උත්තර බෙංගාලයෙහි රාජකාරියෙහි යෙදුණු චාරු චන්ද්‍ර චක්‍රවර්ති නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකාරියකගේ කතාවක් අලළා රචනා කෙරුණු “තමාෂා” නම් ප්‍රබන්ධ කතාව ඇසුරින් ප්‍රවීණ සිනමාකරු බිමල් රෝයි විසින් “බංදිනි” නම් හිංදි චිත්‍රපටය නිර්මාණය කර ඇත. 1963 වර්ෂයේ ප්‍රථම වරට තිරගත කෙරුණු මෙම සිනමා කෘතිය ඔහු…

Bandini-(1963)

උත්තර බෙංගාලයෙහි රාජකාරියෙහි යෙදුණු චාරු චන්ද්‍ර චක්‍රවර්ති නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකාරියකගේ කතාවක් අලළා රචනා කෙරුණු “තමාෂා” නම් ප්‍රබන්ධ කතාව ඇසුරින් ප්‍රවීණ සිනමාකරු බිමල් රෝයි විසින් “බංදිනි” නම් හිංදි චිත්‍රපටය නිර්මාණය කර ඇත. 1963 වර්ෂයේ ප්‍රථම වරට තිරගත කෙරුණු මෙම සිනමා කෘතිය ඔහු විසින් නිර්මාණය කෙරුණු අවසාන වෘතාන්ත චිත්‍රපටයයි. ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන උලෙළේ හොදම චිත්‍රපටයට පිරිනැමෙන සම්මානයත් ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම වෘතාන්ත චිත්‍රපටයට පිරිනැමෙන සම්මානයත් යන සම්මාන ද්විත්වයම හිමිකරගනිමින් උක්ත වර්ෂයේ වැඩිම කතාබහට ලක් වූ හිංදි චිත්‍රපටය බවට පත් වීමේ භාග්‍යය බංදිනි චිත්‍රපටය හිමිකරගෙන ඇත.

සමස්ත ඉන්දීය සමාජ ක්‍රමයම වෙළාගත් අනේකවිධ සීමා, බන්ධන, තහංචි තුළින් විලංගු ලා භාරතීය සංස්කෘතිය තුළ සිරගත කෙරුණු සිරකාරියකගේ කතාවක් බංදිනි චිත්‍රපටය තුළින් බිමල් රෝයි අපවෙත රැගෙන එයි. සුන්දර ප්‍රේම කතාවක දවටා ඉදිරිපත් කර ඇතත් සැබැවින්ම මේ නිර්මාණය තුළින් සිනමාකරු භාරතීය සමාජ අසමානතාව හේතුවෙන් හිංසනයට පත් අසරණයන් පිළිබඳ ඔහුගේ සුපුරුදු කතිකාවතට නැවත වරක් ප්‍රවේශ වී ඇති බව පැහැදිලිය.

