Coolie (2025) Sinhala Subtitles ඔය රගපෑවා ඇති රජිණි, පහුගිය චිත්‍රපටි දෙක තුනම හරියට දිව්වෙ නැහැ. දැන් විශ්‍රාම අරගෙන නහින දෙහින කාලේ ගෙදරට වෙලා ඉන්න. වටේටම මේ වගේ සෘණාත්මක අදහස් වලින් පිරෙද්දි ඇවිලෙන ගින්නට පිදුරු දාන්න වගේ නෙල්සන්ගේ Beast චිත්‍රපටය ප්‍රේක්ෂකයින් කළකිරීමට පත් කිරීම නිසා නෙල්සන්ට න…
Coolie (2025) Sinhala Subtitles
ඔය රගපෑවා ඇති රජිණි, පහුගිය චිත්‍රපටි දෙක තුනම හරියට දිව්වෙ නැහැ. දැන් විශ්‍රාම අරගෙන නහින දෙහින කාලේ ගෙදරට වෙලා ඉන්න. වටේටම මේ වගේ සෘණාත්මක අදහස් වලින් පිරෙද්දි ඇවිලෙන ගින්නට පිදුරු දාන්න වගේ නෙල්සන්ගේ Beast චිත්‍රපටය ප්‍රේක්ෂකයින් කළකිරීමට පත් කිරීම නිසා නෙල්සන්ට නොනවත්වා පහර පිට පහර වදින්න ගන්නවා. ‘නෙල්සන්ගේ චිත්‍රපටිය අතහැරලා දාන්න, රජිණි’ කියලා හිතවතුන් රජිණිගෙන් පෞද්ගලික ඉල්ලීම් පවා කරනවා. ඒත් නෙල්සන් මත දැඩි විශ්වාසයක් තබා 0 ඉඳන් නැවුම් ගමනකට පා තබනවා. අවසානයේදී දෙමළ සිනමාවේ දෙවැනි ඉහළතම ආදායම් ඉපයූ චිත්‍රපටය ලෙසින් තවත් නොයෙකුත් ආදායම් වාර්ථා බිහි කරමින් මේ රජිණි තවමත් සිංහාසනයේ නොසැලී ඉන්නවා කියලා ප්‍රේක්ෂකයින්ට සනාථ කර දුන්නා.
වර්ථමාන ඉන්දීය සිනමාවේ නම ගිය ඉහළ ඉල්ලුමක් ඇති අධ්‍යක්ෂකවරයෙක් ලෙස ලෝකේෂ් නමක් හිමි කරගෙන සිටිනවා. ඔහුගේ චිත්‍රපට ලැයිස්තුවේ ආදායම් වශයෙන් එකදු චිත්‍රපටයක් හෝ අසාර්ථකත්වයට පත් වී නැහැ. එම නිසාම ඔහුව දෙමළ සිනමාවේ රාජමෞලි ලෙසින්ද හඳුන්වනවා. චිත්‍රපට නිර්මාණ ශෛලියත්, වෙනස්ම ලෙස කතන්දර ඉදිරිපත් කිරීමේ හැකියාවත් ඔහුටම සුවිශේෂී වූ ලක්ෂණ වනවා. ඔහුගේ ශෛලිය අනුව කළ නිර්මාණයන් නිරන්තරයෙන් යථාර්ථවාදීව ඉදිරිපත් කරනවා. Marvel Cinematic Universe ආභාෂයට ගනිමින් ඉන්දියාවේදී සිනමා විශ්වය යන සංකල්පය මුලින්ම ස්ථාපනය කරන ලද්දේ ඔහු විසින්. ලෝකේෂ්ට ඩිජිටල් යුගයේ නැත්නම් Gen Z පරම්පරාවේ නාඩි හඳුනන අධ්‍යක්ෂකවරයෙකු ලෙස විශාල අනුගාමීකත්වයක් තිබෙනවා. කූලි චිත්‍රපටයෙන්ම උදාහරණයක් විදියට “රැවටුණා කියලා හිතන්න එපා, බේරුණා කියලා හිතාගන්න” දෙබස මතක් කරන ගමන් ලෝකේෂ්ගේ සිනමාගමනය පැත්තට යමු.
ලෝකේෂ් ඔහුගේ මිතුරෙකු වන සන්දීප් කිෂන් සමඟ ව්‍යාපෘතියක් ආරම්භ කළා. පලමුව සන්දීප් මේ චිත්‍රපටය ඔහු විසින්ම නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටියත්, පසුව වෙනත් කටයුතු නිසා කාර්යබහුල වුණා. මේ අතරතුර ලෝකේෂ් කාර්තික් සුබ්බරාජ් නිෂ්පාදනය කළ Aviyal (2016) නම් චිත්‍රපට සංග්‍රහ ව්‍යාපෘතියේ(Anthology) අධ්‍යක්ෂකවරයෙක් ලෙස Kalam කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඉන් පසුව Dark Humor, Thriller චිත්‍රපටයක් ලෙසින් ලෝකේෂ් නැවතත් තම කුළුඳුල් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අරඹනවා. සන්දීප් කිෂන්, ශ්‍රී, රෙජිනා කැසෙන්ඩ්‍රා, චාර්ලි, මුනිෂ්කාන්ත් ආදී නළු නිළියන් සම්බන්ධ කරගනිමින් මෙය Hyper-Link චිත්‍රපටයක් ලෙසින් තනනවා. සරලවම කිව්වොත් හයිපර්ලින්ක් චිත්‍රපටයක් කියන්නේ එකිනෙකට වෙනස් කොටස් ගොඩක් එකතු කරලා හදපු ලොකු කතාවක් වගේ. මේ චිත්‍රපටවල අවසානය වෙනකොට මේ හැම කතාවක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහ දැකගන්න පුළුවන්. මෙය පැය 48ක් පුරා සිදු වන කතාවක්. Maanagaram (2017) නිකුත් කිරීමෙන් අනතුරුව යහපත් ප්‍රතිචාර හිමි වෙනවා වගේම බොක්ස් ඔෆිස් වශයෙන් සාර්ථකත්වයක් ලබා ගත්තා. රජිණි සහ සූරියාද මානගරම් අගය කිරීමට ලක් කළා.
මානගරම් චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව එහි නිෂ්පාදකවරුන් වෙනුවෙන් තවත් චිත්‍රපටයක් කිරීමට එකඟතාවයක් ඇති කරගත්තා. මේ අතර වාරයේ වෙනත් නිෂ්පාදන ආයතන වලින් ඔහුට ලැබුණු ඇරයුම් ප්‍රතික්ෂේප කළා. වසර ගණනක් ඔහු පිටපත් දෙකක් මත වැඩ කළ නමුත් පුළුල් පර්යේෂණය සහ නළු නිළි තේරීම් ක්‍රියාවලිය සම්බන්ධ ගැටළු නිසා ඔහු ඒ කටයුතු අත්හැරියා. පසුව ඔහුට හිටපු සිරකරුවෙකුගේ ජීවිතය පිළිබඳ ලිපියක් හමු වී එය ඔහුගේ ආකර්ෂණයට ලක් වී තිබෙනවා. ඒ අනුව ඔහු මන්සූර් අලි ඛාන් ප්‍රධාන චරිතය ලෙස හිතේ තබාගෙන පිටපතක් රචනා කිරීමට ගන්නවා. එහි මන්සූර්ට උචිත හාස්‍යජනක ස්වරූපයක් සහිතව රචනා කර තිබුණා. මෙහි අවසන් පිටපත පිටු 45ක් වීම නිසා නිෂ්පාදක ප්‍රභූ මවිත වී තිබෙනවා. නිෂ්පාදකවරුන් කාර්තිට මෙහි ප්‍රධාන චරිතය රඟපෑමට ආරාධනා කරනවා. පිටපතේ තිබුණ ආකාරයෙන්ම ප්‍රධාන චරිතය රඟ පෑමට කාර්ති එකඟ වුණත් ලෝකේෂ් නැවතත් දින 20ක් තුල එය කාර්තිට උචිත ලෙසින් ප්‍රධාන චරිතයේ පමණක් වෙනස්කම් කරනවා. කාර්තිගේ පැමිණීම සමඟම චිත්‍රපටයේ පිරිවැය ද වැඩි කිරීමට සිදු වෙනවා. කෛදි චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් දින 36-45කින් පමණ අවසන් කෙරුණා. මෙම චිත්‍රපටයේ බොහෝ දර්ශන රූගත කර තිබෙන්නේ රාත්‍රී කාලයේදීයි. ඒ වගේම මෙහි ඇතුලත් වන්නේ එක් රැයක් තුල සිදු වන සිදුවීම් දාමයක්. මෙය ගීත රහිත චිත්‍රපටයක් වන අතර සංගීතය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සෑම් සී.එස්. විසින්. තිරගත කිරීමෙන් ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයා ගත්තා වගේම මේ සමඟම තිරගත වූ විජේගේ Bigil (2019) චිත්‍රපටය පසෙකට කරමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉහළ ප්‍රතිචාර සමඟ ජයග්‍රාහි ලෙසින් තිරගත වුණා. මෙහි ප්‍රධාන නිළි චරිතයක් හෝ කිසිදු ගීතයක් ඇතුලත් නොවීම සුවිශේෂීයි. දිල්ලි විසින් ගයන ස්වතෝත්‍රයක් නම් විටින් විට අසන්නට ලැබෙනවා. දිල්ලිගෙන් පසු මෙහි අන්බු දාස් චරිතය ඉදිරිපත් කළ අද්විතීය කටහඬක් හිමි අර්ජුන් දාස් සහ කොස්තාපල් නැපෝලියන් යන චරිත වඩාත් ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කර ගත්තා. මේ නාරායන් රඟන බිජෝයි චරිතය නාරායන් රඟපෑ Anjathe (2008) චිත්‍රපටයේ චරිතයෙන් ආභාෂයට ගෙන රචනා කර තිබෙනවා. සිනමා විශ්වයට ඉඟියක් ලබා දෙමින් මෙහිදී කමාන්ඩර් අරුන් කුමාර් වික්‍රම් නොහොත් කර්ණන් ගැන සඳහන් කර තිබෙනවා.
කෛදි අති මහත් සාර්ථකත්වයෙන් පසු ලෝකේෂ් නැවත කරලියට ආවේ Master (2021) චිත්‍රපටයෙන්. මාස් මසාලා නළුවෙකු වූ විජේගේ මීළඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා නවක අධ්‍යක්ෂකවරයෙක් වගේම ඔහුටම විශේෂ ෂානරයක් තිබීම නිසා ලෝකේෂ් විජේව අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද යන්න ගැටලුවක් වුණා. විජේ ලෝකේෂ්ගේ ශෛලිය යටතේ රඟපෑමට එකඟ වුණත් එය ඔහුගේ රසිකයින් අතර ඇති Stardom එකට බලපෑමක් ඇති වෙනවා. එහිදී මෙහි 50%ක් ලෝකේෂ්ගේ චිත්‍රපටයක් ලෙසත් ඉතිරි 50% රසිකයින් වෙනුවෙන් විජේගේ සුපුරුදු වාණිජ සිනමා ආකාරයෙන් නිර්මාණය කරන බව සඳහන් කළා. කොහොම වුණත් මාස්ටර් චිත්‍රපටයට අනිරුද් සංකලනය වීමත් සමඟ මේ ව්‍යාපෘතියේ අගය ඉහළ ගියා. දුෂ්ඨ චරිතය වෙනුවෙන් විජේ සේදුපතිව සම්බන්ධ කර ගැනීම තවත් බලාපොරොත්තු ඇති කිරීමට හේතුවක් වුණා. මෙහි මලයාලම් නළු ඇන්තනි වර්ගීස් විසින් දාස් චරිතය රඟපෑමට නියමිතව තිබුණත් ඔහු මින් ඉවත්ව යාමත් සමඟ අර්ජුන් දාස්ව එම චරිතයට එක් කරගන්නවා. විජේට ලබා දුන් ස්වරූපය(ගෙටප් එක) මෙන්ම චරිත ලක්ෂණයන් ද Nammavar (1994) චිත්‍රපටයේ කමල් හාසන්ගේ චරිතයට සමාන කමක් දක්වනවා. මාස්ටර් කොරෝනා උත්සන්නව තිබූ අවධියක දැඩි නීරෝධායන නීති රීති වලට යටත්ව තිරගත කරනු ලැබුවා. සමස්තයක් වශයෙන් මාස්ටර් චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙද්දී, විජේගේ කලාත්මක රංගනය (සුපුරුදු මාස් මසාලා නොවන රංගනය) සහ විජේ සේදුපතිගේ භවානි චරිත නිරූපණය ප්‍රේක්ෂක, විචාරක සැවොම ඉතාමත් ඉහළින් ප්‍රශංසා කළා. නිකුත් වීමට පෙර පෝස්ටර ආදියෙන් ලබා දුන් අතිශයෝක්තිය නිසාවෙන් බලාපොරොත්තු සුන් වූ රසිකයින් මෙයට විවේචන එල්ල කළා. තවද පමණ ඉක්මවූ ප්‍රචාරණය නිසාවෙන් සෘණාත්මක වශයෙන් බොහෝ දෑ විවේචනයන්ට ලක් වුණා. මාලවිකා මෝහනන්ගේ චරිතයේ ධාවන කාලය සීමිත වීම, කෘතීම ලෙස සැකසූ සටන් ජවනිකා යනාදිය මීට නිදසුන් විදියට දක්වන්න පුළුවන්. මේ චිත්‍රපටයේ ගීත ඇල්බමයේ සියලුම ගීත පට්ටා ගැහුවා කියන එකයි ඇත්තම කතාව. “Vaathi Coming”, “Kutty Story”, “Andha Kanna”, “Vaathi Raid” මේ ගීතයන් ඔබ හැමෝගේම සවනට වැටිලා තියෙන බව නොඅනුමානයි. ඔය විදියටයි ලෝකේෂ් අනිරුද් සමඟ ප්‍රථම වරට සංකලනය වෙන්නේ. කොහොම වුණත් මාස්ටර් තිරගත කර දින 16කදී Amazon Prime ඔස්සේ විකාශනය කර හරිනවා. ඉ.රු. කෝටි 135ක් පමණ වැය කර නිපදවා ඉ.රු. කෝටි 220ක් පමණ ආදයම් ලෙස උපයා ගන්නවා. චිත්‍රපටයේ අවසානයේදී JD සිරගත වීමෙන් පසුව එම බන්ධනාගාරයේ ලෝකේෂ් ද යම් චරිතයක් ලෙසින් පෙනී සිටිනවා දැකගත හැකියි.
