Watch Trailer

Monster : The Ed Gein Story [S03 : E01] Sinhala Subtitles | ප්ලේන්ෆීල්ඩ්හි උමතු ඝාතකයා [සිංහල උපසිරසි]

හොඳයි, මේ වතාවේ මං ඔයාලට ගෙනාවේ Monster කතා මාලාවේ තුන්වැනි Season එකේ, ඒ කියන්නේ Monster: The Ed Gein Story කතා මාලාවේ සිංහල උපසිරැසි. ඔයාලට මතක ඇති මීට කළින් මං සිංහල උපසිරැසි ගන්වපු Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ අවසාන ලිපියේදී මේ කතා මාලාව ඉදිරියේදී නිකුත් වීම ගැනත් සඳහන්…

හොඳයි, මේ වතාවේ මං ඔයාලට ගෙනාවේ Monster කතා මාලාවේ තුන්වැනි Season එකේ, ඒ කියන්නේ Monster: The Ed Gein Story කතා මාලාවේ සිංහල උපසිරැසි. ඔයාලට මතක ඇති මීට කළින් මං සිංහල උපසිරැසි ගන්වපු Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ අවසාන ලිපියේදී මේ කතා මාලාව ඉදිරියේදී නිකුත් වීම ගැනත් සඳහන් කළා. ඔන්න අද ඉඳන් ඉදිරියට ඔයාලට ඒකත් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් සිංහල උපසිරැසි සහිතව බලන්න අවස්ථාව ලැබෙනවා.  2025 ඔක්තෝබර් 03 වැනිදා Netflix ඔස්සේ නිකුත් වීමත් සමඟ දින තුනක් ඇතුළත දර්ශන වාර මිලියන 12.2ක් ලබාගන්නටත්, පැය මිලියන 90.6ක ප්‍රේක්ෂක නැරඹුම් කාලයක් ලබාගන්නටත් මේ ටෙලිනාට්‍යය සමත්ව තිබෙනවා. ඒ වගේම Monster: The Ed Gein Story ටෙලිනාට්‍යය  IMDb දර්ශකයේ  7.8/10 (205K) ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. මීට කළින් සීසන් වල Netflix වෙනුවෙන් රයන් මර්ෆි විසින් සෘජුවම කතාව නිර්මාණයට දායක වුණත්, මේ සීසන් එක සම්පූර්ණයෙන්ම තිර රචනය කර නිර්මාණය කළේ Ian Brennan විසින්. 

මේ කතාව නිර්මාණය වෙන්නේ Ed Gein නම් බිහිසුණු මනෝ විකෘතික ඝාතකයාගේ ලොමු දැහැගැන්වෙන සත්‍ය කතාව පදනම් කරගෙනයි. කවුද මේ එඩ් ගීන් කියන්නේ? ප්ලේන්ෆීල්ඩ් මස් කපන්නා (The Butcher of Plainfield), එහෙමත් නැත්නම් ප්ලේන්ෆීල්ඩ්හි මිනීකන ප්‍රේතයා (The Ghoul of Plainfield) කියලා හඳුන්වන එඩ් ගීන්ගේ බිහිසුණු කතාව ගැන කෙටි විස්තරයක් මං පහළින් දක්වලා තියෙනවා.  Ghoul එහෙම නැත්නම් මිනීකන ප්‍රේතයා කිව්වට එඩ් ගීන් මිනීමස් අනුභව කළා කියලා සාක්ෂි සහිතව ඔප්පු වී නැහැ. දාම ඝාතකයන් ගැන සමාජයේ අසන්නට නොලැබෙන කාලයක ඔහු කළ ක්‍රියාවන් ගැන සමාජයේ ඇතිවුණු ආන්දෝලනය නිසා එවැනි නම් පට බැඳෙන්නට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් අපරාධ විශේෂඥයන් එඩ් ගීන්ව දාම ඝාතකයෙක් හෙවත් Serial Killer කෙනෙක් ලෙස හඳුන්වන්නේ නැහැ.  සාමාන්‍යයෙන් දාම ඝාතකයෙක් ලෙස හඳුන්වන්නේ ඝාතන තුනකට වඩා යම් කිසි රටාවකට අනුව සිදු කර ඇති ඝාතකයන්වයි. මේ ටෙලිනාට්‍යයේ එඩ්ගේ ඝාතන ප්‍රමාණය ඉහළ නංවා තිබුණද, සත්‍ය වශයෙන්ම ඔහු විසින් සිදු කළ බවට තහවුරු වුණේ මනුෂ්‍ය ඝාතන දෙකක් පමණයි. අනෙක්වා පුද්ගලයන් අතුරුදන් වීම ගැන ඇතිවුණු හුදෙක් සැක කිරීම් සහ කටකතාවන් පමණයි.

