅර ගන්නවා. මෙවර බාලක්රිෂ්ණා වෙනුවෙන් ආරාධිත රංගනයක් ලෙස විශේෂ චරිතයක් රචනා කොට ඔහුව මේ සඳහා එක් කරගන්නවා. දමිළ සිනමාවට ප්රථම වරට එක්වන බාලක්රිෂ්ණා මෙහි රංගනය වෙනුවෙන් ඉ.රු. කෝටි 25 - 50ත් අතර අධික ගාස්තුවක් මත එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් රූගත කිරීම් අතරතුර බාලක්රිෂ්ණා ගාස්තු සම්බන්ධව හා අදහස් විවිධත්වයන් මත මින් ඉවත්ව යනවා. බොලිවුඩ් කිං ෂා රුක් ඛාන් ද මෙහි ආරාධිත චරිතයක් සඳහා ඇරයුම් කළා, එහිදී එම ඉල්ලීම ප්රතික්ෂේප කර දැමුවේ ජේලර් 2 ඔහුගේ King චිත්රපටයට පෙර නිකුත් වීම නිසා කිංග් චිත්රපටයේ ඔහුගේ පෙනුම රසිකයින් වෙනත් චිත්රපටයකින් නොදැකිය යුතු නිසාවෙනි.
කෙසේ වෙතත් රිතික් රෝෂන් මේ සඳහා ඇරයුම් කර විශේෂ පෙනී සිටීමක් සඳහා එක් කර ගන්නවා. පසුගිය වසරේදී රිතික්ගේ War 2 (2025) සහ රජිණිගේ Coolie (2025) එකම දිනක නිකුත් වූවා. කූලී උතුරු ඉන්දියාවේ නිසියාකාරව තිරගත නොකිරීම නිසා මෙම චිත්රපට දෙක බොහෝ දුරට ඝට්ටනය වීමෙන් වැළකුණා. රජිණි රඟපෑ Bhagwan Dada (1986) හින්දි චිත්රපටයේ රිතික් ළමා රංගන ශිල්පියෙකු ලෙස දායක වුණා. ඔවුන් මේ යළි එකම තිරයක දකින්න ලැබෙන්නේ හරියටම අවුරුදු 40කට පසුවයි.
කූලි චිත්රපටය නිවේදනය වීමත් සමඟ ඇති වූ අතිශයෝක්තිය සහ ප්රේක්ෂක අවධානය නිසාවෙන් සීමාවෙන් එහා ගිය බලාපොරොත්තු ඔවුනොවුන් තුල ඇති කරගත්තා. ලෝකේෂ් මෙය LCU චිත්රපටයක් නොවේ කියා තරයේම කියා සිටියත් අවසන් මොහොත වන තුරුත් එය විශ්වාස කිරීමට උත්සුක වූයේ නැහැ. එපමණක් නොවේ කාල තරණය, රන් ජාවාරම් ආදී නොයෙක් රසික සිද්ධාන්තයන් පවා නිර්මාණය වූවා. අනිරුද්ගේ සංගීතයෙන් අන් භාෂා ප්රේක්ෂකයින්ද මෝහනයට පත් වී සිටියා. අන් රසිකයින් අත්හැර බැලුවහොත්, රජිණි රසිකයින් සැබැවින්ම ලෝකේෂ්ගේ ඇති අද්විතීය නිර්මාණකරණය කෙරෙහි විශ්වාසය තබමින් Kaithi, Vikram වැනි ලෝකේෂ් මාදිලියේ චිත්රපටයක් බලාපොරොත්තු වූවත් අවසානයේ එය සුපුරුදු පන්නයේම පළිගැනීමේ චිත්රපටයක් වීමෙන් සිත් තැවුලට පත් වූවා.