හින්දු ආගමික මූලධර්මයන්ගෙන් හික්මවීමට ලක් වූ භාරතීය සංස්කෘතිය තුළ ඇති විශේෂ ලක්ෂණ දෙකක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න නම් පුද්ගලයාගේ ආත්මීය පාරිශුද්ධිය සහ ආගමික වත් පිළිවෙත් ආරක්ෂා කිරීමට දී ඇති ප්‍රමුඛතාවයි. දෙවැන්න නම් කාන්තාවන් වෙත ලබා දී ඇති අවශේෂභාවයයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කල්‍යාණීගේ විවාහය සම්බන්ධයෙන් ඇගේ පියා සහ ගමේ වෛද්‍යවරයා අතර සිදුවන සාකච්ඡාවක් තුළින් ඉහත දැක්වුණු ආත්මීය පාරිශුද්ධභාවයේ රැවටිලි සහගතභාවය හෙළි කිරීමට සිනමාකරු සමත් වී ඇත. කල්‍යාණී පීඩාවට පත් කෙරෙන සැබෑ හේතුව පෙම්වතාගේ අතහැරදැමීමෙන් ඇතිවන විප්‍රයෝගය නොව යට කී ව්‍යාජයේ ගිලීම ඇගේ පියා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා ගම් වැසි ප්‍රජාව තුළින් ඔවුන් වෙත එල්ල කෙරෙන සමාජ පීඩනයයි. කල්‍යාණීගේ මිතුරිය වන ශෝභාගේ නැන්දනිය ආගමික වත් පිළිවෙත් ආරක්ෂා කරමින් නිරන්තර ආගමානුකූල ජීවිතයක් ගෙන යන තැනැත්තියක් වුවත් අසරණව තම සරණ සොයා පැමිණෙන අහිංසක කාන්තාවගේ චරිතයට නිග්‍රහ කරමින් නිවසින් පිටමං කිරීමට පසුබට නොවන්නීය. ආගමික භක්තිය සහ සදාචාරය විසින් මානව දයාව සහ මානව ගරුත්වය පහළට හෙළා ඇති ආකාරය පුදුම සහගතය. කල්‍යාණී හිරගෙදරින් නිදහස්ව යාම ප්‍රතික්ෂේප කිරීම “බාහිර සමාජය තුළ තිබුණාට වැඩි නිදහසක් සහ රැකවරණයක් හිරගෙදරදී ඇයට භුක්ති විඳීමට ඉඩ ලැබීම” නිසා සිදුවන්නක් යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය.

නිකැලැල් චරිතයක් සහිත වීරයකු සහ වීරවරියක සහිතව නිර්මාණය වන සාමාන්‍ය හිංදි චිත්‍රපටයක සීමා අතික්‍රමණය කරන්නට “බංදිනි” සමත් වී ඇත. මෙහි ප්‍රධාන චරිතය වන “කල්‍යාණී” අපට පළමුවෙන්ම හඳුනා ගන්නට ලැබෙන්නේ සිරකාරියක ලෙස ය. එසේම ඇය මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ කාන්තාවක බවද චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රකාශ කරනු ලැබේ. පහසුවෙන් කළු චරිතයක් බවට පත් කරන්නට හැකියාව තිබූ එවැනි චරිතයක් දෙස අනුකම්පා සහගතව බැලීමත් ඇය එම තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සාධක ගැඹුරු ලෙස විග්‍රහ කිරීම තුළින් ප්‍රේක්ෂක චිත්ත සන්තානයන්හි ඇය කෙරෙහි කාරුණික හැඟීමක් ජනිත කිරීමත් මෙම චිත්‍රපටයේ විශේෂත්වයයි. සැබැවින්ම  කල්‍යාණී ජීවිත කාලය තුළ මුහුණදුන් අභියෝග දෙස බලන විට දරාගත නොහැකි පීඩනයක් හමුවේ කවර පුද්ගලයකු තුළ වුවත් සිටින අපරාධකරු එළියට පැමිණීම බලාපොරොත්තු විය හැකි දෙයකි. පවතින සමාජ ක්‍රමය ප්‍රතිශෝධනය විය යුතු බවට සිනමාකරු මේ නිර්මාණය තුළින් අපට ඉඟි කරයි. කෙසේ වුවත් සිරගෙදරකින් ආරම්භ වී මරණාසන්න ක්ෂයරෝගියකු වෙතින් අවසන් වන චිත්‍රපටයක් නිර්මාණය කිරීම හිංදි සිනමාව තුළ දැඩි අභියෝගයකි. එවැනි චිත්‍රපටයක් වසරේ වැඩිම ආදායම් ලබන චිත්‍රපට දහය අතරට එක් වීම වසරකට චිත්‍රපට සිය ගණනක් නිර්මාණය වන හිංදි සිනමාවේ  දුර්ලභ කාරණාවක් යැයි සිතමි.