එඩ්වඩ් තියඩෝර් ගීන් ඉපදුණේ 1906 අගෝස්තු 27 වැනිදා පියා වුණු ෆිලිප් ගීන් සහ මව වුණු ඔගස්ටා විල්හෙල්ම් ගීන්ට දාව. එඩ්ට හෙන්රි ගීන් නමින් වැඩිමහල් සහෝදරයෙක්ද සිටියා. ස්ථිර රැකියාවක් නොකළ බේබදු හැසිරීම් තිබුණු පියා සහ දැඩි ආගමානුකූල නීති පැනවූ සැරපරුෂ මව යටතේයි එඩ් සහ හෙන්රි හැදී වැඩුණේ.  ඇය කෙතරම් සැර පරුෂ වුණාද කිව්වොත් ඇය එඩ්ගේ පියාවද හිංසනයට ලක් කළ බව සඳහන්.  පාසලේදී එඩ් ඉගෙනීමට දක්ෂ වුවත්, ගුරුවරුන් දුටුවේ අමුතු හැසිරීම් පෙන්වන ඔහු මනසින් මවාගත් අබිරහස් දේට තනිවම සිනාසෙමින් සිටි අන්දමයි. කුඩා කළ සිටම ඔහු යම් භින්නෝන්මාද තත්වයක සිටි බවයි මින් අදහස් වන්නේ. කෙසේ වෙතත් ඔවුන් පසුව ප්ලේන්ෆීල්ඩ්හි හුදෙකලා නිවෙසක් වෙත පදිංචියට පැමිණ තිබෙනවා.1940 දී, ජෝර්ජ් ගීන් වයස අවුරුදු 66දී හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ නිසා හෙන්රි සහ එඩ්ට තමන්ගේ පවුල ගෙනයන්නට විවිධ රැකියාවන් කරන්නට සිදු වුණා. එඩ් ගීන් වැඩිහිටියන් සමඟ ගනුදෙනු කරනවට වඩා ළමුන් බලාගැනීමට කැමැත්තක් දැක්වූවා. පියාගේ මරණයත් සමඟ එඩ් සහ හෙන්රි මුළුමනින්ම සැරපරුෂ මවගේ ග්‍රහණයට පත් වුණා. දැඩි ආගමික මතධාරී ගැහැණියක් වුණු ඇය එඩ්ට සහ හෙන්රිට කාන්තාවන් සමඟ ආශ්‍රය කිරීම, ලිංගික කටයුතු වල යෙදීම මෙන්ම මත්පැන් පානයත් තහනම් කළේ ඒවා දැඩි පාපකාරී ක්‍රියාවන් ලෙස හඳුන්වමින්. අවිවාහක ස්ත්‍රීන් ඇය හැඳින්වුයේ ගණිකාවන් ලෙසයි.

වමේ සිට දකුණට පිළිවෙලින්: ඔගස්ටා සහ ෆිලිප් ගීන් යුවළගේ විවාහ ඡායාරූපය, එඩ්ගේ මව ඔගස්ටා ගීන්, එඩ් ගීන් කුඩා කාලයේ, එඩ්ගේ සහෝදරයා වන හෙන්රි ගීන්.