කෙසේ හෝ ලෝකේෂ්ගේ කඩා වැටීම හාස්යයට ලක් කරමින් මේ වන තෙක්ම මීම් නිර්මාණයට ඔහුව යොදා ගත්තා. DC චිත්රපටයෙන් ඔහු යම් තාක් දුරකට එම උපහාසයන් මැඩ, මීම් සීමා කරමින් උපහාසයට ගත් අයවලුන්ගේද පැසසුම් ලබමින් තිබෙනවා. කොහොම වුණත් ඇතමුන් ජේලර් 2 යහපත් ප්රතිචාර හිමිවීමත් සමඟ යළිත් ලෝකේෂ්ව අපුල්ලන්නට ගත්තා. ලෝකේෂ් මේ වනවිට අල්ලු අර්ජුන් සමඟ ගිවිසගත් චිත්රපටයේ පෙර නිෂ්පාදන වැඩ කටයුතුවල නියැලෙමින් සිටිනවා.
මේ කාලය අතරතුර නෙල්සන් හා රජිණි බොහෝ සමීප වී ඇත්ද කියතොත් තරාතිරම් අමතක කර සම වයස් මිතුරන් සේ විහිළු කරගන්නවා දකින්න ලැබුණා. ඒ වගේම මේ කාලය තුල රජිණිට නෙල්සන්ව අනුමාන කළ හැකි තත්වයටම අත්දැකීම් ලබා තිබෙනවා. රූගත කිරීම් අතරතුරදි රජිණි තමන්ට පහළ වන සමහර අදහස් සහ අවස්ථා පළමුව SJ සූර්යාට ඉදිරිපත් කරන්නේ නෙල්සන් කෙසේ පිළිගනියිද යන්න පිළිබඳ විමසමින්. ප්රවීණ අධ්යක්ෂකවරයෙකු ලෙස සූර්යා එය අගය කර නෙල්සන් හට ඉදිරිපත් කරන ලෙසට ධෛර්යමත් කරනවා. නෙල්සන් බොහෝ සෙයින් එම නිර්දේශයන් වහා ප්රතික්ෂේප කර දමනවා. එවන් අවස්ථාවක රජිණි සූර්යා හට "මම දන්නවා කැමති වෙන්නේ නෑ කියලා, සූර්යා" යනුවෙන් උපහාසයට නගනවා. නෙල්සන් නිතර නිතරම රංගන ශිල්පීන් හට ලබා දුන් දෙබස් හා අවස්ථා වෙනස් කිරීම් දැකිය හැකියි.
සූර්යා හට "රංගනයේ යක්ෂයා" කියන්නේ නිකන් නම් නෙවෙයි, මන්ද ඔහු එම අවස්ථාවේ කළ ඉදිරිපත් කිරීම පිළිබඳව ඔහු තෘප්තිමත් නොවුව හොත් නැවත වාරයක් අවස්ථාව ඉල්ලාගෙන රඟ දක්වනු ලබනවා. පරිපූර්ණත්වය සහ කැපවීම ඇති සරල රංගන ශිල්පියෙක් ලෙස සූර්යා හැඳින්විය හැකියි. ඔහු වෙහෙසක් නොදැනෙන නළුවෙකු බවට නෙල්සන් ප්රශංසා කළා. පසුගිය දිනවල සූර්යා දුෂ්ඨ චරිත රඟ දැක්වූ චිත්රපට බොහෝමයක් අසාර්ථකත්වයකට පත් වූවා.
ජේලර් 1 හි සටන් අධ්යක්ෂණය කළ ස්ටන්ට් සිවා සහ ඔහුගේ පුතුන් දෙදෙනා නැවත සම්බන්ධ කර නොගැනීම ලොකු අඩුවක් ලෙස මා දකිනවා. මොකද ඔවුන් දැඩි රජිණි රසිකයින් වීම නිසා ඔවුන් පියවරෙන් පියවර ඉතාමත් විමසිල්ලෙන් සටන් අධ්යක්ෂණය සිදු කළා.
විද්යා බාලන් ඇගේ රංගන දිවියේ ආරම්භක අවදියේදී දකුණු ඉන්දීය සිනමාව ඇය අසුබ ලකුණක් ලෙස සලකමින් එකඟ වූ චිත්රපටවලින් ඉවත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඇය උතුරු ඉන්දියාවේදී රංගනයෙන් කීර්තියක් අත් කරගෙන ඉහළ තලයක රැඳී ඉන්නවා. ඇය මෙහි දුෂ්ඨ චරිතයක් රඟ දක්වනවා.