“දෝ භිගා සමීන්” චිත්‍රපටය තුළින් ප්‍රංශ නවරැල්ල හිංදි සිනමාවට හඳුන්වා දෙමින් පීඩිත ජනතාවගේ දුක් වේදනාවන්ට සංවේදී වූ බිමල් රෝයි, එතෙක් හුදු විනෝදයක් ලෙස සැලකූ හිංදි සිනමාවට බරක් එක්කළ පළමුවැනි සිනමාකරුවා බව අවිවාදිතය. එසේම, ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය වැඩිම වතාවක් – එනම් හත් වතාවක් – දිනාගත් එකම සිනමාකරුවා වන්නේද ඔහුය. ෆිල්ම් ෆෙයාර් සම්මාන එකොළහක්, ජාතික සිනමා සම්මාන උලෙළේ සම්මාන දෙකක් සහ ප්‍රංශයේ කෑන්ස් සිනමා උලෙළේ සුවිශේෂී ත්‍යාගයක් හිමිකර ගනිමින් දෙස් විදෙස් අවධානයට පාත්‍ර වූ මේ විශිෂ්ට සිනමාකරුවාගේ මෙහෙවර සමකාලීන සිනමා විචාරකයන්ගේ ප්‍රමාණවත් අවධානයට ලක් නොවීම ඔහුගේ අවාසනාවට වඩා සිනමා රසිකයන්ගේ අවාසනාව යැයි සිතමි.

අධ්‍යක්ෂක බිමල් රෝයි, ඔහුගේ සියලු නිර්මාණයන්හි තම අනන්‍යතාව සළකුණු කරන පරිද්දෙන්ම, බංදිනියෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රවීණ සිනමා නිළි නූතාන් ද කල්‍යාණීගේ චරිතය මත තම සළකුණ තබන්නීය. චිත්‍රපටය ආරම්භයේ පටන්ම අපට දකින්නට ලැබෙන්නේ මේ ප්‍රතිභාපූර්ණ නිළිය මුළු මහත් චිත්‍රපටයම තම ග්‍රහණයට ගන්නා ආකාරයයි. අත්දැකීම් විරහිත ගැමි තරුණියකගේ සිට රෝහල් මෙහෙකාරියක බවට පත්ව, පසුව සිරකාරියක දක්වා විශාල පරාසයක විහිදුණු, එසේම දැඩි සමාජ අභියෝගයන්ට මුහුණ දෙන කල්‍යාණීගේ චරිතය නිරූපනය කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. එසේ වුවත්, අතිශය අසීරු අවස්ථාවන් පවා මැනැවින් ග්‍රහණයකොට ගැනීමට සමත් මේ ප්‍රතිභාපූර්ණ නිළිය තමන් නිරූපනය කරන චරිතය කිසිදු අවස්ථාවක සියතින් ගිලිහෙන්නට ඉඩ නොතබන්නීය. පියාගේ මරණය ආරංචි වන අවස්ථාවේ පටන් කල්‍යාණී සිරගත කෙරෙන අවස්ථාව දක්වා දර්ශන පෙළෙහි ඇය ඉදිරිපත් කරන්නේ භාරතීය සිනමා නිළියක විසින් කවර හෝ අවස්ථාවක නිරූපනය කෙරෙනු මා දුටු විශිෂ්ටතම භාව ප්‍රකාශනයයි. විකාස් ලෙස රඟන අශෝක් කුමාර් නම් ප්‍රවීණ රංගධරයාද තම චරිතය මනා සමබරතාවයෙන් යුතුව පවත්වාගෙන යතත් දොස්තර ආනන්ද් ලෙස රඟන ධර්මේන්ද්‍ර ඩියොල්ගේ රංගනය චිත්‍රපටයට එකතු කරන්නේ අඳුර පමණකි.