 මවගේ මේ ආධිපත්‍යයට හෙන්රි එරෙහි වුවද එඩ් ඇයට කැමැත්තෙන්ම අවනත වුණා. මේ අතර දික්කසාද වුණු කාන්තාවක් සමඟ පෙමින් වෙළුණු හෙන්රි ඇය හා විවාහ වන්නට අදහස් කළා. හෙන්රි සිය මවගේ දැඩි නීති රීති විවේචනය කරමින් එඩ්ට මේ නීති වලින් ගැලවී නිවසෙන් යාමට උපදෙස් දුන්නේ, සිය අධිපතිවාදී මව කෙරෙහි එඩ් දක්වන දැඩි නැඹුරුව නිසා එඩ්ට වියහැකි හානිය ගැන බිය වුණු නිසයි. එහෙත් මීට එකඟ වනු වෙනුවට එඩ් හෙන්රිට වෛර කරන්නට පටන් ගත් අතර, ඔහු සිය මවට තව තවත් සමීප වුණා. දිනක් එඩ් හා හෙන්රි සිය ඉඩමේ ලඳු කැලෑවක් සුද්ධ කරමින් සිටියදී තැබූ ගින්නක් පාලනයෙන් තොර වීම නිසා එය විශාල ප්‍රදේශයකට පැතිර ගියා. එඩ් ගීන් අපහසුවෙන් ගින්නෙන් බේරුණත් හෙන්රි අතුරුදන් ව සිටියා. වහා ක්‍රියාත්මක වුණු පොලිසිය එතැනට පැමිණි පසු එඩ් ගීන් සෘජුවම පොලිසිය එක්කගෙන ගියේ එඩ්ගේ මළසිරුර තිබුණු තැනටයි. ඔහුගේ හිස පිටුපස තුවාල වී තිබුණා. එහෙත් ඔහුගේ සිරුර පිළිස්සී තිබුණේ නැහැ. මරණ පරීක්ෂණයෙන් පසුව මරණ පරීක්ෂක තීරණය කළේ විෂ වායු නිසා හුස්ම හිරවීමෙන් හෙන්රිගේ මරණය සිදු වුණු බවයි. එමෙන්ම හිස පිටුපස තුවාලය, හෙන්රි සිහිසුන්ව  පිටුපසට ඇද වැටෙද්දී ඇති වුණු එකක් ලෙසයි ඔවුන් නිගමනය කළේ. එසේ කළේ ඔවුන්ට එඩ් ගැන සැක කරන්නට හේතුවක් නොතිබුණු බැවින්. (කෙසේ වෙතත් සොහොයුරාගේ මරණය එඩ් විසින් සිදු කළ බවට උපකල්පනයක් ද තිබෙනවා. මේ ටෙලිනාට්‍යයේ යොදාගන්නේ ඒ උපකල්පනය. එහෙත් එය එඩ් විසින් පාපොච්ඡාරණය කර හෝ වෙනත් සාක්ෂි මත සනාථ වී නැහැ.) මෙයින් පසුව එඩ් සහ මව ඒ නිවසේ හුදෙකලා වුණා. ටික කලකට පසුව ඔගස්ටා ආඝාතය වැළඳී අංශභාගයට ගොදුරු වුණු අතර එඩ් ඇයව රැකබලා ගනිමින් කාලය ගත කළා. පියාගේ මරණයෙන් පස් වසරකට පසුව, 1945දී ඔගස්ටා ගීන් ද අවසන් ගමන් ගියේ එඩ්ව හුදෙකලා නිවසේ තනි කරමින්. ආදරය කරන්නට කිසිවෙක් නැතිව, සමාජයෙන්ද බොහෝ හුදෙකලාව සිටි එඩ්ගේ මනස ටිකෙන් ටික තවත් විකෘති වන්නට පටන් ගත්තා. මෙයින් පසුවයි ඔහුගේ කතාව වඩාත් භීෂණකාරී වන්නේ. 