කමල් හාසන් සමඟ විජේ සේදුපති, ෆහද් ෆාසිල් ලෝකේෂ් කණගරාජ්ගේ අධ්‍යක්ෂණයේ! මේ සංකලනය ගැන ඒ දවස්වල අහද්දිත් ඇඟේ මයිල් කෙලින් වෙනවා. මූලික අවස්ථාවේදී වික්‍රම්, කෛදි හා සම්බන්ධ කිරීමට අදහසක් නොතිබුණ බව ලෝකේෂ් පැවසුවා. 2019දී පමණ කමල් තම නිෂ්පාදන ආයතන වන Raj Kamal Films International වෙත චිත්‍රපටයක් කරන ලෙස ලෝකේෂ්ට ඇරයුමක් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් 2019 දී Thalaivar 169 නාමික ව්‍යාපෘතිය ඇරඹුවා. 2020 මාර්තු මස රූගත කිරීම් ඇරඹීමටද සූදානමින් තිබුණා. ඒත් කොරෝනා ව්‍යසනය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අඩාල වුණා. ඉන් පසු කමල්, ලෝකේෂ් සමඟින් වෙනත් ව්‍යාපෘතියක් ආරම්භ කළේ ඔහු එහි ප්‍රධාන චරිතය රඟ දක්වන බව ප්‍රකාෂ කරමින්. 2020 සැප්තැම්බර් මස Kamal 232 ලෙසින් මෙම ව්‍යාපෘතිය නාමිකව නිවේදනය කළා. මීට Evanendru Ninaithaai යන Vishwaroopam (2013) චිත්‍රපටයේ කමල්ගේ දෙබසින් නම් කළ බව සඳහන්. මෙවරත් සංගීතය සඳහා අනිරුද් දෙවන වතාවට ලෝකේෂ් සමඟින් එක් වෙනවා. ප්‍රභූ දේවා මෙහි චරිතයක් වෙනුවෙන් ඇරයුමක් ලබා තිබුණත් ඔහුගේ වෙනත් රූගත කිරීම් කටයුතු සමඟ පරස්පර වීම නිසා මෙයින් ඉවත්ව යනවා. ඒ අනුව ඔහුගේ චරිතය වෙනුවෙන් ෆහද් ෆාසිල් ව්‍යාපෘතියට ඇතුල් වෙනවා. ඒ වගේම සන්දනම්ගේ චරිතය වෙනුවෙන් පළමුව ඇරයුම් කළේ රාඝවා ලෝරන්ස්වයි. සන්දනම් චරිතයේ කෲරත්වය ඔහු කෙරේ කුඩා දරුවන් සහ ඇතුළු සියළු වයස්වල රසිකයින්ට(ෆැමිලි ඕඩියන්ස්) අයහපත් ආදර්ශ ලබා දීමට අකමැත්තෙන් එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒ අනුව විජේ සේදුපතිට සන්දනම් සඳහා මග පෑදුණා. ලෝකේෂ් Vikram (1986) චිත්‍රපටය Spiritual Sequel එක ලෙස සම්බන්ධ කර Kaithi චිත්‍රපටයට Sequel ලෙසින් සිනමා විශ්වයක් මේ සමඟම බිහි කළා. මානගරම් චිත්‍රපටයෙන් පසුව ඔහුට මෙවන් සිනමා විශ්වයක් නිමවීමට අදහසක් ඇති වී තිබෙනවා. කෛදි චිත්‍රපටයට නොයෙක් අත්හදා බැලීම් කර එකිනෙකට සම්බන්ධ වූ කතා තේමාවන් කිහිපයක්ම ඇතුලත් කරනවා. මේ සංකල්පය තව දුරටත් පුළුල් කර කෛදි චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය වූ ඩ්‍රීම් වොරියර් පික්චර්ස් ආයතනයේ අවසර ලබාගෙන රාජ් කමල් ඉන්ටර්නැෂනල් සමඟ එක්ව විශ්වයක් ස්ථාපිත කරනවා. ඒ වගේම මේ විශ්වය යටතේ තවත් චිත්‍රපට නිර්මාණය කිරීමට ඔහු තීරණය කරනවා. මෙහි රූගත කිරීම් ඉතාමත් රහසිගතව කෙරෙමින් තිබුණත් විශේෂ පෙනී සිටීමකට සහභාගී වූ සූරියාගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට කාන්දු වීමත් එක්කම සූරියාගේ පෙර නොදුටු දුෂ්ඨ ස්වරූපයෙන් මුසපත් වූ අන්තර්ජාල පරිශීලකයින්ගේ මෙම චිත්‍රපටයට තිබූ බලාපොරොත්තු නොසිතූ ආකාරයෙන් ඉහළ නැගුණා. සූරියාගේ එම පෙනී සිටීම සිනමා ශාලා වෙත පැමිණෙන ප්‍රේක්ෂකයින් මවිත කරවීමට බලාපොරොත්තුවෙන් නිෂ්පාදක මඩුල්ල අදිටන් කරගෙන සිටියත් මේ කාන්දු කිරීම නිසාවෙන් නිකුත් කිරීමට පෙරදීම නිළ වශයෙන් සූරියාගේ පෙනී සිටීම නිවේදනය කිරීමට සිදු වුණා. සූරියා ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමක් කර නැහැ. කාර්ති ද මෙහි විශේෂ පෙනී සිටීමක් වෙනුවෙන් එක් කරගැනීමට අදහසක් තිබුණත් ඒ වන විට ඔහු Ponniyin Selvan චිත්‍රපට රූගත කිරීම් සඳහා විදේශගතව සිටියා. කමල් එක් අවස්ථාවක ඔහුගේ කකුලට සැත්කමක් කර කම්බියක් දැමූ බව ලෝකේෂ්ට කියනවා. ලෝකේෂ්ට මෙයින් අදහසක් පහළ වී කවට ලෙස කකුල කපන චරිතයක් සංවර්ධනය කර ගන්නවා. ජාෆර් සාදික් කැමැත්තෙන්ම මේ චරිතය සඳහා ඉදිරිපත් වුණා. හරියටම චිත්‍රපටය නිකුත් කිරීමට පෙර දින ලෝකේෂ් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වික්‍රම් නැරඹීමට පැමිණීමට පෙර තමන්ගේ කෛදි සිනමාපටය නරඹා පැමිණෙන ලෙස ඉල්ලීමක් කරනවා. ඒ ආකාරයෙන් වික්‍රම් මඟින් ඉන්දීය සිනමාවේ ප්‍රථම සිනමා විශ්වය බිහි කළා වගේම දැඩි රසිකයෙක් ලෙස වසර ගණනක සාර්ථකත්වයේ පිපාසයෙන් සිටි කමල් හාසන්ට අති මහත් ජයග්‍රහණයක් අත් කර කීර්තිය, ගෞරවය නැවත හිමිකර දුන්නා. ඉතින් වික්‍රම් නිකුත් වීමෙන් අනතුරුව ඉස්කෝලේ යන පොඩි එකාගේ කටෙන් පවා “සිනමැටික් යුනිවර්ස්” කියන වචන දෙක පිටවෙන්න ගත්තා. අන්තර්ජාල පරිශීලකයින් එයට “Lokesh Cinematic Universe” යනුවෙන් ඊට නාමයක් ලබා දුන්නා. ඒ වගේම Lokiverse යන නමින්ද මෙය හඳුන්වනවා. තවත් අතකින් තකට තක අනිරුද් තමන්ගේ උපරිමය ලබා දෙමින් “Pathala Pathala”, “Porkanda Singam”, “Unce Upon a Time” සහ Rolex, Sandhanam යන චරිතවලට BGM තැනුවා. ඔයාලා හැමෝම මේ නිර්මාණ අත්වින්ද නිසා ආයේ වචනවලින් කියන්න දෙයක් නැහැ. මෙහි සන්දනම් චරිතය ෆැබ්ලෝ එස්කොබාර් යන කොළොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. කෛදි චිත්‍රපටයෙන් අප දුටු ඉන්ස්පැක්ටර් බෙජෝයි, අන්බු දාස්, අඩෛකලම් දාස්, ස්ටීෆන් රාජ්, කාමාට්චි යන චරිත වික්‍රම් චිත්‍රපටයේදී පෙනී සිටියා. කාර්ති සම්බන්ධ කරගනීමට නොහැකි වුණත් කෛදි චිත්‍රපටයේ දිල්ලි ස්වතෝත්‍රය ගායනා කරන හඬ භාවිතා කරනු ලැබුවා.
වික්‍රම් අති සාර්ථකත්වය එක්ක මාස්ටර් චිත්‍රපටයෙන් ලෝකේෂ් එපෝ කියන් විලාප දුන්න විජේ රසිකයින්ට ඊට අවුරුදු දෙකක් යන්නත් කලින්ම ප්‍රතිප්‍රහාර එල්ල වෙන්න ගත්තේ කර්මය බූමරංගයක් කියන්නා වගෙයි. ලෝකේෂ් මාස්ටර් චිත්‍රපටයෙන් පසුව විජේව හමු වී ලියෝ කතාව ඉදිරිපත් කර තිබෙනවා. මෙවර විජේගේ කලාත්මක රංගනයෙන් 100%ක් ලෝකේෂ්ගේ නිර්මාණයක් දකින්න බලාපොරොත්තුවෙන් විජේ රසිකයින් සැදී පැහැදී සිටියා. දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද ලෝකේෂ් සිනමා විශ්වයේ තෙවැනි සිනමාපටය මෙයයි. LCU එකට විජේව සම්බන්ධ කරන්නේ කෙසේද සහ විජේගේ පිවිසීමත් එක්ක මේ විශ්වයේ මොන ආකාරයේ පෙරළියක් වේද යන උභතෝකෝටිකය සැමගේම හිත් වල තිබුණා. ඒ අනුව දෙමළ ප්‍රේක්ෂකයින්ට පමණක් සීමා නොවී මුළු ඉන්දියාවේම බලාපොරොත්තු සහගත, දැවන්තම ව්‍යාපෘතියකට ලෝකේෂ් අත තැබුවා. නිෂ්පාදන ආයතනයද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ලියෝ දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් ලෙස ප්‍රචාරණය ඇරඹුවා. ලෝකේෂ් යළිත් තෙවැනි වතාවට අනිරුද්ගේ සංගීතයෙන් දෑත් එකතු කරගත්තා. සංජයි දත්, අර්ජුන් සර්ජා, ත්‍රිෂා, මන්සූර් අලී ඛාන් යන අය වගේම සිනමා අධ්‍යක්ෂකවරුන් වන ගෞතම් වාසුදේවන් මෙනන්, මිස්කින්, අනුරාග් කාෂ්‍යප් යන තිදෙනාද මෙහි චරිත වෙනුවෙන් සම්බන්ධ කරගන්නවා. දවසින් දවස මේ ව්‍යාපෘතියට ඇති වූ බලාපොරොත්තු ඉහළ යන්නට ගත්තා. ඒ හින්දම ප්‍රේක්ෂකයින් තුල ඇති වූ අතිශයෝක්තිය නිෂ්පාදක කණ්ඩායමට පවා හසුරුවන්න බැරි වුණා. දෙමළ සිනමාවේ ප්‍රථම ඉ.රු. කෝටි 1000 කඩයිම පසු කර යන චිත්‍රපටය ලෙසින් ප්‍රථමයෙන්ම අනාවැකි පළ කරන්නට ගත්තේ මේ චිත්‍රපටයටයි. චිත්‍රපටය නිවේදනය කරද්දීම තිරගත කෙරෙන දිනයද නිවේදනය කර තිබුණා. ලෝකේෂ්ට එම කාලය ඇතුලත ලියෝ චිත්‍රපටය අවසන් කළ යුතුව තිබූ නිසාවෙන් ඔහුට දැඩි පීඩනයකින් යකා බැඳගෙන වැඩ කිරීමට සිදු වනවා. ලෝකේෂ් මෙය DC කොමික් කතාවක් වූ ජෝන් වැග්නර්ගේ History of Violence ආස්‍රයෙන් නිපද වූ ඩේවිඩ් ක්‍රොනන්බර්ග්ගේ History of Violence (2005) නම් එම නමින්ම නිර්මාණය වූ චිත්‍රපටය ආභාෂයට ගත් බව පැවසුවා. ඉන් ඔහු ආභාෂයට ගෙන ඇත්තේ පාර්තිබන් වටා සිදුවන වර්ථමාන සිදුවීම් දාමය පමණයි. හිස්ට්‍රි ඔෆ් වයිලන්ස් චිත්‍ර කතාවේ වීරයාගේ අතීත කතාව ඉතාමත් කෲර සිද්ධීන් දාමයක් ඇතුලත් බියකරු කතාවක්. මෙහිදී මාස්ටර් සංකලනය වන විජේ, ලේකේෂ් සහ අනිරුද් තිදෙනා යළි එක වෙනවා. ඔවුන්ගේ පළමු සංකලනය වන මාස්ටර් ඇල්බමයට සම කරන්න බැරි වුණත් ඉතාමත් අද්විතීය ලෙසින් හොලිවුඩ් ලෙවල් එකට ඔබින ගීත හා BGM අනිරුද් මේ සඳහා ලබා දුන්නා.
පළමු දිනම ඉ.රු. කෝටි 145ක් උපයාගත් ලියෝට, ප්‍රේක්ෂක බලාපොරොත්තු සාක්ෂාත් වූවා නම් ඉ.රු. කෝටි 1000 සීමාව හීනයක් නොවෙයි. ලියෝට සමස්තයක් වශයෙන් මිශ්‍ර ප්‍රතිචාර හිමි වුණා. රසිකයින් ඕනෑම දෙයකට රෙඩි වුණත් සාමාන්‍ය ප්‍රේක්ෂකයින් මහත් කලකිරීමට පත් වුණා. අතිශයෝක්තිය නිර්මාණයක් කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කරනවාද යන්න ලෝකේෂ්ට මෙයින් තේරුම් යන්න ඇති. ලියෝ තිරගත කිරීමෙන් ඉ.රු. කෝටි 610ක පමණ ආදායමක් උපයා ගනිමින් 2023 වසරේ වැඩිම ආදායමක් ලැබූ දෙමළ චිත්‍රපට අතරින් දෙවැනි ස්ථානය හිමි කරගන්නවා. කලින් සඳහන් කළා වගේ කෛදි ඔහුගේ ප්‍රියතම නළුවෙකු වන මන්සූර් අලී ඛාන් වෙනුවෙන් රචනා කළත් ඔහුව අධ්‍යක්ෂණය කිරීමට නොහැකි වෙනවා. ලෝකේෂ් ප්‍රිය නළු මන්සූර් නර්ථනයේ යෙදෙන Asuran (1997) චිත්‍රපටයේ “Chakku Chakku Vathikutchi” ගීතය වික්‍රම් චිත්‍රපටයේ එක්තරා උද්වේගී සටන් ජවනිකාවක් අතරදී යොදා ගත්තා. (Asuran චිත්‍රපටය Predator (1987) චිත්‍රපටයේ Free-Make චිත්‍රපටයක්. හාස්‍යයට කරුණක් නම් මේ චිත්‍රපටයේ පිටග්‍රහ ජීවියන්ගෙන් එක් අයෙක් කාන්තාවක් වන අතර ඇය මෙහි වීරයා සමඟ ප්‍රේමයෙන් බැඳේ.) අවසානයේදී ලියෝ චිත්‍රපටයෙදී මන්සූර්ව හ්‍රිදයරාජ් ඩි’සූසා යන චරිතයෙන් එක් කරගන්නවා. සරලවම කියනවා නම් ලියෝගේ අතීතාවර්ජනය ඉදිරිපත් කරන්නේ මේ හ්‍රිදයරාජ්ගේ පර්‍යාවලෝකනයෙන්. ඒ නිසාම මේ අතීතාවර්ජනය හ්‍රිදයරාජ්ගේ බොරුවක් බව LCU රසිකයින් විශ්වාස කරනවා. මොකද අඳුරු මායාවන් ලෝකිගේ ගණයට අයත් නොවන දෙයක් නිසා. ලියෝ චිත්‍රපටය ආදායම් වශයෙන් සාර්ථකත්වයක් ලඟා කරගත්තත් මේ අතීතාවර්ජනය නිසා අහපු බැනුම්, කාපු කෑම එමටයි. මෙහිදී කොස්තාපල් නැපෝලියන් LCU හා යා කරමින් පෙනී සිටියා. ඒ වගේම චිත්‍රපටය අවසානයේදී කර්ණන් විසින් පාර්තිබන්ට ඇමතුමක් දී මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීම උදෙසා තමන් හා එකතුවන ලෙස ඇරයුම් කරනවා.
LCU සහ ලෝකේෂ්ගේ ඉදිරි චිත්‍රපට පෙළගැස්ම
කෛදි චිත්‍රපටයට පෙර ලෝකේෂ් එක් නිෂ්පාදන ආයතනයක් චිත්‍රපටයක් කිරීමට තිර කතාවක් ලියන අවස්ථාවේදී මානගරම් චිත්‍රපටයේ විනින්ග් වැනි චරිත එම කතාවට ගෙන ඒමට අදහසක් ඇතිව තිබෙනවා. නමුත් එම චිත්‍රපටය දියත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඉන් පසුව නැවතත් එම අදහස පහළ වූ ලෝකේෂ් කෛදි කතාව වික්‍රම් හි චරිත හා සම්මිශ්‍රණය කරනවා. ඒ අයුරින් තමන් ගොඩ නැගූ විශ්වයට ඔහු විසින් නමක් යොදාගෙන තිබුණේ නැහැ. රසිකයින් විසින් මෙයට Lokesh Cinematic Universe යන නම ලබා දුන්නා. පසුව එම නම ලෝකේෂ් අනුගමනය කරන්නට ගත්තා.
මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීම සඳහා එක් වූ වෙස් මුහුනු කල්ලිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ඝට්ටනය මේ විශ්වයේ චිත්‍රපට හරහා දිගහැරේ. ෆේස් මාස්ක් කල්ලියේ ප්‍රධානියා ලෙස කමාන්ඩර් කර්ණන් පෙරමුණ ගන්නවා. 1986දී කර්ණන්, බ්ලැක් ඔප්ස් ස්ක්වඩ් එකට ගුවන් නියමුවෙක් ලෙසින් එකතු වෙනවා. 1991දී එක් මෙහෙයුමකදී අත්වැරැද්දක් නිසාවෙන් මෙම කණ්ඩායමට අනන්‍යතාවය සඟවාගෙන ජීවත් වීමට සිදු වනවා. රෝලෙක්ස් ඩ්‍රග් සින්ඩිකේට් එක අරඹමින් මතු වෙන්නේ 1992දීයි. නොයෙක් ආකාරයෙන් වෙහෙස මහන්සි වී වෙනම රාජ්‍යයක් තනා ගන්නවා. ඔහුගේ පසුපසින් සමාජයේ ඉහළ තරාතිරම්වල පුද්ගලයින් වගේම පහළ මට්ටමේ හෙන්චයියන්ද සිටිනවා. 1999දී ලියෝ දාස්, දාස් බ්‍රදර්ස් මත්ද්‍රව්‍ය සමාගම විනාශයට පත් කර තම අනන්‍යතාවය වසන් කරගෙන නව ජීවිතයක් අරඹනවා. 2019දී වසර දහයක සිර දඬුවම් විඳ නිදහස ලබා පැමිණෙන දිල්ලි උත්තර් ප්‍රදේශ් වෙත ගොස් තම දියණිය වෙනුවෙන් සැඟවී වෙසෙනවා. දිල්ලි බන්ධනාගාරයේ ගත කල කාළයේදී කබඩි තරඟ වැදී කුසලාන දිනාගෙන තිබෙනවා. ඒ වගේම අඩෛකලම් හා දිල්ලි අතර පරණ කෝන්තරයක් තිබී තිබෙන බවත් දැකගත හැකියි. බිජෝයි හැරෙන්නට කෛදි කතාව වික්‍රම් හා සම්බන්ධ කරන්නේ කන්ටේනර 2යි. ඉන් එක් කන්ටේනරයක් කෛදි චිත්‍රපටයේත්, අනෙක් කන්ටේනරය වික්‍රම් හිදීත් දැකගන්න පුළුවන්. ඉන්ස්පැක්ටර් බිජෝයි සහ ප්‍රබන්ජන් යන නිළධාරීන් දෙදෙනා ඒ කන්ටේනර ගැන සොයා බැලීමට යනවා. තිරුච්චි හි මත්ද්‍රව්‍ය විනාශ කිරීමෙන් පසුව ඊට වගකිව යුත්තා වූ බිජෝයිගේ පවුල ඩ්‍රග් කාර්ටල් එකෙන් ඔහුගේ ඇස් පනාපිට මරා දැමීමෙන් පසුව බිජෝයි වෙස් මුහුණු කල්ලිය හා එක් වෙනවා. කර්ණන් යටතේ ඉන්ස්පැක්ටර් බිජෝයි සහ ඒජන්ට් අමර් සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු සිටිනවා. බිජෝයිට මෙන්ම ඩ්‍රග් කාර්ටල්(මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්) නිසා මොවුන්ටද තමන්ගේ පවුල් සාමාජිකයින් අහිම් වීම් සිදුව තිබෙනවා. ඩ්‍රග් කාර්ටල් එකේ අන්බු දාස් සහ අඩෛකලම් දාස් සහෝදරයන් රෝලෙක්ස් යටතේ සේවය කරනවා. වික්‍රම්, අමර් සහ දිල්ලිගේ මැදිහත් වීම් වලින් රෝලෙක්ස්ගේ ව්‍යාපාර වලට විශාල පාඩු ලැබීම නිසා ඔවුන්ගේ හිස වෙනුවෙන් තෑගි මුදලක් නියම කර තිබෙනවා. කෛදි 2 චිත්‍රපටය ඇරඹෙන්නේ රෝලෙක්ස්ගේ බවුන්ටි ඔෆර් එකත් එක්කමයි. සන්දනම් ඝාතනය කිරීමෙන් පසුව අමර් කේරළයට යනවා. තිරුච්චි හි වෙඩි තැබීමේ සිද්ධියේදී මැෂින් ගන් එක පාවිච්චි කළේ කොස්තාපල් නැපෝලියන් ද යන්න ප්‍රශ්න කිරීමේදී ඉහළ නිළධාරීන් ඔහුට එම තුවක්කුව ඔසවා පෙන්වන ලෙස නියෝග කරනවා. ඔහු එම අවස්තාවේදී තිගැස්සී යනවා. ඒ නිසාවෙන් ඔහුට හිමාචල් වෙතට සේවාමාරුවක් ලබා දෙනවා. පාර්තිබන් තම පවුලේ ආරක්ෂාව සඳහා දෙමළ නිළධාරියෙකු ඉල්ලූ විටදී ඔවුන් නැපෝලියන්ව පාර්තිබන්ගේ නිවසේ මුර සේවයට යොදවනවා. කර්ණන් ලියෝගෙන් මම කවුද කියලා දන්නවා නේද යන්නෙන් ඇසීමෙන්ම අදහස් වෙන්නේ ලියෝ කර්ණන්ව මීට කලින් දැන සිටි බවයි.