කැමරාකරණයේදී කලාත්මක ඇසක් සහිත ශිල්පී විජේ කාර්තික් පලමු චිත්රපටයේද දුටු පමණින් ඇස් ආකර්ෂණය වන අයුරින් රූප රාමු කැමරාවට හසු කරගෙන තිබුණා. මෙහිද කැමරාකරණය සිදු කළේ ඔහුයි. ඔහු මේ වනවිට චිරන්ජීවි රඟන KAKA චිත්රපටයේ රූගත කිරීම් වල නිරත වෙනවා. කාකා කාර්යමණ්ඩලය එම රූගත කිරීම් ස්ථානයේ ජේලර් 2 සාර්ථකත්වය ඔහු සමඟින් සමරනු ලැබුවා.
සන්තානම්ද මෙහි කැමියෝ චරිතයක් සඳහා සහභාගී වූ බව වාර්ථා වූවා. එය අවසන් සංස්කරණයේදී ධාවන කාලය අඩු කිරීම සඳහා ඔහු ඇතුලත් දර්ශන සම්පූර්ණයෙන්ම කපා දමා තිබෙනවා. ජේලර් 1 හිද නමෝ නාරායන් රඟ පෑ කොටස් මෙලෙසම කපා හැර තිබුණා. ඔහුට අසාධාරණයක් වූ නිසාවෙන් 2 කොටසේදී ඔහුගේ චරිතයට වැඩි ඉඩකඩක් දී තිබෙනවා. තවද විජේ සේදුපති ද මෙහි ආරාධිත චරිතයක් රඟනවා. ඔහු ඇතුලත් දර්ශනද චිත්රපටයේ ධාවන කාලය කළමනාකරණය කිරීමේදී කපා හැරීමකට ලක් කොට තිබෙනවා. කොහොම වුණත් ඔහුව අවසන් තත්පර කිහිපයේදී දැකගත හැකියි. සේදුපති මීට පෙර Petta (2019) හි රජිණි හා රඟ පා තිබෙනවා. මෑත කාලීනව සේදුපති කැමියෝ රඟ දැක්වීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.
නිෂ්පාදන ආයතනය මිතුන් චක්රබෝර්ති සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඔහුගේ චරිතය දුෂ්ඨ චරිතයක් බව කී වහා රජිණි වීරයා, මම දුෂ්ඨයා. මම රජිණිගෙන් ගුටි කන්න ඕනද? කියා අවස්ථාව ප්රතික්ෂේප කර තිබෙනවා. පසුව මුම්බායි හි උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ රජිණිට මිතුන්ව හමු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා මිතුරන් වූ නිසවෙන් මිතුන් මේ පිළිබඳව විමසා තිබෙනවා. මිතුන් මෙහි රඟපෑමට රජිණි විසින් එකඟ කරගන්නවා. ඔයා මට ගහන්න බැහැ, වෙඩි තියන්න බැහැ, හරිද? කියා ඔහු කොන්දේසි එක් කළා.
මලයාම් නළුවෙකු වූ සුරාජ් මීට පෙර දෙමළ චිත්රපටයක දකින්නට ලැබුණේ වික්රම්ගේ Veera Dheera Sooran Part 1 චිත්රපටයේ දීයි. එහි ඔහු ප්රධාන දුෂ්ඨ චරිතය නිරූපනය කළා. ජේලර් හි ඔහුට රඟපෑමේ අවස්ථාව අරුන් කුමාර් විසින් ලබා දී තිබෙනවා. සුරාජ්, විශේෂයෙන්ම රජිණි රසිකයෙකු වීමත් නෙල්සන්ගේ චිත්රපට නරඹා ඔහුගේ අධ්යක්ෂණයේ රඟපෑමට ආශාවෙන් සිටි නිසාවෙන් මේ අවස්ථාව එසැනින් ලබා ගත්තා. ඔහු එම උද්යෝගයෙන්ම දෙබස් පිටපත ඉල්ලාගෙන සූදානම් වී පැමිණ තිබෙනවා. කෙසේ නමුත් නෙල්සන් පසු දිනදී දෙබස් ඔක්කොම වෙනස් කරා යනුවෙන් කීවේ ඔහුගේ වෙහෙස මහන්සිය කුණු කූඩයට විසි කර දමමිනි.