සිය ලෝකයේ එකම වීරවරිය වුණු මව අහිමි වීමෙන් එඩ් ලද කම්පනය නිසා ඔහු තමන්ගේ අම්මාව නැවත නිවෙසට රැගෙන ඒමට අදහස් කළා. වඩාත් නිවැරදිව කිවහොත් ඔහුට තමන්ගේ අම්මා වෙන් ජීවත් වීමට අවශ්‍ය වුණා. මිනීමස් කෑම, නාසි සංහාර, වියලා හැකිලුනු හිසවල්, මානව ව්‍යුහවේදය ගැන ලියැවුණු පොත්පත් ඔහුගේ භින්නෝන්මාදී මනසට ආකර්ෂණීය දේවල් වුණා. ක්‍රමිකව ඔහු තමන්ගේ අම්මා මෙන් පෙනුම තිබුණු කාන්තාවන්ගේ අලුත වල දැමු මළ සිරුරු ගොඩගෙන මිනිස් සමෙන් කළ ඇඳුම්, වෙස්මුහුණු නිර්මාණය කිරීමට පුරුදු වුණා. එහි අරමුණ වුණේ ඒ සම ඇඳුම් සහ කාන්තා ඇඳුම් හැඳගෙන ඔහුගේ අම්මා මෙන් ජිවත් වීමයි. එඩ් පසුව ප්‍රකාශ කළේ මේ සම් ඇඳුම්, වෙස් මුහුණු සහ කාන්තා ඇඳුම් හැඳගෙන නිවසේත් නිවස වටාත් තමන් නර්තනයේ යෙදුනු බවයි. අලුත වල දැමු මළ සිරුරු වලින් ගත් කොටස් වලින් ගෘහ භාණ්ඩ තැනීමට එඩ් ගීන් ක්‍රියා කළා. 1954දී තැබෑරුමක වැඩ කළ මේරි හෝගන් නම් කාන්තාවක් අතුරුදන් වුණා. පසුව, 1957දී හාඩ්වෙයා වෙළඳ සැලක් පවත්වාගෙන ගිය බර්නිස් වෝඩ්න් නම් තවත් කාන්තාවක් අතුරුදන් වුණා. ෂෙරිෆ් නියෝජිතයෙක් වුණු ඇයගේ පුත්‍රයා වන ෆ්‍රෑන්ක් වෝඩ්න් ඇය ගැන සෙවීමේදී අවසන් වරට බර්නිස්ගෙන් භාණ්ඩ මිලට ගත් තැනැත්තා එඩී ගීන් බව ඇයගේ වෙළඳ ලියාපදිංචි පොතෙන් දැනගත්තා. මේ නිසා ෂෙරිෆ් සහ ෂෙරිෆ් නියෝජිත ෆ්‍රෑන්ක් එඩ්ගේ නිවෙස වෙත ගමන් කළා. එඩ්ගේ නිවසේ විදුලිය තිබුණේ නැති නිසා දැඩි ලෙස අඳුරු වූවා මෙන්ම නිවෙස පුරා දැඩි දුර්ගන්ධයක් පැවතුණා. ඒ නිවසේ එඩ් නොසිටි නමුත් ඝණ අන්ධකාරයේ නිවෙස පිරික්සද්දී, එඩ් විසින් සිදු කර තිබුණු බිහිසුණු නිර්මාණ ඔවුන්ට දකින්නට ලැබුණා. මේවා දැක තැතිගැන්මට ලක් වුණු ෂෙරිෆ් තවත් උපස්ථ පොලිස් කණ්ඩායම් සහ ජංගම විදුලි ජනක යන්ත්‍ර නිවෙස වෙත ගෙන්වා ගන්න කටයුතු කළා. දුර්ගන්ධවත් අන්ධකාර නිවෙසින් හමුවුණු වස්තුන් දැක පොලිසිය පවා දැඩි කම්පනයට පත් වුණා. එපමණක් නෙවෙයි ෆ්‍රෑන්ක් වෝඩ්න්ට එඩ්ගේ ගබඩාවේ තිබී සිය මව වන බර්නිස්ගේ හිස සුන් මළ සිරුර දෙපා වලින් එල්ලා තිබියදී හමුවුණා. ඇයගේ ගෙලේ සිට උදරයේ පහළ දක්වාම කපා අභ්‍යන්තර අවයව ඉවත් කර ඌරෙක් මස් කරන්නා සේ මස් කර තිබුණා. ඇයගේ හිස ඔහුගේ නිවසේ වෙනත් තැනක තිබුණා. එඩ්ගේ පියා ෆිලිප් කාලයක් සත්ව සම් පදම් කරන්නෙකු වුණු නිසා ඔහුගේ උපාංග සහ අමුද්‍රව්‍ය යොදාගනිමින් එඩ් විසින් මිනිස් මළ සිරුරු වලින් සංරක්ෂිත ගෘහ භාණ්ඩ, සිහිවටන ගණනාවක් සාදා තිබුණා. පහත සඳහන් ද්‍රව්‍ය ඔහුගේ නිවසෙන් සොයාගැනුණා.