ඒ අතරම Rolex මේ විශ්වයට අදාල නොවන චිත්‍රපටයක් ලෙස නිර්මාණය වීමට නියමිතයි. වැඩි දෙනෙක් දැනුවත් මීළඟට Kaithi 2, Vikram 2 සහ Benz යන චිත්‍රපට පැමිණීමට නියමිතයි. Leo 2 පැමිණේද නැද්ද යන්න තවම එකඟතාවයකට පැමිණ නැත්තේ විජේගේ දේශපාලන ගමන නිසායි. විජේ අඩි අටක් උසට පැන්නොත් විජේගේ මහජන සම්බන්ධතා කණ්ඩායම අඩි දහසයක් පනින නිසා මෙය අවිනිශ්චිතයි. රෝලෙක්ස් ඉක්මන් නොවුණොත් කෛදි 2 පසුව එන චිත්‍රපටය වන්නේ Vikram 2යි. මේ අතරින් Benz චිත්‍රපටය ළඟකදීම නිකුත් වේ යැයි අපේක්ෂා කළ හැකියි. බෙන්ස් ලෝකේෂ් සිනමා විශ්වයේ වෙනත් අධ්‍යක්ෂකවරයෙක් අතින් බිහිවන පළමු නිර්මාණයයි. පවුල් රසිකයින්ගේ සිත් රිදවීමට අකමැත්තෙන් සන්දනම් චරිතය ප්‍රතික්ෂේප කළ රාඝවා ලෝරන්ස් ලේ වැගිරෙන චිත්‍රපටයකට කුමන ආකාරයෙන් එකඟ වූවාද යන්න ගැටලුවක්. මෑත දිනකදී Benz චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය රඟන නිවින් පෞලිගේ ට්වින් ෆිෂ් වෝල්ටර් යන චරිතයේ ප්‍රෝමෝ වීඩීයෝවක් නිකුත් වුණා. එහි නිවින් රන් ආභරණ වලින් සිරුර වසාගත් ස්වරූපයකුත් දිළිඳෙකු ලෙසින් තවත් ස්වරූපයක් ලෙස ස්වරූප දෙකක් ඉදිරිපත් කළා. ට්වින් ෆිෂ් යන නමින්ම කියන නිසා ඇතැම් විට මේ නිවුන්නු විය හැකියි. නැත්නම් දිළිඳු ස්වරූපය වෝල්ටර්ගේ හෘදසාක්ෂිය විය හැකියි. තවද Chapter Zero – The Origin of LCU නමින් කෙටි චිත්‍රපටයක් ද LCU ඇතුලට අයත්. ඒ වගේම වෙනත් අධ්‍යක්ෂකවරුන් ලවා වෙබ් සීරීස් කීපයක් කිරීමටත් ලෝකේෂ් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒජන්ට් ටීනා නමින් වෙබ් සීරීස් එකක් තම සහය අධ්‍යක්ෂකවරයෙක් යොදාගෙන නිර්මාණයට අදහසක් ඇති බවත් සඳහන් කළා. ලෝකේෂ්ගේ සිහින ව්‍යාපෘතිය වන Irumbu Kai Mayavi අමීර් ඛාන් සමඟින් කිරීමට සැරසෙන බවට දූසමාන ආරංචි පැතිර යනවා. IKM යනු එම නමින්ම ප්‍රකාෂයට පත් වූ චිත්‍රකතා චරිතයක් ආශ්‍රයෙන් ලෝකේෂ් ලියූ මිත්‍යා කතාවක්. නාමිකව එය කාර්ති වෙනුවෙන් රචනය කළත් නිෂ්පාදක SR ප්‍රභූ එය සූර්යා වෙනුවෙන් රචන කරන ලෙස ඉල්ලුවා. මේ කතාවේ අවස්ථා හා සමාන දර්ශන මෑත පැමිණි චිත්‍රපටවල දකින්නට ලැබුණු නිසා එම කතාව යළිත් වෙනස්කම් කර ලිවීමට සිදු වන බව ප්‍රකාෂ කළා. අමීර් ඛාන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ක්‍රියාදාම චිත්‍රපටයක් බවත් ඔවුන් දෙදෙනාගේ ව්‍යාපෘතිය සුපර් හීරෝ හෝ ෆැන්ටසි චිත්‍රපටයක්ද යන්න ඔහු තවම තීරණය කර නැහැ. ලෝකේෂ් ෆහද් ෆාසිල් වෙනුවෙන් Mufti යන නමින් කතාවක් රචනා කර තිබෙනවා. මේ කතාව විශාල ප්‍රමාණයේ නිල ඇඳුමක් ඇඳ සිටින පොලිස් නිලධාරියෙක් ගැනයි. ඔහු ටේලර් සාප්පුවකට ගොස් පැය දෙකක් බලා සිටීමට වෙනවා. ඒ පැය දෙක තුල සිදුවීම තමයි මේ චිත්‍රපටය. ඒ වුණත් මගේ වත්මන් කාර්යයන් සහ ව්‍යාපෘතියේ පරිමාණය නිසා ඔහුට දැන් එය කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු මේ කතාව ඔහුගේ සහකාර අධ්‍යක්ෂවරුන්ට භාර දෙන බව කීවා.
ඒ අතරම LCU සම්බදන්ධව මතභේදාත්මක සිද්ධියක් ද වාර්ථා වනවා. කේරළයේ කොල්ලම් දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු චෙන්නායි පුලල් මධ්‍යම බන්ධනාගාරයේ වසර ගණනාවක් ගත කිරීමෙන් පසු ඔහු විසින් ස්වයං චරිතාපදානයක් ලියා, 2007 දී නිෂ්පාදක ප්‍රභූට ඔහුගේ කතාව විස්තර කර ඇති අතර, ප්‍රභූ ඒ ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට එකඟ වී ඔහුට රුපියල් 10,000 ක අත්තිකාරමක් ගෙවා තිබෙනවා. කෛදි නිකුත් වීමෙන් පසු එම චිත්‍රපටය තමන් විසින් නිෂ්පාදකවරයාට ඉදිරිපත් කළ එම කතාවම බව දුටු විට ඔහු ඊට නීතිමය විසඳුමක් වෙනුවෙන් නිෂ්පාදක එස්. ආර්. ප්‍රභූට එරෙහිව එම පුද්ගලයාගේ අවසරයකින් තොරව කතාව භාවිතා කිරීම සම්බන්ධයෙන් කේරළයේ කොල්ලම් මහාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් එහි අනුප්‍රාප්තික චිත්‍රපටයේ (Vikram) සහ එහි ප්‍රතිනිර්මාණය (Bhola Shankar) කිරීමේ කටයුතු නතර කරන ලෙස ඉල්ලා සිටියා. 2021 ජූලි මාසයේදී අධිකරණය ඔහුට පක්ෂව තීන්දුව ලබා දුන් අතර, ඔහුගේ කතාව අනුකරණය කිරීම සම්බන්ධයෙන් වන්දියක් ලෙස ඉ.රු. කෝටි 4ක් ගෙවන ලෙස නිෂ්පාදකවරයාට නියෝග කරනු ලැබුවා.
ලෝකේෂ්ගේ සිනමා ලක්ෂණ
- ලෝකේෂ්ගේ කතාවන් ප්‍රධාන වශයෙන්ම මූලික වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මූලික කරගෙනයි. ඒ වගේම ප්‍රධාන චරිතය මත් පැන් පානයට, දුම් බීමට ඇබ්බැහි වූවෙක්.
- ලෝකේෂ් DC කොමික් රසිකයෙක් නිසා DC හා සම්බන්ධ බොහෝ ලක්ෂණ ඔහුගේ නිර්මාණ වල දැකිය හැකියි. තවද DC චිත්‍රපටවල දැකිය හැකි අඳුරු තේමාවද ඔහුගේ චිත්‍රපටවලට යොදාගන්නවා.
- ඒ වගේම ඔහු එක් එක් චිතපටවලට පැරණි ගීත එකතුවක් ද යොදාගන්නවා. මෙය ට්‍රෙන්ඩ් එකක් වීමට ඇරඹුණේ කෛදි චිත්‍රපටයෙන්. එය චිත්‍රපටයේ අවස්ථානුකූල ගැලපීමක් තිබුනත් වර්ථමනයේදී වෙනත් අධ්‍යක්ෂකවරුන් හිතේ හැටියට අවභාවිතා කිරීම් දකින්න පුළුවන්.
- ලෝකිගේ කතවන් වල ආදරය සහ කාන්තා චරිතවලට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. අමර්ගේ පෙම්වතිය අමු අමුවේ ගෙල කපා මරා දැමීම මීට උදාහරණයක්.
- ප්‍රේම ගීත සහ අයිටම් ඩාන්ස් ගීත වලින් වළකියි. (කොහොම වුණත් කූලි චිත්‍රපටයේදී ප්‍රචාරණය වෙනුවෙන් අයිටම් ඩාන්ස් ගීතයක් ඇතුලත් කිරීමට සිදු වුණා.)
- “ලෝකේෂ් ටච් එක” විදියට බිරියානි සීන් එකක් ඇතුලත් කරනවා. මෙය කෛදි චිත්‍රපටයේදී අහඹුවක් ලෙස සිදු වූ දෙයක්. මුලදී දිල්ලි නිදහස් වීමෙන් පසුව වතුර වීදුරුවක් බොන අවස්ථාවක් ඇතුලත් වුණත් නිර්මාණාත්මක භාවය වෙනුවෙන් එය දිල්ලි කල්දේරම් පියනේ බිරියානි දමාගෙන ආහාරයට ගන්නා ලෙස වෙනස් කළා.
- ඔහු අවධානයට ලක් කළ යුතු චරිතවලට අද්විතීය ආයුධ ලබා දෙනවා.
- එක් එක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනත් චරිතයක ආධිපත්‍යයට ලක්වන දර්ශනයක් ඇතුලත්.
- ලෝකේෂ්ට අනාථ යහළුවන් ආශ්‍රය කිරීමට ලැබීම නිසා ඔහුගේ චිත්‍රපට වලට අනාථ චරිතයන් කා වද්දා තිබෙනවා.
- වික්‍රම් චිත්‍රපටයෙන් පසුව Trademark එකක් ලෙස ඒ ඒ චිත්‍රපටයේ ටයිටල් කාර්ඩ්පත ඉදිරියේ ලෝකේෂ් සහ අනිරුද් එක්ව ඡායාරූපයක් ගැනීම දැකගත හැකියි.
- ලෝකි නොදැනුවත්වම සිදු වූ දෙයක් වන්නේ පවුල් වශයෙන් රසික ආදරයට පත් සූරියා, නාගර්ජුනා, රාඝවා ලෝරන්ස් වැනි නළුවන්ව ලේ වැගිරෙන බිහිසුණු චරිත ලබා දෙමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ඔවුන් විසින්ම කඩ කිරීමට සැළස්වීමයි. “මමත් කොච්චර කාලයක් නම් හොඳ මිනිහෙක් වගේ රඟපාන්නද?” යන්න මේ නළුවන්ට නියමෙටම ගැලපෙනවා.
කූලී නිමැවුම
පලමුවෙන්ම ලෝකේෂ් කණගරාජ් කියන නවක අධ්‍යක්ෂකවරයා සමඟ රජිණිකාන්ත් චිත්‍රපටයක් කිරීමට සැරසුණේ 2020 දී පමණ. ඒ වෙද්දි ලෝකේෂ් Kaithi (2019) චිත්‍රපටයෙන් මහත් කීර්තියක් අත් කරගෙන තිබුණා. ඒත් මේ ව්‍යාපෘතිය පිළිබඳ යම් තාක් උනන්දුවක් ඇති වුණේ රජිණි සහ කමල් එකට රඟපෑමට යන බවට පුවත් පළවීම නිසායි. මාස්ටර් රූගත කිරීම් අතරතුරදී කයිදි නැරඹූ රජිණිකාන්ත් ලෝකේෂ්ව අමතා තමන් වෙනුවෙන් කතාවක් තිබේදැයි යන්න විමසා තිබෙනවා. එහිදී තිබෙන බව සඳහන් කරමින් කතාව ලැහැස්ති කරගෙන ලෝකේෂ් රජිණිව හමු වී කතාව ඉදිරිපත් කර තිබෙනවා. පටන් ගත් කටටම “සර් මම කමල් සර්ගේ ෆෑන් කෙනෙක්” ලෙස කියා තිබෙනවා. (මේක මතකයේ තියා ගත්ත රජිණි අවුරුදු 4කට පස්සෙ කූලී ඕඩියෝ ලොන්ච් අවස්ථාවේදී ලෝකිව උපහාසයට ලක් කර විහිළු කළා.) මේක අමුම අමු දුෂ්ඨ චරිතයක් පිළිවඳ කතාවක්. රජිණි දුෂ්ඨ චරිතයන්ට බොහෝ ඇලුම් කරන නිසා ලෝකේෂ්ගේ කතාව හොඳින්ම හිතට වැදුණා. ඒත් ලෝකේෂ් සූදානම් කරගෙන තිබුණේ විවේක කාලය වනතුරු කතාව පමණයි. එහිදී ලෝකේෂ් එය සම්පූර්ණ කිරීමට දින 15ක කාලයක් ඉල්ලා සිටිනවා. ඒ අයුරින් ලෝකේෂ්ට කාලය ගෙන කතාව සම්පූර්ණ කරගෙන ඒමට ඉඩ දීලා ආපහු එනකල් රජිණි බලාගෙන හිටියදී දිනක් කමල් හාසන් ඔහුට ඇමතුමක් ගෙන “රජිණි මට ලෝකේෂ්ගෙන් හොඳ කතාවක් හම්බවුණා. චිත්‍රපටියට දවස් 40ක් 50ක් වගේ යාවි. මම ඒක කරලා එවන්නම්” කියා තිබෙනවා. Thalaivai 169 නාමික ව්‍යාපෘතියේදී එය කමල් හාසන්ගේ රාජ් කමල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් විසින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් පසුව කමල් ඔහු විසින්ම එම ව්‍යාපෘතිය Vikram ලෙස සංවර්ධනය කළා. ඒ විදියට ලෝකේෂ් Vikram සඳහා යොමු වෙද්දී Thalaivar 169 නාමික ව්‍යාපෘතිය කිරීමට නියමිතව තිබුණේ ලෝකේෂ් වුණත් වික්‍රම් සඳහා කැපවීම නිසාවෙන් Thalaivar 169 ව්‍යාපෘතිය නෙල්සන්ට යොමු වෙනවා. කමල්ගේ ෆැන්බෝයි වසර ගණනක වෙහෙස මහන්සිය, හැල හැප්පීම් වලට ප්‍රතිඵල ලබා දුන්නා. කොටින්ම කිව්වොත් වික්‍රම් සාර්ථකත්වය සමඟම කමල්, රජිණිගේ රෙකෝඩ්ස් කීපයක්ම බිඳ දැමුවා. තනි අන්තයෙන් සෙල්ලම් කරන් හිටිය රජිණි ඉදිරියේ පැරණි ප්‍රතිවාදියා නැවතත් පෙනී සිටියා. ඉන් පසුව ජේලර් කණ්ඩායමේ ඉලක්කය වුණේ වික්‍රම් විසින් අත් කරගත් ජයග්‍රහණයන් පසු කරගෙන යන ජයග්‍රහණයක් ලබා ගැනීමයි. 2023 වසරේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපටය වුණේ ලෝකේෂ් අධ්‍යක්ෂණය කරන ඔහුගේ සිනමා විශ්වයට අයත් විජේ රඟන ලියෝ. දෙමළ සිනමාවේ කෝටි 1000 උපයන්නට යන චිත්‍රපටය ලෙසින් රසිකයින් වටා දැඩි අතිශයෝක්තියක්, විශාල බලාපොරොත්තු ඇද බැඳ තබාගෙන සිටියා. ඒ ඔන්න මෙන්න තිබෙද්දි පූජාවට පැනපු පූසා වගේ කිසිම සිනමා විශ්වයක බලපෑමක් නැතිව, Sequel, Prequel චිත්‍රපටයක සම්බන්ධයක් නැතිව, අප්‍රමාණ නින්දා ලද අධ්‍යක්ෂකවරයෙක් සමඟ පැමිණි රජිණි ෆැක්ටර් ජේලර්, ලියෝ චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට දවල් තරු පෙන්වනවා.