ප්‍රවීන සංගීත වේදී එස්. ඩී. බර්මන් විසින් නිර්මාණය කෙරුණු පසුබිම් සංගීතය බන්ධිනියෙහි මගේ සිත් බැඳගැනීමට සමත් වූ තවත් විශේෂ ලක්ෂණයකි. බෙංගාලි ජන සංගීතය සහ හින්දුස්ථානී රාගධාරී සංගීතය සුසංයෝගයෙන් මනහර වූ නාදාමාලා තුළට ලතා, මුකේෂ්, මන්නා ඩේ වැනි ප්‍රතිභාපූර්ණ ගායකයින්ගේ කටහඬ මුසුකෙරුණු සුන්දර පසුබිම් ගීත ගණනාවක් මෙහි එයි. නිර්මාණය කරනු ලැබ වසර පණහකට වඩා කාලයක් ගත වී ඇතත් මේ කිසිදු ගීයක් හින්දි ගීත රසිකයන්ගේ සිත් තුළින් තවමත් ඈත් වී නැත්තේ අද පවා වෙනසකින් තොරව රසවිඳිය හැකි ය. කල්‍යාණී නිවස හැර යන අවස්ථාවේ පසුබිමෙන් ඇසෙන, “ඕ ජානේවාලේ හෝ සකේ තූ…” යනාදි වශයෙන් මුකේෂ් විසින් ගායනා කෙරෙන ගීතය මගේ ප්‍රියතම ගීත අතර ඉදිරියෙන් පවතින්නකි. එසේම එස්. ඩී. බර්මන් සංගීතවේදියාණන්ගේ ගැඹුරු කටහඬින්ම ගැයෙන “ඔරෙ මාජී….” නම් ඔරුකරුවන්ගේ ගීතයද මම විශේෂයෙන් ප්‍රිය කරමි.

ඉංග්‍රීසි උපසිරැසියේ කාලරාමුවලට ගැලපෙන චිත්‍රපට පිටපතක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් බංදිනි චිත්‍රපටයේ, ගිගාබයිට් 1.39 ක් බරැති BANDINI 1963 නම් පිටපතට සහ මෙගාබයිට් 692 ක් බරැති Bandini 1963 ~ [email protected]  නම් පිටපතට වෙන වෙනම කාල රාමු සකස් කරමින් සිංහල උපසිරැසි නිර්මාණය කළෙමි. දර්ශනවල පැහැදිලිතාව සහ චිත්‍රපටයේ සම්පූර්ණ පිටපතක් වීම යන කරුණු පිළිබඳව සලකන විට ඉහත සඳහන් පළමු පිටපත නැරඹීමට වඩාත්ම සුදුසු බව මගේ අදහසයි. කෙසේ වුවත් බංදිනි චිත්‍රපටයේ යූ ටියුබ් පිටපතක් සොයාගැනීමට නැති වීම අඩුපාඩුවක් ලෙස දකිමි.

මගේ ප්‍රියතම චිත්‍රපට අතර ඉහළම ස්ථානයක පවතින්නක් වුවත් ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් සපයා ගැනීමට අපහසු වීම බංදිනි චිත්‍රපටයේ සිංහල උපසිරැසි ඔබ වෙත ලබා දීම ප්‍රමාද වීමට බලපෑ ප්‍රධානතම සාධකයයි. මා විසින් කරන ලද විවෘත ඉල්ලීමකට අනුව ඉදිරිපත් වූ “අසංක ප්‍රදීප් රණතුංග” නම් නොදුටු හිතවතා විසින් ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් සපයා දෙමින් මා වෙත දක්වන ලද කාරුණික අනුග්‍රහය නොවන්නට මෙම සිංහල උපසිරැසිය තව දුරටත් ප්‍රමාද වන්නට ඉඩ තිබිණි. එබැවින් “අසංක ප්‍රදීප් රණතුංග” නොදුටු හිතවතාට මාගේ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාව කරගනිමි. මගේ නිර්මාණ සඳහා ධෛර්යය ලබාදෙන සියලු සහෘද හිතවතුන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. මෙම විශිෂ්ට නිර්මාණය අපවෙත තිලිණ කළ බිමල් රෝයි නම් වංග සිනමාවේදියාණන්ටත් මගේ එකොළොස්වන නිර්මාණය වශයෙන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටත් ස්තූතිය පුද කරන අතරම විශිෂ්ට සිනමා නිර්මාණයක් රස විඳීමට මා සමග එක් වන මෙන් සහෘද ඔබ සැමට ආරාධනා කරමි.