  • සම්පූර්ණ මිනිස් ඇටසැකිලි සහ අස්ථි කොටස්
  • මිනිස් සමෙන් සාදන ලද කුණු කූඩයක්
  • මිනිස් සමෙන් සෑදූ පුටු කිහිපයක් 
  • ඇඳ කණු මත සවි කර තිබුණු මිනිස් හිස් කබල්
  • කාන්තා හිස් කබල්, සමහරක් මුදුන් කපා තිබුණා.
  • මිනිස් හිස් කබල් වලින් සාදන ලද ආහාර පාත්‍රා (Bowls)
  • උරහිස් සිට ඉණ දක්වා සම ඉවත් කරන ලද කාන්තා ශරීරයකින් සාදන ලද කෝර්සෙට් උඩුකය ඇඳුමක්
  • මිනිස් කකුල් වල සමෙන් සාදන ලද පා ආවරණ
  • කාන්තා හිස් වල සමෙන් සාදන ලද මුහුණු ආවරණ
  • කඩදාසි බෑගයක තිබුණු මේරි හෝගන්ගේ හිසෙන් සෑදූ මුහුණු ආවරණය
  • පෙට්ටියක තිබුණු මේරි  හෝගන්ගේ හිස් කබල
  • බර්ලැප් ගෝනියක බහා තිබුණු  බර්නිස් වෝර්ඩ්න්ගේ සම්පූර්ණ හිස 
  • ගීන්ගේ පොට්බෙලි උදුන ඉදිරිපිට ප්ලාස්ටික් බෑගයක තිබුණු  බර්නිස් වර්ඩන්ගේ හදවත
  • සපත්තු පෙට්ටියක වියලා සංරක්ෂණය කළ කාන්තා ලිංගික ඉන්ද්‍රියන් නවයක්
  • ගැහැණු ළමයෙකුගේ ඇඳුමක් සහ අවුරුදු පහළොවක් පමණ වයසැති ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ යෝනි මාර්ග
  • කාන්තාවන්ගේ තනපුඩු වලින් සාදන ලද බඳ පටියක්
  • නාස් හතරක්
  • ජනෙල් තිර අදින නූලක සවිකළ තොල් යුගලයක්
  • මිනිස් මුහුණක සමෙන් සාදන ලද ලාම්පු ආවරණයක්
  • කාන්තාවන්ගේ ඇඟිලි වලින් ඉවත් කරගත් නිය

එඩ් ගීන්ගේ නිවසෙන් හමුවුණු සිහිවටන වලින් කීපයක්. වමේ සිට දකුණට මිනිස් අත්වල සමෙන් කළ අත්වැසුම්, තනපුඩු එක්කර සෑදු බඳ පටියක්, මිනිස් හිස් කබලකින් සෑදු ආහාර බඳුනක් (Bowl) මිනිස් මුහුණේ සමෙන් සෑදු වෙස් මුහුණක් සහ අස්ථි කොටස්