ඔහොම වෙද්දී ජේලර් චිත්‍රපටයේ දැවැන්ත සාර්ථකත්වය සමඟ වේට්ටෛයන්ගෙන් පසුව රජිණිගේ 171 වන චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද යන්න පිළිබඳව විශාල වශයෙන් කතිකාවතක් ඇති වුණා. ලෝකේෂ් කනගරාජ්, කාර්තික් සුබ්බරාජ්, මාරි සෙල්වරාජ්, සිබි චක්‍රවර්ති යන අධ්‍යක්ෂ වරුන්ගේ නම් මේ අතරින් ඉහළින්ම සඳහන් වුණා. කොහොම හරි ජේලර් තිරගතවීමට ආසන්නව තිබියදී නිළ නොවන ලෙස අවුරුදු ගණනක් කල් ගිය ලෝකේෂ්ගේ චිත්‍රපටය සමඟ එකඟතාවයට පැමිණි බව නිළ නොවන ලෙස ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබුණා. එය ලියෝ හි රඟ පෑ මිස්කින් හා බාබු ඇන්ටනිගේ මාධ්‍ය සාකච්ඡා වලදී සඳහන් කළ ආකාරයට T171 අධ්‍යක්ෂකවරයා ලෝකේෂ් යන වග ස්ථීරවම තහවුරු වුණා. අනිරුද් එක් අවස්ථාවක ලෝකේෂ් ඔහුව හමුවීමට ස්ටූඩියෝවට පැමිණි අවස්ථාවක තලෛවර් වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න කියා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ලෝකේෂ් නැවතත් රජිණිව හමු වී කලින් කී දුෂ්ඨ චරිතයේ කතාව ඉදිරිපත් කර තිබෙනවා. ජේලර් දැවන්ත සාර්ථකත්වය සමඟ මෙහි නිෂ්පාදකයා වීමට නිෂ්පදන ආයතන කිහිපයක් තරඟ වැදී තිබෙනවා. රජිණි & ලෝකේෂ් ව්‍යාපෘතිය වෙනුවෙන් තරඟ වැදුනු නිෂ්පාදන ආයතන අතර Sun Pictures, Hombale Films, DVV, SVCC, V Creations, Mythri Movie Makers, Seven Screen Studioss, Ags Entertainment යන නිෂ්පාදන ආයතන වල නම් සඳහන් වුණා. Thalaivair 171 චිත්‍රපටය ගැන නොයෙකුත් දූසමාන ආරංචි පැතිරෙන අවස්ථාවේදී සන් පික්චර්ස් මෙය නිළ වශයෙන් නිවේදනය කළා. මේ රජිණි සන් පික්චර්ස් හා සම්බන්ධ වන 5 වැනි අවස්ථාවයි. ලාල් සලාම් රූගත කිරීම් සඳහා උතුරු ඉන්දියාවට ගිය අතරතුර කාලයේ ලෝකේෂ් ඉතිරි කතාව සම්පූර්ණ කරන්න ඇතු කියා හිතුවත් ලෝකේෂ් නැවත පැමිණ එම කතාව වෙනුවෙන් බොහෝ නළු නිළියන් අවශ්‍ය වන නිසාවෙන් එම කතාව අත් හැර දැමීමට තීරණය කළා. ලෝකේෂ් ඉන් අනතුරුව මාස දෙකක කාලයක් තුල වෙනස්ම කතාවක් ලෙසින් මේ ජාවාරම් සම්බන්ධ කතාව ලියා අවසන් කර ඉදිරිපත් කරනවා. ඒ ආකාරයෙන් මේ කූලී කතාව බිහි වෙනවා. මීට පළමුවෙන් ලබා දී තිබූ නම දේවා. 2023 සැප්තැම්බර් 11 දින මෙම ව්‍යාපෘතිය නිළ වශයෙන් නිවේදනය කළා. මේ අනිරුද් ලෝකේෂ් හා එක්වන සිව්වැනි අවස්ථාවයි. Maanagaram චිත්‍රපටයේදී තිර රචනය සඳහා සහය වූ චන්දෘ අන්බලගන් මීට තිර රචනයෙන් සහය වෙනවා. ඒ හැරුණු විට කැමරාකරණයෙන් ගිරීෂ් ගංගාදරන්, සටන් අධ්‍යක්ෂණයෙන් අන්බරිවු සහෝදර දෙපළ, සංස්කරණයෙන් පිලෝමින් රාජ් ආදී ලෝකේෂ්ගේ සුපුරුදු කාර්‍ය් මඩුල්ල මීට එක් වෙනවා. නළු නිළියන් ලෙස මෙයට සත්‍යරාජ්, සෘතී හාසන්, ෂොබින් සාහිර්, රෙබා මොනිකා යන අය එකතුත් කර ගත් බව දැන ගැනීමට ලැබුණා. ඉන් පසුව මෙම ව්‍යාපෘතියට උපේන්ද්‍රා, නාගර්ජුනා සහ අමීර් ඛාන් ද සම්බන්ධ කරගනු ලැබුවා. සන් පික්චර්ස් ආයතනය මෙය පෑන් ඉන්ඩියන් චිත්‍රපටයක් ලෙස සාර්ථක විය යුතු බවට සඳහන් කරමින් උවමනා තරම් වැය කිරීමට නිදහසද ලබා දී තිරගත කිරීමට දිනය ද ලෝකේෂ්ටම තීරණය කිරීමට ඉඩ හසර ලබා දුන්නා. කලින් සඳහන් කළා වගේ ලියෝ චිත්‍රපටය රිලීස් ඩේට් එකක් දාගෙන වැඩ පටන් ගත්ත නිසා ලෝකේෂ්ට පීඩනය තදින්ම දැනුනා. ලෝකේෂ් මේ ව්‍යාපෘතිය ආරම්භයේදීම මෙය තමන්ගේ සිනමා විශ්වයට අයත් නොවන චිත්‍රපටයක් බවට නොයෙකුත් මාධ්‍ය සාකච්ඡා වලදී උලුප්පා දක්වමින් සඳහන් කළා. එනමුත් ඇතැම් මනෝ ලෝකයක වෙසෙන LCU රසිකයින් විසින් මෙය LCU හා සම්බන්ධ කිරීමට නොයෙකුත් ආකාරයේ ප්‍රයත්න දැරුවා. 2024 අප්‍රේල් 22 දින මෙය Coolie වශයෙන් නම හෙළි කරමින් Conceptual වීඩියෝවක් නිකුත් කරනු ලැබුවා. එහි Disco Disco යන ගීතය Thaga Magan (1983) චිත්‍රපටයේ එන Va Va Pakkam Va ගීතයෙන් ආභාෂයට ගෙන තිබෙනවා. ඒ වගේම එම වීඩියෝවේ රජිණි විසින් කී දෙබස් රජිණි අයහපතට ඇබ්බැහි වූ චරිතයක් රඟ දැක්වූ Ranga (1982) චිත්‍රපටයේ දෙබසක්. එම දෙබස් ඛණ්ඩය Ninaithale Inikkum (1979) චිත්‍රපටයේ එන Sambo Siva Sambo ගීතයේ පද පේළි කිහිපයකින් උපුටා ගෙන තිබෙනවා.
ලෝකේෂ් හා හා පුරා කියලා රජිණිගේ ගෙටප් එකේ පොටෝ එකක් ගෙන අන්තර්ජාලයට එක් කරා. රජිණි මේකප් නැතුව පවා ඒ තරම් වයස පාටක් පෙන්නෙ නැහැ. ඒ ස්වරූපය පොටෝ එකේ ඉන්නෙ කවුද කියලා හොයාගන්න බැරි ආකාරයේ දරුණු ගෙටප් එකක්. කොහොම හරි ලෝකී මෙහි දේවාගේ අවසාන ස්වරූපය විදියට Dharmadurai (1991) හි ස්වරූපය අනුසාරයට ගෙන තිබෙනවා. ඒ වගේම අතීතාවර්ජනයේ De-Aging මඟින් නිර්මාණය කළ ස්වරූපය Thee (1981) චිත්‍රපටයෙන් අභාෂයට ගෙන තිබෙනවා. එම චිත්‍රපටයේද රජිණි කුලී සේවකයෙකු ලෙසින් රඟපානවා.
මෙහි දුෂ්ඨ චරිතය වෙනුවෙන් නළුවෙකු එකඟ කර ගැනීම සඳහා ලෝකි නොයෙක් නළුවන් හමුව තිබෙනවා. ඉන් එක් නළුවෙකු ලෙස නාගර්ජුනාගෙන් මෙම දුෂ්ඨ චරිතය වෙනුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙතෙක් කල් කිසිදු දුෂ්ඨ චරිතයක් රඟපා නොමැති, පවුලේ සියළුම වයස් කාණ්ඩවල රසික ආදරයට පත් නාගර්ජුනා දෙගිඩියාවකින් යුතුව උවද ලෝකේෂ් තමන්ව සොයා පැමිණියේ එහි යම් සුවිශේෂීත්වයක් ඇති බව සළකා බලා ඉල්ලීමට එකඟ වෙනවා. ඒ වුණත් ප්‍රථම වරට දුෂ්ඨ චරිතයක් රඟ දක්වන නිසාවෙන් එගොඩත් මෙගොඩත් මැදිව සිටි නිසාවෙන් ලෝකිට නාගාර්ජුනාව ඒත්තු ගැන්වීමට 7 වතාවක් කතාව කියන්න සිද්ද වෙනවා. රජිණි පවා කීවේ නාගාර්ජුන ආන්ද්‍රා හි විශාල ධනපතියෙක් නිසාවෙන් මේ චරිතයට එකඟ වන්නට ඇත්තේ සල්ලි වෙනුවෙන් නොවන බවයි. ඒ වගේම මැදි විය පසු කරමින් සිටියදී පවා තම ස්වරූපය රැකගනිමින් සිටින නාගර්ජුනාව රජිණි බෙහෙවින් වර්ණනා කරනු ලැබුවා. “නාගර්ජුනා ඔයා මේ වගේ කියලා මම දන්නවා නම් මම මේ චරිතය කරන්න දෙන්නෙ නැහැ” යනුවෙන් ඔහුට කියා තිබෙනවා. නාගර්ජුනාට දැන් වයස අවුරුදු 65ක් වනවා. සයිමන්ගේ චරිතය වෙනුවෙන් Ratchagan (1997) චිත්‍රපටයේ මෙන් ෆන්ක් කොණ්ඩා මෝස්තරයක් භාවිතා කිරීමට ඔහුගේ කොණ්ඩය වවන ලෙස ලෝකේෂ් ඉල්ලා සිටියා. එකළ වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කළ රට්චගන් චිත්‍රපටයෙන් නාගර්ජුනාගේ දෙමළ සිනමා ප්‍රවේශය ලබා දුන්නා. එනමුත් එය බොක්ස් ඔෆිස් බෝම්බයක් ලෙස අසාර්ථකත්වයට පත් වුණා. ඉන් අනතුරුව ඔහුව නැවතත් දෙමළ චිත්‍රපටයක දකින්නට ලැබෙන්නේ යළිත් මෙම කූලි චිත්‍රපටයේදීයි. විශාකපට්නම් වරායේ රූගත කිරීම් සිදු වෙද්දී සයිමන්(නාගර්ජුනා) යම් අයෙකුව දරුණු ලෙස පහර දී ඝාතනය කරන අවස්ථාවක දර්ශනයක් සමාජ මාධ්‍යයට කාන්දු වුණා. මෙය තෙළිඟු ප්‍රේක්ෂකයින්ව කුලප්පු කර දැමීමට හේතුවක් වුණා.
ඇත්තම කාරණාව වෙන්නේ නාගර්ජුනා හැරෙන්න අනෙකුත් සියළුම නළු නිළියන් රජිණි යන නම කෙරෙහි පමණක් විශ්වාසය තබා ගෙන මේ සඳහා සම්බන්ධ වුණා. උපේන්ද්‍රා ඉන්දීය සිනමාවේ ගෞරවණීය අද්විතීය, ඉතා බුද්ධිමත් සිනමා අධ්‍යක්ෂකවරයෙක්. විශේෂයෙන්ම උපේන්ද්‍රා රජිණි භක්තිකයෙක්. ඔහු රජිණි තමන්ගේ ද්‍රෝනාචාර්‍ය බව කිහිප විටක සඳහන් කර තිබෙනවා. උපේන්ද්‍රා රූගත කිරීම් සඳහා පැමිණි අවස්ථාවේදී රජිණි විසින් උපේන්ද්‍රා ගැනත් ඔහුගේ නිර්මාණ ගැනත් වර්ණනා කරමින් චිත්‍රපට කණ්ඩායමට දිගු පැහැදිලි කිරීමක් කරමින් හිඳ තිබෙනවා. එම අවස්තාව පුරාවටම උපේන්ද්‍රා දෑත් බැඳගෙන සාවදානව ඇහුම්කන් දෙමින් පමණක් සිටි බවත් පසුව ලොකේෂ් හමු වී තලෛවර් සෘජුව හමු විමට අවස්ථාව සලසා දීම පිළිබඳව ඇස් රතු කරගනිමින් ලොකේෂ්ට ස්තූති කළ බවත් මෙහි සම තිර රචක චන්ද්‍රන් විසින් ප්‍රකාෂ කළා. ඔහුගේ භක්තිය කොතරම්ද කියනවා නම් ඕඩියෝ ලෝන්ච් අවස්ථාවේදීද තමන් කවුද යන්න පවා අමතක කරමින් තම අදහස් ප්‍රකාෂ කළා. ඉන්දිය සිනමාවේ ප්‍රථම ප්‍රතිලෝම තිරරචනය A (1998) උපේන්ද්‍රාගේ අධ්‍යක්ෂණයක්. සැබෑ ජීවිතයේ ඒ වන විටත් ක්‍රිකාකාරී මැරවරයින් ගෙන්වා Om (1995) චිතපටය රූගත කළා. එයද උපේන්ද්‍රගේ අධ්‍යක්ෂණයක්. එම චිත්‍රපටය 550 වතාවකට වඩා නැවත තිරගත කිරීම් කර තිබෙනවා. අහංකාරය, ආශාව සහ ජීවන චක්‍රයන් පිළිබඳ නිර්භීත ගවේෂණයක්, ප්‍රබල රූපකයක් හරහා කියැවෙන කතාවක් ලෙසින් Upendra (1999) චිත්‍රපටය බිහි කළා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රථම රොබෝ චිත්‍රපටය වන Hollywood (2002) ද ඔහුගේ කතාවක් මගින් නිර්මාණය වුණා. කර්නාටකය හා තමිල්නාඩුව අතර ජලය පිළිබඳ ඇති ආරවුල ප්‍රේමයේ හා ප්‍රතිවිරෝධයේ කතාවක් ලෙසින් H2O (2002) රචනා කරනු ලැබුවා. මේ ආකාරයෙන් විස්මකර්ම මැවූ උපේන්ද්‍රා අනගි සිනමාකරුවෙක්. ඔහුට ආවේණික වූ ඇස් ඉඟිරියා චලනය ද මෙහිදී දැක ගන්න පුළුවන්. මෙහි උපේන්ද්‍රාගේ රංගනය ගැන කියනවා නම් නෙල්සන් ශිවරාජ්කුමාර් ගැන කරපු වර්ණනාව මතක් වුණා. උපේන්ද්‍රාව නෙල්සන්ට අහුවුණා නම් Jailer එකේදිම චරිතයකට අරගෙන. මේකෙන් පස්සෙ බලමු ජේලර් 2 එකට ගනියිද කියලා.
ලෝකේෂ් මෙහි තවත් විශේෂ ආරාධිත රංගනයක් තිබෙන බව රජිණිට කියනවා. රජිණි ඒ කමල් හසන් යැයි සිතා සිහින ලෝකයක පිහිනා ගොස් තිබෙනවා. ඉන් පසුව පුදුමයෙනුත් පුදුමයට පත් වුණේ ඒ අමීර් ඛාන් යැයි කීවාමයි. “අමීර් ඛාන් Mr. Perfectionist. එයා ස්ක්‍රිප්ට් එකක් තෝරගන්නත් අවුරුදු දෙකක් යන්වා. එයා මේකට කැමති වුණාද?” අමීර් ඛාන් ද මෙහි කතාව කුමක්ද යන්න පිළිබඳ විමසීමක් නොකර, රජිණිගේ චිත්‍රපටයක් යන්න අන්ධව විශ්වාසය තබමින් එකඟ වෙනවා. ඒ වගේම මෙහි රඟපෑම වෙනුවෙන් ඔහු කිසිදු අයකිරීමක් කර නැහැ. “ඔව්, මම එන්නෙ නිකන්ම බීඩියක් පත්තු කරන්න විතරයි. ඒත් රජිණි සර් එක්ක රඟපාන්න ලැබුණ එකම මම ලැබූ අභිමානයක් සහ සිහිවටනයක්” බව ඔහු කීවා. අමීර් මීට පෙර Aatank Hi Aatank (1995) චිත්‍රපටයේ රජිණි සමඟ රඟපා තිබෙනවා. තවද අමීර් මෙයට එකතු වීම උතුරු ඉන්දියාවේ ආකර්ෂණය ඈඳා ගැනීමට සහ එම ප්‍රදේශයේ පුළුල්ව තිරගත කිරීමට රුකුලක් වුණා. ඔහු පෞද්ගලිකවම උතුරු ඉන්දීය PVR Inbox සිනමාශාලා හිමියන්ට කතා කර කූලි වෙනුවෙන් War 2 හා සාමානව සිනමාශාලා ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.
ලේකේෂ්ට රජිණිව හා කමල්ව එකට චිත්‍රපටයක අධ්‍යක්ෂණය කිරීමට තිබුණ දැඩි උවමනාව නිසාම වෙන්නට ඇති සෘතී හාසන්ව මේ සඳහා එකතු කරගන්න බලපාන්න ඇත්තේ. මෙය ඇයට වෙනස්ම චරිතයක්. මීට පෙර ඇය රඟපෑ බොහෝ චිත්‍රපට වාණිජමය චිත්‍රපට නිසාවෙන් රංගන හැකියාව ඉස්මතු කරන චරිත එතරම් හිමි වූයේ නැහැ. ඒ වගේම ඇය දෙමළ චිත්‍රපටයක නැවත දකින්න ලැබෙන්නේ වසර 4කට පසුවයි. පියා සමඟ කටයුතු කිරීම අසීරු බැවින් ඇය රජිණි සර්ගේ චිත්‍රපටයක රඟපෑමට බොහෝ කැමති බව සඳහන් කළා.
ඒ වගේම මෙහි දයාල් නම් චරිතය වෙනුවෙන් පළමුව ඇරයුම් කර තිබුණේ ෆහද් ෆාසිල්වයි. ෆහද් ෆාසිල් වෙනත් චිත්‍රපට රූගත කිරීම්වල බොහෝ කාර්‍යබහුලව සිටි නිසාවෙන් එම අවස්ථාව ෂොබින්ට හිමි වෙනවා. කොහොම වුණත් ෆහද් ලෝකිගේ වික්‍රම් චිත්‍රපටයේ වගේම රජිණිගේ වේට්ටෛයන් චිත්‍රපටවලට රඟපෑවා. මලයාලම් කලාත්මක සිනමාවේ තවත් එක අති දක්ෂයෙකු ලෙසින් Ezha Veeha Poonchira (2022), Romancham (2023), Bheeshma Parvam (2022), Trance (2020), Churuli, Manjummel Boys (2024) යන චිත්‍රපට ෂොබින් තම රංගන කුසලතාව ඉස්මතු කර දැක්වූ නිර්මාණ විදියට දක්වන්න පුළුවන්. සොබින්ගේ කුළුඳුල් දෙමළ සිනමාපටය වන්නේ මෙයයි. කූලි චිත්‍රපටය වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට රූගත කිරීම් සිදු වෙද්දී ඔහුට චිත්‍රපට 6කට පමණ ඇරයුම් ලැබී ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදු වුණා. ඔහුට දෙමළ සිනමාවේ බොහෝ ඇරයුම් ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා.
