Watch Trailer

Midnights Children (2012) with Sinhala Subtitles | රෑ මැදියමේ දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 1947 අගෝස්තු 14 වැනි දින මැදියම් රැයේ කණිසමට, එනම් භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් නිදහස්වන අනුස්මරණීය මොහොතේ භාරත මාතාව සමග දෛවයේ යදමින් බැඳුණු එක්දහස් එකක් වූ “මායා දරුවන්ගේ” උත්පත්තිය ද සිදුවෙයි. මේ දරුවන් අතර බලවත් ම දරුවා වෙමින් “සලීම් සිනායි” උත්පත්තිය ලබන්නේ පරම්පරාගතව සිනායි ප…

වර්ෂ 1947 අගෝස්තු 14 වැනි දින මැදියම් රැයේ කණිසමට, එනම් භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් නිදහස්වන අනුස්මරණීය මොහොතේ භාරත මාතාව සමග දෛවයේ යදමින් බැඳුණු එක්දහස් එකක් වූ “මායා දරුවන්ගේ” උත්පත්තිය ද සිදුවෙයි. මේ දරුවන් අතර බලවත් ම දරුවා වෙමින් “සලීම් සිනායි” උත්පත්තිය ලබන්නේ පරම්පරාගතව සිනායි පවුලට උරුම නාසයට හිමිකම් නො කියමිනි. එහෙත්, එම පරම්පරාගත නාසයට හිමිකම් කියන දරුවා ඔහු අසලින් ම ගැවසෙමින් ඔහු හා අනෙකුත් මායා දරුවන් වෙත එරිදිවාදිකම් පළ කරන්නේ අවසානයේ, තම සහෝදරයින් භාරතයේ සතුරන් වෙත පාවා දෙයි.

මේ මායා දරුවන් වනාහි භාරතයේ නිදහස පතා ජන නායකයින් විසින් ඇගේ දූ පුතුන් වෙත දුන් පොරොන්දුවල ජීවමාන ස්වරූපයයි. මේවාට පටහැනිව යමින් බලකාමය සහ ආගම්වාදය විසින් භාරතය කැබලිවලට විභේදනය කරත්දී මායා දරුවන්ට සිදු වන්නේ ගොළුවතින් සහ අවිඥානිකව බලා සිටින්නට ය. වරක් භාරත මාතාව ලෙසින් තමන්ව ම හඳුන්වා ගන්නා එක්තරා නායිකාවක් පිය උරුමයෙන් දේශපාලනයට පිවිස ඉන්දියාවේ බලයට පත්වෙයි. එක්වරම උදා වී මුළු මහත් දේශය ම වසාගන්නා අඛණ්ඩ ගණඳුරු මැදියමකට මුවා වී බොහෝ දෑ සිදුවෙයි. භාරතයේ නිදහස පතා දුන් පොරොන්දු වන්ධ්‍යභාවයට පත් කෙරේ. වසර හතරකට පසුව ගණඳුර ඉවත්ව යමින් නිදහසේ හිරුකිරණ තම සිරකුටියට පතිත වන මොහොතේ සලීම් සිනායි වටහා ගන්නා එක් යථාර්ථයක් වේ. එනම්, යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තවමත් සම්පූර්ණයෙන් ම බිඳී ගොස් නැති බවයි. යස ඉසුරින් ආඪ්‍ය ළමා වියක් ගත කළ පොරොන්දු දරුවා දැන් දුප්පතෙකි. එහෙත් තවමත් ඔහු ජීවත්ව සිටින්නේ ය. එසේ ම, බලාපොරොත්තු තුළින් තවත් බලාපොරොත්තු උපදින්නේ ය.

දීපා මෙහ්තාගේ “මිඩ්නයිට් චිල්රන්” චිත්‍රපටය බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු හවුල් නිෂ්පාදනයක් වශයෙන් නිර්මාණය වන්නකි. මේ සඳහා ඇය පාදක කර ගන්නේ සල්මාන් රුෂ්ඩි නම් ලේඛකයා විසින් 1981 වර්ෂයේ ප්‍රකාශයට පත් කෙරුණු මායා යථාර්ථවාදී ආකෘතියකින් යුතු “මිඩ්නයිට් චිල්රන්” නම් “බුකර් සාහිත්‍ය සම්මාන ලාභී” දේශපාලන නවකතාවයි. භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමට වසර තිහකට එහා අතීතයෙන් ආරම්භ වන මෙහි කතාන්ථරය කතාව හැත්තෑව දශකය අග භාගය දක්වා ම විකාශය වන්නකි. බ්‍රිතාන්‍ය පාලන යුගය, භාරතය නිදහස ලැබීම, පකිස්ථානය සහ බංගලිදේශය බෙදී වෙන්වීම ආදී භාරත ඉතිහාසයේ වැදගත් සිදුවීම් නිර්මාණකරුවාගේ දෘෂ්ටියෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කෙරී ඇත.