Bandini (1963) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

BANDINI 1963 (1.39 GB)

Bandini 1963 ~ [email protected] (692 MB)

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

256 downloadsDownload Bandini-1963.Baiscopelk.com_.rar80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

256 downloadsDownload Subtitles80 KB

18 comments

  1. gv&mc

    munta pissu, baiskope eke godak inne nava parapure rasika pirisak. me vage parana naataka dammata kavuda ova balanne? boru vada nokara e kalay vatina nirmanayakata yodavanna.

    1. අසංක ප්‍රදීප් රණතුංග

      ඔය වටිනා නිර්මාණ මොනවද කියුව නම්. ....

      බයිස්කෝප් එකේ ගොඩක් ඉන්නේ නව පරපුරේ පිරිස් තමා සහෝ. ඒත් ඒ ගොඩ අයින් කරාම තව ටිකක් ඉන්නවා නේද, අන්න එයාලට තමා මේ වගේ චිත්‍රපට අරගෙන එන්නේ. එතකොට ඒ ටික දෙනා හිස් අතින් හැරිලා යන්නේ නැනේ. ඒක සාදාරනයි නේද සහෝ. මොකද බයිස්කෝප් අඩවියට ඇතුල්වෙන නව පරපුර වගේම අංකල් පරපුර (ඔයාගේ මිම්මට අනුව) උපසිරයක් අරන් පිට වෙන්න තියනවා නම් ඒක හොඳයි මම හිතන්නේ.

    2. Udara Damith B/K

      මොකාද මේ .
      බල්ලෙක් බිරුවට කදු පහත් වෙන්නේ නෑ.

    3. gv&mc

      අන්කල් ලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවද?
      මමනම් මුකුත් කියන්නේ නැ.

    4. Udara Damith B/K

      මේවා තමයි'
      වටින ෆිල්ම්.
      පරන ඒවත් එක්ක බලද්දී අලුත් ඒවා monada

  2. Kulanjana Maduranga

    niayamai…Nice job…really appreciate your works.thanks VAJIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. අසංක ප්‍රදීප් රණතුංග

    මාව මතක් කලාට ස්තුතියි සහෝ. ඒවගේම උපසිරසියටත් ස්තුතියි . බුදු සරණයි...

  4. යසිරු හසරංග

    නියමයි සහෝ. සබට ස්තූතියි වේවා.!
    ඔයාලා වගේ අයනිසා තමයි සයිට් එක තවතවත් ඉදිරියට යන්නේ. තවත් මේවගේ උපසිරැසි අරගෙන එන්න අවැසි ශක්තිය සහ කාලය ලැබේවා

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. සමන් ප්‍රසාද්

    ඔය එක එක ෆේක් නම් වලින් දාන කමෙන්ට් ගණන් ගන්න එපා සහෝ.
    තමන්ගෙ නමෙන් කියන දෙයක් කියන්න කොණ්ද පණ නෑ උන්ගෙ. ඒකයි.
    සබ් එකක් පරක්කු වුණත් බනිනවා, ලයින් එකක් අඩු වුණත් බනිනවා, පරණ ඒවා දුන්නත් බනිනවා, සබ් එක කරපු කෙනාගෙ නම දැම්මත් බණිනවා.
    ඕවා ගණන් ගන්න එපා සහෝ. හැම වෙලාවෙම මේක ලංකාව කියලා මතක තියාගන්න. එතකොට අවුලක් නෑ. ;)
    ඔය වගේ මොළේ කුරුවල් වෙච්ච ඩයල් ඕන තරම් ලංකාවෙ ඉන්නවා සහෝ.
    ඔයා කැමති ෆිල්ම් වලට ඔයා සබ් කරලා එවන්න.
    පරණ අළුත් කිසි ප්‍රශ්ණයක් නෑ.
    අපි ඒවා පළ කරන්නම්.
    බයිස්කෝප් එක තියෙන්නෙ 2000න් පස්සෙ ආපු ෆිල්ම් වලට විතරක් නෙවෙයිනෙ.
    සබට තුති සහෝ...!!!

  7. ප්‍රේමකුමාර

    බොහො ම ස්තූති උපසිරැසියට.