Moondru Mugam (1982), Payum Puli (1983), Thambikku Entha Ooru (1984), Naan Mahan Alla (1984), Naan Sigappu Manithan (1985), Sri Raghavendar (1985), Mr Bharath (1986) යන චිත්‍රපටවල සත්‍යරාජ් රජිණි හා සමඟින් එකට රඟපා තිබෙනවා. ආසන්නව බැලුවොත් අවුරුදු 40කට පස්සෙදි තමයි සත්‍යරාජ් රජිණි හා රිදී තිරයේදී දකින්න ලැබෙන්නේ. Sivaji (2007) චිත්‍රපටයට රජිණි හා සමානව ගෙවීමක් කිරීමට එකඟ වෙමින් දුෂ්ඨ චරිතය වෙනුවෙන් ඇරයුම් කරත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔහු අවංකවම තමන් වීරයා ලෙස රංගනයෙන් ගොඩනගා ගත් ප්‍රතිරූපය නැවත දුෂ්ඨ චරිත රංගනයෙන් පහළ බැස්සවීමට අකමැති වූ බව ප්‍රකාෂ කළා. මේ හේතුවෙන් ඔහුට නැවතත් දිගින් දිගට දුෂ්ඨ චරිතයන් ලැබේද කියා බිය වූවා. කොහොම වුණත් ඔහුට බැරිම තැන ඉල්ලුම අනුව හැඩගැසීමට සිදු වූ බවද කීවා. සත්‍යරාක් රජිණි හා රඟපෑ එම චිත්‍රපට පෙළෙහි සියළුම චිත්‍රපටවල ප්‍රතිවිරුද්ධ චරිත ඉදිරිපත් කළ නිසා මෙහිදී රජිණිගේ මිත්‍රයෙකුගේ චරිතයක් රඟ දැක්වීමට අවස්ථාව ලබීම හේතුවෙන් එයට එකඟ වූ බව ඔහු සඳහන් කළා.
චාර්ලිගේ රංගන දිවියේ ආරම්භයේදී රජිණිගේ Dharmthin Thalaivan (1988), Siva (1989), Thalapathi (1991), Uzhaippali (1993), Veera (1994) චිත්‍රපටවල රඟපා තිබෙනවා. ඒ වගේම මෙහි කන්නඩ නිළි රචිතා රාම් ද, කන්නා රවී, ලොල්ලු සභා මාරන්, කාර්තිකෙයා දේව්, කාලි වෙන්කට්, අනිරුද්ගේ පියා රවී රාඝවේන්ද්‍රා, අයියප්පා පී. ෂර්මා, මහේෂ් මංජ්රේකර්, තෙළිඟු නළු අජෙයි යන අයද චරිත රඟ දක්වනවා. ශෝබනාගේ පොඩි සඳහන් කිරීමකුත් මෙහි ඇතුලත්. ලෝකේෂ් රජිණිගේ කැමතිම චිත්‍රපටය විදියට Thalapathi සඳහන් කළා. එහි සූරියා සහ සුබ්බුලක්ෂ්මිගේ ප්‍රේම අන්දරය බොහෝ හදවත්වල රැඳී පවතිනවා. තවද මෙහි මොනිකා ගීතය වෙනුවෙන් පූජා හෙග්ඩේ සහභාගී වුණා.
පහුගිය දවස්වල Thee චිත්‍රපටය ගැන අතිශයින් කතා බහට ලක් වෙලා තිබුණා. වික්‍රම් චිත්‍රපටය මෙන් කූලි චිත්‍රපටයට තී සමඟ Spiritual Sequel එකක් හෝ සම්බන්ධයක් නැහැ. මේ නිසා කූලී චිත්‍රපටය බලන්න තී නැරඹීම අනිවාර්ය නොවුණත් 80 දශකයේ ලංකාවේ සෞන්දර්යය ඉහළ ගුණාත්මයකින් අත් විඳින්න අවශ්‍ය නම් අනර්ඝ අත් දැකීමක් මෙයින් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත සුප්‍රසිද්ධ ස්ථාන වන වරාය, නිදහස් චතුරස්‍රය, මහා තැපල් කාර්‍යාලය වැනි ස්ථානවල මේ චිත්‍රපටය රූගත කිරීම් කර තිබෙනවා. ඔබ හැමෝම දන්නා මහරාජා ආයතනය(වර්තමානයේ කැපිටල් මහරාජා) විසින් එය සම නිෂ්පාදනය කරනු ලැබුවා. තී චිත්‍රපටය අමිතාබ් බච්චන් රඟපෑ Deewar (1975) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. කූලි හුදෙක් චිත්‍රපටයක් හෝ චිත්‍රපටයක ආභාෂයන් ගත් චිත්‍රපටයක් පමණක් නෙවෙයි. රජිණිගේ හා ලෝකේෂ්ගේ සැබෑ ජීවිතයේ සිදුවීම්ද මෙහි කැටි කර තිබෙනවා. මෙහි දේවාගේ කුලී ටෝකන් අංකය ලෝකේෂ්ගේ පියාගේ ටෝකන් අංකයයි. ලෝකේෂ්ගේ පියා කොන්දොස්තරවරයෙකු ලෙස කුලී සේවය කර තිබෙනවා. අලුතෙන් කියන්න දෙයක් නැහැ ලෝකයම දන්නවා රජිණි කොන්දොස්තරවරයෙක් විදියට සේවය කළා කියන එක. එපමණක් නෙවෙයි, ඔහු සිනමා රංගනය වෙනුවෙන් අවස්ථාවන් සොයා යන ගමනේදී කුලී සේවකයෙකු ලෙස බර කරතබා ගෙන යෑම් ආදිය කර තිබෙනවා.
“තලෛවර් වෙනුවෙන් මම මගේ පණම දෙනවා.” නිකන් වචන කීපයක් නෙවෙයි කියලා අනිරුද් ක්‍රියාවෙන්ම ඔප්පු කරා. සංගීතයෙන් පමණක් නොනැවතී සන් පික්චර්ස්ට නොදෙවෙනි ප්‍රචාරණයක් අනිරුද් ලබා දුන්නා. චිකිටු වයිබ් ගීතය අනිරුද් සහ අරිවු විසින් ගයනවා. මෙහි උපත සිත් ගන්නා සුළු කතාවක්. ටී. රාජේන්දර් සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ට සංගීතය නිපදවීමට සංගීත භාණ්ඩ උවමනා නැති බව සඳහන් කරමින් මුවින් විවිධ සංගීත කණ්ඩ නිර්මාණය කරනවා. මෙහි එම වීඩියෝ කොටස් මීම් ටෙම්ප්ලේට් එකක් විදියට ප්‍රසිද්ධියට පත් වෙනවා. චිකුටු ගීතය එම ප්‍රසිද්ධියට පත් වූ සංගීත කණ්ඩය රීමික්ස් කර තනා තිබෙනවා. අනිරුද් මෙලෙසින් මීම් ආශ්‍රයෙන් “Jalabula Jangu” (Amukka Dumukka),”Swadeeka” (Irunga Bhaai) යන ගීත නිර්මාණය කර තිබෙනවා. චිකිටු බයිබ් ගීතයට සැබෑ හිමිකරු ටී. රාජේන්ද්‍රන් හා අනිරුද්, සැන්ඩි එක්ව හුදෙක් ප්‍රවර්ධනයක් ලෙස නර්ථනයේ යෙදෙමින් නිර්මාණය කළ වීඩියෝවක් නිකුත් කළා. පහුගිය කළ මඟහැරි ගිය මුල් කාලයේ රජිණි වැඩ දැමූ ලේන්සුව ලෝකේෂ් මේ ගීතයේදී යොදාගෙන ගෙන තිබෙනවා. ජේලර් චිත්‍රපටයේදී ලේන්සුව නෙල්සන්ගේ මාස් අයිටම් එකක් කරගත්තා. “කූලි පවර් හවුස්” ගීතයේ පද පේළි Vettaiyan (2024) චිත්‍රපටයේ ඕඩියෝ ලෝන්ච් අවස්ථාවේදී අරිවු විසින් ගායනා කළ රැප් කොටස භාවිතා කර තිබෙනවා. “මොනිකා බෙලූචි” ගීතය සුබලාෂිනී සහ එහි රැප් කොටස අසල් කොලාර් විසින් ගායනා කළා. The Chair, Deva’s Flashback, Daaha Entry යන අවස්ථාවල අනිරුද්ගේ පසුබිම් වදනය කනට සුමියුරුයි සේම ඇබ්බැහි කරවන සුළුයි.
කූලි ට්‍රේලරය අගෝස්තු 2 දා Coolie Unleashed සංගීතය එළිදැක්වීමේ උත්සවය අවස්ථාවේදී නිකුත් කළා. ජේලර් චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් කළේද මීට වසර දෙකකට පෙර අගෝස්තු 2 දිනකයි. කූලි චිත්‍රපටයට ද ඉහළ බලාපොරොත්තු බැඳගෙන සිටීම නිරීක්ෂණය කර ලියෝ හිදී අසීමාන්තික අතිශයෝක්තියෙන් ප්‍රේක්ෂකයින් වික්ෂිප්ත වීම අත්විඳි නිසාවෙන් ලෝකේෂ් කූලි ට්‍රේලරය උවමනාවෙන්ම එම බලාපොරොත්තු යටපත් කරන ආකාරයේ ට්‍රේලරයක් ලෙසින් නිකුත් කළා. ට්‍රේලරය නිකුත් කිරීමෙන් පසුව පවා කන්ටේනර 2, සන්දනම්ගේ වේට්ටි වගෛයාරා කල්ලිය, අවුරුදු 30ක් සැඟවී සිටියා යන දේවල් ඈඳා මෙය LCU හා සම්බන්ධ කිරීමට බොහෝ ප්‍රයත්න දැරුවා. ට්‍රේලරය නිකුත් වීමෙන් අනතුරුව පවා නිවේදකයින් LCU නේද කියලා අහලා ලෝකේෂ්ගේ බෙල්ල මිරිකන්න ගත්තා. අවසානයේ නිකුත් කිරීමට පෙර දින නිළ ප්‍රකාෂයක් නිකුත් කරමින් එය තනි චිත්‍රපටයක් බව සඳහන් කළා. කොහොම වුණත් ට්‍රේලරය ආශ්‍රයෙන් ෆෑන් තියරි කිහිපයක්ම සංචරණය වුණා. මේ ෆෑන් තියරි කියවන එක වෙනම ආතල් එකක්. ලෝකේෂ්ට අලුතෙන් කතා ලියන්න උවමනා වෙන එකක් නැහැ. ට්‍රේලරය නිකුත් වීමෙන් පසුව වැඩි වශයෙන් කතා බහට ලක් වුණේ විදුලිය භාවිතයෙන් යම් පරීක්ෂණයක් කරමින් යන පුටුව ගැනයි. ඒ නිසාම නිකුත් වීමෙන් පසු බොහෝ අය තෘප්තිමත් නොවීමට මේ පුටුවත් එක් හේතුවක් වුණා.
වසර 35කට පමණ පසුව රජිණිගේ චිත්‍රපටයකට A සහතිකය ලැබීම සුවිශේෂීත්වයක්. මීට පෙරදී Netrikann (1981), Puthu Kavithai (1982), Naan Mahan Alla (1984), Naan Sigappu Manithan (1985), Siva (1989) යන චිත්‍රපටවලට වැඩිහිටියන්ට පමණක් සීමා කරමින් A සහතිකය හිමි වූවා. ලෝකේෂ්ගේ චිත්‍රපටයකට A Rated සහතිකය ලැබුණේ පළමු වතාවටයි. නිකුත් වීමෙන් අනතුරුව මේ චිත්‍රපටයට Adults Only සහතිකය ලැබුණේ ඇයිද කියා බොහෝ දෙනෙකු කුතුහලයට පත්ව තිබුණා. ඊට හේතුව මෙහි පෞද්ගලික වරාය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී ජාවාරම් කටයුතුයි.
කූලී වෙනුවෙන් කෝටි 400ක වියදමක් වැය කර තිබෙනවා. ඒ වගේම සන් පික්චර්ස් ලෝකේෂ්ට දුන් මුදලින් කෝටි පහක් ඉතිරි කර වැඩ කටයුතු අවසන් කළ බව නාගර්ජුනා විසින් ප්‍රකාෂ කළා. මෙහි රූගත කිරීම් සඳහා වසර දෙකක් තුල දින 140ක් වැය කර තිබෙන අතර, කූලි සඳහා ගත වූ කාලය ඔහුගේ චිත්‍රපට අතරින් රූගත කිරීම් සඳහා ගත වූ වැඩිම කාලය වනවා. කූලි චිත්‍රපටයේ ඔහු ඉතාමත් සීමිත වශයෙන් VFX භාවිතා කළ බව ප්‍රකාෂ කළා. රඟපෑව නළුවන්ගේ ගෙටප් එකට වඩා ලෝකේෂ්ගේ ගෙටප් එක නම් කීප වතාවක්ම වෙනස් වෙලා තියෙන බව BTS ඡායාරූප වලින් පෙනෙනවා. ඊට හේතුව ඔහු මීළඟට අරුන් මාදේශ්වරන්ගේ අධ්‍යක්ෂණයෙන් රංගනයට පිවිසීමට සූදානමින් සිටිනවා. ශිවකාර්තිකේයන් රඟන සුධා කොන්ගරාගේ Parashakthi චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය වෙනුවෙන්ද ඔහුට ඇරයුමක් ලැබී තිබුණා. රූගත කිරීම් වලදී පරස්පරතා ඇති විය හැකි බැවින් එය කාරුණිකව ප්‍රතික්ෂේප කළා.
මෙහි දේවාගේ අතීත කතාවේ ස්වරූපය වෙනුවෙන් De-Aging තාක්ෂණය යොදා ගත්තා. ඒ විතරක් නෙවෙයි AI තාක්ෂණය යොදා ගනිමින් 80 දශකයේ රජිණිගේ, සත්‍යරාජ්ගේ කටහඬ ප්‍රතිනිර්මාණය කළා. ලෝකේෂ් වික්‍රම් වෙනුවෙන්ද De-Aging පාවිච්චි කළත් එතරම් පරිපූර්ණ නොවීම නිසා එම දර්ශන අවසන් පිටපතට එකතු කළේ නැහැ. කූලි අතීතාවර්ජනය ඉන්දීය සිනමාවේ De-Aging තාක්ෂණයේ පරිපූර්ණ නිමවුමකට කදිම නිදසුනක්.
කූලී බිඳ දැමූ වාර්තා
Jailer චිත්‍රපටයෙන් අනතුරුව Laal Salam සහ Vettaiyan පැමිණීමට නියමිතව තිබුණා. Lal Salaam හි රජිණි විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරන නිසාවෙන් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටියේ වේට්ටෛයන් චිත්‍රපටය වෙතයි. වේට්ටෛයන් මහා පරිමාණයෙන් සාර්ථකත්වයක් අත් කරගත්තේ නැති නිසාම සැළකිය යුතු අවධානයක් ඊට නොලැබී ගියා. අන්තර්ගතය මූලික කරගත් මතභේදාත්මක චිත්‍රපටයක් වාණිජමය ලෙස වාර්ථා බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක්.
අගෝස්තු 14 දින කූලි තිරගත වූයේ 15 දින ඉන්දියානු නිදහස් දිනයට සමගාමීවයි. කූලි හා තරඟ කරමින් රිතීක් රෝෂන් හා ජූනියර් NTR රඟන Yash Raj Spy Universe එකට අයත් War 2 චිත්‍රපටය එදිනම තිරගත වූවා. Filmfare සඟරාව මෙයට 3.5/5ක්, India TV 3.5/5ක්, Deccan Herald 3.5/5ක්, The Times of India 3.5/5ක්, Bollywood Hungama 3/5ක්, NDTV 3/5ක් ලෙස අගය කිරීම් ලබා දුන්නා.
- කූලි ආදායම් වාර්තා ගැන සඳහන් කරද්දී බිඳ හෙළිය නොහැකි වසර 9ක් පුරා සෙලවිය නොහැකි වාර්තාවක් වූ ඇ.ඩො. මිලියන 2ක කබාලි Premiere ආදායම සිහසුනෙන් පහකර නැවතත් රජිණිගේ චිත්‍රපටයක් වූ කූලි සිහසුනේ හිඳගන්නවා. කබාලි උතුරු ඇමරිකාවේදී $500K ඉක්මවූ ප්‍රථම දකුණු ඉන්දියානු චිත්‍රපටයයි. පැහැදිලි වෙන්න ඇතිනේ කබාලිට කලින් කිසිදු දකුණු ඉන්දියානු චිත්‍රපටයක් $500K සීමාව ඉක්මවා තිබුණේ නැහැ. කූලී ලෝකි නිසා හරි අනිරුද් නිසා හරි අතිශයෝක්තිය වැඩි වුණා කියමුකෝ. පා. රන්ජිත් වැනි අධ්‍යක්ෂකවරයෙක් එක්ක 2016 දී මෙවන් මුදලක් එකතු කර ගැනීම හාස්කමක්. කූලි උතුරු ඇමරිකාවේ ප්‍රිමියර් ආදායම ඇ.ඩො. මිලියන 3.04ක්. එම මුදල ප්‍රිමියර් සහ පළමු දින එකතු කළත් මේ වන තුරු වෙනත් කිසිම දෙමළ චිත්‍රපටයක් එකතු කරගෙන නැහැ. මේ අසාමාන්‍ය වාර්තාව සැළකිය යුතු කාලයකට බිඳ හෙළීම රජිණි හැරුණුකොට දමිළ සිනමාවට අසීරු කාර්යයක්.
- කේරළයේ Opening ආදායම ඉ.රු. කෝටි 8ක්. කේරළයේ ප්‍රවේශපත් අලෙවිය ආරම්භ වී මිනිත්තු 30-40ක් තුල ප්‍රවේශ පත් 40,000ක් වාර්ථාගත ලෙස අලෙවි වූවා. පැය තුනක් තුල අලෙවි වූ ප්‍රවේශපත් ප්‍රමණය ලක්ෂ 235ක්.
- කර්ණාටකයේ Opening ආදායම ඉ.රු. කෝටි 9ක්. සහ එහිද ප්‍රවේශපත් අලෙවිය ආරම්භ වී මිනිත්තු 37ක් තුල ප්‍රවේශපත් 10,000 අලෙවියෙන් තම කර්මාන්තයේම KGF Chapter 2(මිනිත්තු 45) තැබූ වාර්ථාව හඬ කැවූ චිත්‍රපටයක් විසින් බිඳ දැමුවා.
- Empuraan සහ Kalki චිත්‍රපටවලට පසුව Book My Show හි ප්‍රවේශපත් අලෙවිය ඇරඹූ දින අලෙවි වූ වැඩිම ප්‍රවේශ පත් ප්‍රමාණය ලෙස වාර්ථාගත වනවා.