පොලිසිය මුලින් සිතුවේ එඩ් ගීන් මිනිසුන් 20 දෙනෙක් පමණ ඝාතනය කරමින් මේ නිර්මාණ කළ බවයි. මේ සියල්ල සමඟින් ඔහුව අත්අඩංගුවට පත් නමුත් මානසික අස්ථාවරත්වය නිසා ඔහුට අපරාධ චෝදනා එල්ල කෙරුණේ නැහැ. එඩ් ගීන් පවසා සිටියේ තමන් මේ සියල්ල සිදු කළේ සිහිය විකල් වුණු තත්වයකදී බවත් මනෝවිකාරයෙන් මිදුණු අවස්ථා වලදී ඔහු සොහොන් පිටියෙන් හිස් අතින් නිවෙසට පැමිණි බවත්. පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු මළසිරුරු දූෂණය කලේද යන්න විමසු විට එඩ් එවැන්නක් නොකළ බව ප්‍රකාශ කළේ  ‘ඒවා ගඳ වැඩියි’ කියමින්. ප්‍රශ්න කිරීම් අවසානයේ ගීන් නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු මානසික තත්වයක නොමැති බව සොයා ගැනුණු අතර රක්ෂිත මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයකට යොමු කෙරුණා. 1968 වන විට ඔහු නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු බව තීන්දු කෙරුණා. බර්නිස් වර්ඩන් ඝාතනය සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බව ඔප්පු වුණු නමුත් නීත්‍යානුකූලව උමතු වූ බැවින් මනෝචිකිත්සක ආයතනයක රිමාන්ඩ් භාරයේ තබනු ලැබුවා. මානසික අවපීඩනයෙන් සහ පෙනහළු පිළිකාවකින් පීඩා විඳි එඩ් ගීන්, 1984 ජූලි 26 වන දිනශ්වසන අපහසුතාවයකින් මෙන්ඩෝටා මානසික සෞඛ්‍ය ආයතනයේදී මිය ගියේ වයස අවුරුදු 78 දීයි. ඔහුව ඔහුගේ ඥාතින් විසින් ප්ලේන්ෆීල්ඩ් සුසාන භූමියේ තැන්පත් කළේ ඔහුගේ සහෝදරයා සහ මවගේ සොහොන් දෙක අතර යි. ඔහුගේ සොහොන බලන්නට ආ සංචාරකයන් එය කඩමින් සිහිවටන රැගෙන ගියා. පසුව 2000දී සම්පූර්ණ සොහොන් ගලම කඩා සොරකම් කෙරී, සියැටල් වලදී හමුවුණු පසුව යළි විස්කොන්සින් වෙත එවනු ලැබුවා. අද වන විට එය කෞතුකාගාරයක තැන්පත් කර තිබෙන අතර එඩ්ගේ සොහොන නම ලකුණු නොකර තබන්නට පියවර ගෙන තිබෙනවා.

ප්ලේන්ෆීල්ඩ් සුසාන භූමියේ ඇති ඔගස්ටා ගීන් සහ ජෝර්ජ් ගීන්ගේ සොහොන් කොත් (වමේ) එඩ්ගේ සොහොන් කොත 2000දී කඩා සොරකම් කිරීමට පෙර (දකුණේ)

අපි ආයෙත් Monster: The Ed Gein Story වෙත හැරෙමු. සෘජුවම එඩ් ගීන්ගේ ඝාතන යැයි සාක්ෂි සහිතව ඔප්පු නොවුණු ඇතැම් ඝාතන පවා මෙහි නිර්මාණ කරුවා විසින් එඩ් ගීන් විසින් කළ මිනීමැරුම් ලෙසින් ප්‍රතිනිර්මාණය කරන්නට ක්‍රියා කර තිබෙන අන්දම දැකිය හැකියි. එමෙන්ම දම්වැල් කියත් ආධාරයෙන් සාහසික ලෙස මිනිසුන් කපා දමමින් ඝාතනය කළ බවක් මේ ටෙලිනාට්‍යයේ නිරූපණය කළත්, එඩ් ගීන් කිසිදා එවැනි ඝාතන කළ බවට ස්ථිර සාක්ෂි හමුවී නැහැ. එඩ්ගේ ඉඩමට එහා ඉඩමේ දඩයමේ ගිය වික්ටර් හැරල්ඩ් ට්‍රැවිස් සහ රේමන්ඩ් බර්ගස් නම් පුරුෂයන් දෙදෙනා අතුරුදන් වුවත් ඔවුන්ගේ අතුරුදන් වීමට එඩ්ගේ සම්බන්ධයක් ඇතැයි කිසිදා අනාවරණය වුණේ නැහැ. ඔවුන්ගේ මළ සිරුරු කිසිදා හමුවුණෙත් නැහැ. එහෙත් දඩයමේ යාමට පෙර එඩ් ඔවුන්ට සමඟ එඩ් බහින්බස් වීමක් වී තිබුණා. කෙසේ වෙතත් එඩ් ඔවුන් මැරූ බවට පිළිගැනීමට එය ප්‍රමාණවත් නැහැ.  මෙසේ රචකයා සත්‍ය සිදුවීම් සමඟ කටකතා මුසුකරමින් නොපැහැදිලි තිත් ඉරි යා කරමින් සිය අභිමතය පරිදි එඩ්ගේ කතාවට ඓතිහාසික අතින් සාවද්‍ය කරුණු අන්තර්ගත කරමිනුයි මෙහි කතාව නිර්මාණය කර තිබෙන්නේ. නැරඹීමට අපහසු අන්දමේ ලිංගික දර්ශන සහ රුධිර ප්‍රචණ්ඩත්වයක් හුවා දක්වන දර්ශන අන්තර්ගත කිරීමත් මූලික කතාවේ ගලායාමට බාධා එල්ල වන පරිදි උප කථාවන් ඇතුළත් කිරීමත් නිසා මේ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන්ගේ සහ අපරාධ විශේෂඥයන්ගේ විවේචනයට ලක් වුණා. එසේ වුවත් මෙහි ප්‍රධාන චරිත දෙක වශයෙන් එඩ් ගීන් ලෙසින් Charlie Hunnam විසින්ද , ඔහුගේ මව ඔගස්ටා ගීන් ලෙසින් Laurie Metcalf විසින්ද, එමෙන්ම ප්‍රවීණ සිනමාකරු ඇල්ෆ්‍රඩ් හිච්කොක් ලෙසින් Tom Hollander විසින් ද ඉදිරිපත් කරනු ලබන ප්‍රබල රංගනය ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයට පත් වුණා. කෙසේ වෙතත් චාලි හනම්ගේ එඩ් ගීන්ගේ කටහඬ සැබෑ එඩ් ගීන්ගේ සන්සුන් ස්ථාවර කටහඬට වඩා වෙනස් ව දුබල සහ උච්ඡ තාරතාවයක් සහිත හඬක් ලෙස ඉදිරිපත් කිරීම සාවද්‍ය කරුණක් බවයි සඳහන් වන්නේ. ඇතැම් කරුණු එසේ වුවත් එඩී ගීන් නම් සාහසික ඝාතකයා විසින් කළ කී දේ සහ එවැනි ඝාතක මානසිකත්වයක් ඔහු තුල නිර්මාණය වෙන්නට බලපෑ හැකි සාධක වගේම ඔහුගේ භින්නෝන්මාදී රෝගී තත්වයේ ස්වභාවය ගැනත් ඉතාම රසවත්ව නාට්‍යානුසාරී ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නට නිර්මාණකරු ප්‍රශංසනීය උත්සාහයක් දරා තිබෙන බව කිව හැකියි. 