ධනුෂ්ගේ OM චිත්රපටයද මෙදිනම (ඔක්තෝබර් 15) තිරගත කිරීමට දින යොදාගෙන තිබුණත් සුපර් ස්ටාර් වෙනුවෙන් ඉඩ ලබා දී ඔවුන් තම චිත්රපටය පසු දිනකට යොදා ගැනුණා. 2020 වසරේදී මාමණ්ඩිගේ Darbar (2020) හා බෑණාගේ Pattas (2020) යන චිත්රපට එකම දිනෙක තිරගත කෙරුණා. කොහොම වුණත් එකිනෙක චිත්රපට අතර ඝට්ටනයක් ඇති වූයේ නැහැ.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ Linga (2014) යොදාගත් ටයිටල් කාර්ඩ්පත ආභාෂයට ගනිමින් නෙල්සන්ගේ ශෛලියේ ටයිටල් කාර්ඩ්පතක් ඇතුලත් කිරීමයි. මෙවැනිම කාර්ඩ්පතක් Beast (2022)හි විජේ හටද ලබා දී තිබුණා. ඒ වගේම ඊයේ දින (2026.10.17) මෙම සුපර් ස්ටාර් ටයිටල් කාර්ඩ් පතට ජීවය ලබා දුන් සංගීත අධ්යක්ෂක දේවා මහතා අභාවප්රාප්ත වුණා.
මෙහි "වන් නේම්" ගීතය රචනා කරන ලද්දේ හයිසන්බර්ග් නම් තම අනන්යතාවය හෙළි කිරීමට අකැමැති පුද්ගලයෙක් විසින්. ඔහු මීට පෙරද අනිරුද් සමඟ එක්ව ගීත රැසක ගී පද රචනා කොට තිබෙනවා. බොහෝ දෙනෙක් මේ හයිසන්බර්ග් අනිරුද්ම බවට විශ්වාස කරනවා. නමුත් අනිරුද් පවසන්නේ ඔහු හයිසන්බර්ග්ව සම්බන්ධ කරගන්නේ දුරකථනයෙන් පමණක් බවත්, ලෝකේෂ් කණගරාජ් ඔහුව මුණගැසී ඇති බවයි. ඔහු කෘතිම බුද්ධිය නොව සැබෑ පුද්ගලයෙකු බවත් "හයිසන්බර්ග්" යනු ඔවුන් ඔහුට දුන් නම බව ලෝකේෂ් කියා සිටියා.
"දිල් හාරෙයා" ගීතය මේ දෙමළ ඇල්බමයේ තිබෙන එකම දෙමළ නොවන ගීතයයි.
Doctor (2023) චිත්රපටයේ Chellamma ගීතය සඳහා නිකුත් කළ Lyrics ප්රවර්ධන වීඩියෝවෙන් ජනප්රියත්වයට පත් වූ නෙල්සන්ගේ "වේර මාරි වේර මාරි" යන වචන පෙළ යොදාගෙන අනිරුද් මෙහි වේර මාරි ගීතය නිර්මාණය කර තිබෙනවා. මුල් අවස්ථාවේ එහි තිබූ නෙල්සන්ගේ හඬ ඉවත් කරන ලෙස නෙල්සන් ඉල්ලා සිටීම නිසාවෙන් එය නැවත ගායක තමිල් ආදවන් විසින්ම හඬ නංවා පටිගත කර තිබෙනවා.
"අල බෝලෙලේ" ගීතයේ නර්ථනය ඉදිරිපත් කරන පූර්ණා හෙවත් ශාම්නා කාසිම් එහි රූගත කිරීම් සිදු කරන සමයේ ගර්භනීව හිඳ තිබෙනවා. එම නිසාවෙන් ඇය වෙනුවට වෙනත් නිළියක්ව ඒ වෙනුවෙන් තෝරා ගැනීමට නිෂ්පාදක මණ්ඩලය තීරණය කරද්දී, පූර්ණාවම මෙහි අංගය සඳහා යොදා ගන්නා ලෙස තලෛවර් කියා තිබෙනවා.