• කූලි පෙර විකුණුම් ආදායම ඉ.රු. කෝටි 100 ඉක්මවා තිබෙනවා. මේ රජිණිගේ පලමු දින කෝටි 100 ඉක්මවූ හතරවැනි චිත්‍රපටයයි. (Kabali, 2.0, Jailer, Coolie) ඒ වගේම මෙම කඩයිම පසු කළ රජිණිගේ 13 වැනි චිත්‍රපටයයි. - වාර්තාගත ලෙසින් තිරගත වීමට දින 3 පෙරදීම Book My Show ප්‍රවේශපත් මිලියනයක් අලෙවි වනවා. මෙම කඩයිම පසුකල වේගවත්ම ඉන්දියානු චිත්‍රපටය වන්නේ මෙයයි.
- පළමු දින උතුරු ඇමරිකා ආදායම ඇ.ඩො. මිලියන 4.35ක්.
- පළමු දින ගෝලීය ආදායම ඉ.රු. කෝටි 151ක්. සහ එය දෙමළ සිනමාවේ පළමු දිනයේදී වාර්ථා කළ ඉහළතම ආදායමයි.
- කූලි පළමු දින 4 තුල පමණක් ආදායම ඉ.රු. කෝටි 404ක්.
- උතුරු ඇමරිකාවේ ආදායම් වලින් ඇ.ඩො. මිලියන 5 සීමාව පසු කළ වේගවත්ම දමිළ චිත්‍රපටය වන්නේද මෙයයි.
- BookMyShow හි වැඩිම පෙර විකුණුම් අලෙවියක් වූ දමිළ චිත්‍රපටය ලෙස ටිකට් මිලියන 2.5ක් අලෙවි වී තිබෙනවා. ඒ වගේම BookMyShow හි ටිකට් මිලියන 5 පසුකර අලෙවි වූ රජිණිගේ 3 වැනි චිත්‍රපටය.
- පළමු සතිය අවසානයේ තමිල්නාඩුවෙන් ඉ.රු. කෝටි 122ක්, තෙළිඟු ප්‍රාන්ත වලින් ඉ.රු. කෝටි 60ක්, සහ කර්නාටක ප්‍රාන්තයෙන් ඉ.රු. කෝටි 37.25ක්, උතුරු ඉන්දියාව ඇතුළු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වලින් ඉ.රු. කෝටි 34ක්, විදෙස් රටවලින් ඉ.රු. කෝටි 180 ඉක්මවූ වේගවත් ආදායමක් උපයාගෙන තිබෙනවා. තෙළිඟු ප්‍රාන්තවල කෝටි 50 ආදායම් සීමාව ඉක්මවූ දෙමළ චිත්‍රපට 6 අතරින් 4ක්ම රජිණි සතුයි.
- විශේෂයෙන්ම කේරළය රජිණිට අහිතකර බළ ප්‍රදේශයක්. එම නිසාවෙන්ම වෙන්නට ඇති රජිණිගේ චිත්‍රපට තිරගත කෙරෙද්දී මලයාලම් බසින් හඬකැවීමක් සිදු වන්නේ නැහැ. ඒ කොහොම වුණත් කූලි කේරළයේ ආදායම ඉ.රු. කෝටි 20 ඉක්මවා තිබෙනවා වගේම, එම කෝටි 20 සීමාව ඉක්මවූ චිත්‍රපට දෙකක් හිමි එකම දෙමළ නළුවා වන්නේ රජිණියි.
- ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේදී වාර්ථා වූ වේගවත්ම ඕ.ඩො. මිලියනය.
- මැලේසියාවේදී පලමු සතියේදී මැලේසියන් රිංගිට්ට් මිලියන 10 පසු කළ ඉන්දියානු චිත්‍රපටය කූලි.
- කූලි Book My Show හි මිලියන 5 පසුකර ප්‍රවේශපත් අලෙවි වූ තෙවැනි දෙමළ චිත්‍රපටය වනවා. මීට පෙරදී 2.0, ජේලර් යන චිත්‍රපට මෙම කඩයිම ඉක්මවා තිබෙනවා.
- විදෙස් රටවල ආදායම ඇ.ඩො. මිලියන 20 ඉක්මවූ චිත්‍රපට තුනක් ලබා දුන් එකම දකුණු ඉන්දීය නළුවා රජිණියි.
- කූලි 11 වැනි දින ඉ.රු. කෝටි 500 කඩයිම පසු කළා. දෙමළ සිනමාවේ එම කඩයිම පසුකළ චිත්‍රපට හතරෙන් තුනකටම හිමිකම් කියන්නේ රජිණියි.
- කූලි චිත්‍රපටයේ විදෙස් රටවල තිරගත කිරීමේ හිමිකම අවම වගකීම යටතේ හම්සිනී එන්ටර්ටේන්ට්මන්ට් ඉ.රු. කෝටි 90ක වාර්ථාගත මුදලකට මිලදී ගනු ලැබුවා. ආන්ද්‍රා තෙලංගානා ප්‍රාන්තවල හිමිකම ඉ.රු. කෝටි 50ක්, කර්නාටකා ඉ.රු. කෝටි 40ක්, කේරළයේ ඉ.රු. කෝටි 25ක්, අනෙකුත් ඉන්දීය ප්‍රදේශ ඉ.රු. කෝටි 60ක් සහ තමිල්නාඩුවේ හිමිකම ඉ.රු. කෝටි 110කට අලෙවි වී තිබුණා.
- විදෙස් රටවල ආදායම ඇ.ඩො. මිලියන 20 ඉක්මවූ වාර්ථා 3 හිමි එකම ඉන්දීය නළුවා වන්නේද රජිණි.
- ඒ වගේම ඉ.රු.කෝටි 600 ඉක්මවා යමින් දෙමළ සිනමාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් තෙවනි ස්ථනයට පත් වූවා. 2.0 සහ Jailer පෙරමුණේ සිටිනවා.
පලමු දිනම සංවිධානාත්මක ලෙස සෘණාත්මක ප්‍රතිචාර ලබා දීමක් සිදු වුණා. මෙය ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ චිතපටය නොවීම නිසා පලමු දිනයේ “කේල් කතම් මර්ගයා” තත්වයක් තමයි පෙන්වූයේ. කොහොම වුණත් වැඩි කාලයක් යන්නට පෙරම සැබෑ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉස්මතු වෙන්නට පටන් ගත්තා. ඔව්, මේක සමාජ මාධ්‍ය වලින් මනස යොමු කරපු නිර්මාණාත්මක චිත්‍රපටය නෙවෙයි. ලෝකේෂ්ගේ ටච් එක තියෙන රජිණි චිත්‍රපටයක්. මේක ලෝකේෂ්ගේ සුපුරුදු ශෛලියේ චිත්‍රපටයක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම දැඩි රජිණිගේ රසිකයෙකුගේ චිත්‍රපටයක්. රජිනිෆයිඩ් වුණ ලෝකේෂ්ගේ චිත්‍රපටයක්. ලෝකේෂ්, කාර්තික් සුබ්බරාජ්ට අභියෝගයක් කළා කියලයි හිතෙන්නෙ. කුලි හරහා දකින්නේ මේ වෙනකල් නොදුටු බිග් බජට් ලෝකේෂ් ක්නගරාජ්වයි. ලෝකේෂ්ම සඳහන් කළා ඔහුගේ නිවසේ ඔහු හැරෙන්න පවුලේ සැවොම රජිණි රසිකයින් බව. ලෝකේෂ්ද කුඩා කල හැදී වැඩුණේ රජිණිගේ චිත්‍රපට නරඹමින් බවත් Sathya (1988) චිත්‍රපටයෙන් කමල්ගේ රංගනයට ආකර්ෂණය වී එතැන් පටන් කමල් රසිකයෙකු වූ බවද සඳහන් කළා. ලෝකේෂ්ගෙ පරාසයේ චිත්‍රපටියක් බලාපොරොත්තු වුණ අයගෙන් මෙහෙම සෘණාත්මක ප්‍රතිචාර ලැබීමත් එක අතකින් හොඳයි. නැත්නම් මේ වෙද්දි චිත්‍රපටය අත් කරගත් සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම බැර වෙන්නේ ලෝකේෂ්ගේ ගිණුමට. “ලෝකේෂ්ගේ දුර්වලම චිත්‍රපටය” නමින් හඳුන්වන මෙය ලෝකේෂ්ගේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය කළේ “රජිණි” කියන සාධකයයි.
කබාලි, ජේලර් චිත්‍රපටවලට මෙන් කූලි වෙනුවෙන්ද සමාගම් කිහිපයක් කූලි නැරඹීම සඳහා සේවකයින්ට නිවාඩු නිවේදනය කරමින් ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා දී තිබුණා. උතුරු ඉන්දියාවේ සීමිත දර්ශනවාර ප්‍රමාණයක් හිමි වුවත් කූලී හි ආසන වෙන් කරගැනීම් War 2 යටපත් කරගෙන උණු කැවුම් මෙන් විකිණී ගියා. ඒ වගේම ඇමරිකාවේ පුද්ගලයෙකු සුපර් මෑන් සහ F1 චිත්‍රපටවලට නොතිබූ උන්මාදයක් ඇත්තේ ඇයිද සහ මේ ඔයාලගේ ඇවෙන්ජර් ද? යන ලෙස විමතියෙන් අසා තිබුණා. අගෝස්තු 15 දින ඇතැම් සිනමාශාලා පරිශ්‍රයන් තුලත් ඉන් පිටතත් විශාල ජනකායක් එක් රොක් වී සිටින ආකාරයක් දැකගැනීමට ලැබුණා. ඇතැම් සිනමාශාලාවල වයස් සීමා උල්ලංඝනය කරමින් චිතපටය නරඹන අයුරු දක්නට ලැබුණා.
තමිල්නාඩුවට වඩා තෙළිඟු ප්‍රේක්ෂකයින්ට තිබෙන උනන්දුව දකිද්දි පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. ඒක නම් මාරම උණක්. එක අතකින් Jr. NTR රඟන War 2 මෙදිනම නිකුත් වුණා. තෙළිඟු ප්‍රාන්තවල War 2 අභිබවමින් කූලි අති සාර්ථකව තිරගත වුණා. කූලි පළමුවෙන්ම හින්දි බසින් Majadoor නමින් නම් කර තිබුණා. උතුරු ඉන්දියාවෙන් පවා දිගින් දිගටම සෘණාත්මක ප්‍රතිචාර හිමි වීම නිසා එය Coolie The Power House ලෙස වෙනස් කළා. War 2 උතුරු ඉන්දීය සිනමාශාලා දඩයම් කර ගනිමින් වැඩිම දර්ශන වාරයන් ලබා ගත්තත් නිකුත් කිරීමෙන් අනතුරුව පළමු සතිය්‍දීම දැඩි කඩාවැටීමකට ලක් වුණා. තෙළිඟු ප්‍රාන්තයේ තත්වය තවත් දරුණු වෙමින් අලාභ තත්වයට පත්ව තිබෙනවා.
කෝටි 1000 ශාපය
පළමුවෙන්ම විජේ සහ ලෝකේෂ් සංකලනයෙන් Leo (2023), දෙවනුව කමල් හාසන්ගේ දැඩි බලාපොරොත්තු සහගත ව්‍යාපෘතිය වූ Indian 2 (2024), තෙවැනුව වඩාත් බලාපොරොත්තු සහගත කමල් හාසන් සහ මනි රත්නම් යුගලය Thug Life (2025) යන චිත්‍රපට වලින් කෝටි 1000 සිහිනය සාර්ථක කරගනීවි කියා බොහෝමයක් දෙනා අනාවැකි පළ කරමින් බලාපොරොත්තු තබා ගත්තත් ඒවා පුස්සක් වී ගියා. පිළිවෙළින් ඉන් පසුව දෙමළ සිනමාවේ ඉ.රු. කෝටි 1000 ඉක්මවා යන චිත්‍රපටය කූලි වේවියි කියා මේ අතට හැරුණා. රජිණි ෆෑන් කෙනෙක්ගෙන් ඇහුවොත් නම් කියන්නෙ අපිට කෝටි 1000 ගහයිද ඒවා මේවා ඕන නැහැ තලෛවර්ගේ වයස්ගත අවධියේදී මේතරම් සෞඛ්‍ය තත්වය අයහපත් කාලයේදී පවා අපි වෙනුවෙන් බලන්න චිත්‍රපටි රඟපාන එකම ලොකු දෙයක් කියලයි. ඒ වුණත් මේ කෝටි 1000 කඩයිම ශාපයක් වෙලා තියෙන්නේ තමන්ගේ කර්මාන්තයටම හූනියම් කරගන්න මෝඩ පහේ මිනිස්සු ඉන්න නිසාවෙනුයි. Pushpa 2 (2024) චිත්‍රපටයට කොතරම් සෘණාත්මක ප්‍රතිචාර ලැබුණත් තෙළිඟු මාධ්‍ය හා සමාජ මාධ්‍ය බලපෑම් කරුවන් එය රසවිඳිමින් තවත් අයට නැරඹීමට පෙළඹවීමක් ඇති කළා. ඒ නිසාම එය හින්දි ප්‍රේක්ෂකයින් අතරේද ව්‍යාප්තවී ඉ.රු. කෝටි 1800ක පමණ ආදයමක් උපයා ගැනීමට මහඟු උපකාරයක් වුණා. කූලි චිත්‍රපටයට උතුරු ඉන්දියාවේ සීමිත දර්ශනවාර සංඛ්‍යාවක් ලැබීම, පෑන් ඉන්ඩියා චිත්‍රපටයක් වූ War 2 සමඟින් තරඟ කිරීමට සිදු වීම සහ දකුණු ඉන්දියාවේ අනවශ්‍ය බලාපොරොත්තු තබා ගැනීම බොහෝ අහිතකර ලෙස බලපෑවා. ජේලර් 2 ආවත් තවත් කකුළුවෙකුට ගොඩ යන්න දෙන්නෙ නැති කකුළුවගේ කතාව වගේ, තමන්ට නැත්නම් වෙන කාටවත්ම නැහැ කියන මානසික මට්ටමෙන් ඉන්න තාක් කල් තමිල්නාඩුවට මේ කෝටි 1000 කඩයිම කියන්නෙ ශාපයක්. ඊළඟට විජේගේ Jana Nayagan දිහාවට මේ ශාපය හැරිලා තියෙන්නේ. ජන නායගන් ශාපයට බිලි වේවිද, නැතිනම් ශාපයට අවසානයක් ගෙන ඒවිද කියා බලමු.