ඉන්දිරා ගාන්ධි මහත්මියගේ පාලන කාලයේ සිදු කෙරුණු මහා මානව හිමිකම් සංහාරය පිළිබඳ දර්ශන පේලිය මිඩ්නයිට් චිල්රන් චිත්‍රපටයේ කූට ප්‍රාප්තිය වශයෙන් හඳුන්වා දිය හැකි ය. හදිසි නීතියට මුවා වී ඇය විසින් සිදුකෙරුණු මේ ක්‍රියාවලිය නිරූපනය කිරීම සඳහා පොරොන්දු දරුවන් යොදාගැනීමෙන් උක්ත සිදුවීම් සම්භාරය භාරතයේ නිදහස පතා ජන නායකයින් විසින් දෙන ලද පොරොන්දු බිද දැමීමක් වශයෙන් අර්ථ දැක්වීමට නිර්මාණකරු සමත් වී ඇත. එසේ වුවත්, උක්ත ක්‍රියාදාමය කරා අගමැතිනිය යොමු කිරීමට හේතු සාධක වූ කාරණා ඒ තුළින් ප්‍රමාණවත් පරිදි විග්‍රහ වී නැති බව පැවසිය යුතු ය. අන්තර්ගතයට වඩා ආකෘතියට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීම නිසා ප්‍රේක්ෂකයන් දකින්නේ පොරොන්දු දරුවන් සිරගත කොට වධ හිංසා කරනු ලබන සහ ඔවුන් වන්ධ්‍යභාවයට පත් කෙරෙන  දර්ශන පේළියක් පමණි.

මිඩ්නයිට් චිල්රන් වූ කලී අති විශාල නළු නිළි සංඛ්‍යාවක් යොදා තැනුණු චිත්‍රපටයකි. මේ සා විශාල නළු නිළි කැළක් එකම නිර්මාණයක් තුළදී හැසිරවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවූවත්  දීපා මෙහ්තා නම් පළපුරුදු අධ්‍යක්ෂවරිය මේ අභියෝගය ජය ගැනීමට සමත් ව සිටින්නී ය. සත්‍ය බාබා, ශබානා අස්මි, සීමා බිස්වාස් වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන නළු නිළියන් පමණක් නොව, තත්පර ගණනාවකින් පෙනී නොපෙනී යන චරිත සඳහා තෝරාගෙන සිටින නළු නිළියන් ද තම කාර්යය මනා ලෙස ඉටු කරන පරිදි මෙහෙය වීමට ඇය සමත්ව සිටින්නී ය. එසේ ම සංගීතය, සංස්කරණය වැනි අනෙකුත් සියලු අංග ද විශිෂ්ට ය. නවකතාවේ රචකයා වන සල්මාන් රුෂ්ඩි විසින් ම තිර රචනය නිර්මාණය කර ඇති අතර චිත්‍රපටයේ පසුබිම් කථනය ද ඔහු විසින් ම සිදු කර ඇත.

දීපා මෙහ්තාගේ “වෝටර් (2005)” මෙන් ම “මිඩ්නයිට් චිල්රන්” චිත්‍රපටය ද සම්පූර්ණයෙන් ම පාහේ රූ ගත කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවේදී ය. චිත්‍රපටය ඉන්දියාව, පකිස්ථානය සහ බංගලිදේශය යන රටවල් පදනම් කොටගෙන නිර්මාණය වූවක් වුවත්, හින්දුන්ගේ විරෝධතා හේතුවෙන් ඉන්දියාවේ ද, මුස්ලිම්වරුන්ගේ විරෝධතා හේතුවෙන් පකිස්ථානයේ හෝ බංගලිදේශයේ ද රූගත කිරීම් සිදු කිරීමට ඇයට නොහැකි වී ඇති බව පැවසේ. එසේ ම, රජයේ අවසර ඇතිව ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදුවෙන අතරතුර ඉරාන රජයේ විරෝධතාවක් හේතුවෙන් එම රූගත කිරීම් ද තාවකාලිකව නවතාලන්නට ඇයට සිදු වී ඇත. අප රටේ රූගත කරන ලද්දක් බැවින් සිංහල සිනමා නළු නිළියන් ද මෙයට දායක වී ඇති අයුරු චිත්‍රපටය නරඹන විට ඔබට දැක ගත හැකි වනු ඇත.