රජිණිකාන්ත්ගේ මීළඟ චිත්රපටව පෙළගැස්ම දෙස බැලුව හොත්.
Dharman
ධර්මන් චිත්රපටය අධ්යක්ෂණය කරනු ලබන්නේ අශ්වන්ත් මාරිමුත්තු විසින්. එහි රජිණි වෛද්යවරයෙකුගේ චරිතයක් රඟ දක්වනවා. ඔහුගේ බිරිඳ ලෙස සිම්රන් ද, දියණිය ලෙසින් රාශි කන්නා ද රඟපානවා. එමෙන්ම ඔහුගේ බෑනා ලෙස තෙළිඟු නළු රාම් පොදිනේනි චරිත රඟ දක්වනවා. මෙය මාමා සහ බෑනා අතර ඇතිවන ඝට්ටනයක් අන්තර්ගත කතාවක් ලෙසයි සඳහන් වන්නේ. රාම්ටද මෙහි රජිණි හා සම ඉඩ අවකාශයක් ලබා දී ඇති බවද සඳහන්. ශ්රීලීලා මෙහි රූගත කිරීම් වලට සම්බන්ධ වී තිබෙනවා. එය විශේෂ පෙනී සිටීමක් විය හැකියි.
අශ්වන්ත් මාරිමුත්තු හුදෙක් අධ්යක්ෂකවරයා පමණක් නොවෙමින් රසිකයෙකු ලෙස BTS ඡායාරූප ලබා දුන්නා. මෙම ධර්මන් ව්යාපෘතිය තහවුරු වීමට පෙර රාජ් කමල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් නිෂ්පාදනය කරන Thalaivar 174 අධ්යක්ෂණය කිරීමට යෝජිතව තිබුණේ සුන්දර් සී හටයි. සංගීත අධ්යක්ෂකවරයා වූයේ අනිරුද්. නමුත් අදහස් පරස්පර වීම නිසා සුන්දර් සී මෙම ව්යාපෘතියෙන් ඉවත් වනවා. ඉන් පසුව සිබි චක්රවර්ති මේ සඳහා එක් වුණ අතර ඒ බව තහවුරු කර වීඩියෝවකින් නිවේදනය කෙරුණා. සිබි චක්රවර්ති නිෂ්පාදන ආයතනයක් සමඟ ගැටලුවක් නිසාවෙන් ඔහුටද මෙම ව්යාපෘතියෙන් ඉවත් වීමට සිදු වනවා. එලෙසයි මෙයට අශ්වන්ත් ඇතුල් වන්නේ.
Kamal Hassan 235 x Thalaivar 173
වසර 47කට පසුව සිනමා දැවන්තයන් දෙදෙනෙකුගේ හමුව සිදු වීමට නියමිතව තිබෙනවා. අධ්යක්ෂකවරුන් කිහිප දෙනෙකු අතරින් මෙම භාග්යය නෙල්සන් හට හිමි වූවා. සංගීතයෙන් සුපුරුදු පරිදි අනිරුද් එක් වනවා. Coolie චිත්රපටයේ ලිපියේ සඳහන් කල පරිදි මේ අවස්ථාව ලෝකේෂ් කණගරාජ්ටද ලැබී තිබුණත් එය ඔහුට අත් කරගැනීමට නොහැකිව යනවා. රෙඩ් ජෙයන්ට් මූවීස් විසින් මෙය නිෂ්පාදනය කරනු ලබනවා. නිවේදන වීඩියෝව හා පෙර චිත්රපට වලින් අනුමාන කළ හැක්කේ මෙය බොහෝ විට පැරණි මෝටර් රථ ජාවාරම් කිරීමක් සම්බන්ධ කතාවක් විය හැකියි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 112
- Downloads
- 1.4M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Jailer 2 (2026) Sinhala Sub
- #Jailer 2 (2026) Sinhala Subtitles
- #Jailer 2 Sinhala Sub
- #Jailer 2 Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Rajinikanth
- #Ramya Krishnan
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Vasanth Ravi
- #Vinayakan
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Shihan

Vidio ekath mekata demmanam maru