සිනමාවේ අඩ සියවස සමරන රජිණිකාන්ත්
රජිණි යනු හුදෙක් තමිල්නාඩුවේ පැලපදියම් වූ දෙමළ නළුවෙක් නෙවෙයි. ඔහු දෙමළ සිනමාවට පමණක් සීමා නොවී තෙළිඟු, හින්දි, කන්නඩ, බෙංගාලි, මලයාලම් භාෂා චිත්‍රපවල රඟපා තිබෙනවා. තෙළිඟු ප්‍රේක්ෂකයින් ඔහු එම කර්මාන්තයේම නළුවෙකු සේ සළකනවා. අදටත් තෙළිඟු සිනමා අධ්‍යක්ෂකවරුන් ඔහුව හමු වී කතා ඉදිරිපත් කරනවා. කර්නාටක ප්‍රාන්තය ඔහුගේ උපන්බිම නිසාවෙන් එම ආදරය සදහටම පවතිනවා. හින්දි ප්‍රේක්ෂකයින් අතරේත් ඔහුට දැඩි ආකර්ෂණයක් තිබුණත් ඉන් ප්‍රයෝජනයක් ගැනීමට අසමත් වී තිබෙනවා. මේ හේතු නිසවෙන් රජිණිට ප්‍රාන්ත කිහිපයකටම නෑකම් කිව හැකියි. මීට වසර 50කට පෙරදී සිවාජි රාඕ ගයික්වාඩ් නම් තරුණයා සුපර් ස්ටාර් රජිණිකාන්ත් බවට පත් වූ කතාන්දරය කෙටිකර මෙලෙසින් දැක්විය හැකියි. ඉහත කී පරදි රජිණිගේ උපන්බිම කර්නාටකය වන අතර ඔහු දිළිඳු පවුලක දරුවෙක්. නාඩගම් රංගනයේදී රජිණිට තිබූ සුවිශේෂී රංගන හැකියාව හඳුනාගත් ඔහුගේ මිතුරා රාජ් බහදූර් තම ගෙල තිබූ රන් මාලය රජිණිට දී මැඩ්‍රාස් ගොස් සිනමා අවස්ථාවක් ලබාගන්න කියා පිටත්කර හරිනවා. මොකද එකළ දකුණු ඉන්දියාවේ වඩාත් දියුණුම සිනමාව තිබුණේ මදුරාසියේ. වාසනාවන්ත විදියට කේ. බාලචන්දර්ට ඔහුව ඇස ගැටෙනවා. ඒ අයුරින් කේ. බාලචන්දර් Apoorva Raagangal (1975) චිත්‍රපටයෙන් සිවාජිව, රජිණිකාන්ත් ලෙසින් සිනමාවට හඳුන්වා දුන්නා. රජිණි තම සිනමා දිවිය ආරම්භ කළ සමයේ ඔහුට වැඩි වශයෙන් හිමි වූයේ දුෂ්ඨ චරිතයි. ඔහුට ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් ලැබුණේ Mundru Mudichcu (1976) චිත්‍රපටයෙන්. එම චිත්‍රපටය සඳහා කමල් හාසන්ට ඉ.රු.30,000ක් හා ශ්‍රී දේවිට ඉ.රු.5000ක් ලෙස ගෙවීම් කළ නමුත් රජිණිට ලැබූයේ ඉ.රු.2000ක් පමණයි. 16 Vayathinile වැනි චිතපටවල ඔහුගේ සුවිශේෂී රංගන විලාසය, වේගවත් සංවාද ඉදිරිපත් කිරීම සහ ශෛලීගත ඉරියව් ඉක්මනින්ම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණා. මේ නිසා ඔහුට ඉක්මනින්ම ප්‍රධාන චරිත ලැබෙන්නට පටන් ගත්තා. Billa (1980) චිත්‍රපටය ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූවා. මෙහිදී ඔහු ද්විත්ව චරිතයක් නිරූපණය කළ අතර, එය ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූවා. මේ කාලය වන විට ඔහු දමිළ සිනමාවේ ප්‍රධාන නළුවෙක් ලෙස ස්ථාවරව සිටියා. රජිණි මෝටර් සයිකල් පැදවීමට දැඩි කැමැත්තක් තිබුණා. ඒ වගේම මෝටර් සයිකල් පැදීමේදී අත් අතහැර යාම ආදී වැඩ දැමීමට ඔහු පුරුදු වී සිටියා. එක් අවස්ථාවක මෝටර් සයිකලයෙන් වැටීම නිසා ඔහුගේ නාසය කැඩී තුවල වූවා. ඔහුගේ ගුරු බාලචන්දර් අවදානම් ලෙස මෝටර් සයිකල් පැදීම පිළිබඳ අවවාද කළා. එහිදී රජිණි නැවත මෝටර් සයිකල් පැදවීමෙන් වැළකීමට තීරණය කළා. වසර ගණනක් වුණත් වැටීමෙන් නාසයේ ඇති වූ තුවල කැලල තවමත් මැකී ගිහින් නැහැ. 90′ දශකයේදී රජිණි විසින් රඟපෑ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිට පිට අලුත් කළ අතර, ඔහුගේ ජනප්‍රියත්වය ද පෙර නොවූ විරූ ලෙස ඉහළ ගියා. Annamalai (1992) චිත්‍රපටය රජිණිගේ කීර්තිය තව තවත් තහවුරු කළා. මෙහිදී ප්‍රථම වරට, චිත්‍රපටයේ ගීතයක ‘සුපර් ස්ටාර් රජිනි’ යනුවෙන් සඳහන් කෙරුණා. මෙම ගීතය විශාල ලෙස ජනප්‍රිය වීමත් සමඟම ‘සුපර් ස්ටාර්’ යන නාමය ඔහුගේ අනන්‍යතාව බවට පත් වුණා. ‘සුපර් ස්ටාර්’ යන නාමය හුදෙක් නමක් පමණක් නොවේ. එය ඔහුට හිමි වූයේ ඔහුගේ සුවිශේෂී ගති ලක්ෂණ කිහිපයක් නිසායි. ඔහුට තිබූ අද්විතීය ශෛලියන් වූ සිගරට් කරකැවීම, අව් කණ්ණාඩි දමා ගැනීම සහ ඇවිදින විලාසය වැනි ඔහුගේ සුවිශේෂී චලන අතිශයින් ජනප්‍රිය වූ අතර, ඒවා ලක්ෂ සංඛ්‍යාත රසිකයන් විසින් අනුකරණය කිරීමට පෙළඹුණා. තවත් දෙයක් නම් ජනතාවගේ නළුවා (Mass Hero) ලෙස ඔහු රඟපෑ චරිත සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප වුණා. දුප්පත් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන, අසාධාරණයට එරෙහිව නැගී සිටින වීරයෙකු ලෙස ඔහු ජනතාවගේ හදවත් දිනා ගත්තා. ඔහු කළු පැහැති නළුවෙක් වීම ඊට බෙහෙවින් රුකුලක් වුණා. ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට වාර්තාගත ආදායම් ඉපැයූ අතර, චිත්‍රපට කර්මාන්තයේ විශාල ආයෝජනයන් ඔහුගේ චිත්‍රපට මත සිදු වුණා. මේ සියලුම කරුණු නිසාවෙන්, ‘සුපර් ස්ටාර්’ යනු නමක් පමණක් නොව, රජිණිකාන්ත් යන්න සිනමාව තුළ ගොඩනැගූ සන්නාමයක් බවට පත් වූවා. එම නාමය ඔහුට තනි සිදුවීමකින් ලැබුණක් නොව, වසර ගණනාවක් පුරා ඔහු දැක්වූ කැපවීම, අද්විතීය රංගන ශෛලිය සහ ජනතාවගේ ආදරය මත ගොඩනැගුණු දෙයක්. Baashha (1995) රජිණිකාන්ත්ගේ වෘත්තීය ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් වුණා. මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේම වාර්තා තැබූ අතර, රජිණිකාන්ත්ගේ ‘සුපිරි වීරයා’ ප්‍රතිරූපය තව තවත් තහවුරු කළා. මෙහිදී ප්‍රේක්ෂකයෝ ඔහුගේ රංගනයට, සංවාදවලට සහ විලාසිතාවන්ට වශී වුණා. එපමණක් නොවෙයි ඔහුගේ චරිතාපදානය බොහෝ නළුවන්ට ආදර්ශයක් වුණා. කන්නඩ නළු යෂ්ගේ පියා ද රජිණි සේවය කළ බස් ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් වගේම ඔහු රජිණිගේ ශෛලිය සියැසින් දැක තිබෙනවා. යෂ්ගේ ආරම්භක කාලයේදී ඔහුද රජිණි මෙන් විශාල තරුවක් වන බවට බොහෝ දෙනා අනාවැකි පළ කර තිබෙනවා. රජිණි බිහි කළ Industry Hits වාර්ථා 16යි. අවසන් වරට Non-Rajini වාර්ථාවක් ලෙස Industry Hit එකක් වාර්ථා වූයේ 1996දී කමල් හාසන්ගේ Indian චිත්‍රපටයෙන්. 1996 සිට මේ දක්වා කාලය තුල කොතෙක් නවක නළුවන් දමිළ සිනමාවේ ආධිපත්‍යය පැතිරීමට පැමිණියත් තවමත් එකම එක Industry Hit එකක් ලබා දීමට අපොහොසත් වූවා. Non-Rajini Records යන්න බිහි වන්නේ මේ නිසාමයි.
ස්ටයිල් මන්නන්(ශෛලියේ රජු) ඉන්පසු තලපති, ඉන්පසු සුපර් ස්ටාර්, ඉන්පසු තලෛවර්(ප්‍රධානියා) ලෙසින් ඔහුව අමතන නාමය විකාශනය වූවා. සිවාජි රාඕ ගයික්වාඩ් ලෙසින් පැමිණ සුපර් ස්ටාර් ලෙසින් පරම්පරා පහක හදවත් දිනාගෙන රජිණි තම සිනමා දිවියේ 50 වැනි වර්ෂය මේ අගෝස්තු 15 දින සැමරුවා. මේ වෙනුවෙන් කූලී චිත්‍රපටයට විශේෂ ටයිටල් කාර්ඩ් ඇනිමේෂන් එකක් නිර්මණය කළා. මේ විදියට ටයිටල් කාර්ඩ් සම්ප්‍රදායට මූලාරම්භය වූයේ 1992 දී තිරගත වූ අන්නාමලෛ චිත්‍රපටයෙන්. 1978දී Bhairavi සිනමාපටයේ ප්‍රචාරණය වෙනුවෙන් S. ධානු “Super Star” යන පට්ටම යොදා ගන්නවා. ඒ වෙනුවෙන් Plaza Theater හිදී රජිණිගේ අඩි 35ක කටවුට් එකක් ප්‍රදර්ශනය කරනවා. නමුත් රජිණි ඔහුව සුපර් ස්ටාර් යන නම ප්‍රචාරණය සඳහා යොදා ගැනීම ගැන එකඟ වුණේ නැහැ. 1992 දී Annamalai චිත්‍රපටයට නිල් ඩොට් වලින් “Super Star” යන ටයිටල් ඇනිමේෂන් එක නිර්මාණය කරනවා. එය විවිධ ආකාරයට විකාශනය වෙමින් තිබියදී ධානු විසින් නිෂ්පාදනය කළ කබාලි චිත්‍රපටයට යළිත් මේ අන්නාමලෛ හීදී යොදාගත් ටයිටල් කාර්ඩ් ඇනිමේෂන් පටය යොදා ගන්නවා. කබාලි ටීසරයේ සයිරන් හඬත් සමඟ මේ ඇනිමේෂන් පටය ලොවක් කැළඹුවා. ඉන් පසු පැමිණි සෑම චිත්‍රපටයකම මේ ඇනිමේෂන් පටය නොනවත්වා භාවිතා කෙරෙනවා. (2.0 ඇරෙන්න) ප්‍රථම වතාවට කූලි චිත්‍රපටයේදී නිල් පැහැති ‘ඩොට්’ නැත්නම් ‘තරු’ රතු පැහැ ගන්වා තිබෙනවා. මේ තරු නාමයෙන් එහාට ගොස් ඔහුට ජනතා ප්‍රසාදය, ආදරය, ගෞරවය නොනවත්වාම ලැබෙන්නේ ඔහු සතු උතුම් මනුෂ්‍යත්ව ගුණාංග නිසායි. ඔහු අධ්‍යාත්මිය ජීවිතයට බොහෝ ඇලුම් කරනවා. ඔහු ආශ්‍රය කළ නළුවන්, කලාකරුවන්, දේශපාලකයින්, ජනතාව පවසන්නේ ඔහු කිසිදාක ඔළුව උදුම්මවාගත් පුද්ගලයෙකු නොවන බවයි. ඒ බව ඔහු වේදිකා වලදී තමන්වම උපහාසයට ගන්නා ආකාරයෙන්ම පැහැදිලියි.
2025 වසරට ඔහුට 75 වසරක් සපිරෙනවා. වර්ථමානයේ ඩිජිටල් පරපුර දකින්නේ අක්‍රීය වූ ගිනි කන්දක් මෙන් සන්සුන් අවධියේ සිටින මහළු රජිණිවයි. 90 දශකයේදී තමිනාඩුවම ආදරය කරන “අම්මා” යන නමින් ආමන්ත්‍රණය කරන ජයලලිතා හා මුහුණ දී සටන් කළ එකම පුද්ගලයා වන්නේ රජිණි පමණයි. ජයලලිතා කෙරුමක්කාරියෙක් නෙවෙයි කියලා කෙනෙකුට හිතන්න පෙළඹුවේ රජිණියි. ඊට හොඳම උදාහරණය 1996 පොයස්ගාර්ඩන් මාර්ගතදබදය. ප්‍රිත්විරාජ් සුකුමාරන් Lucifer (2019) චිත්‍රපටයට මේ පොයස්ගාර්ඩන් සිදුවීම මෝහන් ලාල්ගේ ආරම්භක දර්ශනය ලෙස ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. තලෛවර් දේශපාලනය සමඟ දීර්ඝ හා සංකීර්ණ සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. විශේෂයෙන්ම, ඔහු දේශපාලන තනතුරක් නොදැරුවත්, ඔහුගේ ප්‍රකාශ සහ බලපෑම වසර ගණනාවක් තිස්සේ තමිල්නාඩුවේ දේශපාලනයට සැළකිය යුතු ලෙසින් බලපා තිබෙනවා. රජිණි හා ජයලලිතා අතර ඝට්ටනය ඔහුගේ චිතපටවලටද කා වද්දා තිබුණා. එකල “රජිණිගේ සහයෝගය ලබන දේශපාලන පක්ෂය” නමින් ප්‍රචාරණය කරමින් දේශපාලන පක්ෂ මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගොස් තිබෙනවා. ඔහු දේශපාලනයට පිවිසෙන තෙක් බලා සිටියේ තමිල්නාඩු ප්‍රාන්තය පමණක් නොවෙයි. ඔහුගේ දේශපාලන බලපෑමේ වඩාත් ප්‍රසිද්ධ උදාහරණය වන්නේ කොංග්‍රස් පක්ෂය, AIADMK සමඟ සන්ධානගත වීමෙන් පසුව, රජිණි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, “ජයලලිතා බලයට පත් වුවහොත් දෙවියන්ට පවා තමිල්නාඩුව බේරා ගත නොහැකි” බවයි. ඔහුගේ මෙම ප්‍රකාශය ප්‍රාන්ත මැතිවරණයේදී DMK-TMC (Tamil Maanila Congress) සන්ධානයේ ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් ලෙස සැළකෙනවා. Baba (2002) චිත්‍රපය නිකුත් වූ සමයේ PMK නම් දේශපාලන පක්ෂය ඔහුට විරුද්ධව කළ සාවද්‍ය ප්‍රචාරණය හා සිනමාහල් වලට අලාබ හානි සිදු කිරීම නිසා එය ප්‍රබල අසාර්ථකත්වයකට පත් වනවා. 2004දී රජිණි ඔහුගේ පෙර ස්ථාවරයෙන් වෙනස් වෙමින්, මහ මැතිවරණයේදී BJP-AIADMK සන්ධානයට ඔහුගේ ඡන්දය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නා. ඔහුගේ මෙම සහයෝගය පදනම් වූයේ ගංගා සම්බන්ධ කිරීමේ ජාතික ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට BJP දුන් පොරොන්දුව මතයි. ඔහු විසින් ඇතැම් අවස්ථාවලදී විවිධ දේශපාලන චරිත සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර ඔවුන්ව පැසසුමට ලක් කර තිබෙනවා. උදාහරණයන් ලෙස, ඔහු හිටපු අගමැති පී.වී. නරසිංහ රාඕ ගැන ප්‍රශංසා කළ අතර, රජිණි හා ආන්ද්‍රා ප්‍රදේශ මහ ඇමති චන්ද්‍රබාබු නායිඩු සමීප මිතුරන්ද වනවා. ඒ වගේම හිටපු AIADMK අමාත්‍යවරයෙකු වූ ආර්.එම්. වීරප්පන් සමඟ ගැඹුරු, සංකීර්ණ මිත්‍රත්වයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. තමිල්නාඩුවේ පවුල් දේශපාලනයේ බල කණුවක් වන කලෛඥර් කරුණානිධි වෙනුවෙන් පැවැත්වූ සැමරුම් උත්සවයක වේදිකාවේ අජිත් කුමාර් විසින් කරුණානිධි ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව කතාවක් කළා. ඊට සැවොම තුෂ්ණිම්භූත වී බලා සිටියදී නැගිට අත්පොළසන් දුන්නේ රජිණි පමණයි.
දශක ගණනාවක් තිස්සේ, රජිණිකාන්ත් දේශපාලනයට පිවිසීම ගැන චිත්‍රපටවල නිරන්තරයෙන් සඳහන් වීම නිසා බොහෝ දෙනා ඔහුගේ දේශපාලන පිවිසීම දැඩි ලෙස බලාපොරොත්තුවෙන් සිටියා. ජනතාව ඔහුට තලෛවර් යන නමින් ඇමතීමට පටන් ගත්තේද එම නිසායි. 2017දී රජිණි තමන් දේශපාලනයට පිවිසීම තහවුරුයි කියා නිවේදනය කරමින් ඔහු ඊළඟ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට තරඟ කිරීමට ඇති අභිප්‍රාය ප්‍රකාශ කළා. 2018දී ඔහු තම දේශපාලන පක්ෂයට පෙරවදනක් ලෙස රජිනි මක්කල් මන්ත්‍රම් (RMM) නම් රසික සමාජයක් සහ දේශපාලන සංවිධානයක් පිහිටුවා ගත්තා. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී, ඔහු 2021 ජනවාරි මාසයේදී ප්‍රාන්ත සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව නිළ වශයෙන් නිවේදනය කළා. ඔහු තම මතවාදය “ආධ්‍යාත්මික” ලෙස විස්තර කළ අතර, බොහෝ දෙනා විසින් එය BJP හි හින්දු ගැති ප්‍රතිපත්තිවලට අනුකූල යැයි අර්ථකථනය කළා. 2020-2021 පැවති COVID-19 වසංගතය හේතුවෙන්, රජිනිකාන්ත් 2020 අගභාගයේදී නිවේදනය කළේ දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම හෝ දේශපාලනයට පිවිසීම සිදු නොකරන බවයි. මෙම තීරණය ඔහුගේ රසිකයින් සහ ආධාරකරුවන්, විශේෂයෙන්ම තමිල්නාඩුවේ ඔහුගේ ජනප්‍රියත්වය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි BJP සාමාජිකයන් අතර බලාපොරොත්තු සුන්වීමක් ඇති කළා. 2021 ජූලි මාසයේදී, ඔහු අනාගතයේදී දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නොමැති බව ප්‍රකාශ කරමින් රජිණි මක්කල් මන්ත්‍රම් විසුරුවා හැරියා. ඔහු දේශපාලනයට පැමිණීමේ තීරණය යළි හකුළුවා ගැනීම නිවැරදි බව අද වෙද්දි ඒ හැමෝටම වැටහිලා තියෙන්නේ. ඔහු විධිමත් ආකාරයෙන් දේශපාලනයෙන් ඉවත්ව ගියත්, රජිණිගේ දේශපාලන සබඳතා සහ බලපෑම තවමත් සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා. ඔහු අගමැති සහ ජනාධිපති ඇතුළු විවිධ දේශපාලන නායකයින් හමු වන අතර, සිනමා නළුවෙක් වුවත් ඔහු පිළිබඳ දේශපාලකයින් නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිනවා. ඒ කාලයේදී අම්මාගේ අල්ලේ නැටවුණු නළුවෙකුට තමන්ගේ චිත්‍රපටයේ නම පවා වෙනස් කරගන්නට සිද්ධ වුණා. තමිල්නාඩුව අණසක තබා පාලනය කළ අම්මා මිය ගිය පසුව නම් දැන් දැන් බොහෝ සිංහ ගර්ජනා හඬ සෑම අතකින්ම අසන්නට ලැබෙනවා. අම්මා සිටි කාලයේ එම සිංහයන් තණකොළ කෑ ආකාරය ඇසින් දුට අය සාක්ෂි දරණවා.
රජිණි සෙවනැල්ලෙන් පවා හඳුනා ගන්න පුළුවන් සුප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් කෙනෙක්. උපතින්ම ගෙන ආ හැකියාවක් ලෙස සෑම දෙයක්ම ශෛලියකින් කිරීම ඔහුට ඇති සුවිශේෂීයත්වයක්. ඔහුව අනුකරණයට, ආභාෂයට ගත් නළුවන් දෙමළ සිනමා කර්මාන්තයේත් ඉන් එපිටත් බොහෝයි. ඔහුගේ ප්‍රසිද්ධත්වයට පත් දෙබස් බොහෝයි. ඒ නිසාමයි ‘සිනමා තාක්ෂණය වෙන වෙනවා, පරම්පරා වෙනස් වෙනවා, ඒත් වෙනස් වුණේ නැත්තෙ සුපර් ස්ටාර් විතරයි’ කියන්නෙ. බහුතරයක් කළු පැහැ මිනිසුන් වසන තමිල්නාඩුවේ කළු පැහැ නළුවන්ට ප්‍රධාන චරිතයන් සඳහා රඟපෑමට මාර්ගය පාදා දුන්නේ ඔහුයි. ප්‍රධාන චරිතයක රඟපෑමට නම් එකල කැරළි කොණ්ඩය, සුදු පැහැති සම මූලිකම අවශ්‍යතාවයන් වූවා. රජිණිට Rajini ++ යනුවෙන් ප්‍රෝග්‍රෑමින් ලැන්වේජ් එකක් තිබෙනවා. මම දන්නා තරමින් ඔහු හැරෙන්නට ප්‍රෝග්‍රෑමින් ලැන්වේජ් එකකක් තිබෙන්නේ ආර්නෝල්ඩ් ස්වාසනේගර්ට (ArnoldC) පමණයි.