පසුකාලීනව හොලිවුඩයේ ප්‍රේක්ෂකයන් සංත්‍රාසයෙන් මුසපත් කළ ත්‍රාසජනක සිනමා නිර්මාණ වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ Psycho (1960) හි ‘නෝමන් බේට්ස්’ චරිතය, ටෝබි හූපර්ගේ The Texas Chain Saw Massacre (1974) හි ‘ලෙදර්ෆේස්’ චරිතය, ඒ වගේම තෝමස් හැරිස් විසින් නිර්මාණය කළ නවකතාවක් අනුව නිර්මාණය වුණු  Jonathan Demmeගේ The Silence of the Lambs (1991) සිනමාපටයේ ‘බෆලෝ බිල්’ චරිතය ආදී සියල්ල නිර්මාණය කිරීමට, එඩ් ගීන්ගේ බිහිසුණු ක්‍රියාකලාපය හේතු වුණු අන්දම ද මේ ටෙලිනාට්‍යයේ ඉදිරිපත් කෙරෙනවා.  විවිධ නිර්මාණකරුවන් විසින් එඩ් ගීන්ටත් වඩා භීෂණකාරී සාපරාධි ක්‍රියාවන් සිදු කරන මනඃකල්පිත චරිත ඇතුළත් කරමින්, මිනිස් ලේ රස වැටුණු රසිකත්වයක් ඔප්නංවන නිර්මාණ හොලිවුඩයේ රිදී තිරයට නිකුත් කිරීම ගැන විවේචනයක් මෙහි ඉදිරිපත් කෙරෙනවා. ඒ වගේම එඩ් ගීන්ගේ චරිතය කෙරෙහි යම් සානුකම්පිත හැඟීමක් දනවන්නට උත්සාහ කර තිබෙන්නේ ඔහුගේ භින්නෝන්මාදී රෝගය ගැන ප්‍රේක්ෂකයන්ට අදහසක් දෙමින්.  එඩ් ගීන්ට තම බිහිසුණු ක්‍රියා කරන්නට හැකි වුණේ මූලික වශයෙන් භින්නෝන්මාදී මානසික ව්‍යාධියක් තිබුණු නිසයි. එහෙත් එවැනි ව්‍යාධීන් නැති සාමාන්‍ය සමාජයට සිනමා තිරයේ හිංසන, සහ රුධිරය වෑහෙන ප්‍රචණ්ඩත්වයක් නරඹා රස විඳින්නට රසිකත්වයක් ඇති කරවීමේ භයානක බව නිර්මාණකරු  වන Ian Brennan විසින් පෙන්වා දෙනු ලබන්නේ, සත්‍යයට වඩා අතිශයෝක්තියට තැනක් දෙමින් තැනුණු මේ කතාමාලාව ඔස්සේම තමන් ද එම ක්‍රියාවලියේම කොටස් කරුවෙක් බවට පත් වෙමිනුයි.  ලිපිය දිගු වෙන නිසා මං මෙතැනින් ඒ ගැන කතාව නවත්වනවා. මේ සම්පූර්ණ කතාව සිංහල උපසිරැසි සහිතව නරඹලා ඔබට මේ ගැන තමන්ගේම නිගමනයකට එන්න පුළුවන්.