“මිඩ්නයිට් චිල්රන්” චිත්‍රපටයේ උපසිරැසිය මම එහි පිටපත් දෙකක් සඳහා නිර්මාණය කළෙමි. එකක් නම් Midnight’s Children (2012) DVDRip XviD ENG-ITA – I Figli Della M යන නමින් යුතුව අන්තර්ජාලයේ සොයාගත හැකි දිගින් “පැය 2 මිනිත්තු 20 තත්පර 35”ක් සහ බරින් 1.87 GB වන පිටපතයි. අනෙක් පිටපත Midnights Children (2012) 720p BRrip_nItRo_sujaidr යන නමින් සහ 847.5 MB බරින් යුතු දිගින් “පැය 2 මිනිත්තු 25 තත්පර 34”ක් වූවකි. මේ දෙකම යූ ටියුබ් පිටපත් නොවන අතර හොඳ තත්ත්වයෙන් පවතින බව පැවසිය යුතු ය. එසේ වුවත්,  වෙනත් හොඳ පිටපත් හමු වූ වහාම උපසිරැසි යාවත්කාලීන කිරීම සඳහා සූදානමින් සිටින බැවින් “[email protected]” යන ඊමේල් ලිපිනය ඔස්සේ මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

මගේ උපසිරැසි නිර්මාණ සඳහා ධෛර්ය ලබා දෙන, සියලු ම සහෘද හිතවතුන් වෙත මගේ දහ අට වැනි උපසිරැසි නිර්මාණය මෙලෙසින් පිළිගන්වන අතර ඒ සඳහා අවස්ථාව දුන් www.baiscope.lk වෙබ් අඩවියට ද මාගේ ස්තූතිය පුද කරමි. විශිෂ්ට, එමෙන් ම ආන්දෝලනාත්මක තේමාවකින් යුතු සිනමා නිර්මාණයක් රස විඳීමට මා සමග එකතු වන ලෙස ආරාධනා කරමින් ඔබෙන් සමුගනිමි.

 

NEW

Midnight's Children (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Midnights Children (2012) 720p BRrip_nItRo_sujaidr
Midnight’s Children (2012) DVDRip XviD ENG-ITA – I Figli Della M

ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

326 downloadsDownload Midnights-Children-2012.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/VajiraRathnayaka2-e1479670159444.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

326 downloadsDownload Subtitles96 KB

14 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    හැකිනම් Mela (1948) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
    ජය වේවා!
    බුදු සරණයි!

  3. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට....
    බුදුසරණයි..ජය වේවා..

  4. chalana

    thnx bro...

  5. Withanage Priyantha Dayakeerthi

    වජිර රත්නායක සොයුර,
    මෙවන් වටිනා සිනමාපටයක් සඳහා සිංහල උපසිරසියක් නිර්මාණය කිරීමට ඔබ ඉදිරිපත් වීම ගැන මුලින්ම මාගේ ස්තුතිය ඔබට පිරිනමන්නෙමි. එමෙන්ම ඔබ මීට පෙර ඉදිරිපත් කළ සිංහල උපසිරසි සහිත සිනමාපට බොහොමයක්ද මා නරඹා ඇත්තෙමි. උපසිරසි ලබාදෙන සියගණනක් අතර ඔබ වැන්නෙක් ඇත්තේ වජිර ඔබම පමණකි. බොහෝ විට උපසිරසි කරුවෙක් සිංහල උපසිරසි සකස් කරන්නේ තමා කැමති සිනමාපට සඳහායි. ඉතින් ඔබේ රුචිකත්වය හා සමානව මෙම වෙබ් එකේ ෆිල්ම් එකක් සොයා සැරිසරන අප වෙනුවෙන් මේ කරනා මෙහෙයට අපේ ප්‍රණාමය මෙසේ පුද කරන්නෙමු! එමෙන්ම ඔබේ ඊළඟ සිංහල උපසිරැසිය එනතුරු බලාපොරොත්තු සහගතවද බලා සිටින්නෙමු. ස්තුතියි!!!

  6. ප්‍රේමකුමාර

    තවත් අගනා සිනමා කෘතියක රුවගුණ විඳගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන සාරගවේෂී සහෘදයන්ට අවස්ථාව උදාවී ඇත. මේ සිනමා කෘතිය රසවිඳීමට තිබූ භාෂාව නමැති කඩතුරාව ඉවත් කොට දුන් වජිර රත්නායක ධීමතුන්ට බොහොම පින් !

  7. නිරෝෂ්

    ස්තුතියි වජිර සහෝ.ජයවේවා !

  8. අසිත

    elama thanks

  9. මොහොට්ටි

    ඔබගේ ඉදිරිපත් කිරීමට ගොඩාක්ම ස්තුතියි.ඔබට පුළුවන් කමක් තියෙනවානම් අගනා නිර්මාණයක් වන The wind that shakes the barley සිනමාපටයකට සිංහල උපසිරැසි දෙන්න

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho....sub ekata..digatama sub demu.jaya wewa…

  12. nidi

    වජිර බයිස්කෝප් සයිට් එකට වජ්රයක්!
    තව ලස්සන හරවත් නිර්මාණ රැසකට සබ්ස් දෙන්නට ඔබට වරම් ලැබේවා!
    ස්තුතියි!

  13. Nayanthanisal

    thankz bro

  14. Supun shanika

    ජයවේවා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.