මම පොඩි එකා කාලේ දැකලා වත් නැතුව ගොඩක් අයගෙ කටින් අහපු නළුවන්ගෙ නම් අතරින් හින්දි නළුවෙක් නොවුණ කෙනෙක් හිටියා. ඒ රජිණි. ඒ වගේම ඒ නළුවන් අතරින් එකම චිත්‍රපටයක් හෝ නොබැලුවෙ රජිණිගේ විතරයි. සිංහල චිත්‍රපටි පෙන්න පෙන්න හිටිය අපේ ටීවි චැනල් වලිනුත් දිගට හරහට දෙමළ චිත්‍රපටි දෙන්න අරගෙන නරඹන්නන්ට දෙමළ චිත්‍රපටවලට නැඹුරුවක් හුරු කළා. බහුතරයක් දෙමළ චිතපටවල කියවෙන නමක් වුණේ රජිණි. මේ නිසාම රජිණි ගැන පුදුමාකර කුතුහලයක් ඇති වුණා. සිංහල චැනල් වල පට්ට ගහන් හිටියේ මෑත කාලීන නළුවන්ගේ චිත්‍රපටි නිසා රජිණිගේ ෆිල්ම් එකක් බලන්නත් අවුරුදු ගාණක් ගියා. කුතුහලේ තව තවත් වැඩි වුණේ කබාලි උණුසුම පැවති කාලයේදියි. ලංකාවේ මාධ්‍යවල පවා කබාලි ලොකූ මාතෘකාවක් වෙලා තිබුණා. රජිණි අසාමාන්‍ය ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් ඇති නළුවෙක් කියලා තේරුම් ගත්තේ එදායි.
රජිණි හා සන් පික්චර්ස් 6 වැනි සංකලනය ලෙස ජේලර් 2 නිෂ්පාදනය වෙමින් තිබෙනවා. තෙළිඟු නළු නන්දමූරි බාලක්‍රිෂ්ණා (බාලයියා) ද මෙහි චරිතයක් ඉදිරිපත් කරනවා. නෙල්සන් පෙර කී පරිදි නම් මෙය බලසම්පන්න පොලිස් චරිතයක්. පළමු කොටසේදී නෙල්සන්ට බාලයියාව සම්බන්ධ කරගැනීමට අදහසක් තිබුණත් එම චරිතය එතරම් බලවත් නොවීම හේතුවෙන් එම අදහස අතහැර දැමුවා. නමුත් එම අදහස මෙම චිත්‍රපටයේදී ක්‍රියාවට නංවා තිබෙනවා. මෑත දිනකදී පළ වූ අලුත්ම ආරංචිය නම් මෙහි විශේෂ ආරාධිත රංගනයක් සඳහා බොලිවුඩ් නළු මිතුන් චක්‍රබෝර්ති හට ඇරයුම් කර ඇති බවයි. SJ සූර්යාද අත්‍යාවශ්‍ය චරිතයක් රඟ දක්වන බව සඳහන් වෙනවා. තවද පළමු චිතපටයේ සිවරාජ්කුමාර්, මෝහන්ලාල් සහ ජැකී ෂ්රොෆ් වැනි නළු නිළියන්ගේ ආරාධිත රංගනයන් මෙහිදී කුමන ආකාරයකින් භාවිතා කරයිද කියා බලමු. මොවුන්ගේ චරිත කතාවට බලපෑම් කරන ආකාරය වැදගත් වෙනවා. වර්මන් ලෙස රඟ පෑ විනායකන්ද මෙහි දින දෙකක රූගත කිරීම් වලට සම්බන්ධ වූ බවත් පැවසෙනවා. ඒ අනුව මෙහි යම් අතීත සිදුවීමක් ඇතුලත් විය හැකියි. යෝගි බාබුගේ චරිතය මුත්තුවේල්ගේ පවුල සමඟින්ම තවදුරටත් සංචාරයේ යෙදෙන බවක් දැකගත හැකියි. බ්ලාස්ට් මෝහන් ලෙස සුනිල් ද මෙම චිත්‍රපටයටත් එකතු වූ බව සඳහන්. Jailer 2 චිත්‍රපටයේ වර්මන් “මගේ පස්සෙන් ලොකූ ලොකයක්ම ඉන්නවා, ජේලර්” කියා ඉඟි කළ ආකාරයට වර්මන්ගේ මරණයත් එක්ක පළමු කොටසට වඩා දරුණු සහ විශාල අපරාධ ජාලයක් සමඟින් ටයිගර් මුතුවෙල් පාණ්ඩියන්ට සටන් වැදීමට සිදු විය හැකියි. පළමු චිත්‍රපටයේ දී වර්මන් නම් පිළිම ජාවාරම්කරුවාව මුතුවෙල් විසින් මරා දැමුවා. Jailer 2 හි දී, වර්මන්ගේ මරණයට පළිගැනීමට පැමිණෙන ඔහුගේ සහචරයන් හෝ ජාත්‍යන්තර අපරාධ කණ්ඩායමක් සමඟ මුතුවෙල්ට සටන් කිරීමටත්, ඊට අමතරව මුතුවෙල්ගේ අතීතය සහ බලපෑම, මුතුවෙල් තිහාර් බන්ධනාගාරයේ සිටියදී ගොඩනඟාගත් සබඳතා සහ ඔහුගේ “ටයිගර්” යන අනන්‍යතාවය මෙවරත් වැදගත් තැනක් හිමි වේවි. ඔහුට නව සතුරන් මෙන්ම නව මිතුරන් ද මුණගැසිය හැකියි. නෙල්සන්ගේ සිනමා ශෛලියට අනුව, Jailer 2හිදී ද ක්‍රියාදාම සහ හාස්‍යය සමබරව මිශ්‍ර වේවි කියා බලාපොරොත්තු වෙනවා. සමස්ථයක් ලෙස, Jailer 2 චිත්‍රපටය පළමු කොටසට වඩා ප්‍රමාණයෙන් විශාල සහ දැඩි ක්‍රියාදාම චිත්‍රපටයක් වනවා. මෙහිදී මුතුවෙල් පාණ්ඩියන්ගේ චරිතය තවත් ගැඹුරින් ගවේෂණය කිරීමට ඉඩ තිබෙනවා. මෙහි රූගත කිරීම් මේ වසරේ දෙසැම්බරයේදී අවසන් වේ යැයි සඳහන් වෙනවා. ඒ වගේම තවත් අතකින් කොලිවුඩයේ “පාර්ට් 2 ශාපය” එහෙමත් නැත්නම් අනුගාමී චිත්‍රපට(Sequel) ශාපයත් බලා ඉන්නවා. කොලිවුඩයේදී මෙම අනුගාමී චිත්‍රපට බොහෝමයක් දැඩි අසාර්ථකත්වයට ලක් වුණා. Indian 2, 2.0(ආදායම් වශයෙන් සාර්ථක වුවත් ප්‍රේක්ෂක බලාපොරොත්තු තෘප්තිමත් කරන්නට නොහැකි වුණා.), KO 2, Viduthalai 2, Thesingu Raja 2, Ponniyin Selvan 2, Saamy Square, Maari 2, VIP 2, Chandramukhi 2, Charlie Chaplin 2, Vishwaroopam 2 යනාදී වශයෙන් චිත්‍රපට පෙළක්ම මේ ශාපයට හසු වුණා. චිත්‍රපට විතරක්ම නෙවෙයි Suzhal 2, Iru Dhuruvam 2 යන කතා මාලාවන්ද මේ ශාපයට හසු වී හමාරයි. දෙමළ වාණිජ සිනමාවේ නව පුරුක් ලෙස නෙල්සන් හා ලෝකේෂ් ඉහළින් සිටිනවා. කූලි රූගත කිරීමට පෙර ලෝකේෂ් නෙල්සන් හට කූලි කතාව කියා තිබෙනවා. ඒ වගේම නෙල්සන්ද ජේලර් 2 කතාව ලෝකේෂ්ට කියා තිබෙන බව ලෝකේෂ් සඳහන් කළා.
Maharaja (2024) අධ්‍යක්ෂක නතිලන්ද රජිණි හට තම කතාව ඉදිරිපත් කර තිබෙනවා. රජිණි එම කතාවට කැමැත්ත ප්‍රකාෂ කර තිබෙනවා. තවද විවේක් ආත්‍රේයා සමඟින් ද චිත්‍රපටයක් කිරීමට සැරසෙන බවද අන්තර්ජාලයේ සඳහන් වුණා. විවේක් ආත්‍රේයා නානිගේ Ante Sundariniki සහ Saripodhaa Sanivaaram යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. නානිගේ රංගනයේද රජිණි හා සමාන ලක්ෂණ දැකගත හැකි නිසා විවේක් රජිණිව අධ්‍යක්ෂණය කිරීමට වඩාත් සුදුසු බව ප්‍රේක්ෂකයින් සඳහන් කරනවා. මේ කිසිවක් මේ වනතුරු අවසන් එකඟතාවයකට එළඹී නැති බව නිළ වශයෙන් නිවේදනය කළා. ලෝකේෂ් ද නැවතත් තලෛවර්ව අධ්‍යක්ෂණය කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසුවා. යළිත් අවස්ථාවක් ලැබුණොත් එය කූලි 2 නොවන බවත් එය හුදෙක් තනි චිත්‍රපටයක් බවත් සඳහන් කළා. ඔය අතරේදී Thalaivar 173 පිළිබඳව ආන්දෝලනාත්මක පුවතක් ආරංචි වුණා. ඒ Thalaivar 173 වැනි චිත්‍රපටය හුදෙක් රජිණිගේ චිත්‍රපටයක් පමණක් නොවෙයි. මෙය කමල් හාසන්ගේ Raj Kaml Films International සහ Red Giant නිෂ්පාදනයෙන් කමල් සහ රජිණි දෙදෙනාම මෙහි රඟපෑමට නියමිත බවයි. තමන් රජිණි හා එක්ව චිත්‍රපටයක් කිරීමට සූදානම් බවත් ඔවුන් දෙපළම මේ සඳහා එකඟ වූ බවත් කමල් හාසන් SIIMA සම්මාන උළෙලේදී සඳහන් කළා. නමුත් එහි අධ්‍යක්ෂකවරයා කවුද යන්න ඔහු හෙළි කළේ නැහැ. වසර 46කට පසුවයි මොවුන් දෙදෙනා ප්‍රධාන නළුවන් ලෙස එකම තිරයක රඟපානවා දකින්නට ලැබෙන්නේ. ඔවුන් දෙදෙනා එකට රඟපෑ සමයේ දෙදෙනාටම සමාන ගෙවීමක්, සමාන ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් වෙන් වෙන්ව චිත්‍රපට කිරීමට කතා කරගන්නවා. මේ සඳහා ඔවුන් දෙදෙනා නිෂ්පාදකවරුන් සමඟ කතා කර එකඟ කරගන්නවා. එලෙසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි දෙදෙනා එකට රඟපෑමට තිබූ චිත්‍රපටය වෙනුවට නිෂ්පාදක පංචු අරුණාචලම් Aarilirunthu Arubathu Varai (1979) සහ Kalyanaraman (1979) යන චිත්‍රපට නිෂ්පාදනය කරනවා. එම තීරණය නිවැරදි බව සනාථ කරමින් එම චිත්‍රපට දෙකම සාර්ථක වනවා. මෙය ඇත්තක් නම් ලෝකේෂ්ගේ මීළඟ ව්‍යාපෘතිය ලෙසින් Thalaivar 173×KH235 වැඩ කටයුතු අරඹනවා. එම නිසාවෙන් Kaithi 2 තවදුරටත් ප්‍රමාද වනවා. මේ කතාව බොහෝ විට ලෝකේෂ් 2019දී රජිණිට ඉදිරිපත් කළ කතාව විය හැකියි. එය වයස්ගත වෙමින් සිටින දාමරිකයින් දෙදෙනෙකුගේ කතාවක්. එහි දුෂ්ඨ චරිතය රජිණි වෙනුවෙන් සහ වීරයාගේ චරිතය කමල් හාසන් වෙනුවෙනුත් රචනා කර තිබෙනවා. කොහොම වුණත් මේ ව්‍යාපෘතිය තහවුරු කරන ආකාරයේ තොරතුරක් තවම ලැබී නැහැ. දිගින් දිගටම ප්‍රමාද වන කෛදි 2 ප්‍රමාදයට හේතු වන එකම කරුණ මෙය පමණක්ම නෙවෙයි. කාර්තිද මේ වන විට ඔහුගේ නව ව්‍යාපෘතිය වන මාර්ෂල් හි රූගත කිරීම් වලට සම්බන්ධ වී සිටිනවා. එහි නිෂ්පාදක ප්‍රභූ යම් මූල්‍යමය ගැටලුවකට මුහුණ දී සිටින බවත් ආරංචි මාර්ග පවසනවා. තවද ලෝකේෂ්ට Kaithi 2 විධිමත්ව රචනා කිරීමට කාලය අවශ්‍යයි. වික්‍රම් චිත්‍රපටයෙන් පසුව ඔහුට මේ සඳහා කාලයක් ලැබී නැහැ.
මෑතකදී අසන්නට ලැබුණු තවත් ආරංචියක් නම් Mahanati (2018) සහ Kalki 2898AD (2024) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නාග් අශ්වින් ද රජිණිව හමුවී කතාවක් ඉදිරිපත් කළ බව වාර්ථා වෙනවා. කල්කි චිත්‍රපටයේ යස්කින් චරිතයට රජිණිව සම්බන්ධ කරගැනීමට ඔහු බලාපොරොත්තු වූවා. ප්‍රබාස් තම පරමාදර්ශය ලෙස සළකන සුපර් ස්ටාර් රජිණිකාන්ත්ව මේ චරිතය සඳහා යොදා ගැනීමට කැමති වූයේ නැහැ. ඒ නිසාවෙන් මෙහි යම් සත්‍යතාවක් තිබිය හැකියි.
පසුගිය වසරේ පැමිණි Vettaiyan මෑත දිනකදී ජපානයේ ජපන් බසින් හඬකවා තිරගත කෙරුණු අතර මීට එරට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිව තිබෙනවා. ජපානයේ රජිණිට දැඩි රසික අනුගාමිකත්වයක් ඇතිබව නොරහසක්. එකළ Muthu චිත්‍රපටයෙන් බිහි කළ ආදායම් වාර්ථාව RRR චිත්‍රපටයෙන් බිඳ දැමීමට වසර ගණනක් ගත වුණා.
ලෝකේෂ්ගේ වෙනත් චිත්‍රපටවලට සාපේක්ෂව මේ කූලි චිත්‍රපටයේ රචනයේ දුර්වලතා පැහැදිලිවම දැකිය හැකියි. මෙය හුදෙක් රසවින්දනය සඳහා මූලිකවම අවදානය දී නිර්මාණය කළ ප්‍රේක්ෂකයින් ප්‍රමෝදයෙන් ඉහළට ඔසවා තබන ආකාරයේ චිත්‍රපටයක්. තවත් අතකින් මෙය සංකීර්ණ තිර රචනයක්. ඔහුගේ මින් පෙර චිත්‍රපට මෙන් පහසුවෙන් වටහාගැනීමට හැකියාවක් නැහැ. ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පමණක්ම මීට මොනිකා ගීතය ඇතුලත් කර තිබෙනවා. කොහොම වුණත් ඉන් ශොබින්ගේ නර්තනයෙන් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඔහුට හිමි වුණා. හා හා පුරා කියලා දුෂ්ඨ චරිතයක් ඉදිරිපත් කළ නාගර්ජුනාගේ චරිතයට සාධාරණයක් ඉටු වුණේ නැහැ. ඒ වුණත් තැන් කිහිපයකදී රංගන කුසලතාවයෙන් ඔහුගේ දුෂ්ඨ ස්වභාවය ඉස්මතු කර දැක්වූවා. මෙහි Power House ලෙස සඳහන් කරන මත්ප්පැන් බෝතලය Mansion House මත්පැන් බෝතලයට සමානයි. “පවර් හවුස් කියන්නේ මේකද?” ඔව්, ඒක නම් කණගාටුවට පත් කරවන කාරණයක්.
කූලී චිත්‍රපටයේ නිළ වෙබ් අඩවිය. https://www.cooliefilm.com/
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
මුල් වරට ප්‍රකාෂයට පත් කළ දිනය: Aug 18, 2025 at 07:30
යාවත්කාලීන කළ දිනය: Sep 11, 2025 at 07:30
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
15,631 downloadsDownload Coolie-2025-Sinhala-Subtitles.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Coolie (2025) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Aamir Khan
- #Ayyappa P. Sharma
- #Charlie
- #Coolie
- #Coolie (2025)
- #Coolie (2025) Sinhala Sub
- #Coolie (2025) Sinhala Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Kaali Venkat
- #Kanna Ravi
- #Karate Karthi
- #Lokesh Kanagaraj
- #Lollu Sabha Maaran
- #Mahesh Manjrekar
- #Monisha
- #Must Watch
- #Nagarjuna Akkineni
- #Pooja Hegde
- #Rachita Ram
- #Rajinikanth
- #Ravi Raghavendra
- #Reba Monica John
- #Rishikanth
- #Sathyaraj
- #Shruti Haasan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Soubin
- #subtitle
- #Tamizh
- #Upendra
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
රංගික සිනෙත් කාරියවසම්
Akalanka Deshapriya
supiriyak machan.. Thanks..
Chamath
කෝ ෆිල්ම් එක නෑනේ Baiscope Downloads එකේ
Isuru
supiriyatama explain karala thiyenawa bro...niyamai...pickme ekak hire kala meka kiyawannama :D
Buddhika laKMal
සුපිරි මචෝ.......
ඔයාගේ ලිපිය එකහුස්මට කියෙව්වා...........
සුපිරියියියියියි............
ස්තූතියි මචෝ ඒ ලිපියට......
ඒ වගේම සබ්එකටත් ස්තූතියි.............kavindu
sub aka mada idan hariyata wada na neda
Buddhika laKMal
අප්ඩේට් එකට ස්තූතියි රවිදු සහෝ.........................
Anonymous
සබ් එකටයි ලිපියටයි දෙකටම ස්තූතියි මචෝ ❤️
SS
සබ් එකටයි ලිපියටයි දෙකටම ස්තූතියි මචෝ
Dasun Lakruwan
අම්මෝ මේ ලිපිය සුපිරිම සුපිරි.වචන නෑ..
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Gihan
සබ් එකටයි ලිපියටයි දෙකටම ස්තූතියි මචෝ....
ජය ෙව්වා...............Sandeep Madushan
Lipiyata thanx
Anonymous
thanks
Anonymous
බොහොම ස්තූති සහො
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුපිරියි මචං. නියම රිවිව් එකක්. ජය