 ඒ වගේම මෙතැන සඳහන් කරන්න ඕනෙ ලබන වසරේ නිකුත් කරන්නට නියමිත වන Monster කතා මාලාවේ හතරවැනි සීසන් එක, Monster: The Lizzie Borden Story මේ වන විට නිෂ්පාදනය වෙමින් පවතින බව දැනගන්නට ලැබෙනවා. ඒක ආවාම ඒකටත් සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් අපි ඔබට ගෙන එන්නම්. අපි බලමු ඒක මොන විධියට නිර්මාණය වෙයිද කියලා.

අද පළ වන කතාංගය ගැන:

  • පළමු කොටස – “Mother!”
  • අධ්‍යක්ෂක – Max Winkler 
  • තිරරචනය –  Ian Brennan
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 ඔක්තෝබර් 03
  • IMDb Ratings –  7.3/10

අද කොටසේ තියෙන්නේ මොකක්ද? 1944 එඩ් ගීන් විස්කොන්සින් වල ප්ලේන්ෆීල්ඩ් නම් හුදෙකලා ගොවිපලක ජිවත් වෙන්නේ ඔහුගේ දැඩි ආගමානුකුල මව වන ඔගස්ටා සමඟයි. ඔහුගේ මව ඔගස්ටා ගීන් අවිවාහක කාන්තාවන්ව ගණිකාවන් ලෙස හැඳින්වූවත්, එඩ් ඊට පටහැණිව ගොස් ඇඩලයින් වොට්කින්ස් නම් තරුණිය සමඟ පෙමින් බැඳෙනවා. ඇය එඩ්ට පෙන්වනවා මිනිස් මළ සිරුරු වගයක ඡායාරූප. ඒවා දෙවැනි ලෝක යුද්ධයේ වුණු යුදෙව් සංහාරයේ ඡායාරූපයි. හදිසියේම නිවෙසින් අතුරුදන් වන එඩ්ගේ අයියා වන හෙන්රි එඩ්ට හමුවෙන්නේ ගොවිපලේ දියි. ඔවුන් අතර වන සංවාදයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? එඩ්ගේ මවට හදිසියේ ඇතිවන අර්බුදය කුමක්ද? ඇඩලයින් සමඟ එඩ්ගේ සම්බන්ධයට එඩ්ගේ  මවගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක් වනු ඇතිද? අද කතාවෙන් මේ ටික බලමු!

එඩ් ගීන් ලෙස චාලි හනම්, ලෝරි මෙට්කාෆ් ඔගස්ටා ගීන් ලෙසින්, සහ ඇඩලයින් වොට්කින්ස් ලෙසින් සුසෑනා සන්ස් රංගනයෙන් දායක වන අන්දම (වමේ සිට පිළිවෙලින්)

කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්. 

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

934 downloadsDownload Monster-The-Ed-Gein-Story-S01E01-Sinhala-Subtitles.zip19 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Next BT1

Subtitles

934 downloadsDownload Subtitles19 KB

3 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Buddhika laKMal

    ස්තූතියි ප්‍රබුද්ධ සහෝ මේ සීරිස්ඒකටත් සබ් ඒක ගෙනාවට............
    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

  3. kavindu

    Thanks you saho ithuru sub tikath ikmanata ona

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.