  8. withanage priyantha

    වජිර සොයුර,
    ඔබ මෙතෙක් ලබාදුන් උපසිරසි එකොළහම ඉතාම කලාත්මක, එසේම නැවත නැවතත් නැරඹිය හැකි, පැරණි සිනමාව තුළ රන් සලකුණු වැනි අගනා සිනමාපට. එවන් උපසිරසි පරිවර්තනය කරන්නත් අලුත් ඒවාට වඩා ඉතා අපහසුයි කියා මා සිතනවා. ඔබ මීට පෙර උපසිරසි කළ පැරණි ඒවා කීපයක් DVD ලෙස වෙළඳපොලේ තිබී මා මිල දී ගත්තා. මේ රටේ සියයට ගණනින් වැඩි ප්‍රමාණය ඉන්නේ වැඩිහිටි පරපුර එම නිසා ඔබේ උත්සාහය, වෙහෙස අපතේ යන්නේ නැහැ. මෙම සිනමාපටයත් මා මීට පෙර නැරඹු එකක් ඔබේ උපසිරසි සහිතව නැවත නරඹන්නට පුළුවන්. මේ කරන්නාවූ මෙහෙයට වැඩිහිටි පරපුර වෙනුවෙන් මාගේ උපහාරය! 1949 වර්ෂයේ තිරගත වූ Mahal හින්දි චිත්‍රපටයට උපසිරසි ලබාදෙනමෙන් මා යෝජනාකර සිටිනවා, ස්තුතියි!

  9. Wgk Chathuranga

    නියම ෆිලුමක් සහෝ!! දිගටම දෙමු. ස්තුතියි, ජයවේවා!!!

  10. Upun Nethupriya

    මේක සුපිරි.අයියේ premam movie එකේ theligu version එකට sab දෙනවද ????

  11. ප්‍රේමකුමාර

    වජිරරත්නායක සූරීන්ගේ මේ අගනා සම්ප්‍රදානයට තුති පුදමි. පුරාණ භාරතයේ විසූ මහාකවි කාලිදාසයන්ගේ අගනා ප්‍රකාශයක් මෙසේය: '' පුරාණමිත්‍යෙව න සාධු සර්වං - න චාපි කාව්‍යං නවමිත්‍යවද්‍යම්, සන්තඃ පරීක්ෂ්‍යන්‍යතරද් භජන්තෙ - මූඪඃ පරප්‍රත්‍යයනෙය බුද්ධිඃ" මෙය ඔහුගේ මාලවිකා නාට්‍යයේ එන ප්‍රකාශනයකි. මෙහි අරුත මෙසේය. "පරණ වූ තරමින් හැම කාව්‍යයක් ම හොඳ නැත. අලුත් නිසා වරද සහිත යැයි ද කිව නොහැකිය. බුද්ධිමතා මේ දෙකම පරීක්ෂා කොට බලා සුදුස්සක් ගනියි. අනුන්ගේ තීරණවලින් සතුටු වී නිශ්චයකට බැසගන්නා තැනැත්තා මෝඩයෙකි" බුද්ධිමතා නව-පැරණි භේදය නොසැලකිය යුතුය. රස නීරස භේදය ම සැලැකිය යුතුය. එහෙයින් මෙබඳු සිනමා නිර්මාණයන් අවප්‍රමාණ කොට කථා කරන කලා විහීන ගද්‍රභයන්ගේ වැහැප් ප්‍රකාශන අධෝවාතයක් තරම්වත් සැලකිල්ලට ගතයුතු නැත, වජිරරත්නායක සූරිනි

  12. දහරා මුතු අමා

    මේ ගැන ගොඩක් දේවල් අහල තිබුනත් බැලුවෙ නැති එකක්.
    මෙන්න ගන්නවා.

  13. nipun gunasekara

    sub eka niyamai ........ me oya 60 dashakaye ewa witharada karanne. 90 dashakaye ewa karannako ane pin oyata{{ Kabhi Haan Kabhi Naa - Shahrukh Khan
    Love - Hindi - Salman Khan
    chaina ghat 1998

    puluwannam sub denna oyata jayen jaya